ගිලන්පස සෑදීම

ඉදුණු අඹ පොතු හැර භාජනයකට කපා දමා හොඳින් පොඩි කර උවමනා පමණට ඇල්වතුර දමා නැවත ද පොඩිකර පෙරහනකින් හොඳින් පෙරා සීනි හෝ පැණි සකුරු හෝ දමා දිය කර ලුණු ද ස්වල්පයක් මිශ්‍ර‍කර අම්බපානය සාදා ගත යුතුය. කෙසෙල් ගෙඩි ආදියෙන් ගිලන්පස සාදන්නේ ද එසේම ය.

වියළි මුද්‍ර‍ප්පලම් තද බැවින් පොඩි කිරීම අපහසුය. ඒවායින් ගිලන්පස සාදනවා නම් :- උදයේ ම සෝදා දියේ ලා තැබිය යුතුය. සවස් කාලයේ දියෙන් ගෙන සීනි සමඟ පොඩි කරනු. හොඳින් පොඩි වේ. අනතුරුව වුවමනා පමණට ඇල්දිය ලා තවත් පොඩිකර පෙරා ගත යුතු ය. පලතුරු ගිලන්පස කෝවාටත් ලුණු ස්වල්පයක් මිශ්‍ර‍ කිරීම හොඳ ය.

දෙහි ගිලන්පස සෑදීමේදී වතුර කෝප්පයකට දෙහි බෑයක ඇඹුල් ගැනීම ප්‍ර‍මාණවත් ය. ඇඹුල් වැඩි වුවහොත් ම අපහසු වේ. දොඩම් ගිලන්පසට නම් ඇඹුල් වැඩියෙන් ගැනීම හොඳ ය. එහෙත් ඇල්දිය නොමුසු දොඩම් යුෂ ගිලන්පසට නොගත යුතු ය.

අමු නෙල්ලි යුෂ ඇල්දිය හා මිශ්‍රකොට හොඳ ගිලන්පසක් සාදාගත හැකි ය. එක් ගිලන්පස කෝප්පයකට නෙල්ලි ගෙඩි දෙක තුනක යුෂ ඇත. නෙල්ලි වැඩිවුවහොත් බීමට අප්‍රිය වේ. වියළි නෙල්ලි දියේ ලා පොඟවා යුෂ ගෙන ද ගිලන්පස සෑදිය හැකි ය. නෙල්ලි වැඩි වුවහොත් අප්‍රිය වේ. එක් ගිලන්පස කෝප්පයකට නෙල්ලි කලඳක් ප්‍රමාණවත් ය. වියළි නෙල්ලි තැම්බූ දිය ද රසවත් ගිලන්පසකි. නෙල්ලි ස්වල්පයක් දමා රන්වන් පාට වනතුරු තම්බා ගිලන්පස සාදාගත යුතු ය. නෙල්ලි වැඩි වුවහොත් බීමට අපහසු වේ.

ඉඟුරු කොත්තමල්ලි සුදුලූනු රණවරා පොල්පලා ඉරමුසු ආදි බෙහෙත් වර්ග තම්බා ගත් දිය ගිලන්පස වශයෙන් විකාලයෙහි වැළඳිය හැකි ය. ඉඟුරු කොත්තමල්ලි සුදුලූනු යන මේවා තම්බා සෑදූ ගිලන්පස රාත්‍රී කාලයට ඉතා හොඳ ය. සුදුලූනු පමණක් තම්බා සාදන ගිලන්පස ද රාත්‍රියට හොඳ ය. තේ කෝපි ද ගිලන්පසට ගැනීම වරද නැත. එහෙත් පිටි මිශ්‍ර‍ තේ කෝපි විකාලයෙහි අකැප ය.

රෝගයක් ඇතහොත් කසාය ගුලි කල්ක අරිෂ්ට ආශව සෘත ලේහ චූර්ණ තෙල් යන මේ බෙහෙත් විකාලයෙහි ගත හැකිය. සීනි හා සකුරු ද පැණි ද පිටි මිශ්‍ර‍ නැති ලොසින්ජර ද කරුණක් ඇතිනම් විකාලයෙහි ගැනීම සුදුසු ය.

චතුමධුර දුබලකම දුරුකර ගැනීමට හොඳ බෙහෙතකි. ගිතෙල් වෙඬරු සකුරු මීපැණි යන මේ සතර වර්ගය මිශ්‍රකොට සාදන ලේහය චතුමධුර නම් වේ. එය හොඳ ගිලන්පසකි. සකුරු වෙනුවට සීනි හෝ පැණි යෙදීම ද සුදුසු ය. චතුමධුර බොහෝ වැළඳීම අගුණ ය, සැන්දක් දෙකක් වළඳා උණු ගිලන් පසක් වළඳනු. බල වැඩේ. වරක් සාදාගත් චතුමධුර බොහෝ කල් තබාගත හැකි ය. නියම ගිතෙල් හා මී පැණි නොගතහොත් වැඩිකල් තැබීමට නො හැකි විය හැකි ය. ගුණ ද අඩුවිය හැකි ය. සමහර විට අගුණ ද විය හැකි ය. මෙහි නොදැක් වූ ගිලන්පසට සුදුසු තවත් ජාති ද ඇත්තේ ය. ඒවා ද දැන වැළඳීම සුදුසු ය.