“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ සූර්යදිව්‍යරාජතෙම සර්ව කාලයෙහි ම තද ව දිලියේ ද? නොහොත් මඳක්කල් මඳ ව දිලියේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සූර්යදිව්‍යරාජතෙම සර්වකාලයෙහි ම ක්‍රෑර ව දිලියෙන්නේ ය. මඳක් කල් වත් මඳ ව නො දිලියෙන්නේ ය. මහමෙරුපර්වතය වටා පිහිටියා වූ යුගන්ධරපර්වතය භූමිය පටන් දෙසාළිස්දහසක් යොදුන් උස ඇත්තේ ය. යුගන්ධරපර්වතය පටන් සක්වළ ගල දක්වා මෙරට හාත්පසින් චාතුර්මහාරාජිකය පිහිටියේ ය. එහි අනන්ත වූ උද්‍යාන විමාන කල්පවෘක්ෂාදියෙන් සැදුම් ලත් අජවීථිය නාගවීථිය ගොවීථිය ය යි යන වීථිත්‍රයයෙහි සප්තවිංසතිනක්ෂත්‍ර තාරකාවන් පිරිවරා චන්ද්‍රසූර්යදෙදෙන නිසි හැසිරෙති. සූර්යදිව්‍යපුත්‍රතෙම චන්ද්‍රවිමානයට යොදුනක් මත්තෙන් යනුයේ ක්‍රමයෙන් සරස ගමන් වඩ වඩා ඇසළමස පටන් සමසක් මහමෙර පටන් චක්‍රවාරපර්වතය සමීපයට යන්නේ ය. පුසේනැකතලත් දුරුතුමාසේ පටන් සමාසයක් චක්‍රවාටපර්වත සමීපය පටන් මහාමෙරුපර්වතය සමීපයට යන්නේ ය. චන්ද්‍රසූර්යදෙදෙන අජවීථියෙහි ගමන් යන කල මිනිස්ලොවට වැසි නො වස්නේ ය. නාගවීථියෙහි ගමන් යන කල වැසි බොහෝ වස්නේ ය. ගොවිථියෙහි ගමන් යන කල වැසි මධ්‍යමාකාරයෙන් වස්නේ ය. සෘතු සම ව පවත්නේ ය. චන්ද්‍රවිමානය උසින් එකුන් පණස්යොදුන. හාත්පසින් වට තුන් යොදුනකින් අඩු වූ එසියපණස් යොදුන. (332) ඇතුළ ස්ඵටික මාණික්‍යමය ය. පිටත රිදීමය ය. උභයපාර්ශ්වයෙන් ම සිහිල් ගුණය ඇත්තේ ය. සූර්යවිමානය උසින් පණස්යොදුන. හාත්පසින් වට එසියපණස් යොදුන. ඇතුළත ස්වර්ණමය ය. පිටත එළිකමය ය. උභයපාර්ශ්වයෙන් ම උෂ්ණ ඇත්තේ ය. චන්ද්‍රතෙම සෘජු ව යන ගමන් පමා ව යන්නේ ය. සරස යන ගමන් ශීඝ්‍ර ව යන්නේ ය. සූර්යදිව්‍යපුත්‍රතෙම සෘජු ව යන ගමන් ශීඝ්‍ර ව යන්නේ ය. සරස යන ගමන් පමා ව යන්නේ ය. සූර්යදිව්‍යපුත්‍රතෙම කළුවර පොහොය අතික්‍රාන්ත වූ කල පෑළවිය දවස් චන්ද්‍රමණ්ඩලය ලක්ෂයක් ලක්ෂයක් යොදුන් තැන් පසු කොට යන්නේ ය. එකල චන්ද්‍රමණ්ඩලය රෙඛාවක් මෙන් පෙනෙන්නේ ය. දියවක් දවස්හි දු ලක්ෂයක් යොදුන් පසු කොට යන්නේ ය. මෙම ක්‍රමයෙන් වැඩී අටවක්දවස චන්ද්‍රමණ්ඩලයෙන් අර්ධයක් පෙණෙන්නේ ය. උපරිමඅර්ධය සූර්යරශ්මියෙන් වැසී නො පෙනෙන්නේ ය. පසළොස්වක් පොහොයදවස් සූර්දිව්‍යරාජතෙම පසළොස් ලක්ෂයක් යොදුන් පසු කොට යන්නේ ය. එකල චන්ද්‍රමණ්ඩලය සූර්ය රශ්මිය වැළකීමෙන් වැඩී සම්පූර්ණ වන්නේ ය. නැවැත අවපෑළවිය දවස ලක්ෂයක් යොදුන් දිව ගොස් ලං වන්නේ ය. එකල චන්ද්‍රමණ්ඩලය සූර්යරශ්මියෙන් රෙඛාමාත්‍රයෙක් වැසී නො පෙණන්නේ ය. දෙවෙනි දවස්හි දු ලක්ෂයක් යොදුන් තැන් දිවගොස් ලං වන්නේ ය. මෙම ක්‍රමයෙන් කාලපක්ෂ උපොසථ දවස්හි පසළොස් ලක්ෂයක් යොදුන් දිව ගොස් චන්ද්‍රයා හා සමග ගමන් යන්නේ ය. චන්ද්‍රමණ්ඩලය ද අනුක්‍රමයෙන් කලාවෙන් කලාව පිරිහී කළුවර පොහෝ දවස්හි සූර්යවිමානයාගේ අධොභාගයට පැමිණ හිරු හා සම ව යනුයේ සූර්යතෙජසින් මඳකුත් නො පෙණෙන්නේ ය. මෙසේ භූමියට දෙසාළිස්දහසක් යොදුන් මත්තෙහි ආකාශස්ථවූ කනකවිමානයෙන් හැසිරෙන්නා වූ සූර්යදිව්‍ය පුත්‍රතෙම එකපහරින් තුන් දිවයිනක ඝනාන්ධකාරය විධමනය කෙරෙමින් බබළන්නේ ය. මේ දඹදිවට යම් කලෙක හිරු උදා වේ නම්, එකල පූර්වවිදෙහයට හිරුමුදුන් වූ මධ්‍යාහ්නකාලය වන්නේ ය. උතුරුකුරුදිවයිනට හිරු අස්තංගත වන්නේ ය. අපරගොයානයට අර්ධරාත්‍රිය වන්නේ ය. යම් කලෙක අපරගොයානයට හිරු උදා වේ නම් එකල මේ ජම්බුද්වීපයට හිරු මුදුන් වූ මධ්‍යාහ්න කාලය වන්නේ ය. පූර්වවිදෙහයට හිරු අස්තංගත වන්නේ ය. උතුරුකුරුදිවයිනට අර්ධරාත්‍රිය ව්නනේ ය. එයින් කීහ:-
ඉමම්හි දීපම්හි යද උදෙති-මජ්ඣන්තිකො හොති විදෙහදීපෙ,
කුරූන දීපම්හි ච අත්‍ථමෙති-ගොයානදීපෙ භවතජ්ඣරත්ති.
