ත්‍රිමාසායුඃ පරිච්ඡෙදප්‍ර‍ශ්නය

නැවැතත් මිලිඳුමහරජානෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පරිනිර්වාණසූත්‍රයෙහි ‘ආනන්දයෙනි, තථාගතයන් විසින් සතරසෘද්ධිපාදයෝ සිත්හි ලා වඩන ලද්දාහු ය. නැවත නැවතත් බහුලීකෘත කරණ ලද්දාහු ය. යොදන ලද යානාවක් මෙන් පුරුදු කරණ ලද්දාහු ය. ප්‍ර‍තිෂ්ඨාධාර වූ ගෘහවාස්තුවක් මෙන් කරණ ලද්දාහු ය. නැවත නැවතත් උපදවන ලද්දාහු ය. යහපත් කොට පුරුදු කරණ ලද්දාහු ය. මනා කොට ම පටන් ගන්නා ලද්දාහු ය. ආනන්දයෙනි, තථාගතතෙමේ කැමැත්තේ වී නම් කල්පයක් හෝ කපින් අර්ධයක් හෝ සිටින්නේ ය’ යි කියා මෙම කාරණය වදාරණ ලද්දේ ය. නැවත ද එම සූත්‍රයෙහි දී ම මාරදිව්‍යපුත්‍ර‍යාහට ‘එම්බල මාරය, තෝ තථාගතයානන්ගේ පිරිනිවන් පෑමට උත්සාහ නො කරව. තථාගතයෝ වූ කලී ‘මෙයින් තුන් මාසයක්හුගේ ඇවෑමෙන් පිරිනිවන් පාන්නාහ’ යි කියාත් වදාරණ ලද්දේ ය. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආනන්දයෙනි, තථාගතයන් විසින් වනාහි සතරසෘද්ධිපාදයෝ භාවිත බහුලීකෘත වශයෙන් පුරුදු කරණ ලද්දාහු ය. ආනන්දයෙනි, ‘තථාගතතෙමේ කැමැත්තේ වී නම් කල්පයක් හෝ කපින් අර්ධයක් හෝ සිටින්නේ ය’ යි කියා වදාළ වචනය සැබෑ වී නම්, ඒ කාරණයෙන් තුන් මාසපරිච්ඡෙදය බොරු වන්නේ ය. ඉදින් තථාගතයන් වහන්සේ විසින් ‘මෙයින් තුන් මාසයක්හුගේ ඇවෑමෙන් තථාගතතෙමේ පිරිනිවන් පාන්නේ ය’ යි කියා වදාරණ ලද වචනය සැබෑ වී නම්, ඒ කාරණයෙන් ‘ආනන්දයෙනි, තථාගතයන් විසින් සතර සෘද්ධිපාදයෝ භාවිත බහුලීකෘත කරණ ලද්දාහු ය. ආනන්දයෙනි, ‘තථාගතතෙමේ කැමැත්තේ වී නම් කපක් හෝ කපින් අර්ධයක් හෝ සිටින්නේ ය’ යි කියා වදාළ වචනය බොරු ව්නනේ ය. තථාගතයන් වහ්නසේලාගේ අකාරණයෙහි ගර්ජනාවෙක් නැත්තේ ය. භාග්‍යවත් වූ බුදුවරයෝ නො සිස්වචන ඇත්තාහ. සත්‍යවචන ඇත්තාහ, දෙබස් නො වන වචන ඇත්තාහු ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය තෙමේත් අතිගම්භීර වන්නේ ය. අතිසියුම් වන්නේ ය. නො සිතිය හැක්කේ ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහ්නසේ කරා පැමිණියේ ය. ඒ දෘෂ්ටිසමූහය බිඳ හැර වදාළ මැනැව. එකාන්තයෙන් නියම කොට තබා වදාළ මැනැව. පරවාදයන් බිඳහැර වදාළ මැනැවැ” යි කීහ.

