11. ඉල් පෝය

star_outline

වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයකි. මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව් බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම යනාදී කරුණු රැසක් ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය සලකනු ලැබේ.

මෙත් බෝසත්තුමා විවරණ ලැබීම

දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් හා භාග්‍යවතුන් වහන්සේ ගේත් සැරියුත් මාහිමියන් ගේත් අතර ඇති වූ ප්‍රශ්න විසර්ජන කථාව ඇසීමෙන් වප් පුනු පොහෝ දා මෛත්‍රෙය බෝධි සත්ත්වයන් වහන්සේ දහසක් පමණ වූ පිරිවර ජනයා සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ මෙයින‍් සෙ‍ාළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකින් යට මතු බුදු වනු පිනිස නියත විවරණ සිරි ලබා පෙරුම්දම් පුරමින් එන්නා හ. අප ගේ ගෞතම බුදුපියාණන් ගේ කාලයෙහි දෙව්ලොවින් චුත ව සැවැත් නුවරින් තුන් යොදුන් පමණ තන්හි සංකස්ස නුවර ගැහැවි මහසල් කුලයෙක සිරිවඩ්ඪ නම් මහ කෙළඹියාට පුත් ව උපන්හ. දිසාපාමොක් ඇදුරුහුගෙන් සියලු සිප් සතර උගත් බෝසත් කුමරුවාණෝ මාපියන් ගේ ඇවෑමෙන් සියලු ධනයට අයිතිකාරයා වූ හ. මහපිරිවර ඇති ව සැප සම්පත් විඳින්නාහු දේවාව‍රෝහණ සමාගමයෙහි දී ඒ අසිරිමත් බුදු පෙළහරින් ඉමහත් සොම්නසට පත් ව සියලු ගිහි සම්පත් අතහැර දමා පිරිවර ජනයා සමග බුදු සසුන් හි පැවිදි බවට පත් වූ හ. පැවිද්ද හා උපසම්පදාව ලැබූ ආර්‍ය්‍ය මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ බුදු දහම මැනැවින් ඉගෙන එය භික්ෂූ සමූහයාට ඉගැන්වූහ.

පසු කලෙක චීවර මාසයේ අන්තයේ දී වස්සග්ගයෙහි මාහැඟි වස්ත්‍ර යුගලයක් තමන්වහන්සේට ලැබිණ. චීවර දානයේ අනුසස් දත් බෝසතාණන් වහන්සේ ඒ වස්ත්‍ර යුගලයෙන් එකක් තථාගතයන් වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියෙහි වියන් කොට බැඳ අනෙක් වස්ත්‍රය ඉරා වියන් කෙළවර එල්ලා බැඳ භාග්‍යවතුන් වහන්සේට පුදා මහා සඟ මැද එකත් පස් ව වැඩ සිටියහ. මෛත්‍රෙය බෝධිසත්ත්වයන්ගේ මේ උදාර පුණ්‍ය ක්‍රියාව සර්වඥතාඥනයෙන් දුටු ගෞතම බුදුපියාණන් වහන්සේ ආර්‍ය්‍ය මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂුව අමතා ඔබ වනාහි මේ භද්‍ර කල්පයෙහි ම මෛත්‍රෙය සමින් බුදු වන්නෙහි යැයි විවරණ සිරි දී වදාළ හ. මේ මහා පූජාවකින් තිලෝගුරු සම්බුදු රදුන් පුදා එකත් පසෙක සිටිනා මහා පුරුෂයාණන්ගේ අධ්‍යාශය මහා සංඝයා හට මෙසේ වදාළ හ. “මහණෙනි, මේ මාහැඟි වස්ත්‍ර යුගලයෙකින් බුදුරදුන් පිදූ මේ භික්ෂුව දෙස බලවු. මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රෙය නම් සම්‍යක් සම්බුද්ධ වන්නේ ය. එකල බරණැස් නුවර කේතුමතී නම් රාජධාන‍ියෙක් වෙයි. එහි සංඛ නම් සක්විති රජෙක් වෙයි. ඔහු ගේ පුරෝහිත බ්‍රහ්ම නම් බමුනා මෛත්‍රෙය බුදුන් ගේ පියා වෙයි. ඒ පෙරෙවි බමුණුහු ගේ භාර්‍ය්‍යාව වූ බ්‍රහ්මවතී නම් බැමිණිය මවු වෙයි. නා ‍රුකෙක් ඒ මෛත්‍රෙය බුදුහු ගේ ‍බෝරදුන් වෙයි” යනුවෙන් විවරණ සිරි දී වදාළ හ. තමන් ගේ අධ්‍යාශයන් අනාගතයෙහි මස්තකප්‍රාප්ත වන බව දැන පුරන ලද පාරමිතාවන් ඇති බුද්ධාංකුරයාණන් වහන්සේ මේ විවරණ සිරි ඥානය දොහොත් මුදුන් තබා ඉවසා සිටිය හ. මහා සංඝයා සාධුනාද පැවැත්වී ය. දෙවියෝ ප්‍රීතියෙන් උද්දාමවත් ව දිව මලින් පිදූ හ. මිනිස්සු සැණකෙළි පැවැත්වූ හ. මේ ආගමික මහා පුණ්‍ය ක්‍රියාව සිදු වූයේ ඉල් පුනු පොහෝ දිනයක ය.

