10. වප් පෝය

star_outline

අවුරුද්දේ මාස දොළොස හේමන්ත - ගිම්හාන - වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු ලැබේ. එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූණ් වහන්සේලා වස් වසා වැඩ සිටින කාලය යි. වස් කාලය එළඹෙත් ම උවසු උවැසියෝ විහාර ස්ථානයන් කරා පැමිණ භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට ආරාධනා කරති. එසේ ආරාධනා ලැබ වස් විසූ භික්ෂූන් වහන්සේට කඨින චීවර පූජා කරති. වස් සාර මාසයේ අන්තිම මාසය කඨින චීවර පූජා කරන මාසය යි. එය චීවර මාසය නමින් ව්‍යවහාර කරනු ලැබේ. චීවර මාසය තුළ වස් විසූ හැම ආරාමයක ම කඨින පින්කම් පවත්වනු ලැබේ. කඨිනත්ථාර කාලය වශයෙන් විනයෙහි පරිවාර පාළියෙහි එය මෙසේ සඳහන් වෙයි. “කඨිනස්ස අත්ථාරමාසො ජානිතබ්බොති, වස්සානස්ස පච්ඡිමො, මාසො ජානිතබ්බො” යනුවෙන් “වස්සාන ඍතුවේ අවසාන මාසය කඨිනත්ථාර කාලය වශයෙන් දැන ගත යුතු යැ”යි වදාරා තිබේ. වප් මස අවපෑළවිවෙහි පටන් ඉල් මස පුර පසළොස්වක දක්වා ඇති එකුන් තිස් දිනය කඨිනාස්තරණ කාලය හැටියට ඒ දේශනා පාඨයෙන් මැනැවින් පැහැදිලි වෙයි. කඨිනාස්තරණ විනය කර්මයේ බල‍ය කඨිනය අතුළ දිනයේ පටන් හේමන්ත ඍතුවේ අවසාන දිනය වන මැදින් මස පුර පසළොස්වක් පොහෝ දිනය දක්වා ඇති පස්මාසය තුළ පවත්නේ ය. කඨිනය අතුළ භික්ෂූන් වහන්සේලාට මේ කාලය තුළ පඤ්ච ආනිසංසයෙක් අයත් වේ. කඨිනය උදාර බල සම්පන්න ගරු කුශල කර්මයෙකි. ඒ බව

“පඨිවිරිවන ජාතු කම්පතෙ

න චලති මෙරු රිවාති වායුනා

වජිරමිච න භිජ්ජ‍තෙ ඝනං

තමිධමතො කඨිනන්ති වුච්චති”

යන ගාථාවෙන් පැහැදිලි වෙයි. කඨින චීවර දානමය කුශලය මහ පොළොව මෙන් කිසි කලෙකත් කම්පා නො වන, මහා මේරු පර්වතය මෙන් අධික සුළඟීන් නො සෙල්වෙන ඒකඝන වජ්ර පර්වතය මෙන් නො බි‍ඳෙන ස්ථාවර ගරු පුණ්‍ය ක්‍රියාවෙකි. කඨින යන වචනයෙන් අදහස් කරනුයේ නො බිඳිය හැකි සිදුරු කළ නො හැකි කුශල කර්මයෙකි. කඨින චීවරදානය සියලු බුදුවරයන් වහන්සේලා විසින් පසස්නා ලද්දා වූ ද එසේ ම උන් වහන්සේලා විසින් ද එයට සහභාගී ව ලෝකයාට මහඟු ආදර්ශයක් දුන්නා වූ ද ශ්‍රෙෂ්ඨ කුශල කර්මයෙකි. සියලු ආමිස දානයන් අතුරෙන් කඨින චීවර දානය ඉතා උතුම් පින් කමකි. අටමහා කුශලයට අයත් වන්නෙකි.[1] එය පෙරවස් පවාරණය කළ භික්ෂූන්ට වර්ෂයකට එක් වරක් දිය හැකි විශේෂ චීවර දානමය පුණ්‍ය ක්‍රියාවෙකි. විනය ප්‍රඥප්ති පිළිබඳ ව පස් මසක් තුළ භික්ෂූන් වහන්සේලාට විශේෂ පහසුකම් ලැබෙන හෙයින් කඨින චීවරය භික්ෂූන් වහන්සේලාට විශේෂයෙන් ප්‍රයෝජනවත් චීවරයක් වශයෙන් සලකනු ලැබේ. භික්ෂූන්ට අන් සිවුරු දහසක් ලැබුණත් කඨින චීවරයෙන් ලැබෙන පහසුකම් වලින් එකකුදු නො ලැබේ. කඨින චීවරදානය සිදු කරන දායක පක්ෂයට ද වෙනත් සිවුරු පූජා කරනවාට වඩා අනුසස් ලැබෙන ගරු කුශලයක් වශයෙන් සඳහන් කළ හැකි ය.

සූවිසි මහා විපත්තියෙකින් තොර ව සතළොස් මහා සම්පත්තියෙකින් යුක්ත ව කඨිනය අතුරන භික්ෂූන්ට ශික්ෂාපද පසෙකින් නිදහස් ව අනුසස් පසක් ලැබෙන උදාර පුණ්‍ය ක්‍රියාවෙකි. කඨිනයක් පූජා කිරීමෙන් දායක දායිකාවනට ද අනුසස් රැසක් ලැබෙන, ලොවී ලොව්තුරා සැප සිදු කර දෙන අවුරුද්දකට එක විහාරස්ථානයක දී නියමිත කාලපරිච්ඡෙදයක් තුළ එක වරක් මිස දෙවරක් කළ නො හැකි හෙයින් දුර්ලභ කුශල කර්මයක් වශයෙන් ද සලකනු ලැබේ. තුන් සිවුරෙන් කවර චීවරයක් හෝ කඨිනය වශයෙන් පූජා කළ හැකි ය. තුන් සිවුරු අතුරෙන් එක් සිවුරකට අවශ්‍ය අලුත් වස්ත්‍රයක් හා සිවුරු කිරීමට වුවමනා ඉදිකටු නූල් පඬු ආදිය ගෙන ගොස් ඉතා උදෑසන සංඝයාට පූජා කළ යුතු ය. උදෑසන ම එය පූජා කළ යුත්තේ එම වස්ත්‍රයෙන් එදා ම සිවුරක් සකස් කොට වැඩ නිමවා කඨිනාස්තරණය කළ යුතු නිසා ය. සියලු වැඩ අවසන් කළ පඬු පොවන ලද සිවුරක් කඨිනය වශයෙන් පූජා කරතොත් කවර වේලාවක පූජා කළත් වරදක් නැත. කඨිනය සමග පූජා කරන පරිවාර පරිෂ්කාරයන් නිසා එය තවත් මහත් බවට පත් කර ගත හැකි ය.

නිදානය

සාකේත නුවර වස් එළඹ මහා පවාර‍ණයෙන් පවාරණය කොට බුදුරදුන් දකිනු පිනිස සැවැත් නුවර දෙව්රම් වෙහෙරට පැමිණි තිස් නමක් පමණ වූ භික්ෂූන් වහන්සේලා අතර මගදී වැස්සට තෙමීමෙන් දියෙන් පිරුණු සිවුරු වලින් යුතු ව ක්ලාන්ත ගතියෙන් බුදුරජාණන් වහන්සේ වෙත එළඹියාහු ය. උන් වහන්සේලාට සිදු වූ කරදරය අසා පසු ව තථාගතයන් වහන්සේ භික්ෂූන්හට තරමක පහසුවක් ඇති කර දෙනු වස් “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං” යනුවෙන්, “මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි”යි භික්ෂූන් වහන්සේලාට පඤ්චානිසංස ලැබෙන්නා වූ කඨිනාස්තරණය විනය කර්මය අනුදැන වදාළ හ. එතැන් සිට භික්ෂූන් වහන්සේලාට කඨින සිවුරු පරිභෝග කිරීමට අවස්ථාව ලැබිණ.

