නැවැතත් මිලිඳු මහරජානෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘න අන්තලික්ඛෙ’ යනාදීන් ‘යම් තැනෙක සිටියා වූ සත්වතෙම මරණමන්දෙන් මිදෙන්නේ වී නම්, එබඳු (165) භූමිප්‍රදෙශයක් ලොකයෙහි නැත්තේ ය. ආකාශයෙහිත් නැත්තේ ය. සමුද්‍රමධ්‍යයෙහිත් නැත්තේ ය, පර්වතයන්ගේ විවරයකට ප්‍රවිෂ්ට ව ද ගැලවී යාමක් නැත්තේ ය’ යන මේ ගාථාව වදාරණ ලද්දේ ය. නැවතත් එම භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිත්ධර්ම කෙනෙක් ද වදාරණ ලද්දාහ. ඒ කවරේ ද:- රතනසූත්‍රය, ඛන්ධපිරිතය, මොරපිරිතය, ධජග්ගපිරිතය, ආටානාටියපිරිතය, අංගුලිමාලපිරිතය, ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සත්වතෙම මරණින් මිදෙමි යි සිතා උඩ ආකාශයට ගොසිනුත් මහාසමුද්‍රමධ්‍යයට ගොසිනුත් ප්‍රාසාද ගෘහ ගල්ලෙන් භූමි ගුහා පර්වත ගුහා පබ්භාරතැලි දැදුරු[1] වෘක්ෂ බිල් විවර පර්වතාන්තරයට ගියේ ද, මරණපාසායෙන් නො මිදෙන්නේ ය. එහෙයින් පිරිත් කිරීම බොරු වන්නේ ය. ඉදින් පිරිත් කිරීමෙන් මරණපාසයෙන් මිදීමෙක් වේ නම් එයින් ‘න අන්තලික්ඛෙ’ යනාදීන් ‘මරණපාසයෙන් නො මිදෙන්නේ ය’ යි කියා වදාළ ඒ වචනයත් බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍රශ්නය තෙමේත් ග්‍රන්ථියෙනුත් ගණ්ඨිතර ය. ඒ ප්‍රශ්නයතෙම නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.
“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින්:-
“න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්පදෙසො
යත්‍ථට්ඨිතො මුඤ්චෙය්‍ය මච්චුපාසා.”
කියා මේ ගාථාවත් වදාරණ ලද්දේ ය. නැවැතත් භාග්‍යවතුන් වහන්සේ විසින් ආරක්ෂා පිරිත්හු දෙසන ලද්දාහ. ඒ වදාළ පිරිත වනාහි සාවශෙෂායුෂ ඇත්තා වූ වයස්සම්පන්න වූ පහ වූ අකුශලකර්මාවරණය ඇත්තාහට ය. මහරජානෙනි, ක්ෂය වූ ආයුෂ ඇත්තාහට නො නැසී සිටීම පිණිස ක්‍රියාවෙක් හෝ උපක්‍රමයෙක් හෝ නැත්තේ ය. මහරජානෙනි, යම් සේ වියලී ගියා වූ දිරා ගියා වූ තෙත සිඳී ගියා වූ ජීවිතෙන්ද්‍රිය වැළකුනා වූ ගත වූ වෘක්ෂායුෂ ඇත්තා වූ මළා වූ වෘක්ෂයක්හට කළසියදහසෙකිනුත් පැන් වක්කරණ කල්හිත් තෙත්බවක් නිලිගත් පත්‍ර ඇතිබවක් හෝ නො වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම බෙහෙත් පිරිත්කරණයෙන් ක්ෂීණායුෂයාගේ සිටීම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයෙක් හෝ නැත්තේ ය. මහරජානෙනි, සකල පෘථිවියෙහි යම් ඒ ඖෂධබෙහෙත් ජාතියෙක් ඇද් ද, ඒ සියලු ම බෙහෙත්හු ක්ෂීණායුෂ්කයාහට කෘත්‍යසාධක නො වන්නාහ. මහරජානෙනි, වයස් සම්පූර්ණ වූ පහ වූ අකුශලකර්මාවරණ ඇත්තා වූ සාවශෙෂායුෂ ඇති පුරුෂයා පිරිත රකින්නේ ය. ගොපනය කරන්නේ ය. ඒ ආයු ඇත්තා උදෙසා ම භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිත්හු දෙශනා කරණ ලද්දාහ.