(155) “මහරජානෙනි, සුගත තථාගත වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආනන්දයෙනි, සිතූ පැතූ තාක් සකලසමෘද්ධීන් සිද්ධ කරන හෙයින් සෘද්ධි නම් වූ ඡන්දිද්ධිය වීරියිද්ධිය, චිත්තිද්ධිය, විමංසිද්ධිය යන සතරසෘද්ධිපාදධර්මයෝ තථාගතයන් විසින් භාවිත කරණ ලද්දාහු ය. බහුලීකෘත කරණ ලද්දාහු ය. නැගී යන්ට සෑදූ යානාවක් මෙන් කරණ ලද්දාහු ය. සර්වොපද්‍ර‍වදොෂ පහ කළ ගෘහවාස්තුවක් මෙන් කරණ ලද්දාහු ය. අනු ව ම සිටින ලද්දාහු ය. පුරුදු කරණ ලද්දාහු ය. මනා කොට පටන් ගන්නා ලද්දාහු ය. ආනන්දයෙනි, තථාගතතෙමෙ කැමැත්තේ වී නම් කල්පයක් හෝ කපින් අර්ධයක් හෝ සිටින්නේ ය’ යි කියා මෙම කාරණයත් වදාරණ ලද්දේ ය. ‘නිවන්පුර යෙමි’ යි කියා තුන්මාස පරිච්ඡෙදයත් වදාරණ ලද්දේ ය. ඒ වදාළ කල්පය වනාහි තමන් වහන්සේගේ මනුෂ්‍යායුෂ්කල්පය වන්නේ ය. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ තථාගතබලය කීර්තනය කෙරෙමින් මෙසේ නො වදාළසේක. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ සෘද්ධිබලය දක්වා වදාරමින් ‘ආනන්දයෙනි, තථාගතයන් විසින් සතරසෘද්ධිපාදයෝ භාවිත කරණ ලද්දාහු ය. (යනාදීන්) කපින් අර්ධයක් හෝ සිටින්නේ ය’ යි කියා මෙසේ වදාරණ ලද්දේ ය. මහරජානෙනි, යම් සේ රජ්ජුරුවන්ගේ ශීඝ්‍ර‍ ගමන් ඇත්තා වූ වාතයට බඳු වූ ජව ඇති ආජානීයඅශ්වයෙක් ඇති වන්නේ වී නම්, රජ්ජුරුවෝ ඒ අශ්වයාගේ ජවබලය කියමින් නිගමග්‍රාමිකජනපද යොධභට බලප්‍ර‍ධානික බ්‍රාහ්මණ ගෘහපතික අමාත්‍යජනමධ්‍යයෙහි ‘පින්වත්නි, මාගේ මෙ උ ම් අශ්වතෙම කැමැත්තේ වී නම්, සමුද්‍ර‍ජලය කෙළවර කොට සියලු පෘථිවියෙහි හැසිර ඇසිල්ලෙකින් ම මෙහි එන්නේ ය’ යි කියා මෙසේ කියන්නේ වී නම්, ඒ ශීඝ්‍ර‍ වූ ජවගතිය ඒ පිරිසට නො ම දක්වන්නේ ය. ඒ අශ්වයාගේ ද ශීඝ්‍ර‍ වූ ජවය ඇත්තේ ය. ඒ අශ්වතෙම ක්ෂණමාත්‍රයෙකින් ම සමුද්‍ර‍ජලය පර්යන්ත කොට පෘථිවියෙහි හැසිරෙන්නට සමර්ථ ද වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහ්නසේ තමන් වහන්සේගේ සෘද්ධිබලය දක්වා වදාරමින් මෙසේ වදාළසේක. ඒ වදාළ වචනයත් ත්‍රිවිද්‍යාධර වූ ෂඩභිඥාධර වූ මහ රහතන් වහන්සේලාගේ ද නිර්මල ක්ෂීණාශ්‍රව වූ මහාසංඝයා වහන්සේගේ ද දිව්‍යබ්‍ර‍හ්මමනුෂ්‍යයන්ගේ ද මධ්‍යයෙහි වැඩහිඳ,

තථාගතස්ස ඛො ආනන්‍ද චත්තාරො ඉද්ධිපාදා භාවිතාබහුලීකතා යානීකථා වත්‍ථුකථා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා ආකංඛමානො චෙ ආනන්‍ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසෙසං වා.

යන මේ තෙපුල වදාරණ ලද්දේ ය. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේගේ එබඳු වූ සෘද්ධිබලයක් ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ සෘද්ධිබලයෙන් කල්පයක් හෝ කපින් අර්ධයක් හෝ වැඩ සිටින්ට සමර්ථ වන සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ සෘද්ධිබලය ඒ සනරාමර පිරිසට නො දැක්කූසේක. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ සියලු ම භවයන්ගෙන් ප්‍රයෝජන නො කැමැතිසේක. තථාගතයන් වහන්සේ විසින් සියලු ම භවයෝ නින්දා කොට හරණ ලද්දාහු ය. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම කාරණය වදාරණ ලද්දේය:-[1]

සෙය්‍යථාපි භික්ඛවෙ අප්පමත්තකො‘පි ගුථො දුග්ගන්‍ධො හොති, එවමෙව ඛො අහං භික්ඛවෙ අප්පමත්තකම්පි භව න වණ්ණෙමි, අන්තමසො අච්ඡරාසංඝාතමත්තම්පී.’

(156) යනුවෙන් “මහරජානෙනි, යම් සේ අල්පමාත්‍ර‍ වූත් ගුථය දුර්ගන්ධ වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම මම වනාහි යටත් පිරිසෙයින් අසුරුසනක් පමණවත් මඳකුත් භවය වර්ණනා නො කරමි’ යි කියා වදාළසේක. කිමෙක් ද? මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ සියලු ම භව ගති චතුර්විධ සත්වයොනි අසුචි සම ව දැක සෘද්ධිබලය පිණිස භවයෙහි ඡන්දරාගය කර වදාරණ සේක් දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙන් සනරාමර ලොකස්වාමී වූ අප භාග්‍යවතුන් වහන්සේ සෘද්ධියගේ බලය කීර්තනය කර වදාරමින් මෙබඳු අසදෘශ වූ සර්වඥසිංහනාදය කර වදාළසේක. මෙසේ ‘ඉදින් ආනන්දය, තථාගතතෙමේ කැමැති නම් කල්