ධර්‍මදූත සේවය

බරණැස ඉසිපතනාරාමයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කොට ප්‍රථම ධර්ම දූත පිරිස වූ රහතන් වහන්සේලා සැට නම අමතා “චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ‍ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං, මා එකෙන ද්වෙ අගමිත්ථ, දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදිකල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෙසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යඤ්ජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ” යනුවෙන්

“මහණෙනි! බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද, දෙව් මිනිසුන්ට වැඩ පිණිස ද, හිත පිණිස ද, සැප පිණිස ද, චාරිකාවෙහි හැසිරෙවු. දෙනමක් එක් මගින් නො යවු. මහණෙනි, මුල මැද අවසැන යහපත් වූ අර්ථ සහිත ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දෙසවු. පිරිසිදු වූ බ්‍රහ්මාචර්‍ය්‍යය ප්‍රකාශ කරවු”යි අවවාද දී ධර්මදූත සේවයෙහි යෙදවූයේ ඉල් පුනු පොහෝ දිනයක ය.

උරුවෙල් දනව්වෙහි උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යයි සහෝදර ජටිල තාපසයන් තිදෙනෙක් නේරඤ්ජරා නදිය සමීපයේ ආරාමයන් කරගෙන වෙසෙති. එයින් උරුවේල කාශ්‍යප තාපසයා හට පන්සියයක් පිරිස සිටිති. නදී කාශ්‍යප තවුසා හට තුන්සියයක් පිරිස සිටිති. ගයා කාශ්‍යප තවුසා හට දෙසියයක් පිරිස සිටිති. බුදුරජාණන් වහන්සේ උරුවෙල් කසුප් තවුසාණන් ගේ අසවුපට වැඩම කොට තුන් දහස් පන්සිය සොළොසක් පෙළහර දක්වා උරුවෙල් කසුප් තවුසාණන් ඇතුළු පන්සියයක් අතවැසි පිරිස පහදවා සසන් හි පැවිදි කළ සේක. පැවිදි වූ ඔවුහු ජටා මඩුලු හා තවුස් පිරිකර නේරංජරා නදියෙහි පා කොට යැවූහ. ග‍ඟෙහි පාවී යන තවුස් පිරිකර දුටු නදී කාශ්‍යප තවුසා ස්වකීය වැඩි මහලු සහෝදරයා ඇතුළු පිරිසට අනතුරක් සිදු වීදැ යි දැනගනු පිණිස පිරිස මග පැමිණි විට පැවිදි වී සිටි පිරිස දැක තෙමේ ද තන් සියයක් පිරිස සමඟ පැවිදි වූයේ ය. ග‍ඟෙහි පාවී යන තවුස් පිරිකර දුටු ගයා කාශ්‍යප තවුසා ස්වකීය සහෝදරයනට අනතුරක් සිදු වීදැ යි පරීක්ෂා කරනු පිණිස දෙසියයක් අතවැසි පිරිසත් සමග පැමිණ බුදුරදුන් ගෙන් බණ අසා පැවිදි විය. තථාගතයන් වහන්සේ නොබෝ දිනකින් දහසක් ජටිල භික්‍ෂූන් සමග උරුවෙල් දනව්වෙන් නික්මර ගයා ශීර්ෂයට වැඩම කොට එහිදී ඔවුන ආදිත්ත පරියාය සුත්‍රය දේශනා කොට රහත් කරවූ හ. ප්‍රථම ධර්ම දූත පිරිස සද්ධර්මය පතුරුවා හරිනු පිණිස යැවූ තථාගතයන් වහන්සේ තුන් බෑ ජටිලයන් හට සුව සෙත් සලසා දෙනු වස් වැඩමවා වද‍ාළේත් ඉල් පුනු පොහෝ දිනයක ය.

