7. ඇසළ පෝය

star_outline

වෙසක් සඳ අහසේ උදාවෙන විට සම්මා සම්බුදුවරයෙකු පිළිබඳ ශ්‍රෙෂ්ඨතම ඓතිහාසික සිද්ධීන් රැසක් අපගේ මනසට නැගී එයි. පොසොන් සඳ අහසේ උදාවෙන විට අනුබුදුවර‍යකු පිළිබඳ සටහන් අපගේ මතකයට නැගී එයි. ඇසළ සඳ අහසේ උදාවෙන විට සත්‍යගවේෂී විමුක්තිකාමී ලෝකයාට සාර්වභෞම නිදහස උදාවුණු තෙරුවන් ලොව පහළවුණු දිනය වශයෙන් අප‍ ගේ සිතට සිහිපත් වෙයි. බුදු දහම නමැති මිණි පහන දැල්වී එයින් ලෝකය ආලෝක වූ සැටි, බුද්ධ ශාසන රත්නාකාරය මතු වී සසුන් ගුණ රුවනින් තුන් ලොව සැනසී ගිය හැටි, බුදුහිමි මුව ගැබින් වැගිර ගලා ගිය දහම් අමා වහරින් මුළු ලොව තෙමී දුක් ගිනි නිවී සැනහී ගිය සැටි, උතුරු මිනිස් දම් පෙළහරින් තුන් ලොව ශාන්ත වී ගිය සැටි, මිනිස්, දෙව්, බඹුන්ගේ සාධු නාදයෙන් මුළු මහත් මිගදාය උතුරා ගලා ගිය සැටි, බුදුරැස් දහරින් බරණැස ඉසිපතනය නැහැවී ගිය සැටි, කාෂාය වස්ත්‍රයෙන් මිගදාය නම් අපරාජිත ශුද්ධ භූමිය බැබළී ගිය සැටි, ආසියා ලෝකයේ කැලුම් දහරා විහිදී පැතිරී ගිය සැටි දෙදහස් පන්සිය හැත්තෑ හත්වන වරටත් අපහට සිහිපත් කරවයි.

ලෝකයා හට සම්‍යක් දර්ශනය පහළවුණු දිනය ඇසළ පුනු පොහෝදා යි. දෙසැටක් මිසදිටු නැමැති දැලෙහි පැටලී නානාප්‍රකාර අත්තකිලමථානු යෝග ක්‍රමවල හා කාමසුඛල්ලිකානු යෝග ක්‍රමවල ද ගැලී සිටි ලෝකයාට මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උතුම් ජීවන මාර්ගයක් දේශනා කළ දිනය ඇසළ පුනු ‍පොහෝදා යි. ලෝකයාත් සත්ත්වයාත් හේතු ප්‍රත්‍යයන් ගෙන් උපන් බව දේශනා කරමින් හේතු ඵල වාදය අනුගමනය කළ න්‍යායවාදී ශාස්තෘවරයාණන්ගේ උත්තරීතර ධර්මය ලොව පහළවුණු දිනය ඇසළ පුනු පොහෝදා යි. සම්බුද්ධ දිවාකරයාණන්ගෙන් නිකුත් වූ සදහම් අමා බෙර හඬ ආසියා ලෝකයේ කැලුම් වැදී ඒකාලෝක වූ දිනය ඇසළ පුනු ‍පොහෝදා යි. දුකත් - දුකට හේතුවත් - නිවනත්, එය - ලබන පිළිවෙතත් යන සත්‍ය සතර ලොවට දේශනා කළ දිනය ඇසළ පුනු පොහෝදා යි. විශාලතම සමාජ විපර්‍ය්‍යාසයක්, බුද්ධි විප්ලවයක්, ආගමික උද්‍යෝගයක්, චින්තන ප්‍රබෝධයක් ඇති කළ දිනය ඇසළ පුනු පොහෝදා යි. ශාස්වත දෘෂ්ටිය හා උච්ඡෙද දෘෂ්ටිය යන දෘෂ්ටිවාද දෙක පරම නිෂ්ඨාව වශයෙන් සලකා ගෙන සිටි ලෝකයාට යථාභූත ඤාණ දස්සනය පහළ වූයේ ඇසළ පුනු පොහෝදා යි.

ශ්‍රෙෂ්ඨ සිද්ධීන් රැසක්

වෙසතුරු අත් බැවින් පසු තුසිත දෙව්ලොව ඉපදුණු බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආරාධනා පිළිගෙන පස්මහ බැලුම් බලා දඹදිව මධ්‍යදේශයෙහි කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමා ගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්තේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. එකුන් තිස් වියේදී ලෙඩෙකු, මහල්ලෙකු මළ මිනියක් මහණ රුවක් යන සිවු පෙර නිමිති දැක ගිහිගෙය කළකිරී අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බුදුරදුන් ඇතුළු පස්වග මහණුන් ගේ ප්‍රථම වස්සූපගමනය බරණැස මිගදාය නම් වූ ඉසිපතනයේ සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. රාහුල කුමරුන්ගේ උපත සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බුදුරදුන් ගණ්ඩම්බ රුක්මල්හි දී තිර්ථකයන් ගේ මානය මර්දනය කරනු පිණිස යමාමහ පෙළහර දැක්වූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. එසේ ප්‍රාතිහාර්ය දක්වා සත් වැනි වස ගත කිරීමට තව්තිසා දෙව් ලොවට වැඩම කොට වස් එළඹ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියනට විජම් බණ වදාළේත් ඇසළ පුනු පොහෝ දිනයක දී ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකින් තෘතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂා සංවිධානත්වය ඇති ව රජගහ නුවර වේහාර පර්වතයෙහි ධර්ම මණ්ඩපයෙහි දී ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීම සඳහා රජගහ නුවරට වැඩම කොට වස් එළැඹ මූලික කටයුතු ආරම්භ කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බු.ව. 236 වැන්නෙහි උපබුදු මිහිඳු මහරහත් මාහිමියන් ප්‍රධාන සංඝයා විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බු.ව. 236 වැන්නෙහි අරිෂ්ඨ කුමරුන් ප්‍රධාන සිංහලයන් පනස් දෙනා ගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයෙහි දී සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බු.ව. 236 වැන්නෙහි දෙවන පෑතිස් නිරිඳුන් විසින් කණ්ටක චෙතිය වටා කර වූ අට සැට ලෙන් පූජාව හා දෙසැටක් රහතන් වහන්සේලා ගේ ලංකාවෙහි ප්‍රථම වස්සූප ගමනය (පළමු වස් එළඹීම) සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බු.ව. 382 දී දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑ රදුන් තනන්නට මඟුල් ගල් තැබීම උත්සවශ්‍රීයෙන් සිදු කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. එසේම උතුරුසළ නැකතින් මහ සෑයෙහි ධාතු නිදානය අනේකප්‍රකාර ප්‍රාතිහාර්‍ය්‍ය මැද සිදුවූයේ ඇසළ පුනු පොහෝ දිනයක ය. බු.ව. 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන් වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා සිදු කරගෙනඑනු ලබන දළදා පෙ‍රහැරේ ආරම්භය සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. විශේෂයෙන් ලාංකික ජනයාගෙන් වැඳුම් පිදුම් ලබන නාථ - ස්කන්ධ - කුමාර - පත්තිනි ආදී දෙවියන් උදෙසා පුද පූජා පවත්වා දේව වරප්‍රසාද ලබාගෙන ශ්‍රී සමෘද්ධිය අයත් කර ගනු පිණිස ඈත අතීතයේ සිට ම මහනුවර - ශ්‍රී ජයවර්ධන පුර - අලුත් නුවර - නවගමුව - දෙවුන්දර - රත්නපුරය - කතරගම ආදී නගර ග්‍රාමයන් හි පිහිටි දේවස්ථානයන් හි වාර්ෂික වශයෙන් පැවැත්වෙන දේව පූජා පෙරහර සිදු කරන දිනය නිසාත් ආගමික වශයෙන් මෙන් ම ඓතිහාසික අංශයෙන් ද ශ්‍රෙෂ්ඨ දිනයක් වශයෙන් මෙ දවස සැලකිය හැකි ය.

ඇසළ මාසය ඈත අතීතයේ සිට ම දෙවියනට පුද පෙරහර පවත්වන දේවාරාධනයට සැරැසෙන ශුද්ධ මාසයක් වශයෙන් ද සම්මත ව ඇත. වෙසක් පොසොන් උත්සව දෙක හැරුණු විට ලංකාවේ පවත්වන දීපව්‍යාප්ත මේ ආෂාඪ (ඇසළ) උත්සවයට සමකළ හැකි කිසිදු උත්සවයක් වෙනත් නො මැත. මහනුවර ආදී පුණ්‍යතීර්ථයන්හි වර්ෂයක් පාසා පැවැත්වෙන මේ ඇසළ පෙරහර උත්සවාදිය නිසා අනෙක් පුනු පෝය දිනයන් හි එළැඹෙන මාසයන්ට වඩා ඇසළ පෝය උදාවෙන ශුද්ධ මාසය දෙව් පුද සඳහා ම වෙන් කැරුණු විවිධ උත්සව විශේෂයන් ගෙන් පිරුණු මාසයක් වශයෙන් බෞද්ධ අබෞද්ධ හැම දෙනා විසින් ම පිළිගනු ලැබේ. එයිනුදු මහනුවර පවත්වන ඇසළ පෙරහර බෞද්ධ ස්වරූපයක් ගැන්වීම පිනිස නාථ - විෂ්ණු - කතරගම - පත්තිනි යන සතර දේවාලයන් හි පෙරහර සතරට මුලින් දළදා පෙරහර එක්වීම එහි දක්නට ඇති විශේෂ ලක්ෂණයකි.