කඨිනයක් හැම භික්ෂුවකට ම ලබා ගත නො හැකි ය. ඒ සඳහා කරුණු කිහිපයකින් භික්ෂුව සම්පූර්ණ විය යුතු ය. වස්සාන ඍතුවේ මුල් මාසය වන ඇසළ පුනු පොහෝදා පොහොය කොට අවපෑළවිය දා පෙරවස් එළඹ වස් කඩා නො ගෙන තුන් මාසය මුළුල්ලෙහි එය මැනැවින් ආරක්ෂා කොට වප් පුර පසළොස්වක්දා මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවක් විය යුතු ය. එසේ ම පෙරවස් සමාදන් ව විසූ යම් කිසි කරදරයක් හෝ ලෙඩ රෝගාදියක් නිසා පෙරවස් පවාරණය කරන්නට නො හැකි වූ භික්ෂුවකට ද කඨිනයක් පිළිගත හැකි ය. පෙරවස් එළඹ එය අතර මග දී කැඩී ගිය භික්ෂුවටත් පසුවස් එළඹි භික්ෂුවටත්, සාමණේරයනටත් කඨිනය පරිභෝග කිරීමට බලයක් නැත. එසේ ම කඨිනය අතුරනු ලැබූ වෙහෙරින් පිටත අනෙක් වෙහෙරක වස් විසූ භික්ෂූනට ද අයත් නැත. ඒ අය ගණ පූරක භික්ෂූහු වෙති. පඤ්චානිසංස ලැබෙනුයේත් වස් කඩා නොගත් කඨිනය අතුරන විහාරයේ ම වස් විසූ සංඝයාට ම ය. අන් වෙහෙරක වස් විසූ සංඝයාට වෙනත් ආරාමයක පිරිනමන ලද කඨිනයක පංචානිසංස නො ලැබේ. කඨිනයක් පරිභෝග කරන ලද භික්ෂුව අංග අටකින් සම්පූර්ණ විය යුතු ය.

  1. පුබ්බකරණං ජානාති - පූර්වකරණය දැනීම ය (තුන් සිවුරු පිළිබඳ කටයුතු)
  2. පච්චුද්ධාරං ජානාති - පුරාණ තුන් සිවුරු පිළිබඳ පච්චුද්ධාරය දැනීම ය.
  3. අධිට්ඨානං ජානාති - අධිෂ්ඨානය දැනීම ය.
  4. අත්ථාරං ජානාති - අත්ථාරය දැනීම ය.
  5. මාතිකං ජානාති - අෂ්ට මාතිකාව දැනීම ය.
  6. පළිබොධං ජානාති - පළිබෝධය දැනීම ය.
  7. උද්ධාරං ජානාති - උද්ධාරය දැනීම ය.
  8. ආනිසංසං ජානාති - ආනිසංස දැනීම ය.

යන අංග අටින් යුක්ත භික්ෂුව කඨිනාස්තරණයට සුදුසු බව විනයෙහි වදාරා තිබේ. එබැවින් කඨිනයක් ගැනීමට සුදුසු භික්ෂුවක වනු පිණිස මේ කියන ලද අංග අට භික්ෂූන් වහන්සේලා විසින් විශේෂයෙන් උගත යුතු ය. කඨිනයක් ඇතිරීමට පුළුවන්කම තිබෙන්නේ සංඝාටි (සඟල සිවුර) උත්තරාසංග (තනිපට සිවුර) අන්තරාවාසක (අඳනා සිවුර) යන තුන් සිවුරෙන් එකකින් මිස අනිකකින් නො වේ. එය ද විනයෙහි දැක‍්වෙන පරිදි සූවිසි විපත්තිවලින් දුරු විය යුතු ය. සතළොස් සම්පත්තිවලින් එකකට අයත් වූවක් විය යුතු ය.

සූවිසි විපත්ති

එවං ඛො භික්ඛවෙ අත්ථතං හොති කඨිනං එවං අනත්ථතං කථඤ්ච භික්ඛවෙ, අනත්ථතං හොති කඨිනං, න උල්ලික්ඛිත්තෙන අත්ථතං හොති කඨිනං, න ධොවනමත්තෙන අත්ථතං හොති කඨිනං, න චීවර විචාරමත්තෙන අත්ථතං හොති කඨිනං න ඡෙදන මත්තෙන අත්ථතං හොති කඨිනං, න බන්ධන මත්තෙන අත්ථතං හොති කඨිනං, න ඔවට්ටි’ කරණමත්තෙන අත්ථතං හොති කඨිනං න කණ්ඩුස කරණ මත්තෙන අත්ථතං හොති කඨිනං න දළ්හි කරණ මත්තෙන අත්ථතං හොති කඨිනං.

න අනුවාත කරණ මත්තෙන අත්ථතං හොති කඨිනං න පරිභණ්ඩ කරණමත්තෙන අත්ථතං හොති කඨිනං න ඔවට්ටෙය්‍ය කරණමත්තොන අත්ථතං හොති කඨිනං න කම්මලමද්දනමත්තෙන අත්ථතං හොති කඨිනං න මිත්තකතෙන අත්ථතං හොති කටිනං න පරිකථාකතෙන අත්ථතං හොති කඨිනං න කුක්කුකතෙන අත්ථතං හොති කඨිනං න සන්නිධිකතෙන අත්ථතං හොති කඨිනං න නිස්සග්ගියෙන අත්ථතං හොති කඨිනං න අකප්පකතෙන අත්ථතං හොති කඨිනං න අඤ්ඤත්‍ර උත්තරා සංඝාටියා අත්ථතං හොති කඨිනං න අඤ්ඤත්‍ර උත්තරා සංගෙන අත්ථතං හොති කඨිනං න අඤ්ඤත්‍ර අන්තර වාසකෙනවා තද හෙව සඤ්ඡින්නේන සමණ්ඩලීකතෙන අත්ථතං හොති කඨිනං න අඤ්ඤත්‍ර පුග්ගලස්ස අත්ථාරා අත්ථතං හොති කඨිනං සම්මාවෙච අත්ථතං හොති කඨිනං තඤ්චෙ නිස්සීමට්ඨො අනුමොදති. එවම්පි අනත්ථතං හොති කඨිනං. එවං ඛො භික්ඛවෙ අනත්ථතං හොති කඨිනං.

(මහාවග්ගපාළි - කඨිනක්ඛන්ධක)

මහණෙනි! කඨිනය මෙසේ අතුළේ මෙසේ නො අතුළේ වේ. මහණෙනි, කඨිනය කෙසේ නො අතුළේ වේද?

  1. ලකුණු කළ පමණින් කඨිනය නො අතුළේ වේ.
  2. වස්ත්‍රය සේදූ පමණින් කඨිනය නො අතුළේ වේ.
  3. කඩ නියම කිරීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
  4. කඩ කැපීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
  5. හිස් නූල් ඇදීම පමණින් කඨිනය නො අතුළේ වේ.
  6. දික් මැහුම් මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
  7. අතු මූට්ටු කිරීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
  8. දෙපට එකට මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
  9. පිටනුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ.
  10. ඇතුල් නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ.
  11. අමුතු රෙදි පටක් ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ.
  12. එක් වරක් පඬු පෙවූ පමණින් කඨිනය නො අතුළේ වේ.
  13. මේ වස්ත්‍රයෙන් කඨිනය අතුරමි යි නිමිති කොට ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
  14. අනුසස් කීමෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
  15. තාවකාලික වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
  16. තැන්පත් කොට තිබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
  17. එක් රැයක් ම ඉක්ම යෑමෙන් නිසඟි වූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
  18. කප් බිංදු නො තැබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
  19. සඟල සිවුරු හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ.
  20. උත්තරාසංග චීවරය හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ.
  21. අන්තරවාසකය හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ.
  22. එදින ම කපන ලද මහ මඬුලු කුඩා මඬුලු සහිතව කළා වූ කඩ අතු පසෙකින් හෝ වැඩියක් කඩ ඇති සිවුරක් හැර අනෙකකින් කඨිනය නො අතුළේ වෙයි.
  23. පුද්ගලයෙකුගේ ඇතිරීමෙන් විනා සංඝයාගේ හෝ සමූහයාගේ ඇතිරීමෙන් කඨිනය නො අතුළේ වෙයි.
  24. කඨිනය මනා කොට අතුරන ලද වුවත් එය වස් විසූ විහාර සීමාවෙන් බැහැර සිටියෙක් අනුමෝදන් වේ ද, මෙසේ ද කඨිනය නො අතුළේ වෙයි.

