“අබ්භන්තරො නාම දුමො” (අබ්භන්තර නම් රුක) යනාදී වූ මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සමයෙහි සැරියුත් තෙරුන් වහන්සේ විසින් බිම්බා දේවි තෙරණියට දෙන ලද අඹරස දානයක් අරබයා වදාළ සේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් දම්සක් දෙසුම පවත්වා විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩවාසය කරද්දී, මහා ප්‍රජාපතී ගෝතමිය ශාක්‍ය කුමාරිකාවන් පන්සියයක් රැගෙන බුදුරදුන් වෙත ගොස් පැවිද්ද ඉල්ලා, පැවිද්ද හා උපසම්පදාව ලැබුවාය. පසුකලෙක ඒ පන්සියයක් භික්ෂුණීහු ‘නන්දකෝවාද’ සූත්‍රය (ම· නි· 3.398 ආදිය) අසා රහත් ඵලයට පත්වූහ. ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ඇසුරුකොට වැඩවාසය කරන කල්හි රාහුල මාතා බිම්බා දේවිය, “මගේ ස්වාමියා පැවිදිව සර්වඥ බවට පත්විය. මගේ පුතා ද පැවිදි වී උන්වහන්සේ සමීපයේ වාසය කරයි. මම නිවසේ සිට කුමක් කරම්ද? මම ද පැවිදිව සැවැත් නුවරට ගොස් සම්බුදුරජාණන් වහන්සේ ද පුත්‍රයන් වහන්සේ ද නිතර නිතර බලමින් වාසය කරන්නෙමි” යි සිතා, භික්ෂූණී අසපුවට ගොස් පැවිදිව, ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා සමග සැවැත්නුවරට ගොස් බුදුරජාණන් වහන්සේ ද ප්‍රිය පුතණුවන් ද දකිමින් එක්තරා භික්ෂූණී ආරාමයක වාසය කළහ. රාහුල සාමණේරයන් වහන්සේ එහි වැඩමකොට මව දකින සේක.
ඉක්බිති එක් දිනක් තෙරණියගේ කුසෙහි වාත ආබාධයක් හටගත්තේය. පුතණුවන් තමා දකින්නට ආ කල්හි උන්වහන්සේ දැකීමට නික්මෙන්නට ඈට නොහැකි විය. සෙසු මෙහෙණිවරු අවුත් ඒ අපහසු බව කීවාහුය. පුත් සාමණේරයන් වහන්සේ මව ළඟට ගොස් “නුඹ වහන්සේට කුමක් ලැබීම සුදුසුදැ”යි විචාළහ. “දරුව, ගෙදරදී නම් හකුරු යෙදූ අඹ පැන් බිව් කල්හි කුසේ වාතය සංසිඳෙයි. දැන් වනාහි පිඬු පිණිස හැසිර දිවි ගෙවමු. එය කොතැනකින් ලබන්නෙම්දැ”යි ඈ කීවාය. සාමණේරයන් වහන්සේ “ලැබුණොත් ගෙන එන්නෙමි”යි කියා නික්මුණු සේක. උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ ආයුෂ්මත් ධර්මසේනාපති සැරියුත් තෙරුන් වහන්සේය; ගුරුවරයා මහා මුගලන් තෙරුන් වහන්සේය; සුළු පියා වූයේ ආනන්ද තෙරුන් වහන්සේය; පියාණෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේය; මෙය මහා සම්පත්තියකි. මෙසේ තිබියදීත් අනිකෙකුගේ සමීපයට නොගොස් උපාධ්‍යායන් වහන්සේ සමීපයට ගොස් වැඳ අසතුටු මුහුණින් යුතුව සිටි සේක. ඉක්බිති තෙරුන් වහන්සේ, “රාහුල, කුමක් නිසා අසතුටු මුහුණින් මෙන් සිටිහිදැ”යි විමසූහ. “ස්වාමීනි, මගේ මව් තෙරණියගේ කුසෙහි වාතය කිපුණේය.” “කුමක් ලැබීම යහපත්ද?” “හකුරු යෙදූ අඹ රසයෙන් සුව වෙති”යි කීහ. “එය එසේ වේවා, මම එය ලබන්නෙමි. ඒ ගැන නොසිතන්නැ”යි තෙරුන් වහන්සේ වදාළහ.
