දැනීම වනාහි ඇති සැටියට ම දැනීම ය, වරදවා දැනීම ය යි දෙවැදෑරුම් වේ. තණපත් ආදියෙන් කළ මිනිස් රුවක් දැක එය සැබෑ මිනිසකු වශයෙන් නොව මිනිස් රුවක් සැටියට ම දැනීම ඇති සැටියට දැනීම ය. තණපත් ආදියෙන් කළ මිනිස් රුව දෙස දුරින් බලා එය මිනිසෙකැයි සිතා ගැනීම වරදවා දැනීමය. මේ දෙවැදෑරුම් දැනුම අතුරෙන් ඇති සැටියට නො වරදවා දැනීම ‘විද්‍යා’ නම් වේ. ඇති සැටිය හැර අන් ආකාරයකින් වරදවා දැනීම ‘අවිද්‍යා’ නම් වේ. මෝහය යනු ද එයට නමෙකි. තත්ත්වාකාරයෙන් දැනුම වූ විද්‍යාවට විරුද්ධ බැවින් වරදවා දැනුමට නො දැනීම ය යි ද කියනු ලැබේ. අවිද්‍යාව කවරක් ද යන බව විභංග පාළියේ දැක්වෙන්නේ මෙසේය :-
“තත්ථ කතමා අවිජ්ජා? දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛ සමුදයේ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධේ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, අයං වුච්චති අවිජ්ජා”
දුක නො දැනීම ය, දුක් ඇති වීමේ හේතුව නො දැනීම ය, දුඃඛ නිරෝධය නො දැනීම ය, දුඃඛ නිරෝධයට පැමිණිමේ ප්‍රතිපදාව නො දැනීම ය යන කරුණු සතර අවිද්‍යාව බව එයින් දැක්විණ.
රිදුමය යි කියනු ලබන දුඃඛ වේදනාව සියල්ලෝ ම දනිති. එය නො හඳුනන තිරිසනකුදු නැත. මෙහි දැන නො දැනීම ය යි කියනුයේ එයට නොවේ. ජාති - ජරා - ව්‍යාධි - මරණ - ශෝක - පරිදේවාදීන් ගෙන් යුක්ත බැවින් ද, සංස්කාර දුඃඛ ය, විපරිණාම දුඃඛ ය, දුඃඛ දුඃඛය යන තෙවැදෑරුම් දුඃඛයෙන් පෙළනු ලබන බැවින් ද පඤ්චස්කන්ධය ම දුඃඛයකි. එහෙත් ඒ බව සත්ත්වයෝ නො දනිති. එබැවින් ඔවුහු ඒ පඤ්චස්කන්ධය ඉතා හොඳ දෙයක් කොට මිහිරි දෙයක් කොට සලකති. මෙහි දුක නො දැනීම ය යි කියනු යේ පඤ්චස්කන්ධය ම දුක් රැසක් බව නො දැනීමට ය.
දුඃඛ වේදනාව ඇති වීමේ හේතු බොහෝ ය. ශරීරයෙහි වූ වාතාදිය ද දුඃඛ වේදනාවට හේතු ය. ගල් මුල් ආදිය හා තදින් හැපීම වැටීම පහර ලැබීම යන ආදිය ද දුඃඛ වේදනාවට හේතු ය. දුඃඛ වේදනාව හඳුනන්නාක් මෙන් ම සියලු සත්ත්වයේ ම එහි හේතූන් ද දනිති. මෙහි දුක් ඇති වීමේ හේතුව නො දැනීමය යි කියනුයේ දුඃඛ වේදනාවේ හේතු නො දැනීමට නොවේ.
සත්ත්වයෝ පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධයක් සැටියට නො ගෙන, මමය - මවය - පියාය - සහෝදරයාය - සහෝදරීය - නෑයාය - මිතුරාය - ස්ත්‍රිය - පුරුෂයාය යනාදීන් ආත්ම වශයෙන් වරදවා ගෙන පඤ්චස්කන්ධයට ඇලුම් කරති. මම ය යි ගෙන ඇලුම් කරන ස්කන්ධ පඤ්චකය ඉදිරියට පවත්වා ගැනීමේ බලවත් ආශාව නිසා මරණයෙන් ද ස්කන්ධ පරම්පරාව නො සිඳී, සත්ත්ව තෙමේ නැවත නැවතත් ඉපදීම් වශයෙන් අපාය ලෝක මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයන්හි ඉපදී අභිනව ස්කන්ධ නැවත නැවත ඒ තෘෂ්ණාව පවත්නා තුරු ලබන්නේය. එ බැවින් පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛයේ හේතුව තෘෂ්ණාව බව තථාගතයන් වහන්සේ වදාළ සේක. සත්ත්වයෝ ඒ තෘෂ්ණාව දුක් ලැබීමේ හේතුවක් සැටියට නොව සත්ත්වයකුට තිබිය යුතු ම දෙයක් සැටියට මනා දෙයක් සැටියට ගෙන ඒ ආශාව නො හැර ම පවත්වා ගෙන යති. ඒ දුක් ඉපදීමේ හේතුවක් බව ඔවුහු නො දනිති. මෙහි දුක් ඇති වීමේ හේතුව නො දැනීම ය යි කියන ලදුයේ ඒ තෘෂ්ණාවේ දුක් ඉපදීමට හේතු වන බව නො දැනීමට ය.
