නවගුණ භාවනා වාක්‍යය.

1. අරහං ගුණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර්හත් මාර්ග ඥානයෙන් සවාසනාසකලක්ලේශ ප්‍ර‍හාණයෙන් පරිශුද්ධ වන සේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යන ලෝකත්‍ර‍ය වාසීන් විසින් කරන පූජාසත්කාරයන් පිළිගැනීමට සුදුසු වන සේක.

2. සම්මා සම්බුද්ධ ගුණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ ද කාලයට අයත් නොවූ ද සියල්ල අනිකකුගේ උපදෙස් නැතිව තමන් වහන්සේ විසින් මැනවින් දැන සිටිය සේක.

3. විජ්ජාචරණ සම්පන්න ගුණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනාඥානාදි අෂ්ට විද්‍යාවන් ගෙන් හා ශීලාදි පඤ්චදශ චරණයන්ගෙන් ද යුක්ත වන සේක.

4. සුගත ගුණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන්‍යශෘස්තෘවරයන් සේ නොමග ගමන් නො කොට ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති නියම මාර්ගයෙන් පරම සුන්දර නිර්වාණයට ගිය සේක.

5. ලෝකවිදු ගුණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාම-රූප-අරූප සංඛ්‍යාත ලෝකත්‍රයෙහි කිසිවක් ඉතිරි නොකර සියල්ල දැන වදාළ සේක.

6. අනුත්තර පුරිසදම්ම සාරථි ගුණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන බලමාන ධනමානාදියෙන් මත්ව මුළාව නොමග යන ජනයා දමනය කිරීමට අන් සැමටම වඩා සමත් වන සේක.

7. සත්ථා දේවමනුස්සානං

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවිමිනිසුන් ගේ ශ්‍රේෂ්ඨ අනුශාසකයන් වහන්සේ වන සේක.

8. බුද්ධ ගුණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය ලෝකයාහට අවබෝධ කරවන සේක.

9. භගවා

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්තඥාන අනන්තසෘද්ධි අනන්ත බලයෙන් යුක්ත වන බැවින් සකල ලෝකවාසීන් විසින් ගරු කළයුතු වන සේක.

අනුලෝම ප්‍ර‍තිලෝම භාවනාව

බුදුගුණ පාඨය අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් ද සජ්ඣායනා කරති. එයින් මෙලොවට බොහෝ ගුණ ඇති බව කියති. ඒ මෙසේ ය.

ඉතිපි සෝ භගවා අරහං, සම්මා සම්බුද්ධො, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතො, ලෝකවිදු, අනුත්තරෝ පුරිසධම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං, බුද්ධෝ, භගවාති.

භගවා, බුද්ධෝ, සත්ථා දේවමනුස්සානං, අනුත්තරෝ පුරිසධම්මසාරථි, ලෝකවිදූ, සුගතෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සම්මා සම්බුද්ධෝ, අරහං, සෝ භගවා ඉතිපි.