(ජයන්ති මුද්‍රණය)

සතළොස් සම්පත්ති

කථඤ්ච භික්ඛවෙ අත්ථතං හොති කඨිනං? අහතෙන අත්ථතං හොති කඨිනං, අහතකප්පෙන අත්ථතං හො කඨිනං, පිලොතිකාය අත්ථතං හොති කඨිනං, පංසුකූලෙන අත්ථතං හොති කඨිනං, පාපණිකෙන අත්ථතං හොති කඨිනං, අනිමිත්තකතෙන අත්ථතං හොති කඨිනං, අපරිකතාකතෙන අත්ථතං හොති කඨිනං, අකුක්කකතෙන අත්ථතං හොති කඨිනං, අසන්නිධිකතෙන අත්ථතං හොති කඨිනං,අනිස්සග්ගියෙන අත්ථතං හොති කඨිනං, අප්පකෙන අත්ථතං හොති කඨිනං, සංඝාටියා අත්ථතං හොති කඨිනං, උත්තරා සංගෙන අත්ථතං හොති කඨිනං, අන්තරවාසකෙන අත්ථතං හොති කඨිනං, පඤ්චකෙන වා අතිරෙකපඤ්චකෙන වා තදහෙව සඤ්ජින්නෙන සමණ්ඩලීකතෙන අත්ථතං හොති කඨිනං, පුග්ගලස්ස අත්ථාරා අත්ථතං හොති කඨිනං, සම්මාවෙච අත්ථතං හොති කඨිනං, තඤ්චෙ සීමට්ඨො අනුමොදති, එවම්පි අත්ථතං හොති කඨිනං, එවං ඛො භික්ඛවෙ, අත්ථතං හොති කඨිනං.

(මහාවග්ගපාළි - කඨිනක්ඛන්ධක)

මහණෙනි! කඨිනය කෙසේ අතුරන ලද්දේ වේ ද?

  1. අලුත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  2. අලුත් වස්ත්‍රයට සමාන වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  3. රෙදි කැබෙලිවලින් කළ සිවුරෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  4. පංසුකූලික වශයෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  5. සල්පිල් දොරටුවෙහි හැර දැමූ අහුලා ගත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  6. හැඟවීමක් නැතිව ලත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  7. අනුසස් නො කීමෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  8. තාවකාලික නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  9. සන්නිධි (තැන්පත් කොට) නො තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  10. නිසඟි නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  11. කප් බින්දු තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  12. සඟල සිවුරෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  13. උතුරු සඟ සිවුරෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  14. අඳනා සිවුරෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  15. එදවස ම කපන ලද මැඩිලි සහිත කරන ලද අතු පසක් ඇති පසට වැඩි හෝ අතු ඇති සිවුරකින් කඨිනය අතුරන ලද්දේ වේ.
  16. පුද්ගලයකු ගේ ඇතිරීමෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
  17. මනා කොට නියමය අනුව ම කඨිනය අතුරන ලද්දේ වේ. එය සීමාවෙහි සිටියෙක් අනුමෝදන් වේ ද? මෙසේ කඨිනය අතුරන ලද්දේ වේ. මහණෙනි, කඨිනය මෙසේ අතුරන ලද්දේ වේ.

(ජ.මු)

කඨිනාස්තරණ මාතෘකා අට

  1. පක්කමනන්තිකා - කඨිනය අතුළ භික්ෂුව නිමකළ සිවුර ගෙන “පෙරළා නො එන්නෙමි”යි වස් විසූ ආවාසයෙන් බැහැර යෙ යි. ඒ භික්ෂුවට උපචාර සීමාව ඉක්මවනු සමග ම කඨිනුද්ධාරය වේ. පඤ්චානිසංසයට ද අහිමි වෙයි. එය පක්කමනන්තිකා නම් වේ.
  2. නිට්ඨානන්තිකා - සිවුර නිම කිරීම් අවසන් කොට ඇති කඨින බලය ඉදිරී යෑම යි. අතුළ කඨින ඇති මහණ තෙමේ වස්ත්‍රය ගෙන ‍බැහැර යෙ යි. එසේ සීමාවෙන් බැහැර ගිය භික්ෂුවට මෙහි දී සිවුර කරවන්නෙමි. නැවැත ඒ වස් විස අරමට නො යන්නෙමි සිතාගෙන සිවුර කරවයි. ඒ භික්ෂුවට නිට්ඨානන්තික කඨිනුද්ධාරය සිදුවෙයි.
  3. සන්නිට්ඨානන්තිකා - සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය යි.

අතුළ කඨිනය ඇති භික්ෂුව තෙමේ වස්ත්‍රය ගෙන බැහැර යෙයි බැහැර ගිය භික්ෂුව මම වස් විසූ නවැත නො එන්නෙමි. මේ සිවුරු නොකරන්නෙමි’යි සිතාගත හොත් එය සන්නිට්ඨාන්තික කඨිනුද්ධාරය වේ.

  1. නාසන්තිකා - නැසීම් අවසන් කොට ඇති කඨිනුද්ධාරය යි. අතුළ කඨින ඇති මහණ තෙමේ එයත් ගෙන බැහැර යෙ යි. එහි දී එ මහණහුට මම මෙහි දී ම සිවුර කරමි. පෙරළා වස් විසූ අරමට නො එන්නෙමි’යි සිතාගෙන සිවුර කරන කල්හි ඒ සිවුර නැසෙ යි. එයින් ඒ භික්ෂුවට නාසන්තික කඨිනුද්ධාරය වේ.
  2. සවනන්තිකා - ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය යි. අතුරන ලද කඨිනය ඇති මහණ සිවුර ගෙන පෙරළා එන්නෙමි’යි බැහැර යෙ යි. සිවුරේ කටයුතු අවසන් කරගෙන සිටින භික්ෂුවට විහාරස්ථ සංඝයා විසින් කඨිනය උද්ධරණය කරන ලදැයි යන ආරංචිය සැල වෙයි. එය සවනන්තිකා කඨිනුද්ධාරය වේ.
  3. ආසාවච්ඡෙදිකා - ආසාව සිඳී යෑමෙන් සිදුවන කඨිනුද්ධාරය යි. සිවුරක් නො ලැබ සිවුරු ගැන බලාපොරොත්තුවෙන් බැහැර ගිය භික්ෂුවට එහි දී යම් කිසිවෙකු සිවුරක් දෙන බව කියා පසුව එය දෙන්නට නො හැකි බව කී කල්හි ඒ සිවුර ගැන පැවැති බලාපොරොත්තුව සිඳී යෙ යි. එය ආසාවච්ඡෙදිකා කඨිනුද්ධාරය නම් වේ.
  4. සීමාතික්කන්තිකා - චීවර කාලසීමාව අවසන් කොට ඇති කඨිනුද්ධාරය යි. අතුළ කඨින ඇති මහණ තෙමේ වස් විසූ වෙහෙරට නැවැත එන්නෙමි’යි යන අපේක්ෂා ඇති ව අන් වෙහෙරකට ගොස් එහි දී සිවුරේ වැඩ නිම කොට ආපසු වස් ‍විසූ වෙහෙරට එන අතර මග දී හෝ පිටත සීමාවක දී හෝ චීවර කාලය ඉක්මවීමෙන් සීමාතික්කන්ති කඨිනුද්ධාරය වේ.
  5. සහුබ්භාරා - අතුළ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙන පෙරළා එන්නෙමි’යි යන අපේක්ෂාවෙන් ‍බැහැර යෙ යි. අන් වෙහෙරක දී සිවුරේ වැඩ නිම කරයි. ඒ භික්ෂුවට විහාරයේ භික්ෂූන්ට කඨිනුද්ධාරය වනු සමගම සහුබ්භාර කඨිනුද්ධාරය සිදු වෙයි.

මේ සඳහන් කරුණු අටින් එකක් හෝ ඇති වුවොත් අත්ථාරක-අනුමෝදක දෙපක්ෂයට ම අයත් වන පඤ්චානිසංසය නැති වී යන්නේ ය.

