“චතුබ්භි අට්ඨජ්ඣගමා” (සතර දෙනෙකු නිසා අට දෙනෙකු ලැබීය) යනාදී වූ මේ ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සේක්, එක් අකීකරු භික්ෂුවක් අරභයා දේශනා කළ සේක. මෙහි කථා පුවත මින් පෙර සඳහන් වූ මිත්තවින්දක ජාතකයෙහි විස්තර කළ අයුරින් දත යුතුය. මේ ජාතක කථාව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයට අයත් වේ. එකල (හිස මතුපිට) උරචක්‍රය ඔසවාගෙන නිරයෙහි පැසෙන එක් නිරි සතෙක්, “ස්වාමීනි, මම කිනම් පවක් කළෙම්දැ” යි බෝසතාණන් වහන්සේගෙන් විමසීය. එවිට බෝසතාණන් වහන්සේ “තා විසින් මේ මේ පව්කම් කරන ලද්දේය” යි පවසමින් මේ ගාථාව වදාළ සේක.
උරචක්‍ර මාලාව හිස දරා සිටින නාරකික සත්ත්වයා සහ බෝධිසත්ත්වයන් වහන්සේ.
“සතර දෙනෙකු (විමාන ප්‍රේතීන්) නිසා අට දෙනෙකු ලැබීය. අට දෙනාගෙන් (නොසතුටු ව) දහසය දෙනෙකු ලැබීය. දහසය දෙනාගෙන් (නොසතුටු ව) තිස් දෙදෙනෙකු ලැබීය. ඉන්පසු පමණ ඉක්මවා පැතූ හෙයින්, උරචක්‍රයට හසුවිය. (මෙසේ) අධික ආශාවෙන් පහර කෑ පුරුෂයාගේ හිස මුදුනෙහි උරචක්‍රය කැරකෙයි.”
එහි, “චතුබ්භි අට්ඨජ්ඣගමා” (සතර දෙනෙකු නිසා අට දෙනෙකු ලැබීය) යනු, සාගරය මධ්‍යයෙහි විමාන ප්‍රේත දූවරුන් සතර දෙනෙකු ලබා, ඔවුන්ගෙන් සෑහීමකට පත් නොවී අධික තෘෂ්ණාව නිසා ඉදිරියට ගොස් තවත් (විමාන ප්‍රේතියන්) අට දෙනෙකු ලැබීය යන අර්ථයි. ඉතිරි පද දෙකෙහි ද අර්ථය මෙම ක්‍රමයටම ගත යුතුය. “අත්රිච්ඡං චක්කමාසදො” යනු, මෙසේ තමා ලද දෙයින් සතුටු නොවී ‘මෙහි ඇත, එහි ඇත’ යි සිතමින් (තව තවත්) ඉහළ ලාභ ප්‍රාර්ථනා කරමින් ගොස් දැන් උරචක්‍රය ලැබුවෙහිය. මේ උරචක්‍රයට පැමිණියෙහිය. මෙසේ වූ “ඉච්ඡාහතස්ස පොසස්ස” හෙවත් තෘෂ්ණාවෙන් පීඩාවට පත් වූ, පහර ලැබූ ඔබගේ “චක්කං භමති මත්ථකෙ” (හිස මුදුනෙහි චක්‍රය කැරකෙයි). මෙය ගලින් කළ චක්‍රයක් ද? යකඩින් කළ චක්‍රයක් ද? යන දෙකෙන් මුවහත් දාර ඇති යකඩ චක්‍රය ඒ පුරුෂයාගේ හිස මුදුනෙහි නැවත නැවත වැටෙමින් (කැපෙමින්) භ්‍රමණය වනු දැක (දේව පුත්‍රයා) මෙසේ වදාළේය. මෙසේ දේශනා කොට ඔහු තමාගේ දිව්‍ය ලෝකයට ම ගියේය. ඒ නිරි සතා ද තම පාප කර්මය ගෙවුණු පසු කම් වූ පරිදි ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය පූර්වාපර සන්ධි ගළපා නිම කළ සේක. “එකල මිත්තවින්දක වූයේ දැන් මේ අකීකරු භික්‍ෂුවයි. දේව පුත්‍රයා වූයේ මම ම වෙමි.”
සිව්වැනි වූ මිත්තවින්දක ජාතක වර්ණනාව නිමාවිය.