නැවතත් මිලිඳු මහරජානෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආනන්දය, තථාගතයානන්ගේ ධර්මයෙහි ආචාර්යමුෂ්ටියෙක් නැත්තේ ය’ යි කියා මේ වචනය වදාරණ ලද්දේ ය. නැවැත ද මධ්‍යමනිකායවරයෙහි වූ මාලුංක්‍යොවාද සූත්‍රයෙහි මාලුංක්‍යපුත්‍ර නම් තෙරුන් වහන්සේ විසින් ‘ස්වාමීන් වහන්ස, ලොකයතෙම ශාශ්වතද? අශාශ්වත ද?’ යනාදීන් දෘෂ්ටිගතිකවශයෙන් ප්‍රශ්න විචාරණ ලද්දා වූ භාග්‍යවතුන් වහන්සේ ඒ දෘෂ්ටි ප්‍රකාශ කොට නො වදාළසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ප්‍රශ්නය වනාහි අන්තදෙකක් ඇත්තේ ය. නො දැනීමේන හෝ සැඟවීමෙන් හෝ එකාන්තනිශ්‍රීත වන්නේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආනන්දයෙනි, තථාගතයානන්ගේ ධර්මයෙහි ආචාර්යමුෂ්ටි නම් ගුරු අඩක්කමෙක් නැතැ’ යි කියා වදාරණ ලද්දේ සැබෑ වී නම්, එහෙයින් මාලුංක්‍යපුත්‍ර නම් තෙරුන් වහන්සේට නො දැන්මෙන් ප්‍රකාශ නො කරණ ලද්දේ ය. ඉදින් දැනීමෙන් ප්‍රකාශ නො කරණ ලද්දේ වී නම්, එහෙයින් ‘ආනන්දයෙනි, තථාගතයානන්ගේ ධර්මයෙහි ආචාර්යමුෂ්ටියෙක් නැතැ’ යි කියා වදාළ වචනය බොරු වන්නේ ය. මේ උභතොකොටිකප්‍රශ්නය තෙමේත් නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍රශ්නයතෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුතු ය” යි කීහ.
“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආනන්දයෙනි, තථාගතයන් වහන්සේගේ සද්ධර්මයෙහි ආචාර්යමුෂ්ටියෙක් නැතැ’ යි කියා මේ වචනයත් වදාරණ ලද්දේ ම ය. මාලුංක්‍යපුත්‍රතෙරුන් වහන්සේ විසින් විචාරණ ලද ප්‍රශ්නයත් නො වදාරණ ලද්දේ ය. එසේ නො වදාළ බව ද නො දැනීමෙනුත් නො වන්නේ ය. ගුය්හකරණයෙනුත් නො වන්නේ ය. මහරජානෙනි, ප්‍රශ්න ව්‍යාකරණයෝ මේ සතරෙක- කවර සතරෙක් ද? එකංසව්‍යාකාරණීයප්‍රශ්නයෙක. විභජ්ජව්‍යාකරණීය ප්‍රශ්නයෙක. පටිපුච්ඡාව්‍යාකරණීය ප්‍රශ්නයෙක. ඨපනීයප්‍රශ්නයෙක.
“මහරජානෙනි, එකංසව්‍යාකරණීය වූ ප්‍රශ්නය කවරේ ද? යත්:- ‘රූපය අනිත්‍යය’ යි යනු එකංසව්‍යාකරණීය ප්‍රශ්නයෙක. ‘වෙදනවා අනිත්‍යය’ යි යනු ද, ‘සංඥාව අනිත්‍යය’ යි ද, ‘සංස්කාරය අනිත්‍යය’ යි යනු ද, ‘විඥානය (159) අනිත්‍යය’ යි යනු ද, එකංසව්‍යාකරණීයප්‍රශ්නයෙක. මේ එකංසව්‍යාකරණීයප්‍රශ්නය නම් වන්නේ ය.
“විභජ්ජව්‍යාකරණීය වූ ප්‍රශ්නය කවරේ ද? යත්- ‘රූපය වනාහි අනිත්‍යය දැ?’ යි විචාරීම විභජ්ජව්‍යාකරණීයප්‍රශ්නයෙක. ‘වෙදනාව වනාහි අනිත්‍යය දැ?’ යි විචාරීම ද, ‘සංඥාව වනාහි අනිත්‍යය දැ?’ යි විචාරීම ද, ‘සංස්කාරය අනිත්‍යය දැ?’ යි විචාරීම ද, ‘විඥානය අනිත්‍යය දැ?’යි විචාරීම ද, විභජ්ජව්‍යාකරණීය වූ ප්‍රශ්නයෙක. මේ විභජ්ජාව්‍යාකරණීය වූ ප්‍රශ්නය වන්නේ ය.