උන්වහන්සේ පසුදින සාමණේරයන් වහන්සේ ද කැටුව සැවැත්නුවරට පිවිස, සාමණේරයන් වහන්සේ ආසන ශාලාවෙහි නවත්වා රජගෙට වැඩි සේක. කොසොල් රජතුමා තෙරුන් වහන්සේ දැක වඩා හිඳවූ සේක. ඒ අවස්ථාවෙහි උයන්පල්ලා ඉදුණු මිහිරි අඹවලින් යුත් ගොටුවක් ගෙනාවේය. රජතුමා අඹවල ලෙලි ඉවත්කොට හකුරු දමා තමන්ම පොඩිකර තෙරුන් වහන්සේගේ පාත්‍රය පුරවා දුන්නේය. තෙරුන් වහන්සේ රජගෙදරින් නික්ම ආසන ශාලාවට ගොස්, “මෙය රැගෙන ගොස් ඔබගේ මවට දෙන්න” යැයි කියා සාමණේරයන් වහන්සේට දුන්හ. උන්වහන්සේ ගෙනගොස් දුන්හ. වැළදූ අවස්ථාවෙහිම තෙරණියගේ කුසේ අමාරුව සංසිඳුනේය. රජතුමා ද, “තෙරුන් වහන්සේ මෙහි හිඳ අඹ පැන් නොවැළඳූ සේක. යන්න, කිසිවකුට දුන්නොත් ඒ බව දැනගන්නැ”යි කියා මිනිසකු යැවීය. ඔහු තෙරුන් වහන්සේ සමගම ගොස් ඒ පුවත දැන අවුත් රජතුමාට කීවේය. රජතුමා මෙසේ සිතුවේය: “ඉදින් බුදුරජාණන් වහන්සේ ගිහිගෙයි විසූ සේක් නම් සක්විති රජ වන්නෝය; රාහුල සාමණේරයන් වහන්සේ පරිනායක රත්නය වෙති; තෙරණිය ස්ත්‍රී රත්නය වෙති; සියලු සක්වල රාජ්‍යයන් මුන්වහන්සේටම අයත් වන්නේය. අප විසින් මොවුන්ට සේවය කරමින් හැසිරිය යුතු වෙයි. දැන් පැවිදි වී අප ඇසුරුකොට වසන කල්හි මුන්වහන්සේලා කෙරෙහි ප්‍රමාදවීමට අපට යුක්තියක් නැත.” හෙතෙම එතැන් පටන් දිනපතා (බිම්බා දේවියට) අඹපැන් දීමට සැලැස්වීය. තෙරුන් වහන්සේ විසින් බිම්බා තෙරණියට අඹ පැන් දුන් බව භික්ෂු සංඝයා අතර ප්‍රකට විය. ඉක්බිති එක්දිනක් දම්සභාවෙහිදී “ඇවැත්නි, සැරියුත් තෙරුන් වහන්සේ බිම්බා තෙරණිය අඹ රසයෙන් සුවපත් කළහ” යනුවෙන් කථාවක් මතු කළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා “මහණෙනි, කවර කථාවකින් යුතුව මෙහි සිටියාහුදැ”යි විචාරා, “මෙනම් කථාවෙන්” යයි කී කල්හි, “මහණෙනි, සැරියුත් විසින් අඹපැන් දී රාහුල මාතාව සුවපත් කරන ලද්දේ දැන් පමණක් නොවේ; පෙරත් ඇය සුවපත් කළේ යැ”යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරද්දී බෝසතාණන් වහන්සේ කාසි රට එක්තරා ගමක බමුණු කුලයක ඉපදී, වැඩිවියට පත්ව තක්සලා නුවරින් සියලු ශිල්ප ඉගෙන, ගෘහවාසයෙහි පිහිටා, මව්පියන්ගේ ඇවෑමෙන් තවුස් පැවිද්දෙන් පැවිදිව, හිමාලය වන පෙදෙසේ අභිඥා හා සමාපත්ති උපදවාගෙන, තවුස් පිරිසක් පිරිවරා ගණ ශාස්තෲවරයෙකු වී, දිගු කලක් ඇවෑමෙන් ලුනු ඇඹුල් සෙවීම පිණිස පර්වත පාදයෙන් බැස චාරිකාවෙහි