භාවනාවේ පූර්වකෘත්‍ය

වාඩිවීමෙන් පසු දෙ අත එක් කොට හිස මත හෝ නලළෙහි හෝ තබාගෙන තෙරුවන් වැඳීම් ආදිය සඳහා සැම දෙනාම එකට මෙසේ කියනු. සැම දෙනාම කීමට අසමත් නම් කෙනකු ලවා කියවා ගත යුතු ය.

ඉතිපි සෝ භගවා අරහං, සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදු, අනුත්තරො පුරිසධම්ම සාරථි, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවාති. ඉමේහි නවහි ගුණේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි. සම්මාසම්බුද්ධං සිරසා නමාමි.

ස්වාක්ඛාතෝ භගවතා ධම්මො, සන්දිට්ඨිකෝ, අකාලිකෝ එහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. ඉමේහි ඡහිගුණේහි සමන්නාගතං ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සිරසා නමාමි.

සුපටිපන්නො භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතො සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතො සාවකසංඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතො සාවකසංඝෝ, ආහුණෙය්යෝ පාහුණෙය්යෝ දක්ඛිණෙය්යෝ, අඤ්ජලිකරණීයෝ, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. ඉමේහි නවහි ගුණේහි සමන්නාගතං සංඝං සරණං ගච්ඡාමි. සංඝං සිරසා නමාමි.

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! මාගේ අනුවණකමින් මාගේ දුබලකමින් මාගේ කායදිද්වාරත්‍රයෙන් නුඹ වහන්සේට සිදුවී ඇති වරදක් වේ නම් අසරණ වූ මා හට සමාවන සේක්වා.

මාගේ අනුවණ කමින් මාගේ දුබලකමින් ධර්මරත්නයට හා සංඝරත්නයට වරද සිදුවී ඇති නම් ධර්මරත්නය හා සංඝරත්නය ද මා හට සමාවන සේක්වා.

මාගේ අනුවණකමින් මාගේ දුබලකමින් ආර්‍ය්‍යයන් වහන්සේලාට වරදක් සිදුවී ඇති නම් සියලු ආර්‍ය්‍යයන් වහන්සේලා මා ට සමාවන සේක්වා.

මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්ස, මාගේ හෘදය නුඹ වහන්සේට ගඳකිලියක් කොට පූජා කරමි. එහි වැඩවෙසෙමින් මා හට නිවන්මඟ දක්වන සේක්වා.

බුද්ධානුභාවයෙන් ධර්‍මානුභාවයෙන් සංඝානුභාවයෙන් මා විසින් කර ඇති කුශලානුභාවයෙන් මාගේ සිත සමාධි වේවා. මා කෙරෙන් නීවරණයෝ දුරුවෙත්වා!

මාගේ ආරක්ෂක දේවතාවෝ ද ලෝකපාලක දේවතාවෝ ද වෛර නැත්තෝ වෙත්වා. නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා!

මාගේ මාපිය ගුරුවරයෝ ද උපකාරකයෝ ද වෛර නැත්තෝ වෙත්වා. නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා.

සකල සත්ත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා. නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා.

මෙසේ භාවනාවේ පූර්වකෘත්‍යය කොට නිමවා දෙ අත් පහත දමා උකුල මත තබා “මම බුද්ධාදි මහෝත්තමයන් ගිය මඟ යෙමිය නිවන් මඟ යෙමිය” යි සිත්හි ප්‍රීතිය ඇති කර ගෙන ඇස් වසාගෙන බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියේ අහසේ හෝ අසුනක හේ වැඩ සිටින ආකාරයෙන් සිතා බුදුරුව හොඳින් සිතට ගෙන මෙසේ භාවනා කරන්න.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර්හත් මාර්ග ඥානයෙන් සකල ක්ලේශයන් නසා කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් ද, කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද අර්හත් මාර්ගඥානයෙන් සංසාරචක්‍රයාගේ අර සිඳ ලූ හෙයින් ද දෙවියන් සහිත ලෝකයා විසින් පිරිනමන ප්‍ර‍ත්‍යයන් පිළිගැනීමට සුදුසු හෙයින් ද අරහං නම් වූ සේක.”

මේ වාක්‍යයෙන් දැක්වෙන්නේ බුද්ධ ගුණ නවයෙන් පළමුවැන්න වූ “අරහං” ගුණය ය. මෙය විස්තර වශයෙන් තේරුම් ගැනීමට ද උත්සාහ කරන්න. භාවනා කිරීමේදී ප්‍ර‍සාදය වැඩෙන්නේ බුද්ධ ගුණාරම්මණයෙහි සිත සමාධි වන්නේ තමා සිහි කරන ගුණය ගැන තේරුම් තුබූ තරමට ය. බුදුගුණ විස්තර වශයෙන් තේරුම් ගැනීමට “සූවිසි මහගුණය” නමැති පොත කියැවීම ප්‍රයෝජන ය. බුද්ධ ගුණ නවයම භාවනා කිරීම හොඳ ය. එහෙත් එය අපහසු බැවින් මෙහි අරහං ගුණ භාවනාව පමණක් දක්වන ලදි. මේ භාවනාව පාලි වචනවලින් කරතහොත් “ඉතිපිසෝ භගවා අරහං” කියා භාවනා කරනු. එසේ කිරීම එතරම් සාර්ථක නොවිය හැකි ය. භාවනාව පටන් ගැනීමේ දී “ම මෙපමණ වේලාවක් භාවනා කරමි” යි කාලය නියම කරගෙන භාවනා කරනු. එක් වරකට අඩු ගණනේ පැය භාගයක්වත් භාවනා කළ යුතු ය. දවසේ භාවනා කරන සැම වාරයේ දී පූර්වකෘත්‍යය නො කළාට වරද නැත. පළමු වාරයේ දී පූර්වකෘත්‍යය කොට පසුව භාවනාව පමණක් කරනු. යන එනවිට ද මේ භාවනාව කළ හැකි ය.