ආනාපානස්මෘති භාවනාව

star_outline

ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක්හි සිහිය පිහිටවීම් වශයෙන් කරන භාවනාව ආනාපානස්මෘති භාවනා නම් වේ. එය කාටත් ගැලපෙන කා විසිනුත් කළයුතු භාවනාවෙකි. ලොවුතුරා බුදු වන සියලුම මහාබෝධි සත්ත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබවට පැමිණෙන්නේ ආනාපාන භාවනාවෙන් උපදවා ගන්නා චතුර්ථධ්‍යානයෙන් නැඟී ප්‍ර‍තීත්‍යසමුත්පාදය අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් භාවනා කිරීමෙනි. මෙය බුදුරජාණන් වහන්සේ විසින් නොයෙක් සූත්‍ර‍වල වර්ණනා කර ඇති භාවනාවෙකි. එය කළ යුත්තේ මෙසේ ය.

පළමුවෙන් ම විවේකස්ථානයකට යා යුතු ය. විවේක ස්ථානය යි කියනුයේ භාවනාවට බාධා කරන ජනයා නැති ශබ්ද අඩු තැන ය. තවත් තමා මෙන් ම භාවනා කරන අය සිටීම විවේකයට බාධාවක් නො වේ. බොහෝ දෙනකුන් එකතු වී එකවර එක ම භාවනාවක් කරනවා නම් වඩාත් හොඳ ය. පොහෝ දිනවල සිල්ගත් උපාසකවරු දහම්හල්වලට හෝ අන් තැන්වලට හෝ එකතුව පෙළට හෝ වටව හෝ හිඳ සැමදෙනා එක ම භාවනාවක් කරනවා නම් එය භාවනාවේ දියුණුවට ඉතා හොඳ ය.

පිරිසක් එකතුව භාවනා කරනවා නම් සැමදෙන එකතුව පෙළට හෝ වටේට හෝ පුරුෂයන් විසින් බද්ධපර්යංකයෙන් ද, ස්ත්‍රීන් විසින් අර්ධ පර්යංකයෙන් ද හිඳගත යුතු ය. ඉක්බිති දෝත් නඟා වැඳගෙන බුද්‍ධානුස්මෘති භාවනාවෙහිදී කියා ඇති පරිදි ගාථා පාඨ එකවර ම කියමින් භාවනා පූර්ව කෘත්‍යය කළ යුතු ය. ඉක්බිති අත් පහත් කොට වම් අල්ල උඩ දකුණු අත සිටින පරිදි උකුල උඩ අත් තබාගෙන මෙසේ සිතනු. “මම ජාති ජරා මරණවලින් නො මිදුණු කෙනෙක් වෙමි. සතර අපායෙන් නො මිදුණු කෙනෙක් වෙමි. ඒවායින් මිදීමට නම් මා විසින් මේ භාවනාවෙහි යෙදීමෙන් බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ගියමඟ යා යුතු ය. මහත් වූ දුඃඛස්කන්ධයෙන් මිදී පරම සැපය ලැබීමට නම් භාවනාවේදී වන සුළු දුක් ඉවසිය යුතු ය.”

එසේ සිතා කය ඉදිරියට හෝ පස්සට බර නො වන පරිදි කෙළින් තබා ගත යුතු ය. ඇස් පියා ගැනීම හෝ නාසයේ අග පෙනෙන පමණට මඳක් ඇර හෝ තබා ගත යුතු ය. ඉක්බිති සිත අන් කිසිවකට යොමු නො කොට ආශ්වාස ප්‍ර‍ශ්වාසයට යොමු කළ යුතු ය.

ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව වනාහි කෝටුවක් වැලක් සේ අතට අසුවන ඇසට පෙනෙන දෙයක් නොවේ. එය සියුම් දෙයකි. එය දත යුත්තේ සිතින්ම ය. සිතට දත හැකි වන්නේ ද සැපීම අනුව ය. ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව ගමන් කරන්නේ නාසයේ අග යම්කිසි තැනක හෝ උඩු තොලේ යම්කිසි තැනක හෝ සැපීගෙන ය. සැපෙන තැන සිත තබාගෙන සිට එහි සැපීගෙන යන වායුව තේරුම් ගත යුතු ය. සිතට ගත යුතු ය. වායුව සිතට ගත හැකි වීම පිණිස තදින් හුස්ම ගැනීම හෙළීම ද නොකළ යුතු ය. එසේ කළ හොත් හති වැටී සිත එකඟ කරන්නට නො පුළුවන්විය හැකිය. ඒ නිසා නිතර ම ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව ප්‍ර‍කෘති පරිදිම තබාගත යුතු ය.