යමක් දුක නම් එහි නැති බව සුවයෙකි. දුක යම් පමණ මහත් නම් එහි නැති බව වූ සුවයත් එ පමණට ම මහත් බව කිය යුතු ය. මහත් ම දුක නම් පඤ්චස්කන්ධය නමැති දුක ය. එයට වඩා මහත් දුකක් තවත් නැත. එ බැවින් පඤ්චස්කන්ධයාගේ නිරෝධය මහත් ම සුවය යි. එයට වඩා මහත් වූ එයට වඩා වටිනා වූ තවත් සුවයක් නැත. එහෙත් සත්ත්වයෝ ඒ බව නො දනිති. ඔවුනට වැටහෙනුයේ පඤ්චස්කන්ධය නැති වීම ඉතාම හානිය - ඉතාම නපුර - මහත් ම දුක සැටියට ය. එ බැවින් ඔවුහු ඒ පඤ්චස්කන්ධ නිරෝධයට අන් හැමටම වඩා බිය වෙති. මෙහි දුඃඛ නිරෝධය නො දැනීම ය යි කියනුයේ පඤ්චස්කන්ධ නිරෝධයාගේ උතුම් බව - සුවයක් බව නො දැනීමට ය.
දුඃඛ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට පැමිණීමේ නො වරදින මාර්ගය වූ ශීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ත්‍රිශික්ෂා පරිපූරණය සත්ත්වයාට වැටහෙනුයේ සැපයට පැමිණීමේ මාර්ගයක් සැටියට නොව, දුකක් හා දුකට පැමිණීමේ මාර්ගයක් ලෙසට ය. ශීල පරිපූරණය සඳහා ගිහි ගෙය හැර, නෑයන් මිතුරන් හැර, පැවිදි වීම ඔහුට පෙනෙන්නේ මහත් වූ දුකක් ලෙසට ය. එය මතුවට ද බොහෝ දුක් ඇති වීමේ හේතුවක් ලෙසට ය. එබැවින් සත්ත්වයෝ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට බිය වෙති. එය නො පුරති. පිරීම ම අනුවණ කමක් සේ සිතති. ප්‍රාණඝාතාදිය ම සැපයට පැමිණීමේ සැපය ලැබීමේ මාර්ගය ය යි සිතා ඒවා ඉතා ඕනෑකමින් කරති. මෙහි දුක්ඛනිරෝධයට පැමිණීමේ මාර්ගය නො දැනීම ය යි කයන ලදුයේ සැපය ලැබීමේ සැපයට පැමිණීමේ මාර්ගය පිළිබඳ වූ මේ වැරදි හැඟීම්වලට ය.
‘සංඛාර’ යනු අර්ථ කීපයක යෙදෙන වචනයෙකි. “අනිච්චා වත සංඛාරා” යන්නෙහි සංඛාරය යි කියනුයේ ප්‍රත්‍යයන් විසින් ඇති කරන ලද ධර්මයන්ට ය. “අවිජ්ජා පච්චයා සංඛාරා” යන මෙහි සංඛාරය යි කියනුයේ පින් - පව්වලට ය. තවත් ක්‍රමයකින් කියතහොත් සත්ත්වයන්ගේ කැරුම් කියුම් සිතුම් සංඛාරයෝ ය. ඒවාට සංඛාරය යි කියනුයේ මතු විපාකයක් ඇති කරන ධර්මයෝ ය යන අර්ථයෙනි. විභංග පාළියෙහි වනාහි :-
“තත්ථ කතමේ අවිජ්ජා පච්චයා සංඛාරා? පුඤ්ඤාභිසංඛාරෝ, අපුඤ්ඤාභිසංඛාරෝ, ආනෙඤ්ජාහි සංඛාරෝ, කායසංඛාරෝ, වචීසංඛාරෝ, චිත්ත සංඛාරෝ” යි.
