“අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.”

තේරුම :-

ගිහියාගේ සිරිත වන මෛථුන සේවනයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

මේ සිකපදය සම්බන්ධයෙන් දතයුතු කරුණු බොහෝ ඇත්තේ ය. ඒවා ග්‍රාම්‍ය ය, දරු දැරියන් විසින් ද කියවන මෙබඳු පොතකට ඒවා ඇතුළු කිරීම නුසුදුසු බැවින් මෙයට ඒවා ඇතුළු නො කරන ලදි. මේ සිකපදය ගැන දතයුතු විස්තර ඇත්තේ විනය පිටකයට අයත් පොත්වල ය. පාරාජිකාපාලිය, සමන්තපාසාදිකාව යන පොත්වල එහි විස්තර ඇත.

සප්ත මෛථුනය

බ්‍ර‍හ්මචර්‍ය්‍යශීලය කිලිටි කරන සප්ත මෛථුනයක් ඇත්තේ ය. ඒ මෙසේ ය.

  1. ස්ත්‍රීන් විසින් කරන නෑවීම ඇඟ ඉලීම අත් පා පිරිමැදීම යනාදිය පිළිගැනීම හා ඒවායේ මිහිර විඳීම ඒවාට කැමති වීම,
  2. ස්ත්‍රීන් හා කවටකම් කිරීම ක්‍රීඩා කිරීම ඔවුන්ගේ ඇඟේ හැපීම ඔවුන්ගේ ශරීරය පිරිමැදීම ඔවුන් හා සිනාසීම යන මේවායේ රස විඳීම, සතුටු වීම.
  3. ස්ත්‍රීන්ගේ රූපශෝභාව බලමින් මේ මේ තැන මෙසේ මෙසේ ලස්සනය හොඳය යි සිතමින් රස විඳීම.
  4. ස්ත්‍රීන්ගේ හඬ අසමින් රස විඳීම,
  5. පෙර ස්ත්‍රීන් හා කළ කෙළි සිනා ආදිය සිහි කරමින් ඒවායේ රස විඳීම.
  6. පස්කම් සැප විඳින අන්‍යයන්ගේ සම්පත් බලා සතුටු වීම.
  7. රක්නා වූ මේ ශීලයේ බලයෙන් දෙවියෙක් වේම්වායි අනාගතයෙහි ලබන්නට ඇති ඒ දිව්‍ය සම්පත්තිය සිතින් විඳීම, ඒ ගැන සතුටු වීම.

නියම ලෙස මෛථුන සේවනය නො කළ ද දහම් හල්වල සිල් සමාදන්ව සිටින ස්ත්‍රීපුරුෂයන් අතර මේ සප්ත මෛථුනයට අයත් කරුණු සිදු වී ඔවුන්ගේ බ්‍ර‍හ්මචර්‍ය්‍ය ශීලය කිලිටි වන්නට ඉඩ ඇත. එසේ නොවන ලෙස පරෙස්සම් විය යුතු ය.