වෙලාවක් නියම කරගෙන භාවනා කළ යුතු ය. වරකට පැය බාගයකට නො අඩු කාලයක් භාවනාවෙහි යෙදිය යුතු ය. පුරුදු වූ පසු වරකට පැයක් දෙකක් භාවනාවෙහි යෙදිය යුතු ය. මේ භාවනාව කිරීමෙහි දී කිසිම ශරීරාවයවයක් නො සොල්වා ශරීරය නිශ්චලව තබා ගත යුතු ය. භාවනාවෙන් දියුණුවේගෙන එන සමාධිය ශරීරය සෙලවීමෙන් බිඳේ. නැවත නැවත ශරීරය සෙලවීමෙන් භාවනා කරන්නා නැවත නැවතත් මුලට ම පැමිණේ. ඔහුට සමාධිය දියුණු නොවේ. නිශ්චලව භාවනාවෙහි යෙදෙන්නාහට ශරීරයේ තැන තැන නොයෙක් වේදනා ඇති වේ. භාවනා දියුණු කර ගන්නට නම් ඒවා විඳ දරා ගත යුතු ය. භාවනා කිරීමේ දී ශරීරයේ යම්කිසි තැනක වේදනාවක් ඇතිවුව හොත් ඒ වේදනාවත් “වේදනාවක් වේදනාවක්” කියා මෙනෙහි කරන්න. එය කරන්නේ ද ආශ්වාස ප්‍ර‍ශ්වාස සිහි කිරීමත් සමඟ ය. ආශ්වාස ප්‍ර‍ශ්වාස සිහි කිරීම සම්පූර්ණයෙන් ම නො නවත්වනු. වේදනාව මඳ වේලාවක් සිහි කරන කල්හි ක්‍ර‍මයෙන් අඩු වී ගොස් අන්තිමට නැතිවෙනු ඇත. පැය බාගයක් හෝ පැයක් භාවනා කරන්නට ඉටා පටන් ගත් තැනැත්තා විසින් කොතරම් අමාරුවක් ඇතිවුව ද නියමිත කාලයට කලින් භාවනාව නො නැවැත්විය යුතු ය. නියමිත කාලයට කලින් නවත්වන්නහුට ද සමාධියක් නො ලැබේ.

වායුව සැපීගෙන යන තැනට සිත යොමු කර එහි සිත පිහිටවා ගෙන වායුව ඇතුළුවන කල්හි ආශ්වාස යයි ද පිටවන කල්හි ප්‍ර‍ශ්වාසය යි ද සිතනු. එසේ සිතීම භාවනාව ය. පිට වී ගිය වාතය ගැන හෝ ඇතුළේ ඇති වාතය ගැන හෝ නො සිතනු.

පටන් ගැනීමේදී ආශ්වාස ප්‍ර‍ශ්වාස ගණන් කරමින් භාවනා කිරීම හොඳ ය. හුස්ම ඇතුළු වන කල්හි එකය කියා ගණන් ගත යුතු ය. නැවත හුස්ම පිටවන කල්හි දෙකය කියා ගණන් ගතයුතු ය. නැවත ඇතුළුවන කල්හි තුනය කියා ද පිටවන කල්හි සතරය කියා ද ගණන් කරනු. දහයක් වූ කල්හි නැවත එකේ පටන් ගණන් කරනු. දසයෙන් එහාට ගණන් නො කළ යුතු ය. පහෙන් අඩුව ද ගණන් කිරීම නොනැවැත්විය යුතු ය. ගණන් කිරීමේ දී හොඳට වැටෙන ආශ්වාස ප්‍ර‍ශ්වාස පමණක් ගණන් ගත යුතු ය. නො වැටෙන වාර ගණන් නොගත යුතු ය. එකේ පටන් පහ දක්වා ගැන පහෙන් නවත්වා නැවත එකේ පටන් සය දක්වා ද නැවත එකේ පටන් සත දක්වා ද නැවත එකේ පටන් අට දක්වා ද නැවත එකේ පටන් නවය දක්වා ද නැවත දසය දක්වා ද ගණන් කිරීම ද එක් ගැනීම් ක්‍ර‍මයකි. කවර ආකාරයකින් හෝ ගැනීම කරනු. එක් ආශ්වාස ප්‍ර‍ශ්වාසයකුදු නො හැරෙන ලෙස ගැණිය හැකි තත්ත්වයට පැමිණි කල්හි සිත ද බැහැර නො ගොස් ආශ්වාස ප්‍ර‍ශ්වාස ගැනීමෙහි ම එකඟව පවත්නා තත්ත්වය ඇති වූ පසු ගණන් කිරීෟම නවත්වා ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක අනුව සිත පවත්වමින් භාවනා කළ යුතු ය. ඔරලෝසුවක එහා මෙහා යන බට්ටා දෙස බලා සිටින කල්හි එය පෙනෙන්නාක් මෙන් ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක සිතට හොඳට පෙනෙන පරිදි එහි සිත පිහිටුවා භාවනා කළ යුතු ය.