එක් ක්‍රමයකින් පුඤ්ඤාභිසංඛාරය, අපුඤ්ඤාභි සංඛාරය, ආනෙඤ්ජාභිසංඛාරය යන තුන ද, තවත් ක්‍රමයකින් කායසංඛාරය, වචීසංඛාරය, චිත්තසංඛාරය යන තුන ද අවිද්‍යාව නිසා හටගන්නා වූ සංඛාරයෝ ය යි දක්වන ලදී. එහි දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර කුශල චේතනාව හා භාවනාමය වූ රූපාවචර කුසල චේතනාව ද පුඤ්ඤාභිසංඛාර නමි. කාමාවචර වූ අකුශල චේතනාව අපුඤ්ඤාභිසංඛාර නමි. අරූපාවචර කුශල චේතනාව ආනෙඤ්ජාභිසංඛාර නමි.
‘ආනෙඤ්ජ’ යන වචනයේ තේරුම නො සැලෙන දෙය යනු යි. රූපාවචර කුශලය වනාහි සමාධියට සතුරු වූ ධර්මයන්ට සමීප වූවකි. අරූපාවචර කුශලය වනාහි සමාධියට සතුරු වූ කාමච්ඡන්දාදීන් කෙරෙන් ඉතා දුරට ගිය ධර්මයෙකි. එය කාමච්ඡන්දාදීන් විසින් පහසුවෙන් සෙලවිය හැකි නො වේ. ඒ අරූප කුශලයෙන් උපදවන භවය ද කිසිවෙක නො සැපෙන අතිසූක්ෂ්ම භවයක් වූයෙන් කිසිවක් නිසා නො සැලෙන භවයකි. අරූපාවචර කුශලය වනාහි තමා නො සැලෙන බැවින් හා නො සැලෙන භවයක් ඇති කරන බැවින් ද ආනෙඤ්ජාභි සංඛාර නම් වේ.
කායසංඛාරාදි තුන අතුරෙන් ශරීරය උපකරණයක් කොට ගෙන එහි ආධාරයෙන් කර්මය සිදු කරන කුශලාකුශල චේතනාව කායසංඛාර නම් වේ. මලක් පුදන තැනැත්තා එය සිදු කරනුයේ මල අතින් ගෙන පූජාසනයෙහි තැබීමෙනි. අතේ උපකාරය නැතිව මල් පිදීමේ චේතනාවට පමණක් එය නො කළ හැකි ය. එබැවින් අතින් ගෙන මල් පුදන්නා වූ කුශල චේතනාව කාය සංඛාරයකි. සතකු මරන තැනැත්තා එය කරනුයේ අතින් හෝ අතින් ගත් ආයුධයකිනි. ශරීරයේ ආධාරය නැතිව චේතනාවට ම ප්‍රාණවධය නො කළ හැකි ය. එබැවින් සතකු මරන්නා වූ ප්‍රාණඝාත චේතනාව කායසංඛාරයකි. වචනය උපකරණයක් කොට ගෙන එහි ආධාරයෙන් කාර්‍ය්‍යය සිදු කරන චේතනාව වචීසංඛාර නමි. කථා කිරීමේ මාර්ගයෙන් ක්‍රියා සිද්ධිය කරන චේතනාවෝ වචීසංඛාරයෝ ය. කයේ හෝ වචනයේ හෝ උපකාරයක් වුවමනා නැති, මෙත් කිරීම් ද්වේෂ කිරීම් ආදි වශයෙන් පවත්නා කුශලාකුශල චේතනාවෝ චිත්තසංඛාරයෝ ය.
මෙසේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා සංඛාරය දෙයාකාරයකින් දක්වන ලද නමුත් ධර්ම වශයෙන් ඒවායේ වෙනසක් නැත. පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාර ආනෙඤ්ජාභිසංඛාර ය යි කී කල්හි ද සංඛාර සියල්ල ම ගැනෙන්නේ ය. කායසංඛාර වචීසංඛාර චිත්තසංඛාරය යි කී කල්හි ද සංඛාර සියල්ල ම ගැනෙන්නේ ය. ශරීරයේ ආධාරයෙන් ක්‍රියා සිද්ධිය කරන පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාරයෝ කායසංඛාරයෝ ය. කථාකිරීමෙන් ක්‍රියා සිද්ධිය කරන පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාරයෝ වචීසංඛාරයෝ ය. ක්‍රියා සිද්ධිය සඳහා ශරීරයේ හා කථාවේ ද උපකාරයක් උවමනා නො වන පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාරයන් හා ආනෙඤ්ජාභිසංඛාරයෝ චිත්ත සංඛාරයෝ ය.