හැසිරෙමින් බරණැස් නුවරට පත්ව රාජකීය උයනෙහි වාසය කළහ. එකල්හි ඒ තවුස් පිරිසේ සීල තේජසින් ශක්‍ර භවනය කම්පා විය. ශක්‍රයා ආවර්ජනා කර බලමින් ඒ කරුණ දැන, “මේ තාපසයන්ට වාසය නොකිරීම පිණිස (ඔවුන් එළවා දැමීමට) උත්සාහ කරන්නෙමි. එවිට ඔවුහු වාසස්ථාන අහිමි වී උවදුරට පත්ව ඇවිදිමින් සිතේ එකඟබවක් නොලබන්නාහුය; මෙසේ මට පහසු වන්නේ ය”යි සිතා, “කුමක් නු ඛො උපාය”යි විමසමින් සිටින විට මේ උපාය දුටුවේය: “මධ්‍යම රාත්‍රියෙහි රජුගේ අගමෙහෙසියගේ සිරියහන් ගබඩාවට පිවිස අහසෙහි සිට ‘සොඳුරිය, ඉදින් නුඹ අබ්භන්තර (මැද පිහිටි) අඹයක් කන්නෙහි නම් පුතෙකු ලබන්නෙහිය. ඔහු සක්විති රජ වන්නේ ය’යි කියන්නෙමි. රජතුමා දේවියගේ කථාව අසා ඉදුණු අඹ සඳහා සේවකයන් උයනට යවන්නේය. එවිට මම අඹ අතුරුදහන් කරන්නෙමි. ඔවුහු උයනෙහි අඹ නැති බව රජුට සැල කරන්නාහ. ‘ඒවා කවුරුන් කත්දැ’යි ඇසූ කල්හි ‘තාපසයෝ කති’යි කියත්. ඒ අසා රජතුමා තාපසයන්ට තලා නෙරපන්නේය. මෙසේ තාපසවරුන් උවදුරට පත්වන්නාහුය.”
ඔහු මැදියම් රැයෙහි සිරියහන් ගබඩාවට පිවිස අහසෙහි සිට තමන් දෙවිරජ බව හඟවා ඇය සමග කථා කරමින් මේ ගාථා දෙක වදාළේය:
“අබ්භන්තර නම් වූ යම් වෘක්ෂයක් වේ ද, යමක මේ ඵලය දිව්‍යමය ද; එය අනුභව කොට දොළදුක් ඇති ස්ත්‍රිය සක්විති පුතෙකු බිහි කරයි.”
“භද්‍රාවෙනි, නුඹ ද අගමෙහෙසිය වන්නෙහිය, එමෙන්ම සැමියාට ප්‍රිය වූවා ද වන්නෙහිය; රජ තෙමේ නුඹට මේ අබ්භන්තර ඵලය ගෙනෙන්නේය.”
එහි අබ්භන්තරො නාම දුමො යනු: මෙහිදී ගම්, නියම්ගම්, ජනපද, පර්වත ආදිය අතරින් අසවල් තැන අභ්‍යන්තරයෙහි (ඇතුළත) යනුවෙන් අදහස් නොකොට, හුදෙක් ‘අබ්භන්තර’ නම් වූ එක්තරා අඹ ගසක් ගැන කීවේය. යස්ස දිබ්යමිදං ඵලං යනු: යම් අඹ ගසක දෙවියන්ගේ පරිභෝගයට සුදුසු දිව්‍ය ඵලයක් වේ ද යන්නයි. ඉදං යනු නිපාත මාත්‍රයකි. දොහළිනී යනු: හටගත් දොළදුක් ඇත්තී ය. ත්වම්පි, භද්දෙ, මහෙසීසි යනු: ශෝභන තැනැත්තිය, නුඹ අගමෙහෙසියක් වන්නෙහිය. අටුවාවෙහි වනාහි මහෙසී වා (මහෙසිය ද) යන පාඨය ද ඇත. සා චාපි පතිනො පියා යනු: දහසය දහසක් බිසෝවරුන් අතරෙහි අගමෙහෙසිය ද වන්නේය, ස්වාමියාට ද ප්‍රිය වන්නේය යන අර්ථයයි. ආහරිස්සති තෙ රාජා, ඉදං අබ්භන්තරං ඵලං යනු: ප්‍රිය වූ අගමෙහෙසිය වන ඔබට මා විසින් කියන ලද ආකාරයේ ඒ ඵලය රජතුමා ගෙන්වා දෙන්නේය; නුඹ එය අනුභව කොට සක්විති දරුගැබක් ලබන්නෙහිය යනුයි.
