“අසම්පදානෙනිතරීතරස්සා” යන මේ දේශනාව ශාස්තෘන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි දේවදත්ත තෙරුන් අරබයා වදාළ සේක. එකල්හි භික්ෂූහු දම් සභාවෙහි කථාවක් ඉපදවූහ: “ඇවැත්නි, දේවදත්ත තෙම අකෘතඥය, තථාගතයන් වහන්සේගේ ගුණ නොදනී” යනුවෙනි. ශාස්තෘන් වහන්සේ එහි වැඩමවා “මහණෙනි, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නාහුදැ”යි විචාරා, “මේ නම් කථාවකින් යැ”යි කී කල්හි, “මහණෙනි, දේවදත්ත තෙම අකෘතඥ වූයේ දැන් පමණක් නොවේ, පෙරත් අකෘතඥ වූයේමය” යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි මගධ රට රජගහ නුවර එක් මගධ රජ කෙනෙකු රාජ්‍යය කරවන කල්හි බෝසතාණන් වහන්සේ ඔහුට අයත් සිටුවරයෙක් විය. හෙතෙම අසූ කෝටියක් ධනය ඇති සංඛ නම් සිටුතුමා ය. බරණැස් නුවර ද පිළිය සිටුතුමා නමින් අසූ කෝටියක් ධනය ඇති සිටුවරයකු විය. ඔවුහු ඔවුනොවුන් මිත්‍රයෝ වූහ. ඔවුන් අතුරෙන් බරණැස් නුවර පිළිය සිටුතුමාට කිසියම් කරුණක් නිසා මහත් විපතක් ඇති විය. සියලු වස්තුව පිරිහිණි. හෙතෙම දිළිඳු වූයේ, පිළිසරණක් නොමැතිව බිරිඳ කැටුව සංඛ සිටුතුමාගේ පිහිට බලාපොරොත්තුවෙන් බරණැස් නුවරින් පිටත්ව පයින්ම රජගහ නුවරට පැමිණ සංඛ සිටුතුමාගේ නිවසට ගියේය. හෙතෙම ඔහු දැක “මගේ මිත්‍රයා පැමිණියේය” යි සතුටින් වැළඳගෙන සත්කාර සම්මාන කොට කීප දිනක් ගත වූ පසු එක් දිනක්, “යහළුව, කුමක් සඳහා පැමිණියෙහිදැ”යි විචාළේය. “යහළුව, මට විපතක් ඇති විය. සියලු ධනය විනාශ විය. මට පිහිට වන්න” යැයි හෙතෙම කීය. “යහපති යහළුව, බිය නොවන්න” යයි කියා ගබඩාව විවෘත කරවා හතළිස් කෝටියක් රන් මුදල් දෙවා සෙසු උපකරණ හා පිරිවර ද, තමා සන්තක පණ ඇති නැති දේ සියල්ල ද මැදින් බෙදා, අඩක්ම දුන්නේය. හෙතෙම ඒ වස්තුව ගෙන නැවත බරණැසට ගොස් වාසය කළේය.
පසු කාලයෙහි සංඛ සිටුතුමාට ද එබඳුම විපතක් ඇති විය. හෙතෙම තමාට පිළිසරණක් සොයන්නේ, “මගේ මිත්‍රයාට මා විසින් විශාල උපකාරයක් කරන ලදී. වස්තුවෙන් අඩක් දෙන ලදී. ඔහු මා දැක අත් නොහරින්නේය. ඔහු වෙතට යන්නෙමි” යි සිතා, බිරිඳ කැටුව පයින්ම බරණැස් නුවරට ගොස් බිරිඳට මෙසේ කීවේය: “සොඳුරිය, නුඹ මා සමඟ වීදිය මැදින් යාම සුදුසු නැත. මා විසින් එවන ලද රථයට නැඟී මහත් පිරිවරින් පසුව එන්නෙහි ය. මා රථයක් එවන තුරු මෙහිම රැඳී සිටින්න” යැයි කියා ඇය ධර්ම ශාලාවක නවතා, තෙමේ නුවරට පිවිස සිටුතුමාගේ නිවසට ගොස් “රජගහ නුවර සිට ඔබගේ මිත්‍ර සංඛ සිටුතුමා පැමිණියේය” යි දැනුම් දුන්නේය. හෙතෙම “එන්න” යයි කැඳවා ඔහු දැක අසුනෙන් හෝ නොනැගිට්ටේය. පිළිසඳර කථා නොකළේය. හුදෙක් “කුමක් සඳහා ආවෙහිදැ”යි විචාළේය. “ඔබ දැක බලා ගැනීමට පැමිණියෙමි” යි ඔහු කීවේය. “නුඹ නවාතැන් ගත්තේ කොහිද?” “තවම නවාතැන් පොළක් නැත. සිටු දේවිය ද ශාලාවේ නවතා පැමිණියෙමි”. “තොපට මෙහි නවාතැන් නැත. නවාතැන් පොළක් සොයාගෙන, එක් තැනක උයා පිහා කා යන්න. නැවත අපගේ නිවසට නොඑන්න” යයි පවසා, “මගේ මේ මිත්‍රයාගේ රෙදි පොටෙහි බැඳ බොල් වී තුඹක් (නැලි හතරක්) පමණ දෙව” යයි දාසයාට අණ කළේය. එදවස වනාහි සිටුතුමා රත් ඇල් වී වලින් ගැල් දහසක් පමණ පොළවා ගබඩාව පිරවූයේය. හතළිස් කෝටියක් ධනය රැගෙන ගිය, අකෘතඥ මහා සොරා මිත්‍රයාට බොල් වී තුඹක් පමණක් දෙවීය. දාසයා පැසකට එක් බොල් වී තුඹක් දමා බෝසතාණන් ළඟට ගියේය.
