“මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.”

තේරුම :-

බොරු කීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

විස්තරය :-

මුසාවාදයේ අංග සතර

කියන කරුණ අසත්‍යයක් වීම ය, අනුන් රවටන අදහස ය. අනුන් රැවටීමේ උත්සාහ ය, අනෙකා කී දේ තේරුම් ගැනීම ය යන මේ අංග සතර සම්පූර්ණ වන බොරුවෙන් මුසාවාද සික පදය බිඳේ.

රැවටීමේ අදහසින් තොරව අනිකකුට යමක් දෙමිය කියා එය දෙන්නට නුපුළුවන් වුවහොත්, කීම බොරු වුවද රැවටීමේ අදහසින් තොරව කී බැවින් සිකපදය නො බිඳේ. රැවටීමේ අදහසින් අනිකකුට යමක් දෙමිය කියා පසුව මා වැන්නකුට අනුන් රැවටීම නුසුදුසු යයි සිතා කී පරිදි ම දුන ද කියන අවස්ථාවේදී රැවටීමේ අදහසින් කී නිසා සිකපදය බිඳේ. බොරුවක් කියන කල්හි අසන්නාට නොතේරුණේ නම් සිකපදය නො බිඳේ. කටින් කීමෙන් පමණක් නොව බොරුවක් හිසින් හෝ අත්වලින් හෝ ඇඟවීමෙන් ද සික පදය බිඳේ. බොරු ලියා තැබීම්, ලියා යැවීම් වලින් ද සිකපදය බිඳේ.

හොඳ මිනිස්සුය ශීලාචාර මිනිස්සුය උසස් මිනිස්සුය උගත්තු ය කියන මිනිසුන් අතර ද බොරු කියන්නෝ බොහෝ සිටිති. සාමාන්‍ය ජනයා අතර බොරු කීමේ පුරුද්ද ඇතියෝ බොහෝ ය. ඔවුහු කිසි ප්‍රයෝජනයක් නැතිව විනෝදය පිණිස ද බොරු කියති. සිල් සමාදන් වන්නවුන් අතර ද ඒ පුරුද්ද ඇත්තෝ ඇත. බොහෝ දෙනා සිල් බිඳ ගන්නේ බොරු කීමෙනි. සිල් සමාදන් වූ තැනැත්තා විසින් කවටකමටවත් බොරුවක් නො කිය යුතු. එදින කතා අඩු කරගෙන සිටීම යහපති. කතා කළ ද සිහියෙන් කතා කළ යුතු ය. මුසාවාදය පිළිබඳ තවත් දත යුතු කරුණු බොහෝ ඇත. ඒවා දැනගැනීමට බෞද්ධයාගේ අත්පොත කියවන්න.