8. නිකිණි පෝය

star_outline

ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වශයෙන් නිකිණි පුනු පොහෝ දිනය හැඳින්විය හැකි ය. භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටු කරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ. ශාසනය ආරක්ෂා වීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේ ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය. ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්තාවන් හි නිසි ලෙස ඉටු විය යුතු ය. නිකිණු පුනු පොහෝ දිනය භික්‍ෂූන් වහන්සේ හා ගිහියා අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇතිව ගිහි පැවිදි දෙපක්‍ෂය තුළින් යුතුකම් ඉටු වෙන දිනයක් වශයෙන් සඳහන් කළ හැකි ය.

ශාසන ප්‍රතිපත්ති වලට අනුව භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියම ව ඇත. පෙරවස පසුවස වශයෙන් ඒ දින දෙක හඳුන්වනු ලබේ. ඇසළ පුනු පොහෝ දිනයෙහි පෝය කොට, ඇසළ අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය. නිකිණි පුනු පොහෝ දා පෝය කොට නිකිණි වපෑළවිය දා පසු වස් එළඹිය යුතු ය. අවුරුද්දේ එළඹෙන හේමන්ත ගිම්හාන වස්සාන යන ඍතු තුනෙන් මේ උදාරතර ශාසනික කාර්‍ය්‍යයන් නියම ව ඇත්තේ වස්සාන ඍතුවට යි. වස්සාන කාලයෙහි නියමිත දිනයන් හි භික්ෂූන් වහන්සේලා විසින් පෙරවස් හෝ පසුවස් හෝ එළඹීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. එය බුද්ධ නියමය යි. මේ දෙදිනෙන් එක් දිනක හෝ වස් එළඹීම නො කළ භික්ෂුවට න භික්ඛවෙ, වස්සං න උපගන්තබ්බං, යො න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනුවෙන් “මහණෙනි, වස් නො එළඹිය යුතු නො වේ. යමෙක් වස් නො එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යැයි මහා වග්ගයේ වස්සූපනායිකක්ඛන්ධකයෙහි දී බුදුහු වදාරා ඇත්තා හ. ඒ වස් විසීමේ දීත් පෙරවස් එළඹීම ප්‍රධාන වශයෙන් කළ යුතු ය. පසු වස් එළඹීය යුත්තේ යම්කිසි කරදරයක් නිසා පෙරවස් එළඹීමට නො හැකි වූ භික්ෂූණ් විසිනි. කඨින චීවර ලබා ගැනීමේ අයිතිය ඇත්තේ පෙරවස් වැස මහා පවාරණයෙන් පවාරණය කරන ලද භික්ෂූන්ට පමණකි. ඒ වස් එළඹීමත් ගස් යට, එළි මහන්වල, ඡත්‍ර යට, රුක් වෙළෙප්හ, ගස් සිදුරෙහි, සොහොන් කිළියෙහි ආදී ස්ථාන වල නො එළඹිය යුතු ය. “න භික්ඛවෙ අසේනාසනිකෙන වස්සං උපගන්තබ්බං, යො උපගච්ඡෙය්‍ය ආපත්තී දුක්කටස්ස” යනුවෙන් “මහණෙනි! සෙනසුන් නැත්තහු විසින් වස් නො එළඹීය යුතු ය. යමෙක් එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යැයි දේශනා කොට ඇත. වහළක් හා දොරක් ඇති සෙනසුනක් ම සොයා ගෙන නියමිත දිනයෙහි වස් එළඹීම භික්ෂුව විසින් කළ යුතු ය. වස් විසීමට සෙනසුනක් කරවා දෙන දායක කාරකාදී කෙනෙකුන් නැතිනම් උපකාරකයන් සොයාගෙන ‍හෝ සෙනසුනක් කරවා ගත යුතු බවත් උපකාරකයන් ද සොයා ගන්නට නො හැකි නම් තමා විසින් ම හෝ සකස් කරගෙන වස් එළඹිය යුතු බවත් වදාරා ඇත. කොතරම් සැලකිල්ලෙකින් මේ ශාසන ප්‍රතිපත්ති රැකිය යුතු ද යනු මේ බුද්ධ නියමයෙන් පැහිදිලි වෙයි.

