ප්‍රඥා පාරමිතාව පුරන්නා විසින් ප්‍රඥාවට බාධක කරුණු ද දැන සිටිය යුතු ය. ප්‍රඥාවට බාධක කරුණු සැටියට ප්‍රධාන වශයෙන් කිය යුත්තේ නීවරණය පස ය.
“පඤ්චිමෙ භික්ඛවෙ, ආවරණා නීවරණා චෙතසෝ උපක්කිලෙසා පඤ්ඤාය දුබ්බලීකරණා. කතමෙ පඤ්ච? කාමච්ඡන්දො භික්ඛවේ ආවරණො නීවරණො චෙතසො උපක්කිලෙසො පඤ්ඤාය දුබ්බලීකරණො, ව්‍යාපාදො භික්ඛවෙ, ආවරණො නීවරණො චෙතසො උපක්කිලෙසො පඤ්ඤාය දුබ්බලීකරණො, ථිනමිද්ධං භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො උපක්කිලෙසං පඤ්ඤාය දුබ්බලීකරණං, උද්ධච්ච-කුක්කුච්චං භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො උපක්කිලෙසං පඤ්ඤාය දුබ්බලීකරණං, විචිකිච්ඡා භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො උපක්කිලෙසං පඤ්ඤාය දුබ්බලීකරණං ඉමො ඛො භික්ඛවෙ, පඤ්ච ආවරණා නීවරණා චෙතසො උපක්කිලෙසා පඤ්ඤාය දුබ්බලීකරණා”
(බොජ්ඣංග සංයුත්ත)
යනුවෙන් ඒ බව ප්‍රකාශිත ය. මහණෙනි, සිත වසන්නා වූ කුශල ධර්මයන් වසන්නා වූ සිත පෙළන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෝ පස් දෙන මොවුහුය. කවරහු ද?
මහණෙනි, කාමච්ඡන්දය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක, මහණෙනි, ව්‍යාපාදය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක, මහණෙනි, ථිනමිද්ධය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක, මහණෙනි, උද්ධච්ච කුක්කුච්චය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක. මහණෙනි, විචිකිච්ඡාව සිත වසන්නා වූ කුශලය ආවරණය කරන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක. මහණෙනි, මේ ධර්මයෝ පස් දෙන සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෝ ය යනු එහි තේරුම යි.
නීවරණ පස අතුරෙනුත් කාමච්ඡන්ද, ව්‍යාපාද දෙක වඩාත්ම ප්‍රඥාවට බාධක ය. ඒ දෙක නිසා මෙ ලොවත් මහ දුකට පත්ව මරණින් මතු ද අපා ගත වන්නෝ බොහෝ ය. චරියා පිටක අටුවාවෙහි ප්‍රඥාවට බාධක මෝහයට හේතු වන කරුණු බොහෝ ගණනක් දක්වා තිබේ.
“අරතී, තන්දි, විජම්භිතා, ආලසියං, ගණසංගණිකාරාමතා, නිද්දාසීලතා, අනිච්ඡය සීලතා, ඤාණස්මිං අකුතුහලතා, මිච්ඡාමානො. අපරිපුච්ඡකතා, කායස්ස න සම්මා පරිහාරො, අසමාහිත චිත්තතා, දුප්පඤ්ඤානං පුග්ගලානං සෙවනතා, පඤ්ඤාවන්තානං අපයිරුපාසනා, අත්තපරිභවො, මිච්ඡා විකප්පා, විපරිතාභිනිවෙසො, කායදළ්හි බහුලතා, අසංවෙගසීලතා, පඤ්චනීවරණානි.” මේ චරියාපිටක අටුවාවෙහි සම්මෝහ කාරණයන් දක්වා ඇති ආකාරය ය.
උකටලී බව ය, පමා වෙවී වැඩ කරන බව ය, ඇඟ ඒ මේ අත අඹරවන හිරි අරින ගතිය ය, අලස බව ය, බොහෝ දෙනා හා එක්ව විසීමෙහි ඇලීම ය, බොහෝ නිදන බව ය, ඒ ඒ දෙය විනිශ්චය නො කර ගන්නා ස්වභාවය ය, ඥානයෙහි නො කුහුල් බව ය, (ඤාණස්මිං අකුහුලතා යනු තේරුම් ගැනීම දුෂ්කර ය.) වරදවා සිතා ගැනීම ය, අනුන්ගෙන් නො පිළිවිසින ස්වභාවය ය, ශරීරය මනා කොට පරිහරණය නො කරන බව ය, නොසන්සුන් සිත් ඇති බව ය, නුවණ නැතියන් සේවනය කරන බව ය, නුවණැතියන් කරා නො යන බව ය, තමාට ම අවමන් කර ගන්නා බව ය, වරදවා කල්පනා කිරීම ය, යම් යම් කරුණු වරදවා විනිශ්චය කර ගෙන සිටීම ය, ශාරීරික දාහය අධික බව ය, සංවේග නැති බව ය, පඤ්චනීවරණයෝය යන මොහු චරියා පිටක අටුවාවෙහි දැක්වෙන සම්මෝහ හේතුහු ය.