ධර්ම සාකච්ඡාව

star_outline

“කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගලමුත්තමං” යනුවෙන් සුදුසු කාලයෙහි ධර්‍ම සාකච්ඡා පැවැත්වීම උතුම් මංගලයකැයි භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේ ය. උපාසකෝපාසිකාවන් එක්රැස්වන පොහෝ දිනය ධර්ම සාකච්ඡාවට සුදුසු දිනයකි. එබැවින් ඒ දිනයෙහි සුදුසු කල් බලා ධර්ම සාකච්ඡාව පවත්වන්න. එසේ කිරීමෙන් ධර්ම දේශනාමය කුශලය සිදුකර ගත හැකිය. ධර්ම සාකච්ඡාව කළ යුත්තේ මෙසේය. ධර්මය පිළිබඳ වූ යම් කිසි කරුණක් උපාසක පිරිසෙන් අහන්න. එයට ලැබෙන පිළිතුරු හරි පිළිතුරක් නම් එය එසේ ම පිළිගන්න. ලැබෙන පිළිතුර වැරදි නම් එය වැරදිය කියා පිළිතුරු දුන් තැනැත්තාගේ සිත රිදෙන පරිදි කථා නො කරන්න. එය එසේ ම ද කියා සෙස්සන්ගෙන් අහන්න. කාහටත් ප්‍ර‍ශ්නයට නිසි පිළිතුරු දිය හැකි නොවී නම් ඒ කාරණය තමා සෙස්සන්ට කියා දෙන්න. කියා දී ඔවුන්ගේ සිත්හි ඒ කරුණ හොඳට පිහිට වන්නට නැවත නැවතත් ප්‍ර‍ශ්න කරන්න. ඔවුන්ගේ දැනුමේ වරදක් හෝ අඩුවක් ඇති නම් එය නැවත නැවතත් කියා දෙන්න. තමා නොදත් කරුණු දැන ගැනීම සඳහා ද ප්‍ර‍ශ්න කරන්න. සැක දුරුකර ගැනීම සඳහා සැක ඇති කරුණු ගැන ප්‍ර‍ශ්න කරන්න.

පොහෝ දින කාලසටහන් සියල්ලෙහි ම ධර්ම සාකච්ඡාවට කාලයක් වෙන් කර තිබෙනු දක්නා ලැබේ. එහෙත් උපාසකෝපාසිකාවෝ ධර්ම සාකච්ඡා නොකරති. එයට හේතුව බොහෝ දෙනාට සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට කරුණු නැතිකමය. සාකච්ඡාවට සුදුසු කරුණු මෙහි දක්වනු ලැබේ. ඒ කරුණු ගැන සාකච්ඡා කෙරෙත්වා. මෙහි වරහන් තුළ ඇත්තේ ඒ කරුණු බලාගත හැකි තැන් ය.

අනු මාතෘකා