පවාරණය

පෙරවස් පවාරණය, පසුවස් පවාරණය යනුවෙන් පවාරණය දෙවැදෑරුම් වේ. ඇසළ පුනු ‍පොහෝදා පොහොය කොට අවපෑළවිය දා පෙරවස් සමාදන් ව වස හොඳින් ආරක්ණා කොට වප් පුනු පොහොයදි මහා පවාරණයෙන් පවාරණය කිරීම පෙරවස් පවාරණය නම් වේ. නිකිණි පුනු පොහොය දා පෝය කොට අවපෑළවියදා පසුවස් සමාදන් ව ඉල් පුනු පොහොයදා පවාරණය කිරීම පසුවස් පවාරණය නම් වේ. වස් විසූ භික්ෂූන් වහන්සේ විසින් පවාරණකර්මය කළ යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබේ. “අනුජානාමි භික්ඛවෙ වස්සං වුත්ථානං භික්ඛුනං තීහි ඨානෙහි පවාරෙතුං දිට්ඨෙනවා සුතෙනවා පරිසංකායවා සා වො භවිස්සති අඤ්ඤමඤ්ඤානු ලොමතා ආපත්ති වුට්ඨානතා විනය පුරෙක්ඛාරතා” යන‍ුවෙන්

“මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ යන කරුණු තුනින් පවරන්නට අනුදනිමි” යි වදාළ හ. වස් විසූ භිකෂූන් විසින් මෙසේ පවාරණය කළ යුතු ය. එය පැහැර හරී නම් බුද්ධ ප්‍රඥප්තියක් පැහැර හැරියා වෙයි. චාතුද්දසී (තුදුස්වක්) පවාරණය, පණ්ණරසී (පසළොස්වක්) පවාරණය, සාම්ග්ගි පවාරණය යි දන වශයෙන් තුනෙක් ද, සංඝ පවාරණය, ගණ පවාරණය, පුග්ගල පවාරණය යි කාරක වශයෙන් තුනෙක් ද, තෙවාචික පවාරණය, ද්වෙවාචික පවාරණය, ඒකවාචික පවාරණය යි කර්තව්‍යකාරක වශයෙන් තුනෙක් දැ යි මෙසේ පවාරණය නව වැදෑරුම් කොට දක්වා තිබේ. මේ පවාරණ කර්ම කළ යුත්තේ වප් මස අවපෑලවියෙහි පටන් ඉල් මස පුර පසළොස්වක් දක්වා ඇති එකුන් තිස් දිනය තුළ යි. චාතුද්දසී පවාරණයක් සිදු වන්නේ වස්සනා ඍතුවේ සත්වන පොහොයහි පවාරණය කරතොත් පමණකි. සාමග්ගී උපෝසථයට සුදුසු කරුනක් වප් මස අවපෑළවියෙහි පටන් ඉල්මස පුර පසළොස්වක් දිනය දක්වා ඇති එකුන් තිස් දිනය තුළ සිදු‍ වේ නම් ඒ සාමග්ගි පවාරණය යි. සංඝ පවාරණයට යටත් පිරිසෙයින් සංඝයා පස් නමක් වත් සිටිය යුතු යි.