සංඛ සිටුතුමාට පිලිය සිටු විසින් බොල් වී තිඹක් ලබා දීම
බෝසත්හු මෙසේ සිතූහ: “මේ අසත්පුරුෂයා මා වෙතින් හතළිස් කෝටියක් ධනය ලබාගෙන දැන් බොල් වී තුඹක් දෙවයි. මෙය ගනිම් ද? නොගනිම් ද?” ඉක්බිති ඔහුට මෙබඳු අදහසක් විය: “මේ අකෘතඥ මිත්‍රද්‍රෝහියා කළගුණ නොසැලකූ බැවින් මා සමඟ පැවති මිත්‍රත්වය බිඳ දමා ඇත. ඉදින් මම මොහු විසින් දෙන ලද බොල් වී තුඹ ලාමක යයි සිතා නොගත්තෙමි නම්, මම ද මිත්‍රත්වය බිඳින්නෙක් වෙමි. අඥාන බාලයෝ ලැබූ සුළු දෙය නොපිළිගැනීමෙන් මිත්‍රත්වය විනාශ කර ගනිති. මම වනාහි මොහු විසින් දෙන ලද බොල් වී තුඹ පිළිගෙන මාගේ පැත්තෙන් මිත්‍රත්වය ආරක්ෂා කරගන්නෙමි.” හෙතෙම බොල් වී තුඹ රෙදි පොටෙහි බැඳගෙන ප්‍රාසාදයෙන් බැස ශාලාවට ගියේය. ඉක්බිති බිරිඳ ඔහුගෙන්, “හිමියනි, කිමෙක් ලැබුණේදැ”යි විචාළාය. “සොඳුරිය, අපගේ මිත්‍ර පිළිය සිටුතුමා බොල් වී තුඹක් දී අපව අදම පිටත් කර හැරියේය.” ඇය, “හිමියනි, කුමකට මෙය ගත්තෙහි ද? මේ බොල් වී හතළිස් කෝටියක් ධනයට සුදුසු ද?” යි අඬන්නට පටන් ගත්තාය. බෝසත්හු, “සොඳුරිය, නොහඬන්න. මම ඔහු සමඟ මිතුරු දහම බිඳෙන බියෙන්, මාගේ පාර්ශ්වයෙන් මිත්‍රත්වය රැකගනු පිණිස මෙය ගත්තෙමි. ඔබ කුමක් නිසා ශෝක කරන්නෙහිදැ”යි කියා මේ ගාථාව වදාළේය.
“කිසියම් වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ වස්තුවක් නොපිළිගැනීම නිසා අනුවණයාගේ මිතුරෝ කිලිටු වෙති (මිත්‍රත්වය බිඳී යයි). එහෙයින් (මිත්‍රත්වය රකිනු පිණිස) මිතුරා විසින් දෙන ලද බොල් වී කුරුණි සතර (තුඹ) පිළිගනිමි. මාගේ මිත්‍රත්වය නොපිරිහේවා! මිත්‍රත්වය සදා පවතීවා!”
එහි අසම්පදානෙන යනු, ‘අසම්පාදානෙන’ යන්න ස්වර ලෝපයෙන් වූ සන්ධියකි; නොගැනීම (නොපිළිගැනීම) යන අර්ථයි. ඉතරීතරස්ස යනු, යම්කිසි ලාමක හෝ අලාමක දෙයක් දීමෙහිදීය. බාලස්ස මිත්තානි කලීභවන්ති යනු, මෝඩයාගේ හෙවත් අඥානයාගේ මිත්‍රයෝ කාලකණ්ණි හා සමාන වෙති (කිලිටු වෙති); හෙවත් මිත්‍රත්වය බිඳී යයි යන අර්ථයි. තස්මා හරාමි භුසං අඩ්ඪමානං යනු, ඒ හේතුවෙන් මම යහළුවා විසින් දෙන ලද එක් බොල් වී තුඹක් පමණ වුවද ගනිමියි දක්වයි. මාන යනු අටු නැලියට (නැලි 8කට) නමකි. එයින් අඩක් ‘අඩ්ඪමාන’ (නැලි 4ක්) වේ. නැලි හතරක් ‘තුම්බ’ (තිඹක්) නම් වේ. එහෙයින් තුඹක් පමණ බොල් වී යැයි කියන ලදී. මා මෙ මිත්ති ජීයිත්ථ සස්සතාය යනු, මාගේ යහළුවා සමඟ පවතින මිත්‍රත්වය නොබිඳේවා, එය හැමදා පවතීවා යන අර්ථයි.