භික්ෂුන්ට ලැබෙන අනුසස්

කඨිනය අතුළ භික්ෂූන්ට ඒ ගරු විනය කර්මය නිසා බුද්ධාඥාව පරිදි ආනිසංස පහක් ලැබේ. එයට කඨිනානිසංසයැ යි කියනු ලැබේ. කඨිනය පූජා කරන දායකයනට ලැබෙන විපාකයනට ද කඨිනානිසංස යැ යි ව්‍යවහාර කරනු ලැබේ. එබැවින් කඨිනානිසංසය එය ලබන භික්ෂූන්ට මෙන් ම පිරිනමන දායකයනට ද එක සේ මහත් අනුසස් ලැබන පින් කමෙකි. කඨිනයකින් භික්ෂූන්ට ලැබෙ පඤ්චානිසංසය විනයෙහි මහාවග්ග පාළියේ කඨිනක්ඛන්ධකයේ මෙසේ සඳහන් වෙයි. 1. අනාමන්තචාරය 2. අසමාදානචාරය 3. ගණ භොජනය 4. යාවදත්ථ චීවරය 5. යොවතත්ථ චීවරුප්පාදය යන මේ කරුණු ස ය.

1. අනාමත්තචාරය

පාචිත්තිය පාළියෙහි අවෙලක වර්ගයේ සවන ශික්ෂා පදයෙන් කඨිනෝද්ධාරය නො වන තාක් නො විචාරා යාමෙන් සිදුවන පචිති ඇවතින් නිදහස ලැබීම යි. ආරාමයන් හි වෙසෙන භික්ෂුව පිටත ගෙවල්වලට යනවිට ආරාමයෙහි සිටින භික්ෂුවකට දන්වා යා යුතු ය. එසේ නෙ දන්වා යාමෙන් ඒ භික්ෂුවට පචිති ඇවතක් සිදු වේ. එහෙත් කඨිනය අතුළ භික්ෂූන්ට එය සිදු නො වේ. කඨිනය ඇතිර‍ීහෙන් පසු කඨිනෝද්ධාරය නො වනතාක් නො විචාර කුලවල හැසිරීමට නිදහස ඇත.

2. අසමාදානචාරය

තිචීවර විප්පවාස නිසඟි පචිතියෙන් සිදුවන ඇවැතින් කඨිනය අතුළ භික්ෂූන්ට සීමිත කාලය තුළ නිදහස ලැබීම අසමාදානචාරය යි. අධිෂ්ඨාන කරගෙන තුන් සිවුරු පාවිච්චි කරන භික්ෂුවට තුන් සිවුරෙන් වෙන් ව රාත්‍රි ඉක්වීමෙන් නිසඟි වේ. එහෙත් කඨිනය අතුළ භික්ෂූන්ට නියමිත කාලය තුළ තමන් කැමැති සිවුරකින් වෙන් ව විසීමට නිදහස ලැබී ඇත.

3. ගණ භෝජනය

ගණ භෝජනය වැළඳීමෙන් වන පචිති ඇවතින් කඨිනය අතුළ භික්ෂූන්ට නියමිත කාලය තුළ නිදහස ඇත. ගණ භෝජනය නම්, “අපට බත් දෙව” ආදී වශයෙන් භික්ෂූන් ගේ වාග් විඥප්තියෙන් හෝ “අප ගේ බත් ගනුව” ආදී වශයෙන් දායකයන් ගේ ආරාධනයෙන් හෝ මෙසේ දෙපක්ෂයේ ම අකැප ව්‍යවහා‍රයෙන් උපන් බත සතර නමක් හෝ එයින් වැඩි පිරිසක් හෝ එක් ව වැළඳීම යි. ගණ භෝජනය නිමන්ත්‍රණයෙන් හා වාග් විඥප්තියෙන් යන දෙ අයුරින් ම සිදු වෙයි. එහෙත් කඨිනය අතුළ භික්ෂූන්ට ඒ නියමිත කාලය තුළ ගණ භෝජනය පිළිගෙන වැළඳිය හැකි ය. ඇවැතින් නිදහස ලැබේ.

4. යාවදත්ථ චීවරය

නො ඉටා නො විකපා කැමැති තාක් සිවුරු පරිභෝග කිරීමට කඨිනය අතුළ භික්ෂූන්ට නියමිත කාලය තුළ හැකි ය. නිසඟි පචිතිවල එන ප්‍රථම සිකපදයෙන් නිදහස ලැබේ. යම් භික්ෂූවක් දස දිනකට වඩා කල් අතිරේක චීවර තබා ගනී නම් ඒ භික්ෂුවට නිසඟි පචිති ඇවැතක් සිදු වෙයි. ‍එහෙත් කඨිනය අතුළ භික්ෂුනට කඨිනෝද්ධාරය නො වන තාක් අධිෂ්ඨාන විකල්පනය නො කළ සිවුරු දැරිය හැකි ය.

5. යොවතත්ථචීවරුප්පාදය

කඨිනාස්තරණය තුළ ආරාමයෙහි සාංඝික වශයෙන් හෝ මතක වස්ත්‍ර වශයෙන් හෝ සැදැහැවතුන් විසින් සඟ සතු කොට පුදන ලද සිවුරු පිරිකරාදිය කඨිනානිසංස කාලය තුළ ඒ සියල්ල කඨිනය අතුළ භික්ෂූන් හට අයත් වේ. හේමන්ත ඍතුවේ කෙළවර වූ මැදින් පුර පසළොස්වක් ‍දිනය දක්වා ඇති පස් මස කඨිනානිසංස කාලය වශයෙන් සලකනු ලැබේ. අපලෝකනය නො කොට ගැනීමෙන් සිදුවන දුකුළා ඇවැතින් කඨිනය අතුළ භික්ෂූන්ට නිදහස තිබේ.

වස්සාන ඍතුවේ අවසාන මානය කඨිනත්ථාර කාලය වශයෙන් සලකනු ල‍ැබේ. වප් මස අව පෑළවියෙහි පටන් ඉල්මස පුර පසළොස්වක දක්වා ඇති එකුන් තිස් දිනය කඨිනාස්තරණ කාලය යි. කඨිනය අතුළ භික්ෂූන්ට කඨිනාස්තරණ විනය කර්මයේ බලය එනම්, පඤ්චානිසංසය කඨිනය අතුළ දිනයේ පටන් හේමන්ත ඍතුවේ අවසාන දිනය වූ මැදින් පුර පසළොස්වක් පොහෝ දිනය දක්වා පවත්නේ ය. කඨිනය අතුළ භික්ෂූන්ටත් එය අනුමෝදන් වූ භික්ෂූන්ටත් වප් මස අව පෑළවියෙහි පටන් මැදින් මස පුනු පොහෝ දිනය දක්වා ඇති පස් මාසය තුළ මෙකී පඤ්චානිසංසය ලැබේ.

