මෙසේ මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයන් තුසීපුරෙන් වැඩ මවුකුස පිළිසිඳගත් වේලෙහි ම මෑණියන් වහන්සේට ද දරුගබටද උපද්‍රව වළකනු සඳහා වරම් රජදරුවෝ සතරදෙන මඟුල් කඩු ගත් අත් ඇති ව ශ්‍රීයහන් ගබඩාවට සතර දිග රකවල් ගත්හ. ඔහු සතරදෙන මතු නො වෙති. තව ද දසදහසක් සක්වළ ම සතළිස් දහසක් වරම් රජහුම ඒ ශ්‍රීයහන් ගබ්දොරය, රන්පාය සිසාරාය, නුවර සිසාරාය, දඹදිව සිසාරාය, සක්වළගබ සිසාරාය යි බෝසතුන්ට අරග්ගෙන සිටියාහු ම ය. එ තැන් පටන් ගෙන බෝසතාණන් වහන්සේට ද මෑණියන් වහන්සේටද පෙර ගිලනුන්ට කළා වූ ඖෂධ සත්කාර බලයෙන් ජාත වූ කුශලානුභාවයෙන් ද, ඒ දෙවියන්ගේ ආනුභාවයෙන් ද, රෝගාදීන් කිසි පීඩාවෙක් නොවී ය. දඹදිව සියලු රජුන්ගෙන් එවන අපමණ වූ රුවනින් අතුරු නො වීය.
මෑණියන් වහන්සේගේ නාභිමණ්ඩලයට මුහුණ ලා පලක් බැඳ ධර්මාසනයක උන් ධර්‍මකථිකයෙකු සේ, මිණිකරඬුයෙක විඩාලූ කනක රූපයක් සේ, බලන්නවුන්ට පෙනි පෙනී වැඩ හිඳිනා සේක. අදට මේ තෙක් තැන් වැඩිසේක. අදට මෙ තෙක් මහත් වූ සේකැ යි ප්‍රේමයෙන් බල බලා හිඳිනා ඒ මෑණියන් වහන්සේ “මදරුවෝ කුස වසන්නාහු මෙසේ ප්‍රීති වඩති. කුසින් බිහි වූ කල කෙසේ රූපශ්‍රී ඇතියෝ දෝ හෝ“ ප්‍රීතින් පින පිනා පිරුණු තෙල් පාත්‍රයක් ධරන්නා සේ ගබඩ කිසි පීඩාවක් නොකොට ඉතා උෂ්ණ භෝජන ය, ඉතා ශීත භෝජනය, තික්ත භෝජනය, කටුක භෝජනය යනාදියෙහි රස නො දැන දස මස මුළුල්ලෙහි ම පුතනුවන්ට ගැහැටුම් වෙති යි කුස පුරා බත් නොකා, මුහුණින් ම වැද නො හෙව, වම් ඇලයෙන් නො සැතපී දක්‍ෂිණභාගයෙන් ම සැතපී, දරුහබ සැලී නැගෙතියි සක්මන් මාත්‍රාවකුත් නො කොට දස මස මුළුල්ලෙහි ඉතා අප්‍රමාද ව ගබ පිරිමැසූහ.