මෙසේ කී කල්හි ද සිටු බිරිඳ හැඬුවාමය. ඒ මොහොතෙහි සංඛ සිටුවරයා විසින් පිළිය සිටුතුමාට දෙන ලද කර්මාන්ත දාසයෙක් ශාලා දොරටුව අසලින් යන්නේ, සිටු බිරිඳගේ හැඬුම් ශබ්දය අසා, ශාලාවට පිවිස, තමාගේ පැරණි ස්වාමියා දැක පාමුල වැටී හඬා වැළපී “ස්වාමීනි, කුමක් සඳහා මෙහි පැමිණියේදැ”යි විචාළේය. සිටුතුමා සියල්ල ඔහුට කීවේය. කර්මාන්ත දාසයා, “එසේ වේවා ස්වාමීනි, දුක් නො වන්න” යයි දෙදෙනාම සනසා, තමාගේ නිවසට කැඳවාගෙන ගොස් සුවඳ පැනින් නාවා, ආහාර අනුභව කරවා, “අපේ ස්වාමියා පැමිණියේය” යයි සෙසු දාසයන් ද රැස් කරවා පෙන්වා, කීප දිනක් ගතකොට, සියලු දාසයන් සමඟ රජ මැදුරේ මිදුලට ගොස් මහත් ඝෝෂාවක් කළේය. රජතුමා ඔවුන් කැඳවා “මේ කුමක්දැ”යි විචාළේය. ඔවුහු ඒ සියලු පුවත් රජුට සැලකළහ.
රජතුමා ඔවුන්ගේ බස් අසා සිටුවරුන් දෙදෙනාම කැඳවා සංඛ සිටුතුමාගෙන් විචාළේය: “මහා සිටුතුමනි, ඔබ විසින් පිළිය සිටුතුමාට හතළිස් කෝටියක් ධනය දෙන ලද බව සැබෑද?” “එසේය මහරජතුමනි, මාගේ මිත්‍රයා මා සොයා රජගහ නුවරට පැමිණි විට ධනය පමණක් නොව සියලු ද්‍රව්‍යය ද, පණ ඇති නැති දේ ද යන මේ සියල්ල කොටස් දෙකකට බෙදා සමානව අඩක් දුන්නෙමි.” රජතුමා, “මේ කීම සැබෑදැ”යි පිළිය සිටුගෙන් විචාළේය. “එසේය, දේවයන් වහන්ස.” “එසේ නම්, නුඹ විසින් තමා සොයා පැමිණි මොහුට කිසියම් සත්කාරයක් හෝ සම්මානයක් කර තිබේ ද?” ඔහු නිහඬ විය. “තව ද නුඹ මොහුට බොල් වී තුඹක් රෙදි පොටට දමා දී තිබේ ද?” එය ද අසා හෙතෙම නිශ්ශබ්ද විය. රජතුමා “කුමක් කළ යුතුදැ”යි ඇමතියන් සමඟ සාකච්ඡා කොට, ඔහුට නින්දා කොට, “යව්, පිළිය සිටුවරයාගේ නිවසේ ඇති සියලු ධනය සංඛ සිටුතුමාට දෙව්” යයි අණ කළේය. බෝසත්හු, “මහරජ, මට අනුන් සන්තක දෙයින් වැඩක් නැත. මා විසින් දෙන ලද ප්‍රමාණය පමණක් ආපසු ලබා දෙනු මැනව” යයි ඉල්ලා සිටියහ. රජතුමා බෝසතාණන් වහන්සේට අයිති කොටස ලබා දුන්නේය. බෝසත්හු තමා විසින් දෙන ලද සියලු ධනය ආපසු ලබාගෙන, දාස පිරිස පිරිවරා රජගහ නුවරටම ගොස් සිටු තනතුරේ පිහිටා දානාදී පින්කම් කොට කම් වූ පරිදි මිය පරලොව ගියහ.
ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල පිළිය සිටුතුමා වූයේ දැන් දේවදත්ත තෙරුන් ය. සංඛ සිටුතුමා වූයේ මම ම වෙමි.”
පළමුවන අසම්පදාන ජාතක වර්ණනාවයි.