මෙසේ ශක්‍රයා දේවියට මේ ගාථා දෙක කියා, “නුඹ අප්‍රමාද වන්න. ආසාවක් (ප්‍රමාදයක්) ඇති කර නොගන්න. හෙට රජතුමාට මෙය සැලකරන්නැ”යි ඇයට උපදෙස් දී තමන් වසන ස්ථානයටම ගියේය. ඈ දෙවන දවසේ ගිලන් බවක් අඟවා පිරිවර ස්ත්‍රීන්ට සංඥාවක් දී වැතිර ගත්තීය. රජතුමා එසවූ සුදු සේසත් ඇති සිහසුනේ හුන්නේ නාටක ස්ත්‍රීන් දෙස බලමින් දේවිය නොදැක, “දේවීන් වහන්සේ කොහිදැ”යි පිරිවර ස්ත්‍රීන්ගෙන් විචාළේය. “දේවයන් වහන්ස, ගිලන් වී සිටින්නී ය”යි ඔවුහු කීහ. රජතුමා ඇය සමීපයට ගොස් ඇඳේ කොනක හිඳගෙන පිට පිරිමදින්නේ, “සොඳුරිය, නුඹට ඇති අපහසුව කුමක්දැ”යි විචාළේය. “මහරජතුමනි, අන් අපහසුතාවක් නම් නැත. මට දොළදුකක් උපන්නේය.” “සොඳුරිය කුමක් කැමැත්තෙහිද?” “දේවයන් වහන්ස, අබ්භන්තර (අභ්‍යන්තර) අඹ ගෙඩියකි.” “අබ්භන්තර අඹ නම් කොතැනක ඇත්ද?” “දේවයන් වහන්ස, මම අබ්භන්තර අඹ නොදනිමි. නමුත් ඒ අඹ ඵල ලැබුනොත් මගේ ජීවිතය රැකෙයි. නොලැබුනොත් ජීවිතය නැතැ”යි ඇය කීවාය. “එසේනම් ගෙන එන්නෙමි. ඒ ගැන නොසිතන්නැ”යි දේවිය සනසා නැගිට ගොස් රාජාසනයෙහි හිඳිමින් ඇමතියන් කැඳවා, “දේවීන් වහන්සේට අබ්භන්තර අඹ කෑමෙහි දොළදුකක් උපන්නේය. කුමක් කළයුතුදැ”යි විචාළේය. “දේවයන් වහන්ස, අඹ ගස් දෙකක් අතර පිහිටි අඹ ‘අබ්භන්තර’ (මැද පිහිටි) අඹ නමි. උයනට යවා අබ්භන්තරයෙහි (මැද) පිහිටි අඹ ගස්වලින් අඹගෙඩි ගෙන්වාගෙන දේවියට දෙවන්න ය”යි ඔවුහු කීහ.
රජතුමා “යහපතැ”යි කියා “එබඳු අඹ ගෙන එව”යි කියා (සේවකයන්) උයනට යැවීය. ශක්‍රයා තමන්ගේ ආනුභාවයෙන් උයනෙහි අඹ (කවුරුන් හෝ) කා දමන ලද ආකාරයක් පෙනෙන ලෙස අතුරුදන් කළේය. අඹ පිණිස ගිය මිනිස්සු මුළු උයන පුරා සැරිසරා එක් අඹයක්වත් නොලබා ගොස්, උයනෙහි අඹ නොමැති බව රජුට කීවාහුය. “අඹ කෑවෝ කවරහුද?” “දේවයන් වහන්ස, තාපසයෝය.” “තාපසවරුන් තලා උයනෙන් නෙරපා හරිව්.” මිනිස්සු “යහපතැ”යි පිළිතුරු දී (තාපසයන්) නෙරපූහ. ශක්‍රයාගේ මනදොල මුදුන් පැමිණියේය. දේවිය අඹයක් වෙනුවෙන් නිරතුරුව වැතිර සිටියාය. රජතුමා කළ යුතු දෙයක් නොදකින්නේ ඇමතියන් ද බමුණන් ද රැස් කරවා “අබ්භන්තර අඹ ඇති බව දන්නාහුදැ”යි විචාළේය. බමුණෝ මෙසේ කීවාහුය: “දේවයන් වහන්ස, අබ්භන්තර අඹ නම් දෙවියන්ගේ පරිභෝගයකි. හිමාල වනයෙහි රන් ගුහාව (කාඤ්චන ගුහාව) තුළ ඇත යන්න අපගේ පරම්පරාගත කථාවෙන් අසා ඇත්තෙමු.” “කවරෙක් ඒ අඹ ගෙන ඒමට සමත් වන්නේද?” “මිනිසුන්ට එහි යාමට නොහැකිය. එක් ගිරා පොව්වෙකු යැවීම සුදුසු ය”යි කීහ.
