එකවෙදනා ප්‍ර‍ශ්නය

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘රහතන්වහන්සේ කායික වූ එක ම වෙදනාවක් විඳිනාසේක. චෙතසික වූ වෙදනාව නො විඳිනසේකැ’ යි කියා නුඹ වහන්සේ වදාරණසේක. කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, රහතන් වහන්සේගේ චිත්තය යම් ශරීරයක් නිසා පවත්නේ ද, ඒ ශරීරයෙහි රහතුන් වහන්සේ අනීශ්වරසේක් ද? අස්වාමිකසේක් ද? අවශවර්තිසේක් ද?” යි විචාළෝ ය. “එසේ ය, මහරජ ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ රහතුන් වහන්සේ ස්වකීය චිත්තය තමන් වසඟයෙහි පවත්නා කල්හි ශරීරයෙහි අනීශ්වර වනසේක. අස්වාමික වනසේක. අවශවර්ති වනසේකැ යි කියන්නා වූ යම් යම් කාරණයෙක් ඇද්ද, ඒ මේ කාරණය යුත්තෙක් නො වන්නේ ම ය. ස්වාමීනි, පක්ෂිතෙම පවා යම් කැදැල්ලක වාසය කෙරේ ද, එහි ඒ පක්ෂිතෙම ඊශ්වර වන්නේ ය, ස්වාමි වන්නේ ය, වශවර්ති වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, ශරීරානුගත වූ මේ ධර්මයෝ දශදෙනෙක් ජාති ජාතියෙහි ශරීරය අනු ව දිවන්නාහු ය. අනු ව පවත්නාහු ය. ඒ දශධර්ම[1] කවරේ ද? යත්- සීත ය, උෂ්ණ ය, සාගිනි ය, පිපාසා ය, අසුචි ය, මුත්‍ර‍ ය, කායඅකර්මණ්‍ය ලක්ෂණ වූ ථීන ය හා චිත්ත සංකොචනලක්ෂණ වූ මිද්ධ ය ද නොහොත් නිද්‍රාව ද, ජරාව ද, ව්‍යාධිය ද, මරණය ද යන මේ ශරීරානුගත වූ ධර්මයෝ දශදෙන. මහරජානෙනි, ජාති ජාතියෙහි නො හැර ශරීරය අනු ව ම දිවන්නාහු ය. අනු ව පවත්නාහු ය. ඒ දශධර්මයයෙහි රහතන් වහන්සේ අනීශ්වරසේක. අස්වාමිකසේක. අවශවර්තිසේක.” “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කවර කාරණයකින් රහතුන් වහන්සේගේ ශරීරයෙහි ආඥාව නො පවත්නේ ද? ඉසුරු බව නො පවත්නේ ද? එහි මට කාරණා වදාළමැනැවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ පෘතිවිනිශ්‍රිත වූ යම්කිසි සත්වකෙනෙක් ඇද්ද, ඒ සියලු සත්වයෝ ම පෘථිවිය නිසා හැසිරෙන්නාහු ය. වාසය කරන්නාහු ය, ජීවිකා කරන්නාහු ය. කිමෙක් ද, මහරජානෙනි, පෘථිවියෙහි ඒ සත්වයන්ගේ ආඥාව පවත්නේ ද, ඉසුරු බව පවත්නේ දැ” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම රහතන් වහන්සේගේ චිත්තය ශරීරය නිසා පවත්නේ ය. රහතන් වහන්සේගේ ශරීරයෙහි ආඥාව නො ම පවත්නේ ය, ඉසුරුබව ද නො පවත්නේ ය.” “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කවර කාරණයකින් පෘථග්ජනතෙම කායික වූ ද, චෛතසික වූ ද වෙදනාද්වය ම විඳිනේ දැ” යි විචාළෝ ය. “මහරජානෙනි, සමථ විදර්ශනාදි විසින් චිත්තයාගේ භාවිතාවක් නැති බැවින් පෘථග්ජනතෙම කායික වූ ද, චෛතසික වූ ද වෙදනාද්වය ම විඳින්නේ ය. මහරජානෙනි, යම් සේ කලකිරීමට පැමිණියා වූ ක්ෂුධායෙන් පීඩිත වූ වෘෂභයෙක් (308) තෙම අබල දුර්වල ස්වල්ප වූ කදලිතාලපට්ටාදි තෘණයකින් හෝ කිසියම් ලතායකින් හෝ දැඩි කොට බඳනා ලද්දේ වී ද, යම් දවසක වෘෂභතෙම කිපෙන ලද්දේ වේ ද, එකල ඒ බැම්ම හා සමග කඩා ගෙණ පැන යන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම සමථවිදර්ශනාදි විසින් භාවිතාවක් නැති චිත්තයාගේ වෙදනාව ඉපද චිත්තය කිපෙන්නේ ය. කිපුනා වූ චිත්තය තෙම ශරීරය මර්දනය කරන්න් ය. වැළඳ ගන්නේ ය. සම්පරිවර්තනය කරන්නේ ය. එකල්හි ඒ අභාවිත සිත් ඇත්තා වූ පුරුෂතෙම චකිත වන්නේ ය. භය වන්නේ ය, හඬන්නේ ය, භයානක වූ මහහඬින් හඬන්නේ ය. මහරජානෙනි, යම් කාරණයකින් පෘථග්ජනතෙම කායික වූ ද, චෛතසික වූ ද, වෙදනාද්වය ම විඳින්නේ වේ ද, මේ මෙහි කාරණ ය” යි වදාළසේක.

