1. භද්‍රඝට ජාතකය (291)

star_outline

සබ්බකාමදදං කුම්භං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සමයේ අනේපිඬු මහ සිටාණන්ගේ බෑණා කෙනෙකු අරබයා වදාළ සේක. ඔහු වනාහි මව්පියන් සන්තක හතළිස් කෝටියක් ධනය සුරාපානය නිසා විනාශ කරගෙන සිටුතුමා වෙත ගියේය. හෙතෙම ඔහුට “වෙළදාම් කරන්න” යැයි කියා කහවණු දහසක් දුන්නේය. එයද නාස්ති කොට නැවතත් පැමිණියේය. නැවත ඔහුට පන්සියයක් ලබා දුන්නේය. ඒවාද නාස්ති කොට නැවත ආවා වූ ඔහුට දළ රෙදි දෙකක් ලබා දුන්නේය. ඒවාද නාස්ති කොට ආ ඔහුගේ බෙල්ලෙන් අල්ලා නෙරපා හැරියේය. හෙතෙම අනාථ වී අනුන්ගේ අගුපිලක් ළඟ කලුරිය කළේය. ඔහුගේ සිරුර එතනින් ඇද බැහැරට දැමූහ. අනේපිඬු සිටුතුමා විහාරයට ගොස් බෑණාගේ සියලු පුවත් තථාගතයන් වහන්සේට සැල කළේය. බුදුරජාණන් වහන්සේ “නුඹ මේ තැනැත්තා කෙසේ සෑහීමකට පත් කරන්නෙහිද? මම පෙර මොහුට සියලු සම්පත් ලබාදෙන කළයක් දී පවා සෑහීමකට පත් කරන්නට නොහැකි වූයෙමි” යි වදාරා ඔහු විසින් ආරාධනා කරන ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සිටු කුලයෙහි ඉපදී පියාගේ ඇවෑමෙන් සිටු තනතුර ලැබූහ. ඔහුගේ නිවසේ පොළව යට සතළිස් කෝටියක් ධනය විය. ඔහුට සිටියේ එකම පුතෙකි. බෝසතාණන් වහන්සේ දානාදී පින්කම් කොට කලුරිය කර ශක්‍ර දේවේන්ද්‍රයා වී උපන්හ. ඉක්බිති ඔහුගේ පුතා වීථිය අවුරා මණ්ඩපයක් කරවා මහජනයා පිරිවරාගෙන හිඳ රා බොන්නට පටන් ගත්තේය. හෙතෙම පහත දැක්වෙන දේ කරන්නවුන්ට දහස බැගින් දෙමින්:

  1. පිණුම් ගැසීම්
  2. දිවීම්
  3. ගී කීම්
  4. නැටීම්

ස්ත්‍රීන්ට, සුරාවට හා මස් ආදියට ලොල් වී “ගී කියන අය කොහිද? නටන අය කොහිද? වාදනය කරන අය කොහිද?” යැයි සොයමින් විනෝදයටම බරව ප්‍රමාද වී ඇවිදින්නේය. නොබෝ කලකින් හෙතෙම සතළිස් කෝටියක් ධනය ද පරිභෝග කළයුතු අනුභව කළයුතු සියලු දෑ ද නාස්ති කොට දුප්පත් වී, බැගෑපත් ව, වැරහැල්ලක් ඇඳගෙන හැසිරුණේය. ශක්‍රයා ආවර්ජනා කරන්නේ ඔහුගේ දුප්පත් බව දැක පුත්‍ර ප්‍රේමයෙන් පැමිණ කැමති සියලු සම්පත් දෙන කළයක් දී, “දරුව! යම් සේ මේ කළය නොබිඳේද, එසේම මෙය රැකගන්න. මේ කළය ඔබට ඇති තාක් කල් ධනයෙහි අඩු වීමක් නම් නොවන්නේය. එනිසා නොපමාව කටයුතු කරන්නැ” යි අවවාද දී දෙව්ලොවටම ගියේය. ඔහු එතැන් පටන් රා බොමින් හැසිරුණේය. ඉක්බිති එක් දිනක් සුරාවෙන් මත් වී ඒ කළය අහසට දම දමා අල්ලමින් සිටින විට එක් වරක් අල්ලාගත නොහැකි විය. කළය බිම වැටී බිඳුණේය. එතැන් පටන් නැවත දිළිඳු වී ඉරුණු වැරහැල්ලක් ඇඳගෙන කබලක් අතින් ගෙන හිඟමනේ හැසිරෙමින් අනුන්ගේ අගුපිළක මළේය.

බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා,

“සියලු වස්තු කාමයන් දීමට සමත් කළය ලැබූ ධූර්තයා එය රකින තෙක් සැප ලබයි.

“යම් කලෙක හෙතෙම සුරා මදයෙන් මත් වූයේ, උඩඟු වූයේ, පමා වූයේ කළය බින්දේ ද, ඉන්පසු නග්න වූයේ වැරහැලි හැන්දා වූ ඒ බාලයා (මෝඩයා) වැනසෙයි.

“එපරිදි යමෙක් ධනය ලබා පමණ නොදැන (ප්‍රමාද වී) පරිභෝග කෙරේ ද, ඒ අනුවණයා භද්‍රඝටය බිඳගත් ධූර්තයා මෙන් පසුව තැවෙයි.”

මේ අභිසම්බුද්ධ ගාථා වදාරා ජාතක කථාව නිමවා වදාළ සේක.

එහි, සබ්බකාම දදං යනු සියලුම වස්තු කාමයන් දීමට සමත් කළයයි. කුටං යනු කළයටම යෙදෙන තවත් නමකි. යාව යනු යම් පමණ කාලයක් ද යන්නයි. අනුපාලෙති යනු යම් කිසිවෙක් මෙබඳු දෙයක් ලබා යම්තාක් කල් රකියි ද, තාව සො සුඛමෙධති යනු ඒ තාක් කල් ඔහු සැප ලබයි යන අර්ථයයි. මත්තො ච දිත්තො ච යනු සුරා මදයෙන් මත් වූයේ ද අහංකාරයෙන් යුක්තව (දිලෙන) ද යන්නයි. පමාදා කුම්භමබ්භිදා යනු ප්‍රමාදයෙන් කළය බින්දේය යන්නයි. නග්ගො ච පොත්ථො ච යනු කිසියම් දිනක නිරුවත් ව ද, කිසිදිනෙක රිටි සුඹුලු වස්ත්‍රයක් ඇඳ ඇති බැවින් පොත්ථ නම් ව ද සිටීමයි. එවමෙව යනු මෙසේම ය. පමත්තො යනු ප්‍රමාදයෙන් හෙවත් පමණ නොදැන යන්නයි. තප්පති යනු ශෝක කරයි.

“එකල කළය බිඳ ගත් ධූර්තයා වූයේ සිටුතුමාගේ බෑණා ය. ශක්‍රයා වනාහි මම ම වූයෙමි” යි වදාළ සේක.

පළමුවෙනි සුරාඝට ජාතක වර්ණනාවයි.