“මහරජානෙනි, යම් සේ ගොවිතැන් කරණ කස්සකපුරුෂතෙම ධාන්‍ය පැසුනු කල්හි ශස්‍යකරල් මත කල්හි කුඹුරට උදක ප්‍රවෙශය වළක්වන්නේ ය. මෙඝයෙන් උත්පත්ති කාරණ වූ කරල්[2] නො ගැන්මෙන් වයස් සම්පන්න වූ තරුණ වූ යම් ශෂ්‍යයෙක් ඇද් ද, ඒ ගොයම ජලය වැඩීමෙන් වැඩෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම, ක්ෂය වූ ආයුෂ ඇත්තාහට බෙහෙත් පිරිත් ක්‍රියාවෝ නො කොට තබන ලද්දාහ. වළක්වන ලද්දාහ. වයස් සම්පන්න වූ සාවශෙෂායුෂ ඇත්තා වූ යම් (166) ඒ මනුෂ්‍ය කෙනෙක් ඇද් ද, ඔවුන් පිණිස පිරිත් බෙහෙත් වදාරණ ලද්දේ ය. පිරිත් බෙහෙත් දෙකින් ඒ මනුෂ්‍යයෝ නො මිය රැකෙති. වඩිති” යි කීසේක. “ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, හීනායුෂ්කයා[3] නසින්නේ ය. සාවශෙෂායුෂ්කයා ජීවත් වන්නේ ය. එහෙයින් පරිත්ත භෛෂජ්‍යයෝ නිරර්ථක වන්නාහු ය” යි කීහ. “මහරජානෙනි, තොප විසින් බෙහෙතින් නසන ලද්දා වූ කිසි රොගයෙක් දක්නා ලද්දේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, නොයෙක් සියගණනෙක් දක්නා ලද්දේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙන් පරිත්තභෛෂජ්‍ය ක්‍රියාවෝ නිරර්ථක ය යි කී යම් වචනයක් ඇද් ද, තොපගේ ඒ වචනය බොරු වන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, වෙදවරුන්ගේ උපක්‍රමභෛෂජ්‍ය-පානාලෙපයෝ දක්නා ලැබෙති. ඒ වෙදවරුන් උපක්‍රම භෛෂජ්‍ය පානාලෙපයෙන් රෝගයෝ වළකින්නාහු ය” යි කීහ. “මහරජානෙනි, පිරිතත් මෛත්‍රීපූර්වාංගම ව පවත්වන්නවුන්ගේ ශබ්දය පැතිරෙන්නේ ය. දිව වියලෙන්නේ ය. චිත්තය පෙරළෙන්නේ ය. නෙළුම්කැකුළක් වැනි හෘදය වස්තුව පෙළෙන්නේ ය. උගුර බැරෑඬි වන්නේ ය. ඒ පිරිත් කියන්නවුන්ගේ පවත්වන ඒ උපක්‍රමයෙන් රෝගීන්ගේ සියලු ව්‍යාධීහු ව්‍යපශමනය වන්නේ ය. සර්වාන්තරායයෝ හිරු පැමිණි අඳුර මෙන් පහ වන්නාහ.