වස් විසීමේ ආරම්භය

ප්‍රථම බෝධියෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට වස් විසීමේ ප්‍රඥප්තියක් නො පනවන ලදී. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් පසු බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් සමග මිගදායෙහි ඉසිපතනාරාමයෙහි ප්‍රථම වස් කාලය ගත කළහ. ඒ වැසි කාලය එසේ එක් තැනක ගත කිරීම දඹදිව ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවැත ආ සිරිතක් වශයෙන් ආවේණික ධර්මයක් වශයෙන් මිස බුද්ධ ප්‍රඥප්තියක් වශයෙන් නො වීය. ක්‍රමයෙන් භික්ෂු සමාජය විකාශනයට පත් වෙන විට භික්ෂූහු වස්සාන ඍතුවේත් චාරිකාචරණයෙහි යෙදෙමින් දඹදිව පැවැති පෞරාණික ධර්මයන් උල්ලංඝනය කරන්නට වූහ. මෙය සිදු වූයේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ය. භික්ෂූන් වහන්සේලා ගේ මේ චාරිත්‍ර ධර්මයන් උල්ලංඝනය කරමින් කරනු ලබන චාරික චරණය දුටු මහ ජනයා උද්ඝෝෂණය කරන්නට වූහ. “තීර්ථකයන් පවා වස් එළඹී ඇති මේ කාලයෙහි ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද, ගිම්හානයෙ‍හි ද, වස්සානයෙහි ද නිල් තණ මඩිමින් පා ගමනින් ඒකීන්ද්‍රිය ජීවිත පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකාවෙහි හැසිරෙති. අන්‍ය තීර්ථක පරිබ්‍රාජකාදීහු එක්තැන් ව වස් විසීමෙහි ඇලී වෙසෙති. කුරුල්ලෝ ද ගස් මුදුන් හි කූඩු සාදාගෙන වැසි කාලයෙහි ඒ කූඩු වල ඇලී වෙසෙති. ගොදුරු සෙවීමෙහි උත්සාහ නැති ව නිතර එක්තැන් ව වසති. එහෙත් මේ ශ්‍රමණ ශාක්‍ය මුනි පුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකීන්ද්‍රීය ජීවයන් පෙළමින් බොහෝ කුඩා සතුනන් වානශයට පමුණුවමින් කවර කරුණක් නිසා චාරිකාවෙහි හැසිරෙන්නාහු දැ”යි අවමන් කෙරෙති. නින්දා කෙරෙති. දොස් කියති. අවමන් කරන නින්දා කරන දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූ භික්ෂූහු ඒ කාරණය බුදුන් හට දැන්වූහ.

මේ නිමිති කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට “අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් “මහණෙනි, මම වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි”යි භික්ෂූන් ඇමතූ සේක. එකල් හි භික්ෂූන් වහන්සේලාට වස් එළඹීම් කෙතෙක් දැ යි විමතියක් ඇති විය. එය භාග්‍යවතුන් හට දන්වා සිටිය හ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ “ද්වෙ මා භික්ඛවෙ වස්සූපනායිකා පූරිමිකා පච්ඡිමිකා ච අපරජ්ජුගතාය ආසාළ්භියා පුරිමිකා උපගන්තබ්බා. මාසගතාය ආසාළ්හියා පච්ඡිමිකා උපගන්තබ්බා. ඉමාඛො භික්ඛවෙ දෙව වස්සූපනායිකා” යනුවෙන් “මහණෙනි, පෙරවස් එළඹීම පසුවස් එළඹීම යැ යි මේ වස් එළඹීම් දෙකකි. ඇසළ පුනු පොහොයට පසු දින, එනම් අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය. ඇසළ පුනු පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අවපෑළවිය දිනයෙහි පසුවස් එළඹිය යුතු ය. මහණෙනි, මේ වස් එළඹීම් දෙක”යි වදාළහ. මෙතැන් සිට දඹදිව තීර්ථක පරිබ්‍රාජකාදීන් තුළ පැවැති එනම්, ප්‍රාග් බෞද්ධ යුගයේ සිට දඹදිව පැවැති ආවේණික චාරිත්‍ර ධරමයක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ ද ප්‍රධාන ප්‍රඥප්තියක් බවට පත් විය. මේ අනුව සලකන විට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ වස් විසීමේ ශාසනික චාරිත්‍ර ධර්මයේ ආරම්භය මහජන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් ‍වශයෙන් ඇති වූවක් බව සැලකිය යුතු ය.