එසමයෙහි රජ කුලයෙහි ලොකු සිරුරක් ඇති, කුමාරවරුන්ගේ යානයක රෝදය මැද නාභිය පමණ වූ, ශක්තිමත්, නැණවත්, උපායෙහි දක්ෂ එක් ගිරවෙක් සිටියේය. රජතුමා ගිරවා ගෙන්වාගෙන, “දරුව ගිරා පෝතකය, මම නුඹට බොහෝ උපකාර ඇත්තෙක් වෙමි. ඔබ රන් කූඩුවක වසන්නෙහිය. රන්තැටියක මීපැණි හා විලඳ කන්නෙහිය. හකුරු පැන් බොන්නෙහිය. නුඹ විසින් අපට එක් කටයුත්තක් කර දීම සුදුසු ය”යි කීවේය. “දේවයන් වහන්ස, කියනු මැනවි.” “දරුව, දේවීන් වහන්සේට අබ්භන්තර අඹ කෑමට දොළක් උපන්නාය. ඒ අඹ හිමවත රන් පර්වතය (කාඤ්චන පර්වත) අතර ඇත. එය දෙවියන්ගේ පරිභෝගයකි. මිනිසුන්ට එහි යන්නට නොහැකිය. නුඹ විසින් එතැනින් අඹ ගෙඩියක් ගෙන ඒම සුදුසු ය”යි කීය. “යහපති දේවයන් වහන්ස, ගෙනෙන්නෙමි”යි හෙතෙම කීය. ඉක්බිති රජතුමා ගිරවාට රන්තැටියෙහි මීපැණි විළද කවා, හකුරු පැන් පොවා, සියක් වරක් සිඳින ලද තෙල් උගේ පියාපත් අතර තවරා, දෑතින් ගෙන සී මැදුරු කවුළුවෙහි සිට අහසට මුදා හළේය. ගිරවා ද රජුට ආදර දක්වා අහසින් යමින් මිනිස් පියස ඉක්මවා හිමාල වනයෙහි පළමු පර්වත වළල්ලෙහි වාසය කරන්නා වූ ගිරවුන් සමීපයට ගොස්, “අබ්භන්තර නම් වූ අඹ කොහි ඇත්දැයි ඒ තැන මට කියව්” යැයි විචාළේය. “අපි නොදනිමු. දෙවන පර්වත වළල්ලෙහි සිටින ගිරවුන් දනිතැ”යි ඔවුහු කීහ.
හෙතෙම ඔවුන්ගේ බස් අසා එතැනින් ඉගිලී දෙවන පර්වත වළල්ලට ගියේය. එසේ තුන්වන, හතරවන, පස්වන, හයවන පර්වත වළලු දක්වා ගොස් එහි ගිරවුන් ද “අපි නොදනිමු”යි කී පසු සත්වන පර්වත වළල්ල අතරෙහි ගිරවුන් දන්නාහුයයි කීවාහුය. ගිරවා ඒ ඒ තැන ගොස් “අබ්භන්තර අඹ කොතන ඇද්දැ”යි විචාළේය. “අසවල් තැන රන් පර්වතය අතර ය”යි ඔවුහු කීවාහුය. “මම ඒ අඹ ඵලය සඳහා ආවෙමි. මා එහි ගෙනගොස් එයින් මට ගෙඩියක් දෙවන්නැ”යි කීය. ගිරා සමූහයා මෙසේ කීහ: “මිතුර, එය වෙසමුණි මහරජුගේ පරිභෝගය සඳහාය. එහි එළඹිය නොහැක. මුළු ගසම මුල පටන් ලෝහ දැල් හතකින් වටකරන ලද්දේය; කෝටි දහසක් කුම්භාණ්ඩ රාක්ෂසයෝ එය ආරක්ෂා කරති. ඔවුන් විසින් දක්නා ලද්දහුගේ ජීවිතය නම් නැත. කල්පය කෙළවර ගින්නක් හා සමාන, අවීචි මහ නිරය හා සමාන ස්ථානයකි. එහි යාමට ප්‍රාර්ථනා නොකරන්නැ”යි කීහ. “ඉදින් තෙපි නොයව් නම් මට තැන කියව්”යි කීය. “එසේනම් අසවල් අසවල් තැනින් යව”යි ඔවුහු කීහ. ගිරවා ඔවුන් විසින් කියන ලද ක්‍රමයට මනාකොට මාර්ගය සලකා ගෙන, ඒ ස්ථානයට ගොස් දවල් කාලයේ තමන් නොපෙනී සැඟවී සිට, මැදියම් රැයෙහි රකුසන් නිදන අවස්ථාවෙහි අභ්‍යන්තර අඹ ගස ළඟට ගොස් එක් ගස්මුලක් අතරින් හෙමින් ගසට නැගීමට පටන් ගත්තේය. ලෝහ දැළ ‘කිරි’ යන ශබ්දය කළේය.