“ස්වාමීනි, යම් කාරණයකින් රහතන් වහන්සේ ඉදින් කායික වූ එක ම වෙදනාවක් විඳිනසේක් ද, චෛතසික වූ වෙදනාව නො විඳිනසේක් ද, ඒ කාරණය කවරේ ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, රහතන් වහන්සේගේ චිත්තය සමථවිදර්ශනාදි විසින් භාවිත වූයේ ය. සුභාවිත වූයේ ය. ප්‍ර‍ථමධ්‍යානාදියෙන් දමනය වූයේ ය. මනා ව දමනය වූයේ ය. කීකරු වූයේ ය. වචනකර වූයේ ය. එහෙයින් ඒ රහතන් වහන්සේ මරණ වූ දුක්ඛවදනාවකිනුදු ස්පර්ශවන ලද වූයේ ‘අනිත්‍යහ’ යි කියා සිත දැඩි කොට ගන්නා සේක. එකාග්‍ර‍ වූ සමාධිස්තම්භයෙහි සිත බන්ධනය කරණසේක. ඵලසමාධිටැඹෙහි බඳන ලද්දා වූ ඒ රහතන් වහන්සේගේ ඒ නිර්වාණසැප ඇති චිත්තය කිසි දුකකින් කම්පා නො වන්නේ ය. නො සෙලවෙන්නේ ය, අවික්ෂිප්ත ව සිටින ලද්දේ වෙයි. ඒ රහතන් වහන්සේගේ ශරීරය වනාහි දුක්ඛවෙදනාවිකාර විස්ඵුරණයෙන් වැලඳ ගන්නේ ය, පහළ වන්නේ ය, නැවැත නැවැතත් වැළඳ ගන්නේ ය. මහරජානෙනි, යම් කාරණයකින් රහතන් වහන්සේ කායික වූ එක ම වෙදනාවක් විඳිනසේක් ද, චෛතසික වූ වෙදනාව නො විඳිනසේක් ද, මේ මෙහි කාරණය” යි වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘ශරීරය කම්පාවන කල්හි එහි ම පිහිටියා වූ චිත්තය කම්පා නො වන්නේ ය’ යන යමක් ඇද්ද, ඒ කාරණය නම් ලොකයෙහි ඉතා ආශ්චර්ය වන්නේ ය. එහි මට වහා කාරණයක් දක්වා වදාළ මැනවැ” යි කීහ. “මහරජානෙනි, යම් සේ ඛන්ධශාඛා පලාස සම්පන්න වූ මහාවෘක්ෂයෙහි ප්‍ර‍චණ්ඩ වූ වාතබලය පැමිණි කල ශාඛා සෙලවෙන්නේ ය. කිමෙක් ද, ඒ වෘක්ෂයාගේ මහකඳත් සෙලවේ ද?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. ‘මහරජානෙනි, එපරිද්දෙන් ම දුක්ඛවෙදනාවෙන් ස්පර්ශ වන ලද්දා ම වූ රහතන් වහන්සේ ‘අනිත්‍යහ’ යි කියා චිත්තය දෘඪ කොට ග්‍ර‍හණය කරණසේක. සමාධි ස්ථම්භයෙහි සිත බන්ධනය කරණසේක. සමාධි නමැති මහාස්ථම්භයෙහි මාර්ගඵල නමැති යොතින් බඳනා ලද්දා වූ උන්වහන්සේගේ ඒ චිත්තය කිසිවකින් කම්පා නො වවන්නේ ය. නො සෙලවෙන්නේ ය. අවික්ෂිප්ත ව සිටින ලද්දේ වේ. දුක්ඛවෙදනා විකාර විස්ඵුරණයෙන් උන්වහන්සේ ශරීරය වැළඳ ගන්නේ ය, නිර්භුජනය[2] වන්නේ ය, සම්පරිවර්තනය වන්නේ ය. ඒ රහතන් වහන්සේ (309) ගේ චිත්තය වනාහි මහාවාතයෙන් කම්පා නො වන මහාවෘක්ෂයාගේ මහකඳ මෙන් කිසිවකින් කම්පා නො වන්නේ ය. නො සෙලවෙන්නේ ය” යි වදාළසේක.

එකල සකල පෘථිවිතලතිලක වූ මිලිඳු මහරජානෝ ප්‍රීතියෙන් ඉපිල පැන නැඟී “සාධු, සාධු, ස්වාමීනි, නාගසෙන ස්ථවිරොත්තමයානෙනි, මහාස්ඵටිකමාණික්‍යකදම්බයක් වැනි වූ තුංග වූ වට ඇති ආකාශගංගාව මාගේ හෘදය පැහැර ගිය කලක් මෙන් මේ ප්‍ර‍ශ්නව්‍යාඛ්‍යානයෙන් මාගේ හෘදය අතිසිහල ව ගියේ ය. ස්වාමීනි, ඉතා ආශ්චර්ය වන්නේ ය, ඉතා අද්භූත වන්නේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙබඳු වූ සර්වකාලික වූ සද්ධර්මප්‍ර‍දීපයෙක් මා විසින් පෙර නො දක්නා ලද්දේ ය” යි කියා ස්තොත්‍ර‍ කළහ.

එකවෙදනා ප්‍ර‍ශ්නය නිමි.

  1. ධර්මයෝ

  2. නිර්භුඤ්ජනය