ව්‍යාප්තිය

ආරම්භයේ දී ඇසළ පුනු පෝයට පසු අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹීම පැවතුණි. එහෙත් එය වැඩි කලක් නො පැවැත්තේ ය. ඇසළ පුනු පොහෝ දිනයෙහි වස් එළඹෙනු දකිනු කැමති වූ බිම්බිසාර රජතුමා එ් බව දූතයකු ගේ මාර්ගයෙන් භික්ෂූන්ට දැන්වී ය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ වග සැල කළ හ. එය ඇසූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා “අනුජානාමි භික්ඛවෙ රාජුනං අනුවත්තිතුං” යනුවෙන් “මහණෙනි, රජුන්ට එකඟ ව පවතින්නට අනුදනිමි” යි වදාළ සේක. එතැන් සිට ඇසළ පුනු පොහෝ දා වස් එළඹිය හ. බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ප්‍රඥප්ති බොහොමයක් ම ඒ ඒ රටවල දේශගුණය හා පරිසරය අනුව සකස් වූවකි. එබැවින් මධ්‍ය මණ්ඩලයට පනවන ලද ප්‍රඥප්ති ප්‍රත්‍යන්ත දේශවල වෙනස් වෙයි. වස්සික සාටිකය හෙවත් වැසිසළුව වස් වසන භික්ෂූන් විසින් වස්වසන දිනයෙහි ම අධිෂ්ඨාන කොට වස් සාර මාසයෙහි පරිහරණය කළ යුතු සිවුරක් වශයෙන් නියම කොට ඇත. නාන කඩය යන නමින් හඳුන්වන මේ චීවරය භික්ෂූන්ට වාග් විඥප්තියෙන් වුව ද ඉල්ලාගෙන පරිහරණය කළ හැකි වස්ත්‍රයක් වශයෙන් සලකනු ලැබේ. මෙය භික්ෂූන්ට ලබා ගැනීමට පහසුව ප්‍රථමයෙන් ම ඇතිකර දෙන ලද්දේ විසාඛා උපාසිකාව ගේ ඉල්ලීමක් අනුව ය. වස් විසූ භික්ෂූන් චාරිකාචරණයෙහි නො යෙදුණත් පිණ්ඩපාත සෙවීමාදී කටයුතු වල දී වැස්සෙන් තෙමෙමින් පීඩා විඳින්නට සිදු විය. මෙය දුටු විසාඛා උපාසිකාව “ඉච්ඡා මහං භන්තෙ සංඝස්ස යාවජීවං වස්සික සාටිකං දාතුං” යනුවෙන් “ස්වාමීනි! මම ජීවිතාන්තය දක්වා සංඝයාට වැසි සළු පුදන්නට කැමැත්තෙමි”යි ප්‍රකාශ කළා ය. ඇය ගේ බසට කන් දීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ “අනුජානාමි භික්ඛවෙ වස්සිකසාටිකං වස්සානං චාතුං මාසං අධිට්ඨාතුං තතොපරං විකප්පෙතුං” යනුවෙන් “මහණෙනි, වස් සාරමාසයෙහි වැසි සළුව අධිෂ්ඨාන කොට ප්‍රයෝජනයට ගන්නටත් එයින් පසු විකප්පනය කරන්නටත් අනුදැන වදාරමි”යි වදාළ හ. මේ වැසි සළු සැදැහැති දායකයන් විසින් භික්ෂූන් වහන්සේලාට පූජා කරනවාත් සමඟ ම උතුම් ශාසනික චාරිත්‍ර ධර්මයක් ද ඉටු වන්නේ ය. “ස්වාමීනි, මේ වස් සාර මාසය තුළ අපි නුඹ වහන්සේලාට සිවු පසයෙන් ශක්ති ප්‍රමාණයෙන් උපස්ථාන කරන්නෙමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වස් එළඹීම සිදු කරනු මැනැවැ”යි සැදැහැවත් දායක කාරකාදීහු වැසි සළු හා දැහැත් ගොටු පිරිනමමින් සංඝයාට ආරාධනා කරති. එයින් භික්ෂූන් වහන්සේලාගේ වස් විසීමත් දායකයන් ගේ ආරාධනයත් දෙක ම ඉටුවෙයි.