චීවර මාසයේ අන්තිම දිනය වශයෙන් සලකන ඉල් පුනු පොහෝ දිනයෙහි සසුන් වැඩ අරඹා උදාර පින්කම් වල යෙදී සිටි අපේ බොදු බැතිමත්හු කඨින චීවර පූජා කොට නිමාවට පත් වෙති. සසුන් වැඩ අරඹා පින් පල නෙළා ගන්නා සරු මාසයක් වශයෙන් ඉල් මහ සම්මත ව ඇතත් ලක් වැසියනට අතිශයින් හානි කර වූ විපත්තිකර මාසයක් වශයෙන් ද නම් දරා ඇත. නො කඩවා ඇද ‍හැලෙන මහ වැසි නිසා ගංගා ගලා උතුරා ගං වතුර බිය ඇතිකර කෙත් වතුපිටි ගස් කොළං ආදිය විනාශ කරමින් කඳු කඩා හැලෙන නායයන මංමාවත් විනාශ වන කාලයෙකි.

සැරියුත් මාහිමියන් ගේ පිරිනිවීම

භාග්‍යවතුන් වහන්සේ පන් සාලිස්වන වස බේලුව ගමෙහි වස් වැස මහා පවාරණයෙන් පවාරණය කොට සැවැත් නුවර ජේතවනාරාමයට පිවිසි සේක. එකල්හි ධර්ම සේනාදිපති සාරිපුත්ත අග්‍රශ්‍රාවකයන් වහන්සේ බුදුරදුන්හට වැඳු තමන් වසනා ස්ථානයට ගොස් වැඩ වෙසෙන විට මේ පිරිවිතර්කය උපන් හ. “බුදුරජාණන් වහන්සේ පළමුකොට පිරිනිවන් පානා සේක් ද? නැතහොත් අග්‍රශ්‍රාවකයෝ පිරිනිවන් පාන්නාහු ද? යනු”යි . ඉක්බිති පළමුව අගසවු පිරිනිවන් පානා බව දැන තමන් ගේ ආයු සංස්කාරය බැලූහ. තව ඉදිරියට ඇත්තේ තමන් ගේ ආයුෂ දින සතකට පමණක් බව දැනගෙන එතෙක් රත්නත්‍රය විෂයයෙහි නො පැහැදී සිටි සිය මවුතුමිය මාර්ගඵලාවබෝධයට පත් කරවනු පිණිස තමන් උපන් ගෙදරට වැඩම වීමට සිතූ හ. පන්සියයක් භික්ෂූන් සමග බුදුරජාණන් වහන්සේ කරා එළඹ මෙසේ කී හ.

“ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම දැන් ජරා ජීර්ණ වෙමි. මෙහි නැවත පැමි‍ණීමෙක් නැත. මේ අන්තිම ගමන යි. මේ මාගේ අන්තිම වැඳීම යි. මාගේ ආයුෂය ස්වල්ප ය. බර උසුලන්නකු බර බිම තබන්නාක් මෙන් මෙයින් සත් දිනක් ගිය තැන මම මේ ශරීරය බහන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ මට අනුදැන වදාරණ සේක්වා. මේ මාගේ පරිනිර්වාණ කාලය යි. මා විසින් ආයු සංස්කාරය හරණ ලදී.” යනුවෙන් වදාළ හ. මෙසේ ප්‍රකාශ කොට මගධ ජනපදයෙහි නාලක ගමෙහි තමන් උපන් ගෙදර ඔවරකයෙහි පිරිනිවන් පානා බව දැන්වූ හ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ “සාරිපුත්‍රයෙනි, තොපට කැමති සේ කරන්න. මින් පසු තොප ගේ වැඩිමහලු බාල සොහොවුරු භික්ෂු සංඝයාට තොප වැනි භික්ෂු නමක ගේ දර්ශනය නො ලැබෙන්නේ ය. ඔවුන්ට ධර්ම දේශනා කරන්නට යැ”යි වදාළ හ. සැරියුත් මාහිමියෝ ඍද්ධී ප්‍රාතිහාර්ය දක්වා ධර්ම දේශනා කොට මෙසේ කී හ. “ස්වාමීනි, බුදුරජාණන් වහන්සෙ, මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි ලොව පහළ වුණු අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ පා හමුවෙහිදී ඔබ වහන්සේ‍ ගේ දර්ශනය ප්‍රාර්ථනා කෙළෙමි. මාගේ ඒ ප්‍රාර්ථනා තොමෝ සමෘද්ධ වූවා ය. මා විසින් නුඹ වහන්සේ දක්නා ලද්දාහු ය. එ් මාගේ ප්‍රථම දර්ශනය යි. මේ අන්තිම දර්ශනය යි. නැවැත නුඹ වහන්සේ දැක්මෙක් මාගේ නැතැ”යි දෙ‍ාහොත් මුදුන් තබා වැඳ ගියහ. ඉක්බිති භික්ෂූන් වහන්සේලා බුද්ධ නියමය පරිදි අගසවු සැරියුත් හිමියන් ගේ පසුපස ජේතවනාරාමයෙහි දොරටුව දක්වා පසු ගමන් කොට ගෞරව දැක්වූ හ. අනතුරු ව සැරියුත් මා හිමියෝ සත් දිනක් තිස්සේ අතර මගදී හමු වූ මිනිසුනට අනුග්‍රහ කරමින් ලෝකාර්ථ චර්‍ය්‍යාවෙහි යෙදෙමින් සත්වෙනි දිනයෙහි ඉල් පුර පසළොස්වක් පොහෝ දා සවස් වේලෙහි නාලක ගමට සම්ප්‍රාප්තව ගම්දොර නුගරුක් මුල හුන් සේක. එකල්හි තෙරුන් වහන්සේ ගේ බෑනා වූ උපරේවත නම් බ්‍රාහ්මණයා හමුව ඔහු ලවා සිය මෑණියන් වන මිථ්‍යාදෘෂ්ටික සාරී බැමිණියට පණිවුඩ යැවූ හ. එතුමිය සිය පුතණුවන් වූ සැරියුත් හිමියනට වැඩ සිටීමට එහිමියන් උපන් ඕවරකය සකස් කොට දුන්නා ය.

