පටිච්ච සමුප්පාද විවරණය

star_outline

නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

තුරසඞ්ඛ්‍යකල්ප ලක්‍ෂසඞ්ඛ්‍යාතාතිදීර්ඝ කාලය මුළුල්ලෙහි පිරූ සමතිස් පෙරුම් දහම් බෙලෙන් ශ්‍රී මහා බෝධිදෘම මූලයේ දී, ශීල නමැති පෘථිවියෙහි වීර්‍ය්‍ය නමැති පාදයුග්මයෙන් සිට, සමාධි නමැති ශීලාතලයෙහි මුවහත් කරන ලද කර්මක්ෂයකරඥාන නමැති පොරොව ශ්‍ර‍ද්ධා නමැති අතින් ගෙන අතීතාදි කාලත්‍ර‍යක් හා අවිද්‍යාදි ද්වාදශාඞ්ගයක් හා, විංශත්‍යාකාරයක් හා සන්ධිත්‍ර‍යක් හා සතර රාශියක් හා ත්‍රිවෘත්තයක් හා මූලද්වයක් ද ඇත්තා වූ ප්‍ර‍තීත්‍යසමුත්පාද සඞ්ඛ්‍යාත අනාදිකාලප්‍ර‍වෘත්ත සංසාරචක්‍ර‍ය සිඳ සර්‍වඥ පද ප්‍රාප්ත වූ, මාගේ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ ශ්‍රී පාදයුග්මය අතිශය භක්තියෙන් හා ගෞරවයෙන් වැඳ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත පරම ගම්භීර ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්‍මය සසර දුකින් මිදී නිවන් සුවය ලබනු රිසි ධර්‍ම කාමී සත්පුරුෂ ජනයාට නිවන් මඟ දක්වනු පිණිස මාගේ නැණ පමණින් හෙළ බසින් වර්ණනා කරනු ලැබේ. ආදරයෙන් මෙය කියවා ගම්භීර ධර්මය තේරුම් ගෙන නිවන් පසක් කිරීමට උත්සාහ කෙරෙත්වා!!