රකුසෝ පිබිදී ගිරා පෝතකයා දැක “අඹ සොරා ය”යි අල්ලාගෙන දඬුවම් කිරීමට කටයුතු සංවිධානය කළහ. එකෙක් “මූ කටෙහි දමාගෙන ගිලින්නෙමි”යි කීවේය. අනිකෙක් “අතින් පොඩිකර විසුරුවන්නෙමි”යි කීවේය. අනිකා “දෙකට පලා අඟුරුවල පුච්චා කන්නෙමි”යි කීවේය. ගිරවා ඔවුන්ගේ දඬුවම් දීම පිළිබඳ කථාව අසා තැති නොගෙනම ඒ රකුසන් අමතා, “එම්බා රකුසනි! නුඹලා කවරෙකුගේ සේවකයෝදැ”යි විමසුවේය. “වෙසමුණි රජුගේ ය”යි කීහ. “එම්බල, තොපි ද එක් රජෙකුගේ සේවකයෝය. මම ද රජෙකුගේ සේවකයෙකි. බරණැස් රජතුමා මාව අභ්‍යන්තර අඹගෙඩි සඳහා එව්වේය. ඒ මම එහිදීම තමන්ගේ රජතුමා වෙනුවෙන් ජීවිතය පුදා ආවෙමි. යම්කිසිවෙක් තමන්ගේ මව්පියන් සහ ස්වාමියාගේ යහපත උදෙසා ජීවිතය පරිත්‍යාග කරයි ද, ඔහු දෙව්ලොවම උපදියි. ඒ නිසා මම ද මේ තිරිසන් ආත්ම භාවයෙන් මිදී දෙව්ලොව උපදින්නෙමි”යි කියා තුන්වන ගාථාව කීවේය:
“ස්වාමියාගේ අර්ථය උදෙසා වෑයම් කරන්නා වූ, ශූර වූ, ආත්ම පරිත්‍යාගී තැනැත්තා යම් උතුම් තැනකට (ස්වර්ගයට) පැමිණේ ද, මම ද එය ලබන්නෙක් වෙමි.”
එහි භත්තුරත්ථෙ යනු: බත් ආදිය දී පෝෂණය කරන්නා වූ පියා, මව, ස්වාමියා ද යන මේ ත්‍රිවිධ පෝෂකයන් සඳහා යන අර්ථයි. පරක්කන්තො යනු: උත්සාහ කරන්නේ, වෑයම් කරන්නේ ය. යං ඨානමධිගච්ඡති යනු: සැපයට හේතුවන යම් තත්ත්වයක්, කීර්තියක් හෝ ලාභයක් හෝ ස්වර්ගයෙහි ඉපදීම හෝ ලබයි ද (එයයි). සූරො යනු: බිය නැති, වික්‍රමයෙන් යුක්ත වූ. අත්තපරිච්චාගී යනු: කයෙහි ද ජීවිතයෙහි ද අපේක්ෂාවක් නැතිව ඒ ත්‍රිවිධ ස්වාමීන්ගේ යහපත පිණිස තමා පරිත්‍යාග කරන්නා වූ. ලභමානො භවාමහං යනු: මෙබඳු ශූර වූ හෙතෙම යම් දිව්‍ය සම්පතක් හෝ මනුෂ්‍ය සම්පතක් හෝ ලබයි ද මම ද එය ලබන්නෙක් වෙමි; ඒ නිසා මට මෙහිදී ඇත්තේ සතුටක්මය, තැති ගැනීමක් නැත; කිම තෙපි මා බිය ගන්වන්නහුද?