එහි වැඩමවා පනවන ලද අසුනෙහි වැඩ හිඳ තථාගතයන් වහන්සේ ගේ අනන්ත වූ ගුණ සමුදාය සිහිපත් කරවූ හ. “බුදුන් උපන් කෙණෙහි, මහාබිනික්මන් කළ කෙණෙහි, බුදු වූ කෙණෙහි, දම්සක් පැවැත්වූ කෙණෙහි, දස දහසක් ලෝක ධාතූහු කම්පිත වූ හ. ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥානදර්ශනයෙන්, කරුණාවන්, අසමසම ධර්මකතාවෙන් බුදුරජාණන් වහන්සේ හා සමාන කෙනෙක් නැත්තා හ” යනුනේ සැරියුත් හිමියෝ සිය මවට දම් දෙසූ හ. නව අරහාදී ගුණ වර්ණනා කරමින් බුද්ධ ගුණ ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාව අවසානයෙහි සාරි බැමිණිය උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියා ය. ඇය ගේ ප්‍රීති උදානයෙන් පසු සැරියුත් හිමියෝ සිය මෑණියන් වූ රූපසාරි බැමිණියට “මම පෝෂණය කිරීමේ මිල ගෙවූවෙමි. මම වර්ධනය කිරීමේ දී ඇති වූ ණයගැති භාවයෙන් මිදුනෙමි”යි සිතමින් සෑහීමට පත් ව අනතුරුව මහ‍පොළොව කම්පා කරවමින් පිරිනිවන් පෑ සේක. බුදුහු සැරියුත් මාහිමියන් ගේ දාතු ගෙන ගාථා පන්සියයකින් එහිමියන් ගේ ගුණ වනා ධාතු චෛත්‍යයක් කර වූ සේක. මෙබඳු අසිරිමත් ශාසනික සිද්ධියකින් පිවිතුරු බවට පත් ඉල් පුනු පොහොය සමස්ත ලෝකවාසීන් ගේ ම ශ්‍රෙෂ්ඨ ආගමික දිනයකි.