භාරතීය සමාජය

ක්‍රි.පූ. සවන සිය වස ලෝකයේ ආගමික ඉතිහාසයේ අමුතු ම ප්‍රබෝධයක් ඇති කළ යුගයක් වශයෙන් හැඳින්විය හැකි ය. භාරතීය සමාජය ද ‍නොයෙක් දෘෂ්ටීන් ගෙන් ‍හා නොයෙක් ලබ්ධි ගත්තවුන් ගෙන් පිරී පැවතුණි. සත්‍යය කුමක්දැයි විමසන මේ බුද්ධිමතුන් ගේ විමුක්ති පර්යේෂණය හේතු කොට ගෙන ඉන්දීය සමාජය තුළ එක්තරා ප්‍රමාණයෙක චින්තන ප්‍රබෝධයක් ඇති විය. ලෝකයෙහි ද්‍රව්‍ය සන්තතියෙත් සත්ව සන්තතියේත් සම්භවය, ව්‍යාප්තිය හා පරිහානිය පිළිබඳ පැවැති ලෝක ගැටළුව ප්‍රධාන කරගෙන පැන නැගුණු විවිධ දෘෂ්ටීන් නිසා භාරතීය සමාජය නානාවිධ දෘෂ්ටිගතිකයන් ගේ කෙළි බිමක් බවට පත් ව තිබුණි.

ආධ්‍යාත්මික දියුණුව ලබා ගැනීමෙන් සදා විමුක්තිය හිමිකර ගන්නට ඔවුහු දීර්ඝ කාලයක් මුළුල්ලෙහි අති විශාල පරිශ්‍රමයක් දැරූ හ. එහෙත් ඔවුන් ගේ චින්තාවන් ගෙන් මෙලොව ජීවනයවත් සැපවත් කර ගන්නට නො හැකි විය. සමහරු රූපාවචර - අරූපාවචර අෂ්ට සමාපත්තීන් උපදවා ගෙන ඒ තමා ලබා ගත් සමාපත්ති විශේෂයන් මෝක්ෂය වශයෙන් සලකන්නට වූහ. පූරණකස්සප, මක්ඛලිගෝසාල, නිගණ්ඨනාථපුත්ත, අජිතකෙසකම්බල, සඤ්ජය බෙල්ලට්ඨි පුත්ත, පකුධ කච්චායන යන නම් වලින් හඳුන්වනු ලබන කලක් මුළුල්ලෙහි භාරතීය ජන සමාජයේ හරසර ලබමින් මහ ඉහළින් ජීවත්වුණු ‍නෙ‍ායෙක් දෘෂ්ටිවාද ප්‍රකාශ කළ ශාස්තෘවරුන් සදෙනෙක් වූහ. ඔවුනට ද දහස් ගණන් අනුගාමිකයෝ ද සිය ගණන් ශ්‍රාවකයෝ ද සිටිය හ. ඔවුන් ගේ දර්ශන ශාස්වතවාද හා උච්ඡෙදවාද යන දෘෂ්ටි කඳවුරු දෙකට අයත් ය.

මේ ෂට් ශාස්තෘවරුන් අතුරෙන් උච්ඡෙදවාදය සම්බන්ධ අනාත්මවාදී නාස්තික දෘෂ්ටිකයෝ කර්මය හා විපාකය ප්‍රතික්ෂේප කළ හ. ශාස්වතවාදය සම්බන්ධ ආත්මවාදී නාස්තික දෘෂ්ටිකයෝ ඊශ්වර නිර්මාණවාදයත් කර්මය හා කර්ම ඵලයත් විශ්වාස කළහ. මේ ෂට් ශාස්තෘවරයන් ගෙන් පිටත් නාම ගෝත්‍ර වශයෙන් අප්‍රකට බොහෝ දෘෂ්‍ටිවාදීහු පැරැණි භාරත සමාජයෙහි සුලභ ව සිටිය හ. ඔවුන්ගේ තපෝ ක්‍රම නානාවිධ ය. ජුගුප්සා ජනක ය. සමහරු අර්ධ නිර්වස්ත්‍රයෙන් ද ඇතැමෙක් සම්පූර්ණ අචේලක භාවයෙන් ද යුක්ත ව විසූහ. දිනපතා ආහාර අනුභව කිරීම වෙනුවට දින දෙකකට හෝ සත් දිනකට හෝ අඩ මසකට හෝ වරක් බැගින් ආහාර අනුභව කළ හ. තවත් කෙනෙක් ගෝව්‍රත - ශුනක ව්‍රත - අජව්‍රත රකිමින් ද ගොම වැරටි රුක් පතුරු ආදිය අනුභව කරමින් ද විසූහ. මේ නානාවිධ දෘෂ්ටිගතිකයන් ගේ ප්‍රතිපත්තිය සත්‍යයෙන් තොර වූවත් ප්‍රතිඵලය හිස් වුවත් හැම දෙනාගේ ම මූලික පරමාර්ථය සත්‍ය ගවේෂණය යි. ආධ්‍යාත්මික විමුක්තිය ලබා ගැනීමේ පරමාධ්‍යාශය යි.

බෞද්ධ සංස්කෘතියේ උදාව

මෙබඳු අනේක විධ දෘෂ්ටීන් හේතු කොට ගෙන ප්‍රබුද්ධ ව සිටි භාරත වාසීන් ගේ බුද්ධි විකාශනයට සත්‍ය දර්ශනයක් පාරිශුද්ධ ආගමයක් අවශ්‍ය ව තිබුණු අවධියෙක තථාගතයන් වහන්සේ ගේ ලොව පහළ වීම සිදු විය. බුද්ධ කාලය වන විට ආධ්‍යාත්මික විමුක්තිය පිළිබඳ හැඟීම් තියුණු තත්ත්වයකට පත් ව තිබුණි. නොයෙක් දර්ශනවාදීහු සත්‍ය ගවේෂණයෙහි යෙදී සිටියහ. එහෙත් කිසිවකුටත් ලෝකය පිළිබඳ ව පැවැත්ම හා නැවැත්ම දෙකට මූලික හේතු කිසිවක් සොයා ගන්නට නො හැකි විය. ඊශ්වර නිර්මාණවාදී ශාස්වත දෘෂ්ටිකයෝ සත්ත්වයා පිළිබඳ එක ම හේතුවක් දුට හ. අප්‍රත්‍යයවාදී උච්ඡෙද දෘෂ්ටිකයෝ කිසිම හේතුවක් නො දුට හ. මේ දර්ශන වාදීන්ගෙන් මහත් පීඩාවට පත් ව පරම සත්‍යය කුමක්දැ යි දැනගත නො හැකිව සිටිය යුගයක පහළ වුණු බුදුහු ලෝකයත් සත්ත්ව සමූහයාත් ඊශ්වරයකු විසින් හෝ සර්ව බලධාරියකු විසින් හෝ නිර්මාණය නො කරන ලද බව සහේතුක ව ලෝකයාට වදාළ ‍හ. එතෙක් ලෝකයේ හා සත්ත්ව සන්තතියේ සම්භවයත් විකාශයත් පිළිබඳ අඳුරට ම වැටී සිටි ඉන්දියානු සමාජයට තථාගතයන් වහන්සේ ගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධර්ම චක්‍ර සූත්‍ර දේශනාවෙන් මතුවුණු මධ්‍යම ප්‍රතිපදාව වැනි ධර්මයන් නිසා අග්‍රගණ්‍ය බුද්ධි ප්‍රබෝධයක් ඇති විය.

එතෙක් දඹදිව පැතිර පැවැති සංස්කෘතීන් යටපත් කරමින් බෞද්ධ සංස්කෘතිය පැතිරෙන්නට විය. විවිධ හැඟීම් හා බලපෑම් නිසා සංකීර්ණත්වයට පත් ව සිටි ජනතාවගේ චින්තන පරම්පරාව අමුතු මඟකට හරවන්නට බුද්ධ ධර්මයේ හා බෞද්ධ සංස්කෘතියේ ‍ආරම්භයත් සමඟ ම පුළුවන් විය. කුලභේද - පන්තිභේද - ජාතිභේද හා ආගම්භේද ආදී විවිධ භේදයන්ගෙන් කොටස් වී සිටි භාරතීය සමාජයට තථාගතයන් වහන්සේ වැනි උත්තරීතර මානුෂික ගුණයන් ගෙන් යුත් උතුමකු ගෙන් විශාල පරිවර්තනයක්, උදාර සේවයක් ඉටු විය යුතු ය. දඹදිව මධ්‍ය මණ්ඩලයේ ප්‍රබල රජකු ගේ පුත්‍රයකු වූ උන්වහන්සේ ගෙන් ඒ අහිංසාවදී විමුක්ති සටනේ ආරම්භය ඇසළ පුනු පොහෝ දිනයක මිගදායේ ඉසිපතන නම් මහා ජය භූමියෙන් ආරම්භ විය.

