“චන්දාභන්ති” යන මේ ජාතක දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන සේක්, සංකස්ස නගර දොරටුවෙහි දී සැරියුත් තෙරණුවන් විසින් කරන ලද පැනයක් විසඳීම නිමිති කරගෙන දේශනා කළහ. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයේ, බෝධිසත්ත්වයෝ වනයෙහි (අරණ්‍යායතනයක) කාලක්‍රියා කරන අවස්ථාවේදී අතවැසියන් විසින් විමසන ලදුව, “චන්දාභං සූරියාභ” (සඳ එළිය, හිරු එළිය) යැයි පවසා ආභස්සර බ්‍රහ්ම ලෝකයේ උපන්හ. තාපසවරු ජ්‍යෙෂ්ඨ අතවැසියාගේ වචනය විශ්වාස නොකළහ. බෝධිසත්ත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණ අහසෙහි සිට මේ ගාථාව වදාළහ.
බෝධිසත්ත්ව තාපසයන් වහන්සේ අවසන් වරට තම ශ්‍රාවකයන් ඇමතීම.
“යමෙක් මේ ලොවෙහි සඳ එළිය හා හිරු එළිය යම් තාක් පැතිර පවතී ද, ඒ තාක් ප්‍රඥාවෙන් (ධ්‍යාන අරමුණ) විනිවිද දකියි ද (පතුරුවයි ද), හෙතෙම විතර්ක රහිත වූ (දෙවන) ධ්‍යානයෙන් යුක්ත ව ආභස්සර බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ වේ.”
එහි “චන්දාභන්ති” යන්නෙන් ඔදාත (සුදු) කසිණය දක්වයි. “සූරියාභන්ති” යන්නෙන් පීත (කහ) කසිණය දක්වයි. “යොධ පඤ්ඤාය ගාධති” යනු යම් පුද්ගලයෙක් මෙම සත්ත්ව ලෝකයෙහි මෙම කසිණ දෙක ප්‍රඥාවෙන් අවබෝධ කර ගනී ද, අරමුණු වශයෙන් ඊට පිවිසේ ද, එහි ම පිහිටයි ද යන්නයි. නොඑසේ නම්, “චන්දාභං සූරියාභඤ්ච, යොධ පඤ්ඤාය ගාධති” යන්නෙහි අර්ථය නම්; සඳ එළිය සහ හිරු එළිය යම් තාක් තැනක පැතිර පවතී ද, ඒ තාක් ස්ථානයෙහි ප්‍රතිභාග කසිණ නිමිත්ත වඩා, එය අරමුණු කොට ධ්‍යාන උපදවන්නා වූ තැනැත්තා, මේ ආලෝක දෙක ම ප්‍රඥාවෙන් විනිවිද දකින්නේ (ගාධති) නම් වේ. එබැවින් මෙය ම මෙහි අර්ථය යි. “අවිතක්කෙන ඣානෙන, හොති ආභස්සරූපගො” යනු ඒ පුද්ගලයා එසේ කොට ලබන ලද දෙවන ධ්‍යානය හේතුවෙන් ආභස්සර බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ වේ යනුයි.
මෙසේ බෝධිසත්ත්වයෝ තාපසවරුන් ව දැනුවත් කර, ජ්‍යෙෂ්ඨ අතවැසියාගේ ගුණ කියා බ්‍රහ්ම ලෝකයට ම ගියහ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය ගළපා වදාළහ. “එකල ජ්‍යෙෂ්ඨ අතවැසියා වූයේ සාරිපුත්ත ස්ථවිරයන් ය. මහා බ්‍රහ්මයා වූයේ මම ම වෙමි.”
පස්වන චන්දාභ ජාතක වර්ණනාව නිමාවිය.