‘පටිපුච්ඡාව්‍යාකරණීය වූ ප්‍රශ්නය කවරේ ද?- ‘කිමෙක්ද, ඇසින් සියල්ල ම දැන ගන්නේ දැ?’ යි විචාරීමෙක් ඇද් ද, මේ පටිපුච්ඡාව්‍යාකරණීය වූ ප්‍රශ්නය නම් වන්නේ ය.
“ඨපනීය වූ ප්‍රශ්නයතෙම කවරේ ද? යත්- ‘ලොකය නිත්‍යය’ යි කියා ශාශ්වතදෘෂ්ටි වශයෙන් විචාරීමත් ඨපනීය වූ ප්‍රශ්නයෙක. ‘ලොකය තෙම අනිත්‍යය, මරණින් මත්තෙහි නැතැ’ යි කියා උච්ඡෙදදෘෂ්ටි වශයෙන් විචාරීමත්, ඨපනීයප්‍රශ්නයෙක. කසිණාලොකයෙන් චක්‍රාවාටය පර්‍ය්‍යන්ත කොට දැක ‘ලොකය අන්තය’ යි කියා ගන්නා වූ අන්තවාදදෘෂ්ටි වශයෙන් ප්‍රශ්න විචාරීමත් ඨපනීය වූ ප්‍රශ්නයෙක. ‘කසිණාලොකයෙන් චක්‍රාවාටය පරියන්ත කොට බොහෝ සක්වළවල් දැක ලොකය අනන්තය’ යි කියා ගන්නාවූ අනන්තවාදදෘෂ්ටිවශයෙන් ප්‍රශ්න විචාරීමත් ඨපනීය ප්‍රශ්නයෙක. ‘මේ ලොකය උඩින් යටින් කෙළවර ඇත. සරස අනන්ත ය’ යි කියා දැක ගන්නා වූ අන්තානන්තවාදදෘෂ්ටිවශයෙන් ප්‍රශ්න විචාරීමත් ඨපනීය ප්‍රශ්නයෙක. ‘මේසත්වලොකය නොම අනන්ත ය. අනන්තත් නො වෙ’ යි කියා විතර්ක සිතීමෙන් වැටහුනු පමණකට ගන්නා වූ නෙවන්තනානන්තවාද වශයෙන් ප්‍රශ්න විචාරීමත් ඨපනීය ප්‍රශ්නයෙක. ‘තං ජීවං තං සරීරං’ යනුවෙන් ‘ඒ ජීවිතය ම ඒ ශරීරය’ යි කියා උච්ඡෙදදෘෂ්ටිවාදයෙන් ප්‍රශ්න විචාරීමත් ඨපනීය ප්‍රශ්නයෙක. ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං’ යනුවෙන් ‘ජීවිතය අනිකෙක. ශරීරය අනිකෙකැ’ යි කියා ශාශ්වතවාදයෙන් ප්‍රශ්න විචාරීමත් ඨපනීයප්‍රශ්නයෙක. ‘සත්වතෙම මරණින් මත්තෙහි වන්නේ ය’ යි කියා හෝ, ‘සත්වතෙම මරණින් මත්තෙහි නො වන්නේ ය’ යි කියා හෝ, ‘සත්වතෙම මරණින් මත්තෙහි වන්නේත් ඇත. නො වන්නේත් ඇතැ’ යි කියා හෝ ‘සත්වතෙම මරණින් මත්තෙහි නො වන්නේ ය’ යි කියා ද ‘නො වන්නේ නො වෙ’ යි කියාද මෙසේ අමරාවික්ෂෙපිකදෘෂ්ටි වශයෙන් ප්‍රශ්න විචාරීමත් ඨපනීයප්‍රශ්නයෙක. මේ නො කියා තැබිය යුතු ප්‍රශ්නය නම් වන්නේ ය. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ මාලුංක්‍යපුත්‍ර නම් තෙරුන් වහන්සේට ඒ තැබිය යුතු ප්‍රශ්නය ප්‍රකාශ කොට නො වදාළසේක. ප්‍රශ්නයතෙම කවර කාරණයකින් ඨපනීය වීද? යත්- ඒ ප්‍රශ්නයාගේ දැක්වීමෙන් සසර දුක් නසන නිවන් පිණිස හෙතුයෙක් හෝ කාරණයෙක් හෝ නො ම ඇත්තේ ය. එහෙයින් ඒ ප්‍රශ්නය ඨපනීය වි ය. භාග්‍යවත් වූ අනන්ත බුදුවරයන් වහන්සේලාගේ අකාරණ වූ අහෙතුක වූ වචන කීමෙක් නැතැ” යි කීසේක. “සාධු! සාධු!! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ වදාළ මේ කාරණය එපරිද්දෙන් ම පිළිගත්තෙමි” යි කීහ.
ආචාර්යමුෂ්ටිප්‍රශ්නය නිමි.