චතුස්සත්‍යාවබෝධය

තථාගතයන් වහන්සේ ඇසළ පුනු පොහෝ දා බරණැස මිගදාය නම් වූ ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන් මුල් කොට ඇති දස දහසක් සක්වලින් පැමිණි දෙව්බඹ පිරිස් මැද ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කොට වදාළ හ. “ද්වෙ මෙ භික්ඛවෙ අන්ති පබ්බජිතෙන න සෙවිතබ්බා: යො චා’ යං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො ‍පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, එතෙ තෙ භික්ඛවෙ උහො අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තතී” යනුවෙන් “මහණෙනි, ලාමක වූ ග්‍රාම්‍ය වූ පොදු ජනයා විසින් සෙවුනා වූ අනාර්‍ය්‍ය වූ අනර්ථයෙන් යුක්ත වූ කාමසුඛල්ලිකානුයෝගයෙහි සුඛ වශයෙන් ඇලීමෙක් වේ ද, දුක් වූ අනාර්‍ය්‍ය වූ අනර්ථයෙන් යුක්ත වූ අත්ත කිලමථානුයෝගයෙහි යෙදීමෙක් වේද, යන මේ අන්ත දෙක ම පැවිද්දා විසින් නො සෙවිය යුතුය. මහණෙනි, මේ අන්ත දෙකට නො පැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද නුවණැස පිරිසුදු කරන ඤාණය පහළ කරන ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය නම් මධ්‍යම ප්‍රතිපදාව කෙළෙසුන් දුරු කරනු පිණිස, සිවුසස් දහම් මනා කොට අවබෝධ කර ගනු පිණිස, සම්බෝධිය පිණිස, නිවන් පිණිස පවතී” යයි වදාළ හ. එය ඇසීමෙන් පස්වග මහණුන් ගෙන් කොණ්ඩඤ්ඤ තවුසාට හා අටළොස් කෝටියක් දෙව් බඹුන් හට චතුස්සත්‍යාවබෝධය විය. සිවුසස් දහම් සොළොස් ආකාරයෙන් දැන ගන්නා ආශ්‍රවක්ෂයකර ඥානය (අර්හත්මාර්ග ඥානය) පහළ විය. “චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, අ‍ාලෝකො උදපාදි” යනුවෙන් දැක්වෙන පරිදි නුවණැස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ වී යැයි ප්‍රීතියෙන් පිනා ගිය දෙව් බඹ පිරිස්හු සාධුනාද පැවැත් වූ හ. මහ පොළොවින් පැන නැගුණු සාධු නාදය අකනිටා බඹ ලොව දක්වා පැතිර ගියේ ය.

බෞද්ධ දර්ශනය පහළ වීමෙන් මුල පටන් ම නොයෙක් දර්ශනයන් ට ආකරයක් ව පැවතුණු දඹදිව සෙසු දර්ශනයන් සුනු විසුනු වී ගියේ ය. බෞද්ධ දර්ශනයේ ආරම්භයත් සමග ම විශාල සමාජ විපර්‍ය්‍යාසයක් දාර්ශනික විප්ලවයක් ආගමික උද්‍යෝගයක් ඇති විය. චතුස්සත්‍යාවබෝධයෙන් එනම්, දුක්ඛ සත්‍යාවබෝධයෙන් සත්කාය දෘෂ්ටියත්, සමුදය සත්‍යාවබෝධයෙන් උච්ඡෙද දෘෂ්ටියත් නිරෝධ සත්‍යාවබෝධයෙන් ශාස්වත දෘෂ්ටියත් මාර්ග සත්‍යාවබෝධයෙන් අක්‍රිය දෘෂ්ටියත් බිඳ වැටෙන්නට විය. අනීශ්වරවාදය අනාත්ම වාදය, කර්ම වාදය, පුනර්භවය හා නිර්වාණය වැනි ගැඹුරු ධර්ම කරුණු විෂයයෙහි සමාජයෙහි විශාල බුද්ධි ප්‍රබෝධයක් ඇති විය. අසරණ සතුන්ගේ ලෝහිතයෙන් පූජාසන තවරන යාග හෝම බලි බිලි පවත්වමින් කරනු ලබන පඤ්ච සතික සප්ත සතිකාදි හිංසාවාදී ක්‍රියාවන්ටත් මනඃකල්පිත දෙවියන්ටත්, කුලවාදයටත්, වහල් වෙළඳාමටත්, මානුෂික නිදහසටත්, විරුද්ධ ව ඇති නීතිරීතිවලටත් එරෙහි ව අහිංසාවාදී ක්‍රියාමාර්ගයෙක අතුල්‍ය පදනම වැටුණේ ධර්ම චක්‍ර සූත්‍ර දේශනාවෙන් හෙළි කළ බුද්ධ ධර්මය හේතු කොටගෙනය.

සමාජ ප්‍රබෝධය

ක්‍රි.පූ. සයවන සියවසේ භාරතයේ පහළ වුණු බුද්ධ ධර්මය කරණකොට ගෙන අවුරුදු දෙදහස් පන්සිය ගණනකට අධික කාලයක් මුළුල්ලෙහි ලෝකයාට සිදුවුණු උදාර සේවය අති විශිෂ්ට ය. පෙර අපර දෙ දිග රටවල පහළවුණු සංස්කෘතින් අතර බෞද්ධ සංස්කෘතියෙන් තරම් අගනා සේවයක් චින්තන ප්‍රබෝධයක් සමාජ විපර්‍ය්‍යාසයක් අන් කිසිදු සංස්කෘතියකින් ඇති නො වීය. බුද්ධාගමය බුද්ධියට මුල් තැන දුන් දර්ශනයෙකි. එය භක්ති මාර්ගයක් නො වේ. බුද්ධි මාර්ගයකි. එහි අන්ධ විශ්වාසයෙක් නැත. පරීක්ෂා කිරීමට තහනමෙක් නැත. අමුතුවෙන් තර්ක කරන්නට දෙයක් නැත. රත්රන් ගින්නෙහි ලා උණු කොට හොඳ නරක විමසන්නා සේ තම තමන්ගේ පරීක්ෂණ බුද්ධිය නැමැති ගින්නෙහි ලා හොඳ නරක විමසා පිළිගන්නට නිදහස ලබා දී තිබේ. එසේ නො මැතිව බලයෙන් මිනිසුන්ට ආගම අදහවන්නට පෙළඹවීමක් නැත. බෞද්ධ සංස්කෘතිය ලෝකයේ රටවල පැතිරී ගියේ ආක්‍රමණශීලී සතුරෙකු වශයෙන් නො වැ මිනිසාගේ ජීවිතයේ මාර්ග දේශකයෙකු යහපත් මිතුරෙකු වශයෙනි. බෞද්ධ සංස්කෘතිය පැතිරී ගිය හැම රටක ම ඇතිවුණු සමාජ පෙරළිය ආගමික ප්‍රබෝධය එයට සාක්ෂ්‍ය දරනු ඇත. බුදුන් වහන්සේ ගේ කාලයේත් ඊට පසුවත් ලෝකයේ පෙර අපර දෙදිග රටවල නොයක් චින්තකයන්, මහා දාර්ශනිකයන් පහළ වූවත්, මනුෂ්‍ය සමාජයේ ප්‍රගතියට හේතු වන සාධාරණ වූත් ප්‍රඥා ගෝචර වූත් ධර්ම මාර්ගයක් වදාළේ තථාගතයන් වහන්සේ විසිනි. උසස් පඬිවරයෙකු වූ “රීස් ඩේවිඩ්ස්” මහතා ප්‍රකාශ කරන්නේ “ගෝලයන් සිය කැමැත්තෙන්, පසු ව වෙනස් කළ හැකි ධර්ම මාර්ගයක් ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කර නැත්තා හ” යනුවෙනි. ඇතැම් ආගම් වල පවත්නා මූලික සිද්ධාන්තයන් පව‍ා මේ විද්‍යා යුගයේ විද්‍යාඥයන් ගේ අලුත් සොයා ගැනීම් අනුව වෙනස් කරන්නට තරම් හේතු විය. එහෙත් මෙයට ශත වර්ෂ විසි පහකට පමණ පෙර පහළවුණු බෞද්ධ දර්ශනය නවීන විද්‍යාවන් ඉදිරියේ තව තවත් බැබළෙන්නට විය. ලෝකයේ වෙනස්වීම් අනුව සමාජ තත්ත්වය දෙස බලා කලින් කලට වෙනස් කළ යුතු ධර්මයක් තථාගතයන් වහන්සේ නො වදාළ හ. ලෝකයට කවදටත් එකසේ ගැළපෙන ස්ථීර පදනමක් මත පිහිටි ධර්මයක් බුදුහු වදාළ හ.

අවිද්‍යාව නසා විද්‍යාව ඇති කොට පුද්ගලයාත් සමාජයත් දියුණු කරන ධර්ම ක්‍රමයක් බුදු දහමේ ගැබ් ව ඇත. ශීලාචාර ගුණ සම්පන්න සභ්‍ය සමාජයක් බවට හැරවීමට සමත් උපදෙස් එහි ඇතුළත් ව පවතී. “තමා ගේ නිදහස තමා විසින් ම සොයා ගත යුතු ය” යන ඉගැන්වීම බෞද්ධ දර්ශනයේ සඳහන් වන ශ්‍රෙෂ්ඨ උපදේශයෙකි. බුද්ධත්වය වැනි උසස් තත්ත්වයන් පවා ලබා ගත හැක්කේ උත්සා‍හයෙන් මිස දෙවියන් ගේ උදව්වෙන් නො වන බව පෙන්වා දී තිබේ. ජීවිතය වෙනස් වෙමින් ගමන් කරන්නක් බවත් එසේ වෙනස් වෙමින් පෙරළෙමින් දිගින් දිගට ම යන්නට නො දී වෙනස් නොවන පරම සැපත ලබා ගන්නට ක්‍රියා කළ යුතු ආකාරයත් වදාරා ඇත. සීමාන්විත සැපයත් සීමාන්විත දුකත් දෙක ම ප්‍රතික්ෂේප කළ බුදුහු මධ්‍යම ප්‍රතිපදාව වදාළ හ. ඉඳුරන් පිනවීමෙන් ලැබෙන සතුටේත් ඉඳුරන් හික්මීමෙන් ලැබෙන සතුටේත් විශාල වෙනසක් ඇති බව බුදුහු දේශනා කළ හ. බෞද්ධයා ගේ පරමාර්ථය වූ පරම සැපත ලැබිය හැක්කේ ඉඳුරන් පිනවීමෙන් නොව, ඉඳුරන් හික්මවීමෙන් බව බුදු දහම නිසා ‍ලෝකයාට අවබෝධ විය. බුද්ධාගමය මිනිසා ගේ දියුණුව සැලසීමට පමණක් සීමාවූවක් නො ව එය මිනිසාගේ මෙන් ම සමාජයේත් හැඩ ගැස්වීමට සමත් සමාජ ශීලයක් සමාජ දර්ශනයක් බව ලෝකයාට අවබෝධ වීය. බුදු දහම පුද්ගලයාගේ විමුක්තිය මෙන් ම සමාජයේ විමුක්තියත් ලබා ගන්නට මඟ පෙන්වන ‍දර්ශනයෙකි. මිනිසුන් අතර සමගිය හා සමාදානය අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය ඇති කර ගන්නා අයුරු බුදු දහමින් ලෝකයාට මැනැවින් පෙන්වා දී තිබේ. ආගම් සමහරුන් පෞද්ගලික වස්තුවක් වශයෙන් තබාගෙන ක්‍රියා කළ අවධියෙක් ලොව පහළවුණු තථාගතයන් වහන්සේ ආගම මිනිසා ගේ පොදු වස්තුවක් වශයෙන් කාටත් සාධාරණ ව නිදහස් කල්පනාවට අනුව ඇදහීමට ඉඩ සලසා දුන්හ. මානුෂික නිදහස උසස් පහත් කුලීන කුලහීන කොයි කාටත් එකසේ සාධාරණ ව විඳීමේ අයිතිය බුදු දහමේ උදාවෙන් පසුව ලෝකයාට ලැබිණ. බුදු දහම කිසිවිටෙක මානුෂික නිදහසට හරස් නො වෙයි. නිදහස් හැඟුමෙන් පිබිදෙන්නට ඉවහල් වෙයි. ආත්ම විමුක්තිය සාක්ෂාත් කර ගන්නට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග එයින් උගන්වයි.