“මහරජානෙනි, විෂ විනාස කරන්නා වූ මන්ත්‍රපදයකින් විෂය බස්වන ලද්දා වූ විෂ සන්හිඳුවන ලද්දා වූ ඌර්ධ්වාධොභාගයෙහි ඖෂධජලයෙන් තෙමන ලද්දා වූ නයක විසින් දෂ්ට කරණ ලද්දා වූ කිසිවෙක් තොප විසින් දක්නා ලද්දේ ඇද් දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, අද දැන් දක්වාත් ඒ විෂ බස්වන කාරිය ලොකයෙහි පවත්නේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙන් පිරිත් බෙහෙත් ක්‍රියාවෝ නිරර්ථක ය යි කියන්නා වූ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. මහරජානෙනි, කරණ ලද පිරිත් ආරක්ෂාව ඇති පුරුෂයා දෂ්ට කරණු කැමැත්තා වූ නාගයා දෂ්ට නො කරන්නේ ය. විවෘත කළ මුඛය පියා ගන්නේ ය. සොරුන් විසින් තළන්නට ඔසවා ගත් මුගුරු පවා නො පැමිණෙන්නේ ය. ඒ සොරු මුගුරු දමා ලඟට අවුත් ප්‍රිය කෙරෙති. කුපිත වූ හස්තිනාග තෙම ලඟට දිව අවුත් වළකින්නේ ය. දිලියෙන මහාවහ්නිස්කන්ධය පවා ලඟට පැමිණ නිමෙන්නේ ය. නො දැන අනුභව කරණ ලද බලවත් වූ විෂය පවා අමෘතබෙතේ වන්නේ ය. ආහාරාර්ථය පිණිස හෝ ශරීරයෙහි ව්‍යාප්ත වන්නේ ය. නසනු කැමැත්තා වූ වරදකරුවෝ ලඟට අවුත් දාසබවට[4] පැමිණෙති. පයින් මඬින ලද පාසය නො ඇසිරෙන්නේ ය. මහරජානෙනි, මයූරජාතකයෙහි ‘කරණ ලද පිරිත් ඇති මයූරයාගේ පයට සත්සියයක් හවුරුදු මුළුල්ලෙහි වැදිතෙම පාසය පමුණුවන්නට නො හැකි වූයේ ය. නො කරණ ලද පිරිත් ඇති මයූරයාගේ පාදයට එදවස්හි ම පාසය පමුණුවාලූයේ ය’ යි කියා තොප විසින් පෙර අසන ලද්දේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, අසන ලද්දේ ය. ඒ ශබ්දය දෙවියන් සහිත වූ ලොකයෙහි ඉතා උස් ව නැංගේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙනුත් පිරිත් බෙහෙත් ක්‍රියාවෝ නිරර්ථක ය යි කියන්නා වූ යම් (167) වචනයක් ඇද් ද, ඒ තොපගේ වචනය බොරු වන්නේ ය.”
“තවද, මහරජානෙනි, දානව නම් රාක්ෂසතෙම මනා වූ රූපශ්‍රී ඇති තරුණ කුමාරිකාවක් අල්වා ගෙණ, භාර්යා කොට රක්ෂා කෙරෙමින් කරඬුවෙක ලා ගිල බඩෙහි තබා ගෙණ ඇවිදින්නේ ය. දිනෙක කුමාරිකාව නහවා සුවඳින් මලින් සරසා විල්තෙරක හිඳුවා තෙමේත් විලට බැස පැන් සනහා ගොඩ නැඟී කරඬුව ගිල බඩලා ගෙණ දිවස් ඇති තපස්වීකෙනෙකුන් ලඟට ගොස් වැඳ එකත්පස් ව උන්නේ ය. විල් තෙර හුන් කුමාරිකාවෝ අහසින් යන විද්‍යාධරයකු දැක අත වනා ගෙන්වා ගෙණ කරඬුවට වැද පිළී පෙරෙව ගෙණ උන්හ. එකල දානවයාගේ මුඛයෙන් කරඬුව සහ ප්‍රවෙශ වූ විද්‍යාධරතෙම ඈ හා සමග අභිරතිය කරන්නේ ය. ඔවුන් දුටු තපස්වීන් වහන්සේ ‘තෙපි තුන්දෙන කොතැන්හි සිට අවු දැ’ යි විචාරා ‘අහෝ තපස්වීහු උම්මත්තක ව දොඩන නියා දෝ හො?’ යි කියා විපිළිසර උපන් දානවයාහට ‘තා බඩ කරඬුවෙක් ඇත. එහි ගෑණු කෙනෙක් ඇත. ඈ විද්‍යාධරයකු හා වසන්නී ය. වහා තා දිවි රැකෙන උපායයක් කරව’ යි කියා වදාරණ ලද්දා වූ ඒ දානව නම් රාක්ෂස තෙම ‘අහෝ මඳකින් විද්‍යාධරයා කඩුවෙන් මා බඩ කපා ගිය’ යි කියා යම් දවසක දැන ගත්තේ ද, ඒ හෙයින් [5]සංවෙගරූප ව භයින් තැති ගෙණ එතැන්හි ම කරඬුව වමනය කොට ඒ කරඬූයෙහි වායුස්සපුත්‍ර නම් විද්‍යාධරයා හා සමග ඇලී සිටියා වූ පවිත්‍රමාලාධාරී වූ තමාගේ භාර්යාව දුටුයේ ය. දැක මරණ භයින් වෙවුලා අඹුව කෙරෙහි කලකිරී ඈ මිනිස්පථයට හැර සැප සේ හැසුරුණේ ය. ඒ බව දක්වා වදාරණ ලොවුතුරා බුදුන් විසින්:-
‘සංවිග්ගරූපො ඉසිනා වියාකතො
සො දානවො තත්‍ථ සමුග්ගමුග්ගිලී,
අද්දක්ඛි භරියං සුචිමාලධාරිණිං
වායුස්ස පුත්තෙන සහා තහිං රතං’ යි
(වදාරණ ලදී)
‘කරඬුව විවෘත කිරීම හා සමග ම ‘විද්‍යාධරතෙම අසු නො වී යම් කැමැති අතකින් ගියේ ය’ යි කියා, මහරජ, තොප විසින් අසන ලද්දේ දැ” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, අසන ලද්දේ ය, ඒ ශබ්දය ද දෙවියන් සහිත වූ ලොකයෙහි ඉතා උස් ව පැන නැංගේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ විද්‍යාධරතෙම තමාගේ මන්ත්‍රපිරිත් බලයෙන් ග්‍රහණයෙන් මිදුනේ නො වේ දැ” යි විචාළසේක. “එසේ ය; ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙන් සර්වඥපිරිත්බලය ඇතැ” යි වදාළසේක.
“තවද, මහරජානෙනි, අනිකුදු විද්‍යාධරයෙක් බරණැස් රජ්ජුරුවන්ගේ අන්තඃපුරයෙහි මහෙසිකාවක හා සමග දූෂ්‍යය කෙරෙමින් ග්‍රහණප්‍රාප්ත වූයේ මන්ත්‍රබලයෙන් ම ඇසිල්ලකින් අදර්ශනයට ගියේ ය යි කියා තොප විසින් පෙර අසන ලද්දේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, අසන ලද්දේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ විද්‍යාධරතෙම මන්ත්‍ර පිරිත්බලයෙන් ග්‍රහණයෙන් මිදුනේ නො වේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, මිදුනේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙන් ද සර්වඥපිරිත්බලය ඇතැ” යි කීසේක.