ගොයානදීපම්හි යදා උදෙති-මජ්ඣන්තිකො හොති ච ජම්බුදීපෙ,
විදෙහදීපම්හි ච අත්‍ථමෙති-කුරූනරට්ඨම්හි ච අඩ්ඪරත්තී.”
“මෙසේ සූර්යමණ්ඩලය සර්වකාලයෙහි ම දෙසාළිස්දහසක් යොදුන් උස ඇති ව චක්‍රවාටපර්වතය අවසන් කොට සතරමහදිවයින ඝනාන්ධකාරය විධමනය කෙරෙමින් දිලියෙන්නේ ය” යි වදාළසේක. “ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සූර්යදිව්‍යරාජතෙම සර්වකාලයෙහි ම දැඩි ව දිලියේ නම්, කුමක් පිණිස වනාහි සමහර දවසෙක සූර්යදිව්‍යරාජතෙම ක්‍රෑර ව (333) දිලියේ ද? සමහර දවසෙක කාන්ති මඳ ව දිලියේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සූර්යදිව්‍යරාජයාහට මේ රොගයෝ සතරදෙනෙක. යම් මේ රොගයන් සතරදෙනාගෙන් එක්තරා රොගයකින් පෙළන ලද්දා වූ සූර්යදිව්‍යරාජතෙම මඳ ව දිලියේ ද, ඒ කවර නම් සතර දෙනෙක් ද? යත්- මහරජානෙනි, වලාකුළු සූර්යාහට එක් රොගයෙක. ඒ රොගයෙන් පෙළන ලද්දා වූ සූර්යදිව්‍යරාජතෙම රැස් මඳ ව දිලියෙන්නේ ය. මහරජානෙනි, භූමියෙන් නඟින්නා වූ මහිකා නම් ධූමය සූර්යයාහට එක් රොගයෙක. ඒ රොගයෙන් පෙළන ලද්දා වූ සූර්යදිව්‍යරාජතෙම මඳ ව දිලියෙන්නේ ය. මහරජානෙනි, මෙඝය සූර්යයාහට එක් රොගයෙක. ඒ රොගයෙන් පෙළන ලද්දා වූ සූර්යදිව්‍යරාජතෙම මඳ ව දිලියෙන්නේ ය. මහරජානෙනි, රාහුඅසුරෙන්ද්‍රතෙම සූර්යයාහට එක් රොගයෙක. ඒ රොගයෙන් පෙළන සූර්යදිව්‍යරාජතෙම මඳ ව දිලියෙන්නේ ය. මහරජානෙනි, මොවුන්ගෙන් එක්තරා රොගයකින් පෙළන ලද්දා වූ සූර්යදිව්‍යරාජතෙම මඳ ව දිලියේ ද, ඒ සූර්යදිව්‍යරාජයාහට මේ රොගයෝ සතරදෙන ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍රශ්නය විසඳා වදාළ නියාව ඉතා ආශ්චර්ය ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, විසඳා වදාළ පරිදි ඉතා අද්භූත වන්නේ ය. එක පහරින් තුන් දිවයිනක ඝනාන්ධකාරය විධමනය කරන්නා වූ මහත් වූ තෙජස් සම්පන්න වූ සූර්යදිව්‍යරාජයාහට පවා රොග උපදනේ ය. සෙසු සත්වයන්ට රොග උපදින බව කියනු ම කවරේ ද? ස්වාමීනි, නුඹ වහන්සේ සදෘශ වූ ප්‍රඥාවතුන් වහන්සේ කෙනෙකුන් විසින් වදාරණ ල්දදා වූ මධුරතර අර්ථ බෙදීමෙක් මිස ඒ ඇර අනික් අල්පබුද්ධියකුහට මෙබඳු වූ ප්‍රඥාශක්තියෙක් නැතැ” යි කියා ප්‍රශංසා කළහ.
සූර්යොපක්ලේශප්‍රශ්නය නිමි.