සවස තෙරුවන් වැඳීම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

(තුන් වරක් කියනු)

(බුද්ධ වන්දනාව)

තං ඛෝ පන භගවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භූග්ගතෝ, ඉතිපි සෝ භගවා අරහං, සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණසම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසධම්මසාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ භගවාති. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍ර‍හ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදේව මනුස්ස සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං සාත්ථං සව්‍යඤ්ජනං කේවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍ර‍හ්මචරියං පකාසේති. තං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං සරණං ගච්ඡාමි. සම්මාසම්බුද්ධං සිරසා නමාමි.

ඒ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ යහපත් වූ කීර්ති ඝෝෂය ලෝකයෙහි මෙසේ පැන නැංගේය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුශල බලයෙන් ලත් අර්හත් මාර්ග ඥානයෙන් සවාසනා සකල ක්ලේශ ප්‍ර‍හාණයෙන් පරිශුද්ධ ව සර්වඥත්වාදි අපරිමිත ගුණයෙන් යුක්ත ව මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යන ලෝකත්‍ර‍යවාසීන් විසින් කරන පූජා පිළිගැනීමට සුදුසු ව සිටින හෙයින් අරහං නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍ර‍ඥප්ති සංඛ්‍යාත පඤ්චවිධ ඥෙය ධර්මය පරෝපදේශ රහිත ව තමන් වහන්සේගේ ඥානයෙන් නිරවශේෂයෙන් මැනවින් දැන වදළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් සමන්වාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ශාස්වතෝච්ඡේද දෘෂ්ටි සංඛ්‍යාත ලාමක අන්තද්වයට නො බැස මධ්‍යම ප්‍ර‍තිපදාව වූ අෂ්ටාංගික මාර්ගයෙන් පරමසුන්දර නිර්වාණයට පැමිණ වදාළ බැවින් සුගත නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාම රූප අරූප සංඛ්‍යාත ලෝකත්‍ර‍ය නිරවශේෂයෙන් දැන වදාළ හෙයින් ලෝකවිදූ නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුණ්‍යමාන බලමාන ප්‍ර‍ඥාමාන ගුණමාන සෘද්‍ධිමානාදි අනේක මානයෙන් උඩඟු වූ නන්දෝපනන්ද අංගුලිමාල සච්චක බකබ්‍ර‍හ්මාදි එඩිතර පුද්ගලයන් පවා දමනය කොට හික්මවීමෙහි සමත් බැවින් අනුත්තර පුරිසධම්ම සාරථි නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යන ලෝකත්‍ර‍ය වාසීන්ට තිවග සම්පත් පිණිස අනුශාසනා කරන හෙයින් දේවමනුෂ්‍යයන්ට ශාස්තෘ නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරමගම්භීර චතුස්සත්‍ය ධර්මය ජනයාට අවබෝධ කරවන හෙයින් බුද්ධ නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සකල ලෝක වාසීන් විසින් ගරු කළයුතු හෙයින් ද ඓශ්චර්ය ධර්ම යශස් ශ්‍රී කාමප්‍ර‍යත්න සංඛ්‍යාත ෂට් භාග්‍යයෙන් යුක්ත වන හෙයින් ද භගවා නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බ්‍ර‍හ්මයන් සහිත වූ ශ්‍ර‍මණබ්‍රාහ්මණයන් සහිත වූ මේ ලෝකය දෙවි මිනිසුන් සහිත වූ සත්ත්ව සමූහය අනිකකුගේ උපදෙස්වලින් තොරව තමන් වහන්සේ විසින් ම ඇති කර ගත් නුවණින් ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැන ප්‍ර‍කාශ කරන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මුල යහපත් වූ ද මැද යහපත් වූ ද අග යහපත් වූ ද අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ අඩු වැඩි නැති ව සියල්ල සම්පූර්ණ වූ ධර්මය දේශනා කරන සේක. ඒකාන්තයෙන් නිවනට පමුණුවන්නා වූ පරිශුද්ධ වූ ප්‍ර‍තිපදාවක් ප්‍ර‍කාශ කරන සේක.

ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ මම දිවි හිමියෙන් සරණ යෙමි.

ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ මාගේ ශීර්ෂයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

(ධර්‍ම වන්දනාව)

ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, සන්දිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. ඉමේහි ඡහි ගුණේහි සමන්නාගතං ධම්මරතනං සරණං ගච්ඡාමි. ධම්මරතනං සිරසා නමාමි.