වස් එළඹ වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා ඒ ආරාමයෙන් පිටත යන විට සත්තාහකරණයෙන් යා යුතු වෙත්. “අනුජානාමි භික්ඛවෙ සත්තන්නං සත්තාහ කරණීයෙන පභිතෙ ගන්තුං” යනුවෙන් “මහණෙනි! පණිවුඩ එවූ කල්හි සත් දෙනෙකුන් වෙතට සත්තාහ කරණීයයෙන් යන්නට අනු දනිමි”යි දේශනා කොට ඇත්තාහ. සත්තාහ කරණයෙන් යෑම නම් සත් දිනක් ඉක්ම වන්නට පෙර වස් විසූ ස්ථානයට පැමිණ ඒ වස් එළඹී ආරාමයෙහි අරුණ නැගීම යි. ඒ සත්තාහ කරණයෙන් යන්නට හැක්කේ සත් දෙනෙකුන් වෙත පමණි. භික්ෂුව - භික්ෂුණිය - ශික්ෂමානාව - සාමණේර - ස‍ාමණේරිය - මව ය - පියා ය යන මොවුන් සත් දෙනා උදෙසා ආරාධනාවක් ඇත ද නැත ද සත්තාහකරණයෙන් යන්නට පුළුවන. එහෙත් සතිය ඉක්මෙන්නට ප්‍රථමයෙන් වස් විසූ ආරාමයට පැමිණිය යුතු ය. මේ බුද්ධ නියමය යි.

එසේ ම ගිලන් භික්ෂුවක් රෝගී ව සිටින විට ඒ භික්ෂුවට පහසුවක් ඇති කරලීමටත් සස්නෙහි කලකිරී සිටින භික්ෂුවකට අවවාද කරනු පිණිසත්, උපන් යම් කුකුස් ඇත්නම් එය දුරු කරනු පිණිසත්, උපන් මිථ්‍යා මතයන් දුරු කරනු පිණිසත්, පරිවාස මූලාය පටිකස්සන - මානත්ත - අබ්භාන තජ්ජනීය නියස්ස - පබ්බාජනීය පටිසාරනීය උක්ඛෙපනීය යන මේ සංඝ කර්මයන් සඳහාත් මවු පිය සහෝදර ඥාතීන් රෝගීව සිටින විට ඔවුන් දැකීම පිණිසත් සත්තාහ කරණයෙන් යන්නට හැකි ය.

වස්සච්ඡේදය

වස් විසූ භික්ෂූන්ට ඒ ඒ ආරාමයන් හි යම් යම් උවදුරුවලට මුහුණ පාන්නට සිදු වේ නම් සත්තාහ කරණයක් නැති ව සුදුසු ආරක්ෂක ස්ථානයකට යා හැකි ය. වස්සච්ඡේදයෙන් එනම්, වස් බිඳීමෙන් සිදුවෙන ඇවතින් නිදහස ඒ භික්ෂූන්ට තිබේ. නයි, පො‍ළොං, ආදී විෂඝෝර සර්යන්ගෙන්, යක්ෂාදීන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අන්තරා ඇති කල්හි වස් විසූ ආරාමයෙන් සත්තාහ කරණය නැති ව ඉවත යා හැකි ය. එසේ ම වස් විසූ ආරාමය පිහිටි ගම වෙනස් වූවොත් ගම්වැසියන් ගිය තැනට වස් විසූ භික්ෂූන්ට යන්නට ඉඩ ඇත. ගම දෙකකට වෙන් වූ විට සැදැහැති පිරිස සිටින ස්ථානයට යන්නට පුළුවන. වස් විසූ භික්ෂූන්ට යැපෙන පමණ පිණ්ඩපාත නො ලැබේ නම් පථ්‍ය බෙහෙත් ආදිය නො ලැබේ නම්, සුදුසු කැපකරු ආදීන් නො ලැබේ නම් සංඝ භේදයකට හෝ සීලාන්තරයට ඉඩ ලැබේ නම් වස් විසූ ආරාමය වෙනස් කරන්නට හැකි ය. වස්සච්ඡේදයෙන් ඒ භික්ෂූන්ට ඇවැත් සිදු නොවේ.

මෙබඳු නෙයෙක් කරුණු වලින් ශාසනික වැදගත් කමින් යුත් පස් විසීම ලංකාවට පැමි‍ණියේ බුද්ධ ශාසනය පිහිටුවා ලීමෙන් පසුව ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වැන්නෙහි ලක්දිවට වැඩම කළ අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත් පිරිසත් අරිෂ්ඨ සිංහල රහතන් වහන්සේ ප්‍රධාන සපනසක් රහතන් ද ඇතුළු දෙසැටක් රහතන් වහන්සේලා දෙවන පෑතිස් නිරිඳුන් ගේ ආරාධනයෙන් එතුමා විසින් කරවා පූජා කරන ලද අට සැට ලෙන්වල වස් එළඹිය හ. මෙය ලක්දිව සිදුවූ ප්‍රථම වස්සූප ගමනය යි. මෙතැන් පටන් මේ උතුම් ශාසනික චාරිත්‍ර ධර්මය අවුරුදු දහස් ගණනක් මුළුල්ලෙහි බෞද්ධ පිින්වතුන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට නො සිඳ පවත්වා ගෙන එනු ලැබේ.