(168) “කිමෙක් ද, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සියල්ලන් ම පිරිත රක්ෂා කරා දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ඇතැම් කෙනෙකුන් රක්ෂා කරන්නේ ය, ඇතැම් කෙනෙකුන් රක්ෂා නො කරන්නේ ය” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, එහෙයින් පිරිත සියල්ලන්ට සාධාරණ ව සර්වාර්ථික නො වන්නේ ය” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, භොජනය සියල්ලන්ගේ ම ජීවිතය රක්ෂා කරන්නේ දැ” යි විචාළසේක. “ස්වාමීනි, සමහර කෙනෙකුගේ ජීවතය රක්ෂා කරන්නේ ය, සමහර කෙනෙකුන්ගේ ජීවිතය රක්ෂා නො කරන්නේ ය” යි කීහ. “මහරජානෙනි, ඊට කාරණ කවරේ දැ” යි විචාළසේක. “ස්වාමීනි, යම් හෙයකින් ඒ භොජනය සමහර කෙනෙක් බොහෝ අනුභව කොට අජීර්ණ ව විසුවිකා නම් අතීසාරයෙන් නසින්නාහු ය” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙන් භොජනය සියල්ලවුන්ගේ ජීවිතය රක්ෂා නො කරන්නේ දැ” යි විචාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහ්නස, බොහෝ කොට කෑමෙන් හෝ ජඨරාග්නිය දුර්වල බැවින් හෝ කාරණ දෙකකින් භොජනය ජීවිතය නසන්නේ ය. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ආයු දෙන්නා වූ භොජනය නපුරු උපචාරයෙන් ජීවිතය ගන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම පිරිත සමහර කෙනෙකුන් රක්ෂා කරන්නේ ය. සමහර කෙනෙකුන් රක්ෂා නො කරන්නේ ය. මහරජානෙනි, අකුශලකර්මාවරණයෙන් ද රාගාදී වූ ක්ලේශාවරණයෙන් ද නො ඇදහීමෙන් ද යන තුන් කාරණයකින් පිරිත සත්වයන් නො රකින්නේ ය. මහරජානෙනි, සකල සත්වයන් ම නො හැර ම රක්ෂා කරන්නා වූ පිරිත තමා විසින් ම කර ගත් දෙයින් ආරක්ෂාව දුරු කරන්නේ ය. මහරජානෙනි, යම් සේ මෑනියෝ බඩට පැමිණියා වූ පුත්‍රයා හිත වූ උපචාරයෙන් පොෂ්‍ය කරන්නාහු ය. දසමසකින් වදන්නාහු ය. වදා අසූචි මල මුත්‍ර කෙල සොටු පහ කරන්නාහු ය. එසේ කොට උත්තම ප්‍රවර සුගන්ධය වෙර ගාන්නාහු ය. අනුන්ගේ පුත්‍රයන් ආක්‍රොශ කරණ කල්හි ද, හස්තාදියෙන් තළන කල්හි ද කම්පා වූ සිතින් බලයෙන් අල්වා ඇද ගෙණ ගොස් ‘මේ පැටියෝ මා දරුහට තැළුව බැන්හ’ යි කියා ඔවුන්ගේ දැනුමැතියන් ලඟට පමුණුවන්නාහු ය. ඉදින් ඇගේ පුත්‍රතෙම අපරාධයක් කොට වෙරල ඉක්මවන ලද වී නම්, එකල ඕ තොමෝ පුත්‍රයාහට දඬු මුගුරු දණමිටි ආදියෙන් තළන්නී ය.[6] නැවත පොථනය කරන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, ඒ පුත්‍රයාගේ මෑනියෝ ආකඩ්ඪන පරිකඩ්ඪනය ග්‍රහණය ස්වාමියන්ගේ සමීපයට ගෙණ යාම කරන්ට ලබන්නී දැ” යි විචාළසේක. “ස්වාමීනි, එසේ නැතැ” යි කීහ. “මහරජානෙනි, කවර කාරණයකින් දැ” යි විචාළසේක. “ස්වාමීනි, තමාගේ පුත්‍රතෙම කළ අපරාධයෙනැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම සත්වයන්ගේ ආරක්ෂාපිරිත තමන්ගේ අපරාධයෙන් විරුද්ධය කරන්නේ ය” යි වදාළසේක.
එකල රජ්ජුරුවෝ අතිප්‍රසන්න ව “සාධු, සාධු, ස්වාමීනි, නාගෙසනයන් වහන්ස, ගණීවරප්‍රවර වූ නුඹ වහන්සේ කරා පැමිණි ප්‍රශ්නයතෙම නුඹවහන්සේ විසින් මනා කොට විනිශ්චය කරණ ලද්දේ ය. විමතිග්‍රහණය නො ගැන්ම කරණ ලද්දේ ය. විමති අන්ධකාරයෙහි ඤාණාලොකය කරණ ලද්දේ ය. දෘෂ්ටිබල විනිර්වෙඨනය කරණ ලද්දේ ය” යි ස්තුති කළහ.
පිරිත් ප්‍රශ්නය යි.