යුතුකම්

මහා සංඝයා විසින් කඨින චීවරය එම විහාරයෙහි වස් විසූ මහා පවාරණයෙන් පවාරණය සිදු කළ සුදුසු භික්ෂුවකට සංඝ සම්මතයෙන් පවරනු ලැබේ. ඉන්පසු එය ලැබූ භික්ෂුව විසින් කළ යුතු යුතුකම් කිහිපයක් ඇත. එහි කප් බින්දු තබා දෙපොට සිවුරක් කඨිනය පිණිස ලැබී ඇත්නම් තමා ගේ පරණ දෙපොට සිවුර පච්චුද්ධරණය කළ යුතු ය. සංඝාටි උත්තරාසංග අන්තරවාසක යන තුන් සිවුරු ඉටා පරිබෝග කිරීම භික්ෂුව සතු යුතු කමෙකි. අධිෂ්ඨාන කොට පරිහරණය කරන තුන් සිවුරෙන් එකකිනුදු වෙන් ව එක් රැයකුදු විසුවොත් ඒ භික්ෂුවට නිසඟි පචිති ඇවැතක් සිදු‍ වේ. පච්චුද්ධරණය කිරීම යනුවෙන් අදහස් කරනුයේ අධිෂ්ඨාන කොට පරිහරණය කරන තුන් සිවුරේ අධිෂ්ඨානය අවලංගු කිරීම යි. කඨිනය පිණිස තහන්ට ලැබුණේ සංඝාටි චීවරයක් නම් පරණ සංඝාටි චීවරය පච්චුද්ධරණය කොට කඨින චීවරය “ඉමං සංඝාටිං අධිට්ඨාමි” යනුවෙන් තුන් වරක් කියා අදිටන් කර ගත යුතු ය. උත්තරාසංග චීවරයක් කඨිනය වශයෙන් ලැබුණේ නම් පරණ තනිපොට සිවුර පච්චුද්ධරණය කොට “ඉමං උත්තරාසංගං අධිට්ඨාමි” යනුවෙන් තුන් වරක් කියා මේ වාක්‍යය එය අදිටන් කර ගත් යුතු ය. අන්තරවාසක චීවරයක් කඨිනයට ලැබුණේ නම් පරන අඳනා සිවුර පච්චුද්ධරණය කොට “ඉමං අන්තරාවාසකං අධිට්ඨාමි” යනුවෙන් එය තුන් වරක් කියා අදිටන් කර ගත යුතු ය. ඉන් පසු කඨින චීවරය ඇතිරීම කළ යුතු ය. එම කඨින චීවරය අතට ගෙන එය සාංඝාටික චීවරයක් නම් “ඉමාය සංඝාටියා කඨිනං අත්ථරාමි” යන වාක්‍ය තුන් වරක් කියමින් අතින් පිරිමැදිය යුතු ය.උත්තරාසංග චීවරයක් නම් “ඉමිනා උත්තරසගෙන කඨිනං අත්ථරාමි” යන වාක්‍යය තෙවරක් කියමින් අතින් එය පිරිමැදිය යුතු ය. අන්තරවාසකයක් නම් “ඉමිනා අන්තරවාසකෙන කඨිනං අත්ථරාමි” යන වාක්‍යය තෙවරක් කියමින් අතින් පිරිමැදිය යුතුය.‍ මෙයට විනයෙහි සඳහන් කරනුයේ කඨිනත්ථරණය යනුවෙනි. මේ කඨිනාස්තරණය කිරීමෙන් පසු ඒ භික්ෂූන් වහන්සේට තථාගත නියමය පරදිි අනාමන්තචරාදී පඤ්චානිසංසය හිමිවන්නේ ය. ඉන්පසු ඒ අත්ථාරක භික්ෂුව විසින් කඨිනාස්තරණ කර්මය ඒ විහාරයේ වස් විසූ අනෙක් භික්ෂූන් හට අනුමෝදන් කරවිය යුතු ය. කඨිනත්ථාරක භික්ෂුව විසින් සිවුර ඒකාංස කොට පොරවා ඇඳිලි බැඳගෙන එම විහාරයේ වස් විසූ භික්ෂූ සංඝයා රැස් කරවා ගෙන උන් වහන්සේලා ඉදිරියෙහි තමාගේ වැඩි මහලු කම් අනුව මෙසේ ආමන්ත්‍රණය කළ යුතු ය. “අත්ථතං භන්තෙ (ආවුසො) සංඝස්ස කඨිනං ධම්මිකො කඨිනත්ථාරො කඨිනං අනුමොදථ” යනුවෙන් ඇඳිලි බැඳගෙන එක් එක් නම බැගින් වෙන වෙන ම “අත්ථක භන්තෙ (ආවුසො) සංඝස්ස කඨිනං ධම්මිකො කඨිනත්ථාරො කඨිනං අනුමෝදාමි” යන වාක්‍යය තෙවරක් කියමින් එය අනුමෝදන් විය යුතු ය. එසේ අනුමෝදක භික්ෂූන් හටත් අනාමන්තචාරාදී පඤ්චානිසංසය නො අඩුව නියමිත කාලපරිච්ඡෙදය තුළ ල‍ැබෙනු ඇත. මේවා කඨානත්ථාරක භික්ෂුව විසින් නො පරිහෙළා කළයුතු යුතුකම් වෙති. කඨිනාස්තරණ කර්මයෙන් ලැබෙන පඤ්චානිසංසය සංසිඳී එහි බලය නැති වී යන කඨිනාස්තරණය අවලංගු වී යන පක්කමනන්තිකා ආදී කරුණු අට මුලින් විස්තරකොට ඇත.

දායකයනට ලැබෙන අනුසස්

කඨිනය පූජා කරන දායකයනට ද ලෞකික ලෝකෝත්තර උභය සම්පත්තිය ම ලබා ගත හැකි ය. නාගිතාපදානය දෙස විමසන විට එහි අනුසස් කොතරම් ද යනු සිතා ගත හැකි ය. නාගිත එක් අත් බවෙක කඨිනයක් පූජා කොට ඒ ශ්‍රෙෂ්ඨ කුසලය අශ්‍රවක්ෂයකරඥානයට (අර්හත්මාර්ග ඥාණයට) උපනිඃශ්‍රය වේවා යි ප්‍රාර්ථනා කෙළේ ය. එවක් පටන් ඒ පිනින් සිවු අපායේ නො ඉපිද සදෙව් ලොව සහ මිනිස් ලොව යන සත් වැදෑරුම් කාම ලෝකයන් හි දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳ අවසානයේ ඒහි භික්ෂූ භාවයෙන් පැවිදි ව සිවු පිළිසිඹියාපත් මහරහත් බවට නාගිත හිමියෝ පැමිණියහ. උවසු උවැසියන් කඨින පින්කම් වලට විශේෂ සැලකිල්ලක් හා ගෞරයක් දක්වන්නේ මෙබඳු ආනිසංසයන් ලැබෙන නිසා ය. කඨින චීවරය පර‍ිභෝග කරන භික්ෂුවට ලැබෙන ආනිසංස බස කඨිනයේ බලය නැති වූ අවස්ථාවේ නැති වී යාම භික්ෂූන් වහන්සේට පාඩුවක් වුවත් කඨිනය පූජා කළ දායක පක්ෂයට ලැබෙන ආනිසංසයනට එයින් කිසිඳු හානියක් සිදු නොවේ.

පුරාණයේ මේ රටේ විසූ බෞද්ධ රජවරු මහත් ශ්‍රද්ධා භක්තියෙන් යුතු ව කඨින චීවර දාන පූජාව පැවැත්වූහ. බුද්ධ වර්ෂයෙන් 1889 ලක්දිව පොළොන්නරුව රාජධානිය කොට ගෙන රාජ්‍යයට පත් මහා පරාක්‍රමබාහු රජතුමා උදාර ශාසනික සංග්‍රහයක් කළ ශ්‍රද්ධාකාමී රජ කෙනෙකි. එතුමා අවුරුදු 1254 කට අධික කාලයක් මුළුල්ලෙහි භින්න නිකායයන් වශයෙන් පැවැති මහා විහාර අභයගිරි ජේතවන නිකායත්‍රය සමගි කරවා සසුන් සෝදුවක් ද කරවා සංඝයා පාලනයට දිඹුලාගල ආරණ්‍යක මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ සංඝරාජ ධූරයට පත් කෙළේ ය. මෙතුමා අසූමහ ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා ස්ථාන අසූවක වස් විසූ මහාසංඝයා වහන්සේ අසූනමකට එක ම දිනයක සිවුරු සකස් කොට කඨින චීවර අසුවක් පූජා කර ඇත. බු.ව. 1958‍ කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුරය රාජධානිය කරගත් සවැනි පැරකුම්බා රජතුමා ද අවුරුදු පතා රුහුණු, මායා, පිහිටි යන ත්‍රි සිංහලයෙහි ඒ ඒ විහාරස්ථානයන්හි වස් විසූ භික්ෂූන් විෂයයෙහි කඨින චීවර පූජා කර ඇති බව ඉතිහාසයෙහි සඳහන් වේ. අවුරුදු පනස් දෙකක් රාජ්‍යය කෙළ මෙතුමා විසින් ගණනින් තුන් සිවුරු 26140 ක් ද සෙසු පිරිකර ඇති ව කඨින චීවර 3432ක් ද පූජා කර තිබේ. බු.ව. 2296 සෙන්කඩගල නුවර රාජධානිය කරගෙන රාජ්‍යය විචාළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බද්ධ සීමා කරවා උපෝසථාගාරයක් තනවා ඒ ඒ තන්හි ආවාස ද සකස් කොට අවුරුදු තුනක් ඇතළත සියලු විහාර කටයුතු නිමවා සංඝයාට පුදා එහි භික්ෂූ සංඝයා වස් වසවාගෙන සිවු පසයෙන් උපස්ථාන කොට වස් අවසානයෙහි කඨින චීවර සංඝයාට පූජා කොට ඇත්තේ ය. බු. ව. 2323 රජ පැමිණි රාජාධිරාජසිංහ රජතුමා “සියලු ආමිස දානයන්ට වඩා කඨින දානය අනුසස් ඇතැ”යි අසා එතුමා අවුරුදු පතා සංඝයා විෂයයෙහි කඨින චීවරදාන පූජාව පවත්වා ඇත. මෙබඳු උදාර ආනිසංස ඇති පුණ්‍ය කර්මයක් නාසි පැරැණි රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් පවා මහත් ගෞරව භක්තියෙන් යුක්ත ව කඨින චීවර පූජාවන් පවත්වා ඇති අයුරු මෙයින් පැහැදිලි ය.

