“යථා කෙසා ච මස්සූ ච” යන දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි ආනන්ද බෝධියට මල්මාලා පූජා කරන භික්ෂූන් අරබයා දේශනා කළ සේක. (මේ පිළිබඳ) කතා පුවත කාලිංග බෝධි ජාතකයෙහි මතු සඳහන් වන්නේය. එය වනාහි ආනන්ද තෙරුන් වහන්සේ විසින් රෝපණය කරන ලද බැවින් ‘ආනන්ද බෝධි’ යයි නම් විය. තෙරුන් වහන්සේ විසින් ජේතවනාරාම දොරකොටුව අසල බෝධිය රෝපණය කළ බව මුළු දඹදිව පුරා පැතිරුණේය. ඉක්බිති එක්තරා ජනපදවාසී භික්ෂූහු “ආනන්ද බෝධියට මල්මාලා පූජා කරන්නෙමු”යි දෙව්රමට පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ, පසුදින සැවැත්නුවරට පිවිස උපුල් මල් ඇති වීදියට ගොස් මල් නොලබා ආපසු පැමිණ ආනන්ද තෙරුන්ට සැල කළාහුය. “ඇවැත්නි! අපි බෝධින් වහන්සේට මල්මාලා පූජා කරන්නෙමු යැයි උපුල් වීදියට ගොස් එක් මලක්වත් නොලැබුවෙමු.” තෙරුන් වහන්සේ, “ඇවැත්නි! මම ඔබලාට මල් ගෙන එන්නෙමි”යි පවසා උපුල් විකුණන වීදියට ගොස් බොහෝ නිලුපුල් මිටි ඔසවාගෙන අවුත් ඔවුන්ට ලබා දුන් සේක. උන්වහන්සේලා ඒවා රැගෙන බෝධි පූජා කළාහුය. ඒ පුවත අසා දම්සභාවෙහි භික්ෂූහු, “ඇවැත්නි! ජනපදවාසී භික්ෂූහු පින් මදකමින් උපුල් විකුණන වීදියට ගොස් මල් නොලැබූහ. තෙරුන් වහන්සේ ගිය වහාම (මල්) ගෙන්වාගෙන වැඩියහ” යනුවෙන් තෙරුන් වහන්සේගේ ගුණ කථාවක් මතු කළහ. බුදුරජාණන් වහන්සේ (එතැනට) වැඩම කර, “මහණෙනි! මා එන්නට පෙර කවර කථාවකින් යුතුව මෙහි සිටියාහුදැ”යි විචාරා, “මෙනම් කතාවෙන්” යයි කී කල්හි, “මහණෙනි! කථා කිරීමට දක්ෂ වූවෝ දැන් පමණක් මල් ලැබුවාහු නොවෙති. පෙරත් ලැබුවාහු ය”යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ සිටුපුත්‍රයෙක් වී උපන් සේක. එකල ඇතුළු නුවරම එක් විලක නෙළුම් පිපේ. නාසය කැපුණු එක් පුරුෂයෙක් ඒ විල රකී. ඉක්බිති එක් දිනක් බරණැස් නුවර උත්සව කාලය ප්‍රකාශ කළ කල්හි, මල් පැළඳ උත්සව ක්‍රීඩා කරනු කැමති සිටුපුත්‍රයෝ තිදෙනෙක්, “නාසය සිඳුණු තැනැත්තාට අසත්‍ය වූ වර්ණනා පවසා මල් ඉල්ලන්නෙමු”යි කතිකා කරගෙන, ඔහු නෙළුම් මල් කඩන වේලාවෙහි විල අසලට ගොස් එකත්පසෙක සිටියාහුය.
ඔවුන්ගෙන් එක් අයෙක් ඔහු අමතා පළමු ගාථාව පැවසීය.
“හිසකෙස් හා රැවුල කැපූ කැපූ වාරයක් පාසා යළි වැවෙන්නාක් මෙන්, එලෙසින්ම ඔබගේ නාසයද නැවත වැඩේවා! මම ඔබෙන් ඉල්ලමි, මට නෙළුම් මලක් දෙනු මැනවි.”
හෙතෙම ඔහු කෙරෙහි කිපී මලක් නොදුන්නේය.
ඉක්බිති දෙවැන්නා ඔහුට දෙවන ගාථාව පැවසීය.
“යම්සේ සරත් සමයෙහි (වැපිරීම සඳහා) තැන්පත් කළ බීජ කෙතෙහි වැපූ විට මනාව වැඩේද, එලෙසින්ම ඔබගේ නාසයද නැවත වැඩේවා! යාච්ඤා කරමි, මට පියුමක් දෙනු මැනවි.”
එහි සාරදිකං යනු සරත් ඍතුවෙහි ගෙන තැන්පත් කරන ලද සාරවත් බීජ යි. හෙතෙම ඔහුටද කිපී නෙළුම් මලක් නොදුන්නේය.
ඉක්බිති තෙවැන්නා ඔහුට තෙවන ගාථාව පැවසීය.
“මේ දෙදෙනාම නෙළුම් මල් දෙනු ඇතැයි සිතා බොරු දොඩවති. ඔවුහු ඔබගේ නාසය වැඩේවායි කීවත්, නොකීවත් නාසය වැඩීමක් නම් නැත. මිතුර, මම යාච්ඤා කරමි. මට පියුම් දෙනු මැනවි.”
එහි උභොපි පලපන්තෙතෙ යනු මේ දෙදෙනාම බොරු කියති. අපි පද්මානී යනු ‘අපට නෙළුම් දේවි’ යයි සිතා මෙසේ කියති. වජ්ජුං වා තෙ න වා වජ්ජුං යනු ‘නුඹේ නාසය වැඩේවා’යි මෙසේ කීවත්, නොකීවත් ඔවුන්ගේ වචනයෙන් පලක් නැත. කෙසේවත් නාසය වැඩීමක් සිදු නොවේ. අහං (මම) නුඹේ නාසය ගැන කිසිවක් නොකියමි. හුදෙක් යාචාමි (ඉල්ලමි). දෙහි සම්ම පදුමානි යාචිතො යනු යහළුව, මා විසින් ඉල්ලන ලද්දෙහි නෙළුම් මල් දුන මැනවි.
ඒ අසා නෙළුම් විල රකින්නා, “මේ දෙදෙනා විසින් බොරු කියන ලදී. ඔබ විසින් සැබෑ තත්වය පවසන ලදී. එබැවින් නෙළුම් මල් ලැබීමට සුදුසු ඔබය” යයි පවසා, විශාල නෙළුම් මිටියක් ගෙනවුත් ඔහුට දී තමාගේ නෙළුම් විලටම ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව ගලපා නිම කළ සේක. “එකල නෙළුම් මල් ලැබූ සිටුපුත්‍රයා වූයේ මම ම ය”යි වදාළ සේක.
පළමු වන පදුම ජාතක වර්ණනාව නිමි.