භාග්‍යවතුන් වහන්සේ විසින් සපර්‍ය්‍යාප්තික නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අඩුවැඩි නැති ව මුල මැද අග යන සැම තැන ම යහපත් කොට දේශනය කරන ලද්දේ ය.

ඒ නවලෝකෝත්තර ධර්මය තමා විසින් ම දැක ප්‍ර‍ත්‍යක්ෂ කර ගත හැකි ධර්මයක් වන්නේ ය.

ඒ ලෝකෝත්තර මාර්ග ධර්මය දින මාස වර්ෂ ගත නොවී ස්වසන්තානයෙහි උපදවා ගත් කෙණෙහි ම පල දෙන ධර්මයක් වන්නේ ය.

ඒ ධර්මය, එන්නය, මේ ධර්මය අසන්න ය, එයට අනුව පිළිපදින්නය යි අන්‍යයන්ට බල කිරීමට වුව ද සුදුසු වන්නේ ය.

ඒ නවලෝකෝත්තර ධර්මය අන් සියලු වැඩ නවතා ලබා ගැනීමට උත්සාහ කළයුතු ධර්මයක් වන්නේ ය.

ඒ නවලෝකෝත්තර ධර්මය විඥයන්ට ස්වසන්තානයෙන් ම ප්‍ර‍ත්‍යක්ෂ කර ගත හැකි ධර්මයක් වන්නේ ය.

මේ සවැදෑරුම් ගුණයෙන් යුක්ත වූ ධර්මරත්නය මම දිවිහිමියෙන් සරණ යෙමි. ඒ ධර්මරත්නයට මාගේ ශීර්ෂයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

(සඞ්ඝ වන්දනාව)

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඥායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ ආයුනෙය්යෝ, පාහුනෙය්යේ, දක්ඛිණෙය්යෝ, අඤ්ජලිකරණීයෝ, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. ඉමෙහි නවහි ගුණේහි සමන්නාගතං සංඝරතනං සරණං ගච්ඡාමි. සංඝ රතනං සිරසා නමාමි.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඒකාන්තයෙන් නිවනට පමුණුව යහපත් ප්‍ර‍තිපත්තියක් පුරන සේක. ආර්ය අෂ්ටාංගික මාර්ග සංඛ්‍යාත සෘජු ප්‍ර‍තිපත්තිය පුරන සේක. ඒකාන්තයෙන් නිවනට පමුණුවන අධිශීල අධිචිත්ත අධිප්‍ර‍ඥා සංඛ්‍යාත ප්‍ර‍තිපත්තිය පුරන සේක. දුටු විට හුනස්සෙන් නැඟී සිටිමි ආදි සාමීචි කර්මයට සුදුසු වන සේ පිළිපන් සේක. යම් ඒ පුරුෂ යුග්මයෝ සතර දෙනෙක් වෙත් ද පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද ඒ පුද්ගල සමූහය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ය. ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ප්‍ර‍ත්‍යය බොහෝ දුර ගෙන ගොස් වුව ද පිදීමට සුදුසු වන සේක. ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය වුව ද පිදීමට සුදුසු වන සේක. අනාගතයෙහි ලැබෙන පින්පල සඳහා දෙන දෙය පිරිනැමීමට සුදුසු වන සේක. දෙ අත් නඟා වැඳීමට සුදුසු වන සේක. මේ නව ගුණයෙන් සමන්විත වූ සංඝරත්නය මම දිවිහිමියෙන් සරණ යෙමි. ඒ සංඝරත්නයට මාගේ ශීර්ෂයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

සාධු. සාධු. සාධු.

චෛත්‍ය වන්දනාවට හා බෝධි වන්දනාවට නො යන්නේ නම් විහාරයේ වැඳුම් පිදුම් අවසානයේ දී දෙවියන්ට, මිය ගිය ඥාතීන්ට හා සකල සත්ත්වයන්ට පින් දී ප්‍රාර්ථනා කොට රාත්‍රී වන්දනාව අවසන් කරනු. චෛත්‍ය බෝධි වන්දනාවලට යනවා නම් වන්දනාව අන්තිම කරන තැන දී පින්දීම් ආදිය කරනු.

රාත්‍රී වන්දනාවෙන් පසු

ශීලය ආවර්ජනා කොට රාත්‍රි 10 දක්වා භාවනා, දහම් ඇසීම්, දහම් පොත් කියවීම්, ධර්ම සාකච්ඡා පැවැත්වීම් සුදුසු පරිදි කරනු.