බ්‍රහ්මාරාධනය

වෙළඳ දෙබෑයන් විසින් පිරිනැමූ දන් වැළඳූ බුදුරජාණන් වහන්සේ කිරිපලුරුක මුලින් නැගිට නැවැත අජපාල නුග රුක කරා වැඩම කළහ. එහි චිත්ත විවේකයෙන් වැඩ හුන් උන්වහන්සේට මෙබඳු සිතක් පහළ විය. “මා විසින් අවබෝධ කරන ලද චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ඉතා ගැඹුරු ය. පහසුවෙන් දැක්ක නො හැකි ය. සුවසේ අවබෝධ කිරීමට ද නො හැකි ය. එය ශාන්ත ය. ප්‍රණීත ය. තර්කයෙන් නො වැ එය ඥානයෙන් ම පරීක්ෂා කටයුතු ය. පණ්ඩිතයන් විසින් අ‍වබෝධ කටයුතු ය. මේ ලෝකවාසී සත්ත්වයෝ පස්කම් ගුණයෙහි බැඳී එයින් සතුටු ව වෙසෙති. එබඳු අය හට මා විසින් අවබෝධ කළ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ගැඹුරු ය. අ‍‍වබෝධ කිරීමට නො හැකි ය. එබැවින් ඔවුනට ධර්මය දේශනා කිරීම නිෂ්ඵල ය.

මා විසින් දුක සේ අවබෝධ කළ ධර්මය රාග ද්වේෂ දෙකින් මඬනා ලද්ද වුන් විසින් අ‍වබෝධ කළ නො හැකි ය. රාගයෙන් බැඳුණු අවිද්‍යාවෙන් වැසුණු සත්ත්වයෝ නිර්වාණය කරා පමුණුවන සියම් වූ ගැඹුරු වූ ධර්මය අවබෝධ කිරීමට අසමත්හු වෙති”.

මෙසේ තථාගතයන් වහන්සේ ගේ සිත ධර්ම දේශනයෙහි මන්දෝත්සාහී බවට පත් ව තිබෙනු දුටු සහම්පතී බ්‍රහ්ම තෙමේ වහාම පැමිණ බුදුරදුන්ට වැඳ “ස්වාමීනි, ධර්මය දේශනා කරන සේක්වා. කෙලෙස් අඩු සත්ත්වයෝ ලොව ඇත්තා හ. දහම් ඇසීමට නො ලැබුණොත් ඔහු පිරිහෙති. ධර්මය අවබෝධයෙහි සමර්ථ සත්ත්වයෝ සිටිති” යි කියමින් මේ ගාථාවන් ද ප්‍රකාශ කෙළේ ය.

1. පාතුරභොසි මගධෙසු පුබ්බෙ

ධම්මො අසුද්ධො සමලෙහි චින්තිකො

අවාප‍ුරෙතං අමතස්ස ද්වාරං

සුණන්තු ධම්මං විමලෙනානු බුද්ධං

.

2. සෙලෙ යථා පබ්බත මුද්ධ නිට්ඨිතො

යථාපි පස්සෙ ජනතං සමන්තතො

තථූපමං ධම්ම මයං සුමෙධ

පාසාදමරුය් භ සමන්තචක්ඛූ

සොකාවතිණ්ණං ජනතමපෙත සොකො

අවෙකඛස්සු ජාති ජරාභිභූතං

.

3. උට්ඨෙහි වීර විජිත සංගාම

සත්ථවාහ අණන විචර ලොකෙ

දෙසස්සු භගවා ධම්මං

අඤ්ඤාතාරො භවිස්සන්තී’ති

  1. “පෙර මගධ දනව්වෙහි රාගාදි කෙලෙස් මලින් යුක්ත වූවන් විසින් සිතන ලද්දා වූ මිථ්‍යාදෘෂ්ටි ධර්මයෙක් පහළ විය. නිවන් දොරටුව ආර්‍ය්‍ය මාර්ගය විවෘත කරනු මැනැවි. දුරු කළ රාගාධි කෙලෙස් ඇති බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කළ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය සත්ත්වයෝ අසත්වා”
  2. “ගල් පවුවක් මුදුනෙහි සිටි පුරුෂයෙක් හාත්පස ජන සමූහයා පහසුනේ දක්නේ යම් සේ ද එසේ ම සියල්ල දක්නා නුවණ ඇති බුදුරජාණන් වහන්ස! පහ වූ ශෝක ඇති ඔබ වහන්සේ ඒ ගල් පවුව වැනි වූ ධර්ම නැමැති ප්‍රාසාදයට නැගී ශෝකයෙහි බැඳුණු ජාති ජරා දුකින් මඩනා ලද සත්ත්වයන් දෙස නුවණින් බලන සේක් වා”.
  3. දිනන ලද මාරසංගාම ඇති සාර්ථවාහක වූ කාමච්ඡන්ද නැමැති ණය නැති වීරයන් වහන්ස! නැගී සිටිනු මැනැවි. ධර්ම දේශනා කරනු මැනවි. ධර්මාවබෝධයට සමර්ථ වූ සත්ත්වයෝ ඇත්තාහ.

ඉක්බිති බ්‍රහ්මාරාධනය ලත් බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානයෙන් ලොව බැලූ සේක. එසේ ලොව බැලූ උන්වහන්සේට රාගාදී කෙලෙස් අඩු වූ ද වැඩි වූ ද ශ්‍රද්ධා දී ඉන්ද්‍රියයන් තියුණු වූ ද මෘදු වූ ද සත්ත්වයන් දැක ‍ධර්මය දේශනා කරන බව සහම්පතී මහා බ්‍රහ්මයාට දැන් වූ සේක.

“අපාරුතං තෙසං අමතස්ස ද්වාරා

යො සොතවන්තො පමුඤ්චන්තු සද්ධං

විහිංස සඤ්ඤි පගුණං න භාසුයිං

ධම්මං පණීතං මනුජෙසු බ්‍රහ්මෙ”

“බ්‍රහ්මය! වෙහෙසය යන කල්පනාව ඇති වූ යෙම් ප්‍රගුණ වූ උතුම් ධර්මය මිනිසුන්ට මේ තාක් නො කීයෙමි. යම් කෙනෙක් කන් ඇත්තෝ වෙත් ද ඔහු ශ්‍රද්දාව උපදවා ගනිත්වා. ඔවුනට අමෘත ද්වාරයෝ විවෘත කරන ලද හ”.

ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ බුදුරජාණන් වහනසේ විසින් ඔහු‍ ගේ ආරාධනය පිළිගත් බව දැන භාග්‍යවතුන් වැඳ පැදකුණු කෙට අතුරුදහන් විය. බ්‍රහ්මයා ගේ ආරාධනය ඇති ව ධර්ම දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ කල්පනා කෙළේ එකල ලෝ වැසි බොහෝ දෙනෙකු බ්‍රහ්ම ගරුකයන් වන හෙයිනි. ඔහුගේ ආරාධනය ලබා ධර්මය දෙසනවිට බ්‍රහ්ම ගරුක ලෝකයා එය ඇසිමට වඩාත් කැමැත්ත දක්වති. ඉක්බිති බුදුරජානන් වහන්සේට “මම කවරෙකුට පළමුව දහම් දෙසන්නෙම් ද? කවරෙක් මේ සිවුසස් දහම් අවබෝධ කිරීමට සමත් වේ දැයි සිකෙත් පහළ විය. ‍එකෙනෙහිම උන් වහන්සේට ආළාරකාළාම තවුසා සිහිපත් විය. ඔහු කොහි වෙසේ දැයි බුදු නුවණින් බැලූ කලැ සත් දවසකට පෙර කලුරිය කළ බව පෙනුනේ ය.

අන් කවරෙක් මාගේ ධර්මය අවබෝධකර ගන්නේ දැයි විමසනුයේ උන්වහන්සේට උද්දකරාමපුත්ත තවුසා ගැන සිහිපත් විය. ඔහු කොතැන් හි වෙසේ දැයි බැලූ කලැ ඔහු ද ඊයේ රාත්‍රියේ කලුරිය කළ බව පෙනුණි. තුන් වෙනුවද පෙර සේම සිතූ බුදුන් වහන්සේට මේ අදහස පහළ විය. “පස්වග තවුසහු මට බො‍හෝ උපකාර කළ හ. ඔවුහු මා දුෂ්කර ක්‍රියා කරන කාලයෙහි මට උපස්ථාන ද කළ හ. ධර්මාව‍බෝධයට ද සමත් වෙති. මම ඔවුනට පළමුවෙන් දහම් දෙසන්නෙම් නම් මැනැවි” යනුවෙනි. ඔවුහෙු කොතැන්හි වෙසෙත්දැයි බැලූ කලැ බරණැස් නුවර ඉසිපතනාරාමයෙහි වෙසෙන බව දිවැසින් දැක ඔවුනට දහම් දෙසන්නට ඉට ගත් සේක.