වස් කාලය එළඹෙත් ම ඒ ඒ විහාරස්ථානයන්ට සම්බන්ධ දායක පින්වත්හු දැහැත් ගොටු හා වැසි සළු රැගෙන ආරාමයන් කරා ගොස් භික්ෂූන් වහන්සේලාට වස් විසීමට ආරාධනා කරති. වස් සිවු මස සිවුපසයෙන් උපස්ථාන කරමින් හා ප්‍රතිපත්ති පූරණය කරමින් ක්‍රියා කරති. භික්ෂූන් වහන්සේලාත් විශේෂ ගුණ දහම් රකිමින් තමන්ට සිවුපසයෙන් සංග්‍රහ කරන දායකයනට ධර්ම දානයෙන් ප්‍රත්‍යුපකාර කරමින් වැඩ වෙසෙති. ‍එබැවින් වස් විසීම දෙපක්ෂයට ම වැඩ සිදු වන්නෙකි. භික්ෂූන් වහන්සේලා ධර්මය ඉගෙනීමෙහිත් භාවනා කර්මයන්හිත් යෙදී වාසය කරති. උන් වහන්සේලාට උපස්ථාන කරන දායකයෝ ද බොහෝ පින් සිදු කර ගනිති. “යං භික්ඛවෙ සීලවන්තො පබ්බජිතා. ගාමං වා නිගමං වා උපනිස්සාය විහරන්ති තත්ථ මනුස්සා තීහි ඨානෙනහි බහු පුඤ්ඤං පසවන්ති කායෙන, වාචාය මනසා” යනුවෙන් “සිල්වත් පැවිදි උතුමෝ ‍යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කරගෙන වැඩ වෙසෙත් නම් එහි මිනිස්සු කයින් වචනයෙන් සිතින් යන ත්‍රිවිධ ද්වාරයෙන් පින් රැස් කෙරෙති” යි තථාගතයන් වහන්සේ වදාරා තිබේ.

ප්‍රථම සංගීතිය

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් රහතුන් විසින් පවත්වන ලද “පඤ්චසතිකා විනයසංගීති” නමින් දැක්වෙන ප්‍රථම සංගීතිය නිකිණි අවපෑළවියදා ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී. ඇසළ පුන් පොහෝ දා රජගහ නුවරට වැඩම කළ මහ කසුප් මාහිමියන් ඇතුළු පන්සියයක් දෙනා වහන්සේ ඇසළ මස අව පෑළවිය දා වස් එළඹියහ. ප්‍රථම මාසයෙහි විහාරාරාම පිළිසකර කරවා නිකිණි මස අවදියවක්දා (සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිවුවන මස දෙවන දා) රජගහ නුවර වේහාර පර්‍වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි දී සංගීතිය ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී.

ආනන්ද හිමියන් රහත් වීම

ප්‍රථම සංගීතියට ධර්‍මසංග්‍රාහකයන් තෝරන මහා කාශ්‍යප මාහිමියෝ එක් නමක් අඩු පන්සියයක් මහ රහතුන් තෝරා ගත්හ. ඉතිරි අසුන ආනන්ද හිමියන්ට වෙන් කරන ලදී. සෙඛව සිටි ආනන්ද හිමියෝ ධර්‍ම සංගීතියට පළමු දා රාත්‍රියෙහි බොහෝ වේලාවක් විදසුන් වඩමින් සක්මනින් කාලය ගත කළත් අධිගමයන් ලබා ගන්නට සමත් නො වූහ. වීර්‍ය්‍ය සමතාව නො ලැබ ශරීරය ඍතු ගැන්වීම සඳහා අලුයම් වේලෙහි සක්මන් මළුවෙන් බැස පා දොවා විහාරයට වැද මදක් විවේක ගෙන විඩා සන්සිඳුවා සිරුර යහනට එළවූ හ. දෙපා පොළොවෙන් මිදින. හිස කොට්ටයට නො පැමිණියේ ය. මේ අතරතුර දී ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වූ හ. උන්වහන්සේ ගේ රහත් ඵලය සිවු ඉරියව්වෙන් තොරව සිදු විය. එය නිකිණි පුන් පොහෝදා අලුයම සිදු විය.