එසේ භාව්නා කරන කල්හි සිත බැහැර නො ගොස් එහිම පිහිටන්නේ ය. එය සිත සමාධි වීම ය. සිත සමාධි වන කල්හි කය ද සන්සුන් වන්නේ ය. කයට කිසි අපහසුවක් නො දැනෙන්නේ ය. සිරුරෙහි පැතිර යන සුවයක් ද මේ අවස්ථාවෙහිදී ඇති විය හැකි ය. කය සන්සුන් වීමෙන් ආශ්වාස ප්‍ර‍ශ්වාස වේගය අඩුවේ. සෙමින් සෙමින් නාස්පුඩුවලින් වායුව ඇතුළුවීමට ද සෙමින් පිටවීමට ද වන්නේ ය. වායුව සෙමින් පිටවන කල්හි පිටවී අවසන්වීමට වැඩි කාලයක් ගත වේ. වායුව සෙමින් ඇතුළුවන කල්හි පෙනහලු පිරෙන්නට වාතය ඇතුල්වීමට ද වැඩි වේලාවක් ගතවන්නේ ය. ඇතුළු වී අවසන් වීමට වැඩි වේලාවාක් ගත වන ආශ්වාසයට දීර්ඝ ආශ්වාසය ය යි ද පිටවීමට වැඩි වේලාවක් ගත වන ප්‍ර‍ශ්වාසයට දීර්ඝ ප්‍ර‍ශ්වාසය යි ද කියනු ලැබේ. දීර්ඝ ආශ්වාස ප්‍ර‍ශ්වාසය ම නිරතුරුව පවත්නේ නොවේ. විටින් විට ආශ්වාස ප්‍ර‍ශ්වාස කෙටි වන්නට ද පටන් ගනී. කෙටි ආශ්වාස ප්‍ර‍ශ්වාසය යි කියනුයේ ඉක්මණින් කෙළවර වන ආශ්වාස ප්‍ර‍ශ්වාසය ය. ආශ්වාස ප්‍ර‍ශ්වාස අනුව සිත පිහිටවා භාවනා කරන තැනැත්තා විසින් ආශ්වාස ප්‍ර‍ශ්වාසයන්ගේ දික් බව කෙටි බව දැනෙන ලෙස ද භාවනා කළ යුතු ය. ආශ්වාස ප්‍ර‍ශ්වාසයන්ගේ මුල මැද අග යන සියල්ල ම දැනෙන ලෙස එහි හොඳින් සිත පිහිටවා භාවනා කළ යුතු ය. ආශ්වාස ප්‍ර‍ශ්වාසයන්ගේ මුලය කියනුයේ සැපෙන ස්ථානයේ පළමුවෙන්ම සැපෙන වායුව ය. අගය කියනුයේ අන්තිමට සැපෙන වායුව ය. ඒ දෙක ඉතා සියුම් ය. භාවනා කරන අයට සාමාන්‍යයෙන් දැනෙන්නේ ආශ්වාස ප්‍ර‍ශ්වාසයන්ගේ මැද කොටස ය. සමාධිය දියුණු වන කල්හි එය අනුව නුවණ ද දියුණුවීමෙන් පටන් ගැනීමේ දී සැපෙන ඉතා සියුම් වායුව හා අන්තිමට ගැටෙන ඉතා සියුම් වායුවත් සමඟ සම්පූර්ණ ආශ්වාස ප්‍ර‍ශ්වාසය දත හැකි වන්නේ ය. ඒ තත්ත්වයට පැමිණෙන පරිදි භාවනා කරනු. එසේ භාවනා කරන කල්හි සමාධිය වැඩෙත් වැඩෙත් ම ක්‍ර‍මයෙන් ආශ්වාස ප්‍ර‍ශ්වාසය ද වඩ වඩා සන්සිඳෙන්නට වන්නේ ය. සමහර විට යෝගාවචරයා හට දැන් ආශ්වාස ප්‍ර‍ශ්වාස නැතය කියා සිතෙන්නට පුළුවන. එබඳු තත්ත්වයක් පැමිණි කල්හි ආශ්වාස ප්‍ර‍ශ්වාස දැනගැනීම සඳහා තදින් හුස්ම ගැනීම හෙළීම නො කළ යුතු ය. ආශ්වාස ප්‍ර‍ශ්වාස නො දැනී යන්නේ සියුම් ආශ්වාස ප්‍ර‍ශ්වාස දැනෙන තරමට නුවණ වැඩී නැති නිසා ය. වායුව සියුම් වන අවස්ථාවල දී වේගය වැඩි කරමින් භාවනා කළ හොත් සියුම් වායුව දැනෙන තරමට සමාධි ප්‍ර‍ඥා නො වැඩෙන්නේ ය. වායුව සියුම් වී නොදැනී යන අවස්ථාවලදී බාහිර අරමුණුවලට සිත නොයවා කලින් වායුව සැපෙනවා දැනුණු තැන සිත පිහිටවා ගෙන සිටිය යුතු ය. එසේ සිටින කල්හි එය දැනෙන්නට වෙනවා ඇත. සියුම් ආශ්වාස ප්‍ර‍ශ්වාසය ද දැනෙන තැනට භාවනාව දියුණු කර ගත් යෝගාවචරයාට වැඩිකල් නො ගොස් ආශ්වාස ප්‍ර‍ශ්වාස ප්‍ර‍තිභාග නිමිත්ත පහළ වන්නේ ය. එයින් ආනාපානධ්‍යානය ලැබිය හැකි වනු ඇත.