ප්‍රඥා පාරමිතාව පිරීමේ උත්සාහය ඇතිවනු පිණිස ප්‍රඥාවෙහි ගුණ මෙනෙහි කළ යුතු ය. ප්‍රඥාවෙහි ගුණ ප්‍රඥාවෙහි අනුසස් බොහෝ ය. ශ්‍රාවක බෝධි - ප්‍රත්‍යේක සම්බෝධි - සම්‍යක් සම්බෝධි යන නම් වලින් කියැවෙන්නේ ලෝකෝත්තර ප්‍රඥා තුනෙකි. ලෞකික ප්‍රඥාව නො වඩා ඒ ලෝකෝත්තර ප්‍රඥාව කවර ආකාරයකින්වත් ඇති කරන්නට නුපුළුවන. ලෝකෝත්තර ප්‍රඥාව ඇති වන්නේ ලෞකික ප්‍රඥාව දියුණු වීමෙන්ය. එ බැවින් ප්‍රඥා පාරමිතාව සම්බෝධියට විශේෂයෙන් ම උපකාරක පාරමිතාව වේ.
ජීවිතයෙන් තොර වූ ශරීරය කිසිවක් කිරීමට සමත් නොවන්නාක් මෙන් ද, විඤ්ඤාණයෙන් තොර වූ චක්ෂුරාදිය දර්ශනාදිය සිදු කිරීමට සමත් නො වන්නාක් මෙන් ද, ප්‍රඥාවෙන් තොර වූ ශ්‍රද්ධාදි ධර්මයෝ දානාදි ක්‍රියා මැනවින් සිදු කිරීමට සමත් නො වෙති. එබැවින් පාරමිතා පූරණයේ දී ප්‍රඥාව ම ප්‍රධාන වේ.
ඥානයෙන් තොරව දෙන දානය මහත්ඵල මහානිසංස නො වන දුබල පිනෙකි. දාන පාරමිතාව වන්නේ නුවණින් යුක්ත වන දාන චේතනාව ය. ධනය පමණක් නොව අඹුදරුවන් ද ශරීරාවයවයන් ද ජීවිතය ද දිය හැකි වන තරමට සිත සාදා ගත හැක්කේ ද ප්‍රඥාව ඇති තැනැත්තාට ය. ප්‍රඥාව හීන තැනැත්තන්ට ශරීරාවයවාදි වස්තූන් දී පසුතැවිලි නො වී නො සිටිය හැකි ය.
මම දෙමි ය අන්‍යයෝ මගෙන් ගෙන ජීවත් වෙති'යි තමා උසස් කොට ප්‍රතිග්‍රාහකයන් පහත් කොට සිතන්නා වූ, දුන් නිසා තමා කියන දෙයකට ප්‍රතිග්‍රාහකයන් අනුකූල විය යුතුය, තමා කියන දෙයක් ඔවුන් විසින් කළ යුතු යි සිතන්නා වූ තැනැත්තා ගේ දානය මානයෙන් කිලිටි වේ. භව භෝග සම්පත් බලාපොරොත්තු වන්නා වූ තැනැත්තාගේ දානය තෘෂ්ණාවෙන් කිලිටි වේ. දානය කිසි ක්ලේශයකින් කිලිටි නො වන ලෙස පරිශුද්ධ දාන පාරමිතාව වන සැටියට දීමනාව කළ හැකි වන්නේ ද නුවණැත්තාට පමණ ය.
ප්‍රඥාව හීන තැනැත්ත ගේ ශීලය ද තෘෂ්ණා මානයන්ගෙන් නොයෙක් විට කිලිටි වේ. “අපි ම සිල්වත්හු ය. අන්‍යයෝ දුශ්ශීලයෝ ය” යි තමන් උසස් කොට අනුන් පහත් කොට සිතන උග්‍ර ශීලවන්තයන්ගේ ශීලය කොතෙක් උග්‍ර වුව ද එය මානයෙන් කිලිටි ය. අරණ්‍යාදියෙහි වෙසෙමින් ඉතා දුකසේ හොඳින් සිල් රක්නා වූ පින්වතුන් විසින් මෙය විශේෂයෙන් සැලකිය යුතු කරුණෙකි. අත්තුක්කංසන, පරවම්භන, තණ්හාදියෙන් නො කිලිටි වන සේ සිල් රැකිය හැක්කේ ද ප්‍රාඥයා හට ය. සත්ත්වයන් බොහෝ ඇලුම් කරන උසස් කොට සලකන කාමයන්ගෙන් නික්මිය හැක්කේ ද නුවණැත්තාට ම ය. ප්‍රඥාවෙන් තොර වූ වීර්‍ය්‍යය ඵල රහිත ය. සැම දෙයක් ම සිදු කළ හැක්කේ ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්‍ය්‍යයෙනි. ඥානයෙන් යුක්ත වීර්‍ය්‍යය ලොව්තුරා බුදු බව ද ලබා දෙන්නේ ය.
ක්ෂාන්ති පාරමිතාව පිරීම් වශයෙන් අනුන් කරන නින්දා පරිභව අලාභ හානි ආදියෙන් ප්‍රයෝජනය ලැබිය හැක්කේ නුවණත්තාට පමණ ය. නුවණ මඳ තැනැත්තේ ඒවා නිසා කෝප වී තමාට ම හානි කර ගන්නේ ය. තමාටත් අනුන්ටත් අනර්ථයක් නොවන සැටියට යහපතක් ම වන සැටියට සැම තන්හි ම සත්‍යය ම පාවිච්චි කොට සත්‍ය පාරමිතාව පිරිය හැක්කේ නුවණැත්තාට ම ය. නුවණ මඳ තැනැත්තේ සමහර විට සත්‍යයෙන් අමාරුවට ද පත් වන්නේ ය.
දානාදි පාරමිතා ප්‍රතිපත්ති පටන් ගෙන කලක දී නො හැර දමා ඒවායේ පිහිටා සිටිය හැක්කේ ද නුවණැත්තාට ම ය. නුවණ මඳ තැනැත්තාට පාරමිතා පූරණයෙහි ස්ථිරව නොපිහිටිය හැකි ය. හිතාහිත මධ්‍යස්ථ සකල සත්ත්වයන් කෙරෙහි වෙනසක් නැතිව මෙත් සිත පැවැත්විය හැකි වන්නේ ද නුවණැත්තාට ම ය. නුවණ මඳ තැනැත්තේ ලාභාලාභාදි ලෝක ධර්මයන් කරණකොට ගෙන විකාරයට පැමිණෙන්නේ ය. ලෝක ධර්මයන් නිසා උඩඟු වීමක් තැවීමක් නැතිව මැදහත් ව විසිය හැක්කේ ද නුවණැත්තාට ම ය. මෙසේ තවත් නොයෙක් ආකාරවලින් ද ප්‍රඥාවෙහි ගුණ මෙනෙහි කළ යුතු ය.