බුදුරදුන් වස් විසූ ස්තාන

බුදුරජාණන් වහන්සේ ප්‍රථම බෝධියෙහි එනම්, බුද්ධත්වයට පත් මුල් අවුරුදු විස්ස එක් තරනක නිබඳ ව විසීමක් නො මැති ව කැමිත ආකාරයෙන් පහසුකම් අනුව ඒ ඒ තන්හී වැඩ විසූහ. පළමු වන වස ඉසිපතනයෙහි දම්සක් පවත්වා අට‍ළොස් කෙළක් දෙව් බඹුන් නිවන් දක්වා පස්වග මහණුන් සමග බරණැස විසූ සේක. දෙවන වස තෙවන වස සිව්වන වස රජගහ නුවර වේළුවනයෙහි ගත කළ හ. පස්වන වස විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහිත්, සවන වස මකුල පර්වතයෙහිත්, සත්වන වස තව්තිසා දෙව්ලොවෙහිත්, අටවන වස භඟු නුවර සුංසුමාර පර්වතය ඇසුරු කොට භේසකලා වනයෙහිත්, නව වන වස කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහිත්, දසවන වස පාරිලෙය්‍ය වනයෙහිත්. එකොළොස්වන වස ඒකනාලා බමුණු ගමෙහිත්, දොළොස්වන වස වේරඤ්ජාවෙහිත්, තෙළෙස්වන වස චාලිය පර්වතයෙහිත්, තුදුස්වන වස සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහිත්, පසළොස්වන වස කිඹුල්වත් පුර නිග්‍රොධාරාමයෙහිත්, සොළොස්වන වස අලව් නුවරෙහිත්, සතළොස්වන වස රජගහ නුවර වේළුවනාරා‍මයේත්, අටළොස් වන හා එකුන් විසි වන වස චාලිය පර්වතයෙහිත්, විසිවන වස රජගහ නුවර වේළුවනාරාමයෙහිත් ගත කළ හ. ඉතිරි විසි පස් වසින් දහනව වසක් සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහිත් සවසක් සැවැත් නුවර පෙර අරමෙහිත් විසූ සේක. මෙසේ බුදුපියාණන් වහන්සේ අනේපිඬුසිටුතුමා ගේ හා විශාඛා උපාසිකා වන්ගේ ඇති ශ්‍රද්ධාදී උතුම් ආර්‍ය්‍යගුණයනට සැලකීමක් වශයෙන් සැවැත් නුවර විසිපස් වසක් ම ගත කොට ඇත්තා හ.

ථූපාරාම පූජා හා ධාතූන් ගෙන ඒම

අනුබුදු මිහිඳු මාහිමියන් ඇතුළු ධර්‍මදූත පිරිසක් ලංකාවේ ප්‍රථම සිංහල භික්ෂුව වූ අරිට්ඨ මහරහතුන් වහන්සේ ඇතුළු සිංහල රහතුන් සපනස් නමත් යන දෙසැටක් රහතන් වහන්සේලා දෙවන පෑතිස් නිරිඳුන්ගේ ආරාධනයෙන් මිහින්තලාවේ අටසැට ලෙන්හි වස් එළඹීයහ. පසුව වප් පෝයදා වස් පවාරා අනතුරුව දෙවන පෑතිස් රජු හට බුදුරදුන් ගේ ධාතූන් නිදන්කොට චෛත්‍ය නිර්මාණය ක‍ොට වැඳුම් පිඳුම් සිදු කිරීමට අවශ්‍ය පූජනීය ස්ථාන පිළියෙළ විය යුතු බව වදාළේ ඉල් මස මැදි පොහෝ දිනක ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුමන සාමණේරයන් වහන්සේ දඹදිවට වැඩම කොට සර්‍වඥ ධාතූණ් සහ විශේෂයෙන් දකුණු අකුධාතූන් වහන්සේත් ලංකාවට ගෙනාහ. ධර්‍මාශෝක අධිරාජයාණන් වසින් දෙන ලද පාත්‍රයක් පමණ ධාතූන් වහන්සේ මිහින්තලාවේ තබා දකුණු අකුධාතූණ් වහන්සේ රැගෙන අනුරාධපුරයට වැඩම කොට දෙවන පෑතිස් නිරිඳුන් ලබා ථූපාරාම චෛත්‍යය කරවා එහි නිදන් කරවූ හ. ලංකාවේ බුදු සසුන් පිහිටුවීමෙන් පසු කරවන ලද මුල් සෑය ථූපාරාම චෛත්‍යයයි.