නාගිත චරිතාපදානය

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරැ වැඩ වසන කල්හි නාගිත නම් කුමරුවෙක් වැඩි වියට පැමිණ තමා විසින් පෙර අත් බවෙක පුදන ලද කඨින දානමය කුශල කර්මයෙන් මෙහෙයවනු ලැබ ඥාති මිත්‍රයන් සමග බුදුරදුන් වෙත අවුත් බුදුන් වැඳ දහම් අසා තෙරුවන් සරණ ගොස් ඒහි භික්ෂු භාවයෙන් පැවිදි ව‍ූයේ ය. නොබෝ කළකින් සිවු පිළිසිඹියා පත් මහරහත් බවට පත් විය. බුදුහු නාගිත රහත් හිමියන්ගේ විශේෂ කුශල කර්මය උන් වහන්සේ ලවා ම ප්‍රකාශ කරනු කැමැති ව වස් වසා අවසානයෙහි පවාරණය කොට අනඳ හිමියන් කැඳවා මෙසේ වදාළ හ. “ආනන්දය! අද අනවතප්ත විල් තෙරට ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ පන්සියයක් රහතන් වහන්සේ රැස් කරව යි වදාළහ. අනඳ හිමියෝ බුදුරදුන් ගේ නියමය ඉටු කළහ. අනවතප්තවිල රහතන් වහන්සේලා ගේ කහවතින් බැබළුණි. අනතුරුව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිරිවරා වැඩහුන් මහා සංඝයා දෙස බලා මෙසේ වදාළ හ. “මහණෙනි, තොප අතුරෙන් පෙර ජාතියක බුදු පසේ බුදු මහරහතන් වහන්සේ උදෙසා විශේෂ කුශල කර්මයක් සිදු කළ භික්ෂුවක් සිටී නම් ඒ බව මෙහි දී ප්‍රකාශ කරව”යි වදාළ හ. එය ඇසූ ඒ පිරිසෙහි වැඩ සිටි නාගිත රහත් හිමියෝ බුදුරදුන් වෙත අවුත් වැඳ දොහොත් මුදුන් තබාගෙන තමන් විසින් සිදු කළ විශේෂ කුශලය බුදුන්ට මෙසේ විස්තර කළ හ.

“ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම මෙයට කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුරදුන් ගේ කාලයෙහි බන්ධුමතී නුවර ‍එක් කෙළෙඹි පුත්‍රයෙකු ව ඉපදීමි. දානපතියකු වූ මම දුගී මගී යාචකාදීන් විෂයයෙහි බොහෝ දානවස්තු පරිතයාග කෙළෙමි. අටවක් තුදුස්වක් පසළොස්වක් පොහෝ දිනවල පෙහෙවස් රැකීමි. එසේ ම පාටිහාරිය පක්ඛ උපෝසථය සමාදන් ව විසුවෙමි. (පටිහාරිය පක්ඛ උපෝසථය නම්, භික්ෂු සංඝයා වස් එළඹෙන තෙමස ඇතුළත අධිෂ්ඨාන කොට සමාදන් ව රක්නා අෂ්‍ටාංග ශීලය යි. එසේ තෙමස ම නො හැකි නම් පෙරවස් පවාරණය හා පසුවස් පවාරණය දක්වා ඇති මාසය තුළ අධිෂ්ඨාන කොට රක්නා අෂ්ටාංග ශීලය යි. එසේ නො හැකි නම් පෙරවස් පවාරණයේ සිට පසළොස් දිනක් අධිෂ්ඨාන කොට රක්නා අෂ්ටාංග ශීලය යි.)

දිනක් බන්ධුමතී නුවර රජු ඇතුළු මහ පිරිස් හට දහම් දෙසන විපස්සී සම්බුදුරජාණන් ගෙන් බණ අසා පැහැදී බුදු පාමොක් මහ සඟනට මහ දන් දුනිමි. පසු ව සංඝයාට ආරාධනා කොට වස් වසවා ගෙන සිවු මස මුළුල්ලෙහි සිවු පසයෙන් උවටැන් කෙළෙමි. අවසනා වස් විසූ භික්ෂූන් හට බොහෝ පරිෂ්කාර ඇති ව කඨින චීවර දානය පිරිනමා එයින් ලැබෙන කුශලය අශ්‍රවක්ෂයකර ඥානය පිණිස උපනිඃශ්‍රය වේවා’යි පැතීමි. එතැන් සිට කඨින චීවර දානමය කුශලයෙන් සිවු අපායෙන් මිදී සදෙව් ලොව හා මිනිස් ලොව ඉපිද අනේක විධ දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳුන ලද අයුරු මෙසේ ප්‍රකාශ කළ හ.

කඨින දානං දත්වාන - සංඝෙ ගුණ වරුත්තමෙ

‍ඉතො තිසෙ මහාකප්පෙ - නාභිජානාමි දුග්ගතිං

උතුම් ගුණ ඇති මහා සංඝයා වහන්සේ විෂයයෙහි කඨින චීවර දානයක් පූජා කොට මහා කල්ප තිසක් දුගතියක් නොම දනිමි. මේ කඨින දානයෙහි අනුසස යි.

අට්ඨාරසන්නං කප්පානං - දෙව ලොකෙ රමාමහං

චතුත්තංසක්ඛන්තුං දෙවින්දො - දෙවරජ්ජමකාරයිං

අටලොස් කල්පයක් මුළුල්‍ලෙහි දෙව්ලොව සිත් ලවා වාසය කෙළෙමි. තිස් හතර වාරයක් සක් දෙව් රජ ව ඉපිද දිව්‍ය රාජ්‍යය කෙළෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.

ආරපථෙ ආරපථෙ - චක්කවත්තිස්සීරිං ලභෙ

අසිතිංච චතුක්ඛන්තුං - චක්කවත්ති අභොසභං

එක ඉඳිකටු ඇස්සකට සූතිස් වාරයක් බැගින් සක්විති රජ වන්නෙට හේතු සම්පත් ඇත ද, සසර එපමණ බොහෝ කලක් නො සිටි හෙයින් සුවාසූ වාරයක් චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබීමි.

යත්ථ යත්ථූපපජ්ජාමි - ලභිත්වා සබ්බසම්පදං

පුරිසානං උත්තමො භොමි - කඨිනදානස්සිදං ඵලං

උපනූපන් හැම තන්හි සියලු සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වූයෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.

ද්වෙ භවෙ උපපජ්ජාමි - ද්වො පිච මානුසො

අඤ්ඤං ගතිංන ජානාමි - කඨිනදානස්සිදං ඵලං

දිව්‍ය ගතිය මනුෂ්‍ය ගතිය යන මේ දෙගතිය හැර අනික් නරකාදී දුගතියක නූපන්නෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.

චෙ කුලෙ උපපජ්ජාමි - ඛත්තියෙ චාපි බ්‍රාහ්මණෙ

හීනෙ කුලෙ න ජානාමි - කඨිනදානස්සිදං ඵලං

ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ යන දෙකුලය හැර එයින් පහත් කුලයක නූපන්නෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.

චක්කවාළ මුපාදාය - මහිං සාගර කුණ්ඩලං

ඛොම දුස්සෙහි ඡාදෙය්‍යං - කඨිනදානස්සිදං ඵලං

චතුස්සාගර පර්‍ය්‍යන්ත වූ චක්‍රවාට පර්වතර ඇතුළත මුළු පො‍ළොව සුදු පට පිළියෙන් වසන්නට පොහොසත් වීමි. මේ කඨින දානයෙහි අනුසස යි.

අහො බුද්ධො අහො ධම්මො - අහො සංඝස්ස සම්පදා

පරිත්තදානං දත්වාන - ලද්ධං මෙ විපුලං සුඛං

බුද්ධ ධම්ම සංඝ යන තුණුරුවන් ගේ අර්හත්වය, නෛර්‍ය්‍යානිකත්වය, දක්ෂිණාර්හත්වය ආදී ගුණ විශේෂය ආශ්චර්‍ය්‍යය. මවිසින් එක් කඨින චීවරයක් දුන් විපාකයෙන් මේ සා මහත් සම්පත් ලබන ලද්දේ ය.