මෙසේ හෙතෙම මේ ගාථාවෙන් ඔවුන්ට ධර්ම දේශනා කළේය. ඔවුහු ගිරවාගේ බණ අසා පැහැදුනු සිත් ඇතිව, “මොහු දැහැමි සත්ත්වයෙකි; මරන්නට නොහැකිය; මුදාහරින්නෙමු”යි කියා ගිරා පෝතකයා මුදාහැර, “පින්වත් ගිරා පෝතකය, ඔබ අප අතින් මිදුනෙහිය; සැපසේ යන්නැ”යි කීවාහුය. “මගේ පැමිණීම හිස් නොකරන්න. මට එක අඹ ගෙඩියක් දෙන්නැ”යි ගිරවා කීය. “ගිරා පෝතකය! තොපට එක් අඹ ගෙඩියක් දීම නම් අපට බරක් නොවේ. නමුත් මේ ගසේ අඹ ලකුණු යොදා (ගණන් තබා) රැක ගන්නා ලද්දේය. එක් ගෙඩියක් හෝ අඩු වූ විට අපේ ජීවිතය නැත. වෙස්සවණ මහ රජු කිපී වරක් බැලූ විට රත්වූ කබලෙහි දමන ලද තල මෙන් කුම්භාණ්ඩයෝ දහසක් බිඳී විසිරී යති. ඒ නිසා නුඹට අඹ දෙන්නට අපි නොහැක්කෙමු; එහෙත් ලබාගන්නා තැනක් කියන්නෙමු”යි කීහ. “යම්කිසි කෙනෙක් හෝ දේවා, මට අඹගෙඩියකින් ප්‍රයෝජනයක් ඇත්තේමය. ලබන්නට පුළුවන් තැනක් කියන්නැ”යි කීය. “මේ රන් පර්වතය අතරෙහි ජෝතිරස නම් තාපසයෙක් ගිනි පුදමින් ‘කාඤ්චන පත්ති’ (රන් පත්) නම් පන්සලෙහි වාසය කරයි. හෙතෙම වෛශ්‍රවණයාට හිතවත්ය. වෙසමුණි රජ ඒ තාපසයාට නිරතුරුව අඹ ගෙඩි හතරක් යවයි. ඔහු ළඟට යන්නැ”යි කීහ.
ඔහු “යහපතැ”යි පිළිගෙන තාපසයා ළඟට ගොස් වැඳ එකත්පසෙක හිඳගත්තේය. ඉක්බිති ඔහුට තාපසයා “කොහි සිට ආවෙහිදැ”යි විචාළේය. “බරණැස් රජුගේ සමීපයේ සිට ය”යි කීය. “කුමක් සඳහා ආවෙහිදැ”යි ඇසීය. “ස්වාමීනි! අපගේ රජතුමාගේ දේවියට අබ්භන්තර අඹ කෑමට දොළදුකක් උපන්නේය. ඒ සඳහා අඹ සොයා ආවෙමි. රකුසෝ තමන් අඹ ඵල නොදී නුඹ වහන්සේ ළඟට එවූහ”යි කීවේය. “එසේනම් හිඳගන්න, ලබන්නෙහිය”යි කීය. එවිට ඔහුට වෙසමුණි රජතුමා අඹ ගෙඩි හතරක් එවීය. තාපසයා එයින් අඹ ගෙඩි දෙකක් අනුභව කළේය. එකක් ගිරා පෝතකයාට කෑමට දුන්නේය. ගිරවා විසින් එය අනුභව කළ විට, ඉතිරි අඹ ගෙඩිය පසුම්බියක දමා ගිරවාගේ බෙල්ලෙහි බැඳ “දැන් යන්නැ”යි කියා ගිරා පෝතකයා මුදා හළේය. ගිරවා එය ගෙන ගොස් දේවියට දුන්නේය. දේවිය එය අනුභව කොට දොළ සංසිඳුවා ගත්තාය. ඒ හේතුවෙන් (කෙලෙස් තුනී වූ නමුත්) ඇයට පුතෙක් නොලැබුනේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල දේවිය වූයේ රාහුල මාතාවය; ගිරවා වූයේ ආනන්දය; අඹ ගෙඩිය දුන් තාපසයා වූයේ සැරියුත්ය; උයනෙහි විසූ තාපසයා වනාහි මම ම වූයෙමි” යි වදාළ සේක.
පළමුවන අබ්භන්තර ජාතක වර්ණනාවයි.