1. ගෝධ ජාතකය (141)

star_outline

“න පාපජනසංසෙවී” (පවිටු ජනයා ඇසුරු නොකරන්නා) යන මේ ජාතක ධර්ම දේශනය බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක්, ප්‍රතිපක්ෂව කටයුතු කරන (පවිටු මිතුරන් ඇසුරු කරන) භික්ෂුවක් අරබයා දේශනා කළහ. මෙහි වර්තමාන කතාව මහිලාමුඛ ජාතකයෙහි සඳහන් කතාව හා සමානය.

අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයෝ තලගොයි යෝනියෙහි උපත ලැබූහ. ඔහු වියපත්ව, ගංගා තීරයේ වූ විශාල ගුහාවක නොයෙක් සිය ගණන් තලගොයින් පිරිවරා වාසය කළේය. ඔහුගේ පුත් තලගොයි පැටියා එක් කටුස්සෙකු සමඟ මිතුරු වී, ඔහු සමඟ සතුටින් කල් ගෙවමින්, “කටුස්සා වැළඳ ගනිමි”යි කියා ඌ මත වැතිරෙයි. මොවුන් දෙදෙනාගේ මේ විශ්වාසය ගැන ගෝධ රජුට (බෝසතාණන්ට) අසන්නට ලැබුණි. ගෝධ රජ තෙමේ තම කුඩා පුතු කැඳවා, “දරුව, නුඹ නුසුදුසු තැනක විශ්වාසය තැබුවෙහිය. කටුස්සෝ නම් හීන ජාතියකි. ඔවුන් සමඟ විශ්වාස නොකළ යුතුය. ඉදින් නුඹ ඌව විශ්වාස කරන්නෙහි නම්, ඒ කටුස්සා නිසා මේ මුළු තලගොයි වර්ගයාම විනාශයට පත්වනු ඇත. මෙතැන් පටන් ඒ කටුස්සා සමඟ විශ්වාසයෙන් කටයුතු නොකරව”යි අවවාද කළේය. එහෙත් පුත්‍රයා පියාගේ අවවාදය නොතකා මිත්‍රත්වයම පවත්වාගෙන ගියේය. බෝසතාණෝ නැවත නැවත කීවද, ඔහුගේ ඒ මිත්‍රත්වය වැළැක්වීමට නොහැකි විය. “ඒකාන්තයෙන්ම අපට මේ කටුස්සා නිසා බියක් උපදිනු ඇත. එබඳු බියක් හටගත් කල්හි පලා යාම සඳහා මාර්ගයක් සකසා තැබීම වටී”යි සිතූ බෝසතාණෝ එක් පසෙකින් වාත කවුළුවක් (පලා යා හැකි සිදුරක්) සාදා තැබූහ.

කල් යත්ම බෝසතුන්ගේ පුත්‍රයා විශාල ශරීරයක් ඇත්තෙක් විය. එහෙත් කටුස්සා පෙර තිබූ කුඩා ප්‍රමාණයම විය. ඒ තලගොයි පුත්‍රයා “කටුස්සා වැළඳ ගනිමි”යි විටින් විට ඌ මතුපිට වැතිරෙයි. එවිට කටුස්සාට පර්වත කූටයකින් යටවන්නාක් මෙන් දැනෙයි. ඌ ඉන් පීඩාවට පත්ව මෙසේ සිතුවේය: “ඉදින් මේ තලගොයා තවත් දින කිහිපයක් මෙලෙස මා වැළඳගතහොත් මට ජීවිතයක් නම් නැත. එබැවින් එක් වැද්දෙකු හා එක්ව මේ මුළු තලගොයි කුලයම විනාශ කර දමන්නෙමි.” ඉන්පසු දිනක් නියං සමයේ වැසි වැටුණු කල්හි තුඹසින් මෙරු නැගුනාහ. තලගොයි ඒ ඒ තැනින් පිටතට අවුත් මෙරු කන්නට වූහ. එක් තලගොයි වැද්දෙක් තලගොයි ගුහාව කැනීම පිණිස උදැල්ලක් ගෙන බල්ලන් ද සමඟ වනයට පිවිසියේය. කටුස්සා ඔහු දැක, “අද මම මගේ මනදොළ සපුරා ගනිමි”යි සිතා, ඔහු වෙත ගොස් නුදුරෙහි වැතිර, “පින්වත් පුරුෂය, කුමක් නිසා වනයෙහි ඇවිදින්නෙහිදැ”යි ඇසීය. හෙතෙම “තලගොයින් සොයා යැ”යි කීවේය. “මම තලගොයින් සිය ගණනක් වෙසෙන ගුහාවක් දනිමි. ගින්දර සහ පිදුරු රැගෙන එන්නැ”යි කී කටුස්සා, ඔහු එතැනට කැඳවාගෙන ගොස්, “මේ ස්ථානයෙන් පිදුරු දමා, ගිනි දල්වා දුම් ගස්වා, හාත්පස බල්ලන් රඳවා, ඔබ විශාල මුගුරක් ගෙන පිටතට එන එන තලගොයාට ගසා මරා ගොඩගසාගෙන යන්න”යි කීවේය. මෙසේ කියා, “අද මම සතුරාගේ විනාශය දකිමි”යි සිතා එක් පසෙක හිස ඔසවා බලා සිටියේය. වැද්දා ද පිදුරු දමා දුම් ගැසුවේය. දුම ගුහාව තුළට වැදුණු කල්හි, දුමින් දෑස් අඳ වූ තලගොයි මරණ බියෙන් තැතිගෙන පිටතට පැන පලායන්නට වූහ. වැද්දා එලියට ආ ආ එකාට ගසා මරා දැමුවේය. ඔහුගේ අතින් ගැලවුණු තලගොයින්ව බල්ලෝ ඩැහැගත්හ. මෙසේ තලගොයි වර්ගයාට මහත් විනාශයක් සිදු විය.