තෙනෙව කුසල කම්මෙන - පියොහං දෙව මානුසෙ

තස්සෙව භද්ද කම්මස්ස - පත්තොස්මි අමතං පදං

එම කඨින චීවර දානමය කුශල චේතනාව හේතු කොටගෙන දෙව්ලොව උපන් කල්හි දෙවියන්ට ද මිනිස් ලොව උපන් කල්හි මිනිසුන්ට ද ප්‍රිය මනාප පුද්ගලයෙක් වූයෙමි. ඒ යහපත් කුශල කර්මයෙන් නිවනට ද පැමිණියෙමි.

එවං නාගව්හයො ථෙරො - මජ්ඣෙ සංඝස්ස සොභනො

පකාසෙයි සකං කම්මං - අනොතත්ත මහාසරෙ

මෙසේ සඟ මැද හොබනා වූ ශාන්ත වූ ගුණ ඇති නාගිත ස්ථවිරයන් වහන්සේ අනොතත්ත මහවිල්හි දී තමන් වහන්සේ විසින් පෙර කරන ලද කඨින චීවර දාන සංඛ්‍යාත කුශල කර්මයා ගේ ඉෂ්ට විපාක විශේෂය ප්‍රකාශ කළ සේක.

(කඨින වංසය ඇසුරිනි)

දේවාවරෝහණය

ඇසළ පුර පසළොස්වක් පොහෝ දිනයක සැවැත් නුවර ගණ්ඩම්බ රුක් මුල දී තීර්ථකයන් ගේ මානය මර්දනය කරනු පිණිස යමා මහ ප්‍රාතිහාර්ය දක්වා ඔවුන් ගේ තද බල සිඳ බිඳ දමා මුළු ගැන් වූ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් සත්වැනි වස ගත කරණු පිනිස තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක් දෙව් රදුන් ගේ පාණ්ඩු කම්බල ශෛලාසනයෙහි වස් වැස මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන සියලු දෙවියනට විජම් බණ (අභිධර්මය) දෙසු සේක. බුදුහු වස් තුන් මස ම දෙවියනට අභිධර්මය දෙසූ හ. දේශනා කෙළවර අසූ කෙළක් දෙවියෝ නිවන් දුට හ. මාතෘ දිව්‍ය රාජයා ද සෝවාන් විය. පුරා තුන් මසක් මුළුල්ලෙහි බුදුරදුන් දැක ගන්නට නො ලැබුණු සැවැත් නුවර වාසී මහා පිරිස උන්වහන්සේ පෙරළා මිනිස් ලොවට වැඩම වන තෙක් බලාපොරොත්තු වෙමින් සියලු තොරතුරු මුගලන් ආදී හිමිවරුන් ගෙන් අසමින්, චුල්ල අනාථපිණ්ඩික සිටුතුමා විසින් පිළියෙළ කොට තැබූ දන් වැට පිළිගනිමිනි එක් තැනකට රැස් වී කඳවුරු බැඳගෙන හුන් හ.

වප් පුර පසළොස්වක් පොහෝ දිනය එළඹියේ ය. පුරා තුන් වසක් මුළුල්ලෙහි සක් දෙව් රදුන්ගේ පඬු ඇඹුල් සලස්නෙහි වස් වසා වැඩ විසූ බුදුරජාණන් වහන්සේ එහිදී වස් පවාරණය කොට මිනිස් ලොවට වඩින බව සක් දෙවිඳු හට වදාළ හ. මහා පවාරණය සිදු කොට වප් පුනු පොහෝ දා තව්තිසා දෙව්ලොවින් සංකස්ස නගරද්වාරයට බුදුරජාණන් වහන්සේ වඩින සේක, යන සම්බුද්ධාගමනයේ කර්ණරසායන මිහිරි පණිවුඩය සැවැත් නුවර පුරා ම තිස් යොදුනක් පමණ ප්‍රදේශයෙත් දස දහසක් සක්වලත් පැතිරී ගියේ ය.

එබස් ඇසූ මහ පිරිස සංකස්ස නගරද්වාරයට රැස්වන්නට වූහ. දිව්‍ය බ්‍රහ්ම සමූහයා‍ ගේ පඤ්චතූර්ය වාදනයෙන් හා මුළු ලොව ම බුදු මහිමයෙන් ඉපිලැ නැගෙන සාධු නාදයෙන් රැව් පිළිරැව් දෙද්දී තිලෝගුරු සම්බුදු රජානන් වහන්සේ සුර නර දෙපස මහා පෙරහැර මැද්දේ තව්තිසා දෙව්ලාවින් දඹදිව සකස්පුර දොරට මහ පෙළහර පාමින් වැඩි සේක. මේ අසිරිමත් බුදු මහිමය සිදු වූයේ වප් පුනු පොහෝ දිනයක ය. ශ්‍රී ශරීරයෙන් සමණක් ගන බුදුරැස් විහිදුවමින් දෙව්බඹුන් පිරිවරා අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස නගරයට වැඩි මොහොතහි ඒ අසිරමත් පෙළහර දුටු බුදු සිරි බලා බුදුවන්නට නො පැතූ කෙනෙක් නැත්තා හ. ඒ විස්මය දුටුවා වූ සැරියුත් මහ රහතන් වහන්සේ සර්වඥයන් වහන්සේ ගේ ශ්‍රී පාදය වැඳගෙන හෙව මෙවැනි බුද්ධ ශ්‍රීයක් දුටු ප්‍රථම වාරය මේ යැයි පවසමින් ෂඩ්වර්ණ රශ්මී මාලාවෙන් සමලංකෘත වූ බුද්ධ ශ්‍රී දේහය දෙස බුද්ධාලම්බන ප්‍රීතියෙන් උතුරා ගිය හදවතකින් යුතු ව,

“නමෙ දිට්ඨො ඉතො පුබ්බෙ - නස්සුතො උදකස්සචි

එවං වග්ගු වදො සත්ථා - තුසිතා ගණිමාගතා”

යනාදීන් මුව නො සෑහෙන ස්තූතියෙන් ප්‍රශංසා කළ හ. ඉක්බිති සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ ගේ පෙළහරෙහි කුළු ගන්වමින් සම්ප්‍රාප්ත වූ පර්ෂදයට ධර්ම දේශනා කොට වදාරණ සේක්.

“යෙ ඣාන පසුතා ධීරා - නෙක්ඛම්මූපසමෙරතා

දෙවාපි තෙසං පිහයන්ති - සම්බුද්ධානං සතී මතං”

යන ගාථාව වදාළ හ. ඒ ගාථා කෙළවර තිස් කෙළක් ප්‍රාණීහු අමාමහ නිවන් දුට හ. එය අසා සැරියුත් මාහිමියන් ‍ගේ සද්ධි විහාරික පන්සියයක් පමණ භික්ෂූහු රහත් වූහ.

ගාථාවේ අදහස:

යම් ප්‍රාඥ කෙනෙක් ආලම්බනෝප නිධ්‍යාන ලක්ෂණෝප නිධ්‍යාන වශයෙන් දෙවැදෑරුම් වූ ධ්‍යානයෙහි ආවජ්ජනාදී පඤ්ච වශිතාවන් ගේ වශයෙන් යෙදී වාසය කෙරෙත් ද? නෙක්ඛම්ම සංඛ්‍යාත ක්ලේශව්‍යපශමය වූ නිර්වා‍ණයෙහි ඇලුණාහු වෙද් ද, ස්මෘති සම්පන්න වූ ඒ සම්බුද්ධයනට දෙවියෝත් මිනිස්සුත් කැමැති වෙති යනු යි.

මෙහි දී සිදු වූ තවත් ආශ්චර්‍ය්‍යවත් සිද්ධියක් නම් බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද න්‍යාය ක්‍රමයක් අනුව තථාගතයන් විසින් නඟන ලද ප්‍රශ්න මාලාව විසඳා ලූ සැරියුත් මාහිමියෝ ඒ මහාජන සන්නිපාතය මධ්‍යයෙහි දී උන්වහන්සේ ගේ ශ්‍රාවකයන් අතුරෙන් ප්‍රඥාවෙන් අගතැන්පත් මහා ශ්‍රාවකයන් වහන්සේ හැටියට පැවැසූහ. මේ සිද්ධිය වූයේත් වප් පුනු පොහෝ දිනයක ය.