උපකගේ හමුවීම

පස්වග තවුසනට දහම් දෙසීමට ඇසළ පුනු පොහෝදා බරණැස් නුවර මිගදාය නම් වූ ඉසිපතනාරාමය බලා බුදුහු වැඩම කළහ. උපක ආජීවක තෙමේ ගයාවට හා බෝධියට ද අතරෙහි වූ මාර්ගයෙහි දී සන්සුන් ව වඩනා බුදුරජාණන් වහන්සේ දැක මෙසේ කී ය. “ඇවැත්නී! ඔබ වහන්සේ ගේ චක්ෂුරාදී ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නය හ. ශරීර වර්ණය ද පිරිසිදු ය. අතිශයින් නිර්මල ය. ඔබ වහන්සේ කවරකු ගේ ධර්මයට රුචි කරන සේක් දැ”යි ප්‍රශ්න කෙළේ ය. ඔහුට පිළිතුරු වශයෙන් බුදුහු මේ ගාථාවන් වදාළ හ.

1. “සබ්බාභිභූ සබ්බවිදූ හමස්මි

සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො

සබ්බඤ්ජහො තණ්හක්ඛයො විමුත්තො

සයං අභිඤ්ඤාය කමුද්දි සෙය්‍යං

.

2. නමෙ ආචාරියො අත්ථි - සදිසො මෙ න විජ්ජති

සදෙවකස්මිං ලොකස්මිං - නත්ථි මෙ පටිපුග්ගලො

.

3. අහංභි අරහා ලොකෙ - අහං සත්ථා අනුත්තරො

එකොම්හි සම්මා සම්බුද්ධො - සීතිභූතොස්මි නිබ්බුතො

.

4. ධම්ම චක්කං පවත්තෙතුං - ගච්ඡාමි කාසිනං පුරං

අන්ධභූතස්මිං ලොකස්මිං - අභඤ්ජං අමත දුන්දුභිං”

  1. මම කාම රූප අරූප යන තුන් භවය‍ට අයත් සියලු ධර්මයන් මැඩ සිටියෙමි. කාම රූප අරූප ලෝකෝත්තර යන සතර භූමීන්ට අයත් සියලු ධර්මයන් දැන ගතිමි. තුන් භවයට අයත් කිසිදු ධර්මයෙක් හි නො ඇලුනේ වෙමි. එ‍හෙයින් තෙමේ ම සියලු ධර්මයන් දැන සිටි හෙයින් මම කවරකු ගුරුවරයා වශයෙන් උදෙසම් ද?
  2. ලෝකෝත්තර ධර්මයෙහි මට ගුරුවරයෙක් නැත. මට සමාන කෙනෙක් විද්‍යමාන නැත. දෙවියන් සහිත ලෝකයෙහි මා හා සමාන පුද්ගලයෙක් නැත.
  3. මම ම ලෝකයෙහි රහත් වෙමි. මම ම නිරුත්තර ශාස්තෘ වෙමි. මම ම සම්‍යක් සම්බුද්ධ වෙමි. සියලු කෙලෙස් ගිනි නිවීමෙන් සිහිල් වූයේ වෙමි. එහෙයින් ම නිවුණේ වෙමි.
  4. මම ධර්ම චක්‍රය පවත්වන්නට කසී රට බරණැස් නුවරට යමි. අවිද්‍යා වෙන් අන්ධ වූ ලෝකයෙහි දහම් අමා බෙරය ගසන්නෙමි.

මෙසේ බුදුන් වහන්සේ වදාළ කල්හි උපක ආජීවක තෙමේ “ඇවැත්නී! ඔබ වහන්සේ එසේ පිළින කරන හෙයින් “අනන්තජින” වීමට සුදුසු යැ යි කීයේ ය. ඔහු ගේ වචනයට බුදුහු මෙසේ පිළිතුරු දුන් සේක.

“මාදිසා වෙ ජිනා හොන්ති - යෙ පත්තා ආසවක්ඛයං

ජිතා මෙ පාපකා ධම්මා - තස්මා, හං උපකාජිනො”

  1. කාමාදී ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණි මා වැනි යම් කෙනෙක් වෙත් ද ඔහු ඒකාන්තයෙන් ජින නම් වෙති. උපකය, මා විසින් සියලු පාප ධර්මයෝ දිනන ලද හ. එහෙයින් මම (අනන්ත) ජින නම් වෙමි.

මෙසේ වදාළ කල්හි උපක ආජීවක තෙමේ හිස සලා එසේ විය හැකිය යි ප්‍රකාශ කොට වංගහාර ජනපදය බලා ගියේ ය.

බුදුරජානන් වහන්සේ අට‍ළොස් යොදුන් මග ගෙවා බුද්ධත්වයෙන් සැට දවසක් සම්පූර්ණ වූ ඇසළ මස පුර පසළොස්වක් දිනයෙහි බරණැස් නුවර ඉසිපතනාරාමයෙහි පස්වග මහණුන් වෙත වැඩි සේක. බුදුරදුන් වඩිනු දුටු පස්වග මහණහු මෙසේ කතික කර ගත්හ. “ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ප්‍රධන් වීර්‍ය්‍ය අත්හැර මධුර වූ ආහාර අනුභව කොට කය මැනැවින් සතප්පවා ගෙන බුදු විය නොහී අපකරා පැමිණේ. අප ඔහුට නොවැඳිය යුතු ය. උවටැන් නො කළ යුතු ය. පා සිව‍ුරු නො පිළිගත යුතු ය. පෙර ගමන් නො කොට යුතු ය. දැක හුනස්නෙන් නො නැගිටිය යුතු ය. එසේ නමුත් රජ කුලයෙහි උපන් හෙයින් කැමැති නම් හිඳගනු පිණිස අසුනක් දිය යුතු ය.”

එහෙත් භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් වෙත එළඹෙත් ම ඔවුනට ස්වකීය කතිකාවන් හි සිටින්නට නො හැකි විය. එක් තවුසෙක් පෙර ගමන් ක‍ොට පා සිවුරු පිළිගත්තේ ය. එක් තවුසෙක් අසුනක් පැණවී ය. එක් තවුසෙක් පා දෝනා දිය ආදිය එළවී ය. භාග්‍යවතුන් වහන්සේ පැන වූ අසුනෙහි වැඩ හුන් හ. බුදුරදුන් කථා කළ කල්හි පස්වග මහණහු “ආවු‍සො” (ඇවැත්නි) වාදයෙන් බුදුන් වහන්සේ ඇමතූහ. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා බුද්ධත්වය අවබෝධ කළ බැවින් “ආවුසො” යි ආමන්ත්‍රණය නො කරන ලෙස ඔවුනට තුන් යළ දක්වා ප්‍රකාශ කොට තමන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බැව් හැඟ වූ සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය පිළිගත් පස්වග තවුසෝ දහම් අසන්නට කන් යොමු කළ හ.

ධර්මචක්‍ර සූත්‍ර සාරය

සහම්පතී මහා බ්‍රහ්ම රාජයා ගේ ආරාධනා පිළිගත් බුදුහු බුද්ධත්වයෙන් මාස දෙකක් සම්පූර්ණ වුණු ඇසළ මස පුන් පොහෝ දා බරණැස මිගදාය නම් වූ ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන් ප්‍රධාන කොට ඇති දස දහසක් සක්වලින් පැමිණි දෙව් බඹ පිරිස් මැද ධම්ම චක්ක සූත්‍රය දේශනා කළ සේක. අන්තද්වය - මධ්‍යම ප්‍රතිපදාව - චතුරාය්‍යර්‍ සත්‍යය - ත්‍රිපරිවෘත්ය - හා ද්වාදශාකාරය යන මේ කරුණු මෙහි ඇතළත් වේ. ධම්ම චක්ක සූත්‍රය - සංයුත්ත නිකායේ සච්ච සංයුත්තයට අයත් දෙවන වර්ගයේ ප්‍රථම සූත්‍රය යි. සකල බුද්ධ ධර්මය සංක්ෂිප්තව සංගෘහිත වන හෙයින් එය ධම්ම චක්ක නමින් ව්‍යවහාර වෙයි.

ධම්ම චක්ක

  1. පටිවෙධ ධම්ම චක්ක
  2. දෙසනා ධම්ම චක්ක

යනුවෙන් ධම්ම චක්ක ශබ්දය අර්ථ දෙකක යෙදේ.