Story Illustration කටුස්සා විසින් වැද්දාට ගොයින් සිටින තුඹස පෙන්වා දීම.

බෝසතාණෝ “මේ විනාශය හටගත්තේ කටුස්සා නිසාය”යි දැන, “පවිටු පුද්ගලයන් හා ආශ්‍රය නොකළ යුතුය. පවිටුන් නිසා හිතසුවක් නම් නොලැබේ. එක් පවිටු කටුස්සෙකු නිසා මේසා විශාල තලගොයි පිරිසකට විනාශය සිදුවිය” යැයි සිතමින් වාත සිදුරෙන් පලායන අතර මෙම ගාථාව පැවසූහ.

“පවිටු ජනයා ඇසුරු කරන පුද්ගලයා ඒකාන්තයෙන්ම සුවයක් නොලබයි. කටුස්සා විසින් තලගොයි සමූහයා විනාශ කළාක් මෙන්, (පවිටු මිතුරා) තමා ද තමා හා එක්වූවන් ද විනාශයට පමුණුවයි.”

මෙහි සැකෙවින් අර්ථය මෙසේය: “පාපජනසංසෙවී” හෙවත් පවිටු ජනයා ඇසුරු කරන පුද්ගලයා, “අච්චන්තසුඛං” යනු ඒකාන්ත සැපයක් හෝ නිරතුරු සැපයක් “න එධති” හෙවත් නොලබයි, නොවිඳියි. ඒ කෙසේද යත්? “ගොධාකුලං කකණ්ටාව” (කටුස්සා නිසා තලගොයි කුලය මෙනි). යම් සේ කටුස්සා නිසා තලගොයි සමූහයා සැපයක් නොලැබුවේද, එමෙන් පවිටු ජනයා ඇසුරු කරන පුද්ගලයාද සැපයක් නොලබයි. පවිටු ජනයා ඇසුරු කරන්නා ඒකාන්තයෙන්ම “කලිං පාපෙති අත්තානං” වෙයි. මෙහි ‘කලි’ යනු විනාශයයි. පවිටු මිතුරන් ඇසුරු කරන්නා ඒකාන්තයෙන්ම තමාද, තමා සමඟ වෙසෙන අන්‍යයන්ද විනාශයට පමුණුවයි. සමහර පාලි පොත්හි “ඵලං පාපෙය්‍ය” යනුවෙන්ද ලියති. එහෙත් ඒ වචනය අටුවාවෙහි නැත. එහි අර්ථයද මෙතැනට නොගැලපේ. එබැවින් මුලින් කියන ලද පරිදිම අර්ථ ගත යුතුය.

බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය සමාධාන කළ (ගැලපූ) සේක. “එකල කටුස්සා වූයේ දේවදත්තය. බෝධිසත්ත්වයන්ගේ අවවාද නොපිළිගත් පුත්‍රයා වූයේ මේ විපක්ෂ සේවී (පවිටු මිතුරන් ඇසුරු කරන) භික්ෂුවය. ගෝධ රාජයා වූයේ මම ම වෙමි.”

පළමු ගෝධ ජාතක වර්ණනාව නිමා විය.