මෙතේ බෝසත් තුමා පැවිදි වීම

දේවාවරෝහණ මහා උත්සවය දැකීමෙන් පැහැදුණු අප්‍රමාණ ජන සමූහයා බුදු බව පැතූහ. එයිනුදු බොහෝ දෙනෙක් සසුන් හි පැවිදි බව ලැබූහ. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය යන මේ මහා සමාගමය මධ්‍යයෙහි සැරියුත් හිමියන් හා බුදුරජාණන් වහන්සේ අතර ඇති වූ ප්‍රශ්න විසර්ජනයන්ට සවන් දී සිටි මෛත්‍රිය බෝධිසත්ත්වයන් වහන්සේ ඉමහත් ප්‍රාසාදයට පත් ව පැහැදී පැවිදි වූහ. මෙයින් සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතුයෙහි ලොව්තුරා බුදු බවට පැමිණෙන මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරදුන් ගේ ශාසනයෙහි පැවිදි බවට පත් ව වදාළේත් වප් පුනු පොහෝ දිනයක ය.

දඹදිව යැවූ රාජකීය දූත පිරිස

මහින්දාගමනයෙන් ලංකාවේ ඇතිවුණු ආගමික ප්‍රබෝධය උදක් පිරිමි පක්ෂයට පමණක් සීමා නො වී ය. කාන්තා පක්ෂය ද පිරිමින් ට නො දෙවෙනි වන සේ ක්‍රියා කොට ඇත. ආගමික කටයුතු විෂ‍යයෙහි කවදත් කාන්තා පක්ෂය දක්වනුයේ පිරිමින්ට වඩා උද්‍යෝගයක් බව කීව ද වරදක් නො වේ යැ යි සිතේ. මිහිඳු මාහිමියන් ගෙන් බණ අසා පළමු ව මග පල ලැබුවෝ අනුලා දේවිය ප්‍රමුඛ කාන්තා පක්ෂය යි. ශාසන ගත ව පැවිදි කම් ලැබීමට කාන්තා පක්ෂයට අවශ්‍ය විය. අනුලා දේවිය ප්‍රධාන කුල කතුන් සසුන් ගත කිරීමට සංඝමිත්තා මහරහත් මෙහෙණිය ඇතුළු භික්ෂූණී සංඝයාත් ජය ශ්‍රී මහා බෝධිද්‍රැමයේ දක්ෂිණ ශාඛාවත් මෙහි වැඩමවා ගැනීම සඳහා අනුබුදු මිහිඳු මහ රහත් මාහිමියන් ගේ නියමයෙන් දෙවන පෑතිස් රජතුමා ගේ සන්දේශයත් සතුටු පඬුරුත් රැගෙන ලක්දිවින් අරිෂ්ඨ කුමරුන් ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවනු පිණිස පිටත් කොට යවන ලද්දේත් වප් මහා ශුක්ල පක්ෂයෙහි දෙවැනි දිනයක ය. ලංකා වාසී කාන්තා පක්ෂයට මහත් ආශිර්වාදයක් වූ භික්ෂුණී ශාසනයත්, ලංකා වාසී බෞද්ධ මහ ජනතාව‍ ගේ ඓතිහාසික ශ්‍රෙෂ්ඨතම පූජනීය මහාර්ඝ වස්තුවක් වූ ජය ශ්‍රී බෝධිරාජයා ගේ දක්ෂිණ ශාඛාවත් වැඩම වීමට රාජකීය දූත පිරිස යැවූ මෙදවස හෙළ බොදු බැතිමතුන් ගේ හදවත් තුළ සැදැහැබැති වැඩීමට හේතුවන වැදගත් ශාසනික දිනයෙකි.

විනය සංගායනාව

ලංකා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා උදාර සේවයක් සිදු කළ දේවානම් පියතිස්ස රජ තෙමේ මිහිඳු මාහිමියන්ගෙන් ලංකාද්වීපයෙහි ශාසනය පිහිටියේ දැ”යි විචාළේ ය. “එසේය, මහරජ, ශාසනය පිහිටියේ ය. එහෙත් තව ම මුල් බැස නැත” යනුවෙන් උන්වහන්සේ ගේ පිළිතුර විය. ශාසනය මුල් බැස ගන්නේ කෙසේ දැ”යි තව දුරටත් රජු විසින් විචාරන ලදුව “යම් කලෙක මේ හෙල දිවයිනෙහි සිංහල මවුපියන් හට උපන් දරුවෙක් මෙහි දීම පැවිදි ව විනය ඉගෙන ගෙන මේ දිවයිනෙහි දීම විනය උගන්වයි ද එකල්හි බුද්ධ ශාසනය මුල් බැස ගත්තා වන්නේ යැ”යි මිහිඳු මා හිමියෝ පැහැදිලි කළ හ. ප්‍රථම සිංහල රහතන් වහන්සේ වන මහාරිට්ඨ හිමියනට මේ සුදුසුකම් සියල්ල ම පිහිටා තිබුණේ ය. එබැවින් විනය සංගායනාවක් පැවැත්වීමට නො පමාව ම විධි විධාන යොදන ලදී. අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රමුඛ මහාරිට්ඨ සිංහල රහතන් වහන්සේ ඇතුළු මහ රහත් මාහිමිවරු අට සැට නමක් දහසක් බැගින් භික්ෂූ පිරිවර ඇති ව ථූපාරාමයෙහි රැස් වූහ. මහාරිට්ඨ මහරහතන් වහන්සේ මිහිඳු මාහිමියන් ගේ අනුදැනීමු ඇති ව ථුපාරාම විහාර මධ්‍යයේදී මහා සංඝයා විසින් පිරිවරන ලදුයේ වප් මස පසළොස්වක් ලත් පෙ‍රවස් පැවුරුණු දිනයෙහි විනය පිටකය සංගායනා කළ හ. ලංකා ශාසන ඉතිහාසයෙහි අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංගායනා ව මහාරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් සිදු කරන ලද්දේත් වප් පුනු පොහෝ දිනයක ය.

බෝධි අංකුරය

බුදුරජාණන් වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි ලක්දිව මහා බෝධිය පිහිටුවනු පිනිස අශෝක අධිරාජයා බෝධිද්‍රැම රාජයාණන් වෙත ගිය කල්හි ජය ශ්‍රී මහා බෝධියෙහි දක්ෂිණ ශාඛාව අයත්නයෙන් ම සිඳී රන් කටාභයෙහි පිහිටා සිටියේ වප් පුර පසළොස්වක් පොහෝ දිනයක ය. දඹදිව රාජ්‍යයෙන් තෙවරක් පිදුම් ලද බෝධි ශාකාව ඉල් මස පෙර පස පළමු පෑළවිය දිනයෙහි අශෝක රජතෙමේ ඔසවාගෙන ගෙල පමණ දියට බැස නැවෙහි පිහිටුවා පිරිවර සහිත වූ සඟමිත් තෙරණිය ද නැවට නංවා අරිට්ඨ ඇමතිහට “පුත, මම මහා බෝධිය තෙවරක් මුළු දඹදිව රාජ්‍යයෙන් පුදා ගෙල පමණ දියට බැස මාගේ යහළුවාට යැවීමි, එතෙමේ ද මෙපරිද්දෙන් ම මහා බෝධිය පුදාවා”යි දන්වා සිටියේ ය.

මේ නයින් සලකන විට මහා පවාරණ දේවාවරෝහණය සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම මෙතේ බෝසතුන් සසුන්හි පැවිදි බව ලැබීම - අරිෂ්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිසේ ගමනාරම්භය ආදී අසිරිමත් ආගමික කරුණු රැසක් සිදුවුණු වප් පුනු පොහෝ දිනය බෞද්ධයන් ගේ ප්‍රධාන ආගමික දිනයෙකි.

  1. 1. කඨින දීම ය, 2. අටපිරිකර දීම ය, 3. ආවාසකරවා දීම ය, 4. උතුම් වූ බුදු පාමොක් මහ සඝනට දන් දීම ය, 5. බණ පොත් ලිවීම ය. 6. කෙත් වතු පූජා කිරීම, 7. බුදු පිළිම කරවීම ය, 8. වැසිකිළි කරවීම ය යන මේවා අට මහ කුසල් නම් වේ.