පටිවෙධ ධම්ම චක්ක නම්:

පරිඤ්ඤා - පහාණ - සච්ඡිකාතබ්බ - භාවෙතබ්බ වශයෙන් සිවු මගින් සොළොස් ආකාරයෙන් සිවුසස් දහම් මනා කොට අ‍‍වබෝධ කිරීම යි. සෝවාන් වන විට දුක්ඛාරය සත්‍යය පිරිසිඳ දැන ගනියි. (පරිඤ්ඤෙය්‍යං) සමුදයාර්‍ය්‍ය සත්‍යය පුහාණය කෙරෙයි. (පහාතබ්බං) නිරෝධාර්ය සත්‍යය සාක්ෂාත් කෙරෙයි. (සච්ඡිකාතබ්බං) මාර්ග සත්‍යය වැඩිය යුතු වෙයි. (භාවෙතබ්බං)

මෙසේ සෝවාන් වෙන විට සිවුසස් දහම් පෙර පසු නො වී එක විට ම අවබෝධ වෙයි. සකෘදාගාමී අනාගාමි අර්හත් යන ත්‍රිවිධ මාර්ගයන් අවබෝධ වෙන විට ද පෙර පසු නො වී සිවුසස් දහම් ඒ ඒ මඟ ඵල සිත්වලට අවබෝධ වෙයි. මෙසේ සිවුසස් දහම් සිවු මගින් සොළොස් ආකාරයෙන් මනා කොට දැන ගන්නා නුවණ ප්‍රතිවේධ ධර්ම චක්‍ර ඥානය යි. ප්‍රතිවේධය ප්‍රඥාවෙන් සිද්ධ වෙයි. බුදුරජාණන් වහන්සේ ගේ අර්හත්වය ප්‍රඥාවෙන් යුක්ත වූ ප්‍රතිවේධ ඥානයෙන් සම්පූර්ණ විය. තථාගතයන් වහන්සේ බෝධි මූලයෙහි දී බුද්ධත්වයට පත් වීමෙන් ලැබුවේ ප්‍රතිවේධ ධර්ම චක්‍ර ඥානය නම් වෙයි.

දෙසනා ධම්ම චක්ක නම්:

සත්‍යඥාන - කෘත්‍යඥාන - කෘතඥාන යන ත්‍රිපරිවෘත්තයකින් යුත් දෙ‍ාළොස් ආකාරයෙන් සිවුසස් දහම් අන්‍යයන් හට මනා කොට අවබෝධ කරවීම යි. දේශනාව කරුණාවෙන් සිද්ධ වෙයි. කරුණාවෙන් ප්‍රතිමණ්ඩිත ව දේශනා ඥානයෙන් අන්‍යයන් ගේ අර්හත් ඵලාවබෝධය සිදු වෙයි. ‍බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් ඉදිරියේ වදාළේ දේශනා ධර්ම චක්‍රය යි. ප්‍රතිවේධඥාන දේශනාඥාන යන දෙආකාරයෙන් යුත් චතුස්සත්‍ය ධර්ම චක්‍රය මෙහි ධම්ම චක්ක ශබ්දයෙන් ගනු ලැබේ.

ධම්ම චක්කප්පවත්තන නම්:

  1. ධර්ම නැමැති ‍රෝදය පෙරළා හැරීම යි.
  2. මාර්ග ඵල පිළිබඳ දැනීම ගොඩ නැංවීම යි.
  3. පරම සත්‍යය පිළිබඳ රෝදය කල්‍යාණ ධර්මය පිළිබඳ රෝදය පෙරලා හැරීම යි.
  4. ධර්ම චක්‍රය නමැති ආයුධයෙන් විනය ජනයන් ගේ සිත් සතන්හි ඇති කෙලෙස් නැමැති සතුරන් විනාශ කොට පළවා හැරීම යි.
  5. විනය ජනයන් ගේ චිත්ත සන්තානයන්හි ඉන්ද්‍රිය - බල බොජ්ඣංග ආදී සත්තිස් බෝධි පාක්ෂික ධර්ම උපදවා හික්මවා ලීම යි.
  6. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මය ලෝක වාසීන් ගේ දැන ගැනීම පිණිස ඔවුන් ඉදිරියේ තැබීම යි.

ඉසිපතන නම්:

පළමුවෙන් ම සදහම් අමා බෙර හඬ නිකුත් වුණු අපරාජිත ශුද්ධ භූමිය යි. දැන් මේ ස්ථානය හැඳින්වෙන්නේ “සාරානාත්” යන නාමයෙනි. මෙයට සාරනාත් යන නාමය ලැබුණේ ‘මිග ජාතකයේ’ දී මුවන්ට අභය සැලසූ බෝධි සත්ත්ව මුවා ගේ නාමයෙනි. උන් වහන්සේ ගේ එකල නාමය සාරංගනාථ යනු යි. මුවන් ගේ ආරක්ෂකයා යන අදහස ඉන් ලැබේ. බෝධි සත්ත්ව කාලයේදීත් බුදුවූවායින් පසුවත් ලෝකයාට කරුණාව දැක්වීම සඳහා උන් වහන්සේ මේ ස්ථානය තෝරා ගත් හ. ඍෂි වරුන් සහ පසේ බුදුවරුන් අහසින් අවුත් බිමට බැසීම අහසට නැගීමාදිය සිදු වූ ස්ථානය ‘ඉසිපතනය’ යන නමින් ව්‍යවහාරයට ගිය බව සමහරු කියති. මේ පුණ්‍ය භූමිය ඈත අතීතයේ පටන් ම තාපසවරුන් හට සැනසුම් සිසිල ගෙන දුන් රමණීය අසපුවක් ලෙස පැවතුණේ ය. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන පස්වග මහණුන් ගේ ප්‍රථම වස්සූප ගමනය සිදුවූයේ ද මේ ජය භූමියේ ය. එය මේ වන තුරු ම ලක්ෂ සංඛ්‍යාත භක්තිමතුන් ගේ ශ්‍රද්ධා භක්තීන් උපදවන පුණ්‍ය භූමියක් ලෙස පවත්නේ ය.

අපේ පැරැණි කවියන් ඒ මහා ජය භූමිය හඳුන්වා ඇත්තේ මෙසේ යැ.

බුදුව දැන සව් නේ

තුටුව පල සම වති නේ

ගොසින් ඉසිපත නේ

උතුම් දම්සක් පවත් වමි නේ

මිගදාය නම්:

මෙය ඉසිපතනයට ව්‍යවහාර කරන නාමයෙකි. මුව ආදී සිවුපාවුන්ට අභය දානය කළ නිසා මේ ස්ථානය මිගදාය නම් විය. අප බෝසතාණන් වහන්සේ එක් කලෙක න්‍යග්‍රෝධ නමින් මුවකු ව ඉපිද මෙහි විසූ හ. රජු විසින් මුවන් විනාශ කිරීමෙහි යෙදී සිටිය දී ඔහුට කරුණු පැහැදිලි කිරීමෙන් පසු මේ ස්ථානය අභය භූමියක් වශයෙන් සම්මත වුණු බව න්‍යග්‍රෝධ මිග ජාතකයෙ හි සඳහන් වේ.

අන්ත දෙක නම්:

කාම සුඛල්ලිකානු යෝගය හා අත්තකිලමථානු යෝගය යි. අන්ත යනු කෙළවර යි. කාම සුඛල්ලිකානුයෝගය නම්, වස්තු කාම - ක්ලෙශ කාමයන් පිළිබඳ සත්ත්වය‍ා තුළ පවත්නා තෘෂ්ණාව යි. මෙහි කාම යනුවෙන් වස්තුකාම - ක්ලේශකාම යන ද්විවිධ කාමයෝ ගැනෙති. රූපකාම - සද්දකාම - ගන්ධකාම - රසකාම - ඵොට්ඨබ්බකාම - ධම්මකාම යැයි ෂඩ් විධ වෙති. ‍එසේ සත්ත්වයා විසින් තෘෂ්ණාවෙන් පිළිගනු ලබන සවිඤ්ඤාණක අවිඤ්ඤාණක වූ ස්ත්‍රී පුරුෂ ධන ධාන්‍යාදී සියලු දේ වස්තු කාමයො යි. ක්ලේශ කාමය නම්, ඒ වස්තු කාමය පිළිබඳ ව සත්ත්වයාට උපදින ආශාව යි. මේ ද්විවිධ කාමයන් හි ඇලී ගැලී වාසය කිරීම කාම සුඛල්ලිකානුයෝගය යි. අත්ත කිලමථානුයෝගය නම්, ශරීරය ක්ලාන්ත බවට වෙහෙසට පත් කරන ශරීරයට දුක් පීඩා ගෙන දෙන පඤ්ච විධ කටුක ව්‍රතාදියෙහි නැවැත නැවැත යෙදී වාසය කිරීම යි. පෙර දඹදිව සමහරු මිථ්‍යාශීල - මිථ්‍යා ව්‍රත සමාදන් ව එයින් විමෝක්ෂය බලාපොරොත්තු වූ හ. ශරීරයට බලවත් දුක් දීමෙන් එ් උත්තරීතර සුඛය ලබාගත හැකි බව ඔවුහු විශ්වාස කරමින් කටුක ව්‍රතවල ඒ අනුව යෙදී වාසය කළහ. අධික ශීත කාලයේ දියේ ගිලීම අධික ග්‍රීස්ම කාලයේ ගිනි තැපීම, ගිනි මතුයෙහි සක්මන් කිරීම කටු ගොඩවල් මතුයෙහි සයනය කිරීම ආදී විවිධ ව්‍රත චර්‍ය්‍යාවෙහි යෙදෙමින් කය සිත දෙකට බලවත් පීඩා ගෙන දෙන හැසිරීම අත්තකිලමථානු යෝගය යි.

මේ අන්ත දෙක ම ආර්යයන් විසින් සේවනය නො කළ යුතු අනාර්යයන් විසින් සේවනය කළ යුතු හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද්දක් බව බුදුන් වහන්සේ වදාළ හ. උන් වහන්සේ එය දේශනා කොට වදාළේ තමන් ද එහි යෙදී කිසිදු හරයක් නා මැති බව ප්‍රත්‍යක්ෂ ව ම අවබෝධ කර ගෙන ය. එකුන් තිස් වසක් මුළුල්ලෙහි ලොව කිසිවකු හටත් සම කළ නො හැකි අයුරින් කාමසුඛල්ලිකානු යෝගයෙහි උත්කෘෂ්ට ලෙස යෙදී වාසය කළ හ. සය වසක් මුළුල්ලෙහි ප්‍රමාණ කළ නො හැකි තරම් වූ මහා දුෂ්කර වීර්‍ය්‍යයක් කරමින් අත්තකිලමථානු යෝගයෙහි යෙදී වාසය කළ හ. එහෙත් මේ ද්විවිධ ක්‍රමයන් ගේ ඇති අනාර්යත්වය අවබෝධ කරගෙන එයින් වෙන් වන ලෙස වදාළ හ.

මධ්‍යම ප්‍රතිපදාව නම්:

පළමු කියන ලද අන්ත දෙකට නො පැමිණ නිවන් සුව ලබනු පිණිස ගමන් කළ යුතු සම්මාදිට්ඨි ආදී අංග අටකින් යුත් මේ උතුම් ප්‍රතිපදා මාර්ගය යි. එනම්, ආර්ය අෂ්ටාංගික මාර්ග ය යි. ආර්ය යනු බුදු - පසේ බුදු - මහරහත් උතුමනට ව්‍යවහාර කරන නාමයෙකි. මේ මධ්‍යම ප්‍රතිපදා මාර්ගය සෝවාන් ආදී ඒ ඒ මගින් නැසිය යුතු කෙලෙසුන් නේ දුරු ව හෙයින් ද ආර්යභාවය සිදු කර දෙන හෙයින් ද, ආර්යඵල ප්‍රතිලාභය පිණිස පවත්නා හෙයින් ද, ආර්ය යැයි කියනු ලැබේ. අෂ්ට යනු අට යි. අංගික යනු හේතුව යන තේරුම යි. මාර්ගික යනු උපාය පාර යන තේරුම දෙයි. ‍එවිට මෙහි සම්පූර්ණ අදහස නම් බුදු - පසේ බුදු - මහ රහතන් වහන්සේලා පිළිපන් අංග අටකින් යුත් මාර්ගය යනු යි. පුද්ගලයා ආර්යභාවයට පමුණුවන්නා වූ ද, පුද්ගලයාට ආර්යඵල ප්‍රතිලාභය සිදු කර දෙන්නා වූ ද, අංග අටක් ඇති මාර්ගයට ආර්යඅෂ්ටාංගික මාර්ග යැයි ද කියනු ලැබේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් සද සංයෝජනයන් අර්හත් මාර්ග ඥානයෙන් නැසීමෙන් ලැබෙන විජයග්‍රහණය වන පුනර්භවය සිඳලීම බෞද්ධ දර්ශනයේ සඳහන් වන බෞද්ධයා බලාපොරොත්තු වන විමුක්ති සැපත වන බව දේශනා කළ හ. දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සමාජයේ සම්භාවනයට පාත්‍රවුණු විවිධ දෘෂ්‍ටීන් හා දර්ශනත් යටපත් කරමින් මතු වුණු ආර්ය අෂ්ටාංගික මාර්ගය හේතුකොට ගෙන සිදුවුණු සාමයික විපර්‍ය්‍යාසය ඉතා විශාල ය. එම සත්‍ය දර්ශනයේ ආලෝකයෙන් ලෝකය ප්‍රබෝධවත් විය. තථාගතයන් වහන්සේ ගේ ඉහළ ම සොයා ගැනීම නම් මේ මැඳුම් පිළිවෙත් මඟ යි. උන් වහන්සේ‍ ගේ ධර්ම යේ උසස් අංග සියල්ලක් ම මෙයට ඇතුළත් වේ.

1. සම්මාදිට්ඨි

දුක්ඛ - සමුදය - නිරෝධ - මග්ග යන චතුස්සත්‍යාවබෝධය පිණිස පිළිපන් යෝගීහු ගේ අවිද්‍යානුශය නසන විද්‍යා නම් වූ ප්‍රඥා චෛතසිකය සම්මාදිට්ඨි නමි. එය නොයෙක් ප්‍රභේද වලින් යුක්ත ය.

(අ) කම්මස්සකතා සම්මාදිට්ඨි

(ආ) චතුසච්ච සම්මා දිට්ඨි

(ඉ) විපස්සනා සම්මාදිට්ඨි

(ඊ) ඣාන සම්මාදිට්ඨි

(උ) මග්ග සම්මාදිට්ඨි

(ඌ) ඵල සම්මාදිට්ඨි

යනු විසිනි.

(අ) කම්මස්සකතා සම්මාදිට්ඨි

කර්මය හා විපාකය තමා අයත් කොට ඇති බව දැකීම සැලකීම කම්මස්සකතා සම්මාදිට්ඨිය යි. දශ වස්තුක සම්‍යක් දෘෂ්ටිය ද මෙයට අයත් වෙයි.

  1. දුන් දෙයෙහි විපාක ඇත.
  2. මහා පූජාවන් හි විපාක ඇත.
  3. වෙතට පමුණුවා දෙන දැයෙහි විපාක ඇත.
  4. ‍සත්ත්වයා විසින් කරනු ලබන හෙඳ නරක දෙක්හි විපාක ඇත.
  5. මෙලොවක් ඇත.
  6. පරලොවක් ඇත.
  7. මවට කරනු ලබන හොඳ නරක දෙක්හි විපාක ඇත.
  8. පියාට කරනු ලබන හොඳ නරක දෙක්හි විපාක ඇත.
  9. ඕපපාතිකව උපදින සත්ත්වයෝ ඇත.

(ආ) චතුසච්ච සම්මාදිට්ඨි

දුක්ඛ - සමුදය - නිරෝධ - මග්ග යන චතුස්සත්‍යය දැනීම චතුසච්ච සම්මාදිට්ඨිය යි. චතුසච්ච සම්මාදිට්ටි නිසි ලෙස අවබෝධ වූ විට තමා තුළ තිබෙන වැරැදි විශ්වාස සියල්ලක් ම දුරු වී යෙයි. චතුසච්ච සම්මාදිට්ඨිය බුද්ධාගමයේ මිස අන් කිසි ම ආගමක නැත.

(ඉ) විපස්සනා සම්මාදිට්ඨි

භාවනා කිරීමෙහි දී ත්‍රෛභූමක ධර්මයන් අනිත්‍ය, දුක්ඛ අනාත්ම වහයෙන් සැකීමේ දී ඇති වන නිවැරැදි දැකීම යි. විදර්ශනා ඥානය විපස්සනා සම්මාදිට්ඨිය යි.

(ඊ) ඣාන සම්මාදිට්ඨි

රූපාවචර - අරූපාවචර ධ්‍යානයන්හි පහළවන සම්‍යක් ප්‍රඥාව යි.

(උ) මග්ග සම්මාදිට්ඨි

සෝවාන් ආදී මාර්ග සිත්වල පහළ වන නිවැරදි අවබෝධය යි. මාර්ගඥානය මග්ග සම්මාදිට්ඨිය යි.

(ඌ) ඵල සම්මාදිට්ඨි

සෝවාන් ආදී ඵල සිත්වල පහළ වන යහපත් නුවණ යි. ඵල ඥානය ඵල සම්මාදිට්ඨි නම් වේ.

සම්මාදිට්ඨිය නැති කිසිවකු හටත් සසරින් නිදහස් වීමට හෝ ‍දුක් කෙළවර කිරීම හෝ නො හැකි ය. ලෞකික - ලෝකෝත්තර වශයෙන් ද සම්මාදිට්ඨිය දෙවැදෑරුම් වේ.

2. සම්මා සංකප්ප

නිවැරදි කල්පනාවයි. හේ වනාහි නෙක්ඛම්ම - අව්‍යාපාද - අවිහිංසා සංකප්ප වශයෙන් ත්‍රිවිධ වේ.

නන් වැදෑරුම් නාමයෙන් පිළිකුල් වශයෙන් සලකා එයින් වෙන්ව විසීමේ කල්පනාව නෙක්ඛම්ම සංකප්පය යි.

ක්‍රෝධ කිරීමේ ඇති ආදීන ව සලකා එයින් වෙන් ව සියලු සත්ත්වයන් විෂයයෙහි අනුකම්පාව හා මෛත්‍රිය පතුරුවන කල්පනාව අව්‍යපාද සංකප්ප යයි. අනුන්ට හිංසා පීඩා කිරීමේ ආදීනව ගැන නුවණින් සලකා බලා හිංසාවෙන් වෙන් වූ කරුණා සහගත කල්පනාව අවිහිංසා සංකප්පය යි. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යනුවෙන් මිථ්‍යා විතර්කය ත්‍රිවිධ වේ.

3. සම්මා වාචා

චතුර්විධ වාග් දුශ්චරිතයෙන් වෙන් ව චතුර්විධ වාග් සුචරිතයෙහි යෙදීම සම්මා වාචාව යි.

4. සම්මා කම්මන්තය

ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් වෙන් ව ත්‍රිවිධ කාය සුචරිතයෙහි යෙදිම සම්මා කම්මන්තය යි.

5. සම්මා ආජීව

චතුර්විධ වාග් දුශ්චරිතයෙන් හා ත්‍රිවිධ කාය දුස්චරිතයෙන් ද පඤ්ච විධ වෙළඳාම් ආදියෙන් ද දැහැමින් දිවි පැවැත් ම සම්මා ආජීව ය යි. (මේ මාර්ගාංග තුන රකින විට ආජීව අෂ්ටමක ශීලය රැකේ.)

6. සම්මා වායාම

සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යය සම්මා වායාමය යි.

7. සම්මා සති

සතර සතිපට්ඨානය සම්මා සතිය යි.

8. සම්මා සමාධි

චිත්ත චෛතසික ධර්මයන් නොයෙක් ආරම්මණයන් විෂයෙහි විසිර යන්නට නො දී එක අරමුණක සිත යොමු කරන ස්වභාවයෙන් යුත් මිථ්‍යා සමාධිය නසන එකග්ගතා චෛතසිකය සම්මා සමාධිය යි.

මාර්ගාංග භෙදය

ආර්ය අෂ්ටාංගික මාර්ගය (මාර්ග සත්‍යය) භාවෙතව්‍ය වශයෙන් එකවිධය. සමථ විපස්සනා වශයෙන් ද්විවිධ ය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක විදර්ශනාවට අයත් ය. ඉතිරි මාර්ගාංග සය ශමථයට අයත් ය.

ශීල - සමාධි - ප්‍රඥා යන ස්කන්ධ භෙදයෙන් ත්‍රිවිධ ය.

සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව - ශීල

සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි - සමාධි

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප - ප්‍රඥා

සොතාපත්ති - සකෘදාගාමී - අනාගාමි - අරහත්ත මග්ග භේදයෙන් චතුර්විධ ය. පඤ්ඤා - විතක්ක - විරති - විරිය - සති - එකග්ගතා යන චෛතසිකයන් ගේ වශයෙන් ෂට් විධ වේ.

චතුරාර්‍ය්‍ය සත්‍යය

දුක්ඛ - සමුදය - නිරෝධ - මග්ග යන සතරයි. බුද්ධාදී ආර්යයන් විසින් අවබෝධ කළ හෙයින් අරිය නම් වේ. කිසි කලෙකත් වෙනස් කරන්නට නො හැකි නිසාත් මේ සතරින් එකක් වත් අර්ය සත්‍ය නො වේ යැ යි කියා අසත්‍ය බවට පත්කරන්නට නො හැකි නිසාත් එයට බැහැරින් එකතු කරන්නට වෙනත් සත්‍යයක් නො මැති නිසාත් සත්‍ය නම් වේ.

අඩු වැඩි නැති ව හරියට ම සත්‍ය සතරක් දේශනා කළේ පැවතීම (පවත්ති) පැවතීමේ හේතුව (පවත්තක) නැවතීම (නිවත්ති) නැවතීමේ හේතුව (නිවත්තක) වශයෙනි. මෙසේ පවත්ති - නිවත්ති දෙකට අවශ්‍ය මේ සත්‍ය සතර නිසා අඩු වැඩි නැති ව සත්‍ය සතරක් ම වදාළ හ. එසේ ම දුක්ඛ සත්‍යය පිරිසිඳ දැන ගැනීම (පරිඤ්ඤෙය්‍යං) සමුදය සත්‍යය ප්‍රහාණය කිරීම (පහාතබ්බං) නිරෝධ සත්‍යය සාක්ෂාත් කිරීම (සච්ඡිකා තබ්බං) මාර්ග සත්‍යය වැඩීම (භාවෙතබ්බං) යන මේ කරුණු සතර අනුව ද අඩු වැඩි නැති ව සත්‍ය සතරක් වදාළ හ.

1. දුක්ඛාර්‍ය්‍ය සත්‍යය

“ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාති’පි දුක්ඛා, ජරා’පි දුක්ඛා, ව්‍යාධි’පි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡිං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙ පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා”

ඉපදීම දුක ය, ජරාව දුක ය, රෝගය දුක ය, මරණය දුක ය, අප්‍රියයන් හා එක්වීම දුක ය, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක ය, කැමැති දේ නො ලැබීම දුක ය, සංක්ෂේපයෙන් පඤ්චොපාදානස්කන්ධයෝ ම දුකය හ. මේ දුක්ඛාර්ය සත්‍යය යි. ධම්ම චක්ක සූත්‍රයේ අටාකාරයකින් දුක්ඛාර්‍ය්‍ය සත්‍යය දේශනා කොට තිබේ. වෙන තැන්හි දී දොළොස් ආකාරයකින් දේශනා කොට ඇත.

සොක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස යන පස වෙනුවට ව්‍යාධිපි දුක්ඛො යි දේශනා කොට තිබෙ. මේ පස ම ව්‍යාධියෙහි ඇතුළත් වේ. පරිදෙව - දුක්ඛ දෙක කයේ ඇති වන දුක් ය. සෝකය - දෝමනස්ස - ‍උපායාස තුන සිතෙ උපදනා දුක් ය. මේ දේශනා ක්‍රම දෙකේ ම වෙනසක් නැත.

2. සමුදයාර්‍ය්‍ය සතයය

“ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛ සමුදයං අරිය සච්චං යා යං තණ්හා පොනො භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී, සෙය්‍ය‍ථිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා”.

කාම තෘෂ්ණා - භව තෘෂ්ණා - විභව තෘෂ්ණා ආදී වශයෙන් බෙදී යන එකසිය අට වැදෑරුම් තෘෂ්ණාව සමුදයාර්ය සත්‍යය යි. තෘෂ්ණාව, කාමතෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා වශයෙන් ත්‍රිවිධ වේ. එය රූපා දී ෂඩාලම්බන භේදයෙන් ගුණ කළ විට අ‍ටළොසක් වේ. නැවැත ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකෙන් ගුණ කළ විට සතිසෙක් වේ. එය නැවැතත් අතීත, අනාගත, වර්තමාන යන කාලතය්‍රයෙන් ගුණ කළ විට එකසිය අටෙක් වේ.

කාම තණ්හා, රූප - ශබ්ද - ගන්ධ - රස - ස්පර්ශටවය යන පඤ්චකාම වස්තූන් විෂයයෙහෙි උච්ඡෙද දෘෂ්ටියෙන් හා ශාස්වත දෘෂ්ටියෙන් තොර වැ ආසා කිරීම කාම තෘෂ්ණාව නමි.

භව තණ්හා, රූප අරූප භවයන් පිළිබඳ ව සත්ත්‍වයා සදාකාලිකය යි ගන්නා ශාස්වත දෘෂ්ටිය සමග උපදනා ආසාව භව තෘෂ්ණාව නමි.

විභව තණ්හා, සත්ත්වයා මරණින් මතු උච්ඡෙදයට යෙයි. පුනර්භවයෙක් නැත යන උච්ඡෙද දෘෂ්ටිය සමග උපදනා ආසාව විභව තෘෂ්ණාව නමි.

3. නිරෝධාර්‍ය්‍ය සත්‍යය

“ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛ නිරොධං අරිය සච්චං, යො තස්සායෙව තණ්හාය අසෙය විරාග නිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො”

තෘෂ්ණාව ගේ අසේ ය විරාග නිරෝධයෙක් වේ ද, යම් දුරු කිරීමෙක්, බැහැර කිරීමෙක්, මිදීමෙක්, නො ඇලීමෙක් වේ ද, ඒ තෘෂ්ණා නිරෝධ සංඛ්‍යාත නිර්වාණය නිරෝධාර්ය සත්‍යය යි.

4. මාර්ග සත්‍යය

ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එය පළමු ව විස්තර කර ඇත.

තිපරිවට්ටය චතුරාර්ය සත්‍ය ධර්මයන් විෂයයෙහි පහළ වන සත්‍ය ඥාන - කෘත්‍ය ඥාන - කෘත ඥාන යන ත්‍රිවිධ ඥානය තිපරිවට්ට නම් වේ.

සත්‍ය ඥානය නම්, මේ දුක්ඛ සත්‍යය, මේ සමුදය සත්‍යය, මේ නිරෝධ සත්‍යය, මේ මාර්ග සත්‍යය යි යන ක්‍රමයෙන් චතුරාර්ය සත්‍යය තත්ත්වකාරයෙන් දැන ගන්නා ප්‍රඥාව යි.

කෘත්‍යඥාන නම්, දුක්ඛ සත්‍යය පිරිසිඳ දත යුතු ය. සමුදය සත්‍ය ය ප්‍රහීන කටයුතු ය. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කටයුතු ය. මාර්ග සත්‍යය වැඩිය යුතු ය යන පිළිවෙළින් චතුරාර්ය සතයය පිළිබඳ කෘත්‍යය දන්නා ප්‍රඥාව යි.

කෘතඥාන නම්, දුක්ඛ සත්‍යය පිරිසිඳ දැන ගන්නා ලදී, සමුදය සත්‍යය ප්‍රහීන කරන ලදී, නිරෝද සත්‍යය ප්‍රත්‍යක්ෂ කරන ලදී, මාර්ග සත්‍යය වඩන ලදී, යන ක්‍රමයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම විෂයයෙහි ඒ ඒ කෘත්‍යයන් කළ බව දන්නා ප්‍රඥාව යි.

මේ ත්‍රිවිධ ඥානය චතුරාර්ය සත්‍ය ධර්මයෙන් ගුණ කළ කල්හි දෙ‍ාළොසක් වේ. එය ද්වාදශාකාරය නමි.

උපසම්පදාව ගෙන ඒම

ලක්දිව පිරිසිදු උපසම්පදාව ඇති භික්ෂූන් වහන්සේලා නැති බව දුටු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් රටේ අයෝධ්‍ය පුරයේ ධාර්මික නම් රජතුමා වෙත පඬුරු හා සන්දේශ දී ඇමතියන් අයෝධ්‍ය පුරයට යැව්වේ ය. සියම් රජතුමා ඒ බලා ලංකාවේ හාසන තත්ත්වය ගැන කම්පාවට පත් ව සියම් රටේ සංඝ රාජයන් වහන්සේ ප්‍රධාන ධර්‍ම විනයධර හිමිවරුන් රැස් කරවා සාකච්ඡා කොට උපාලි ස්ථවිර ප්‍රමුඛ අතිරේක දස වර්ගික සංඝයා ද ලක්දිව නැති ධර්‍ම විනය පොත් ද රන් පිළිමයක් හා රන් පොතක් ද ලක් රජු වෙත එවී ය. අයෝධ්‍ය පුරයෙහි රාජ්‍යාමත්‍යයෝ කීප දෙනෙක් ද ඒ සමඟ පැමිණියහ.

එම පිරිස පිළිගත් රජතුමා මල්වත්තේ පුෂ්පාරාමයට සියමින් වැඩම කළ උපාලි අරිය මුනි යන මහතෙරුන් වහන්සේලා ඇතුළු සංඝයා වැඩමවා ගෙන ගොස් වඩා හිඳුවා බුද්ධ වර්ෂ දෙදහස් දෙසිය අනූහය වැන්නෙහි ඇසළ පුනු පොහෝදා ලක්දිව සාමණේර හිමිවරුන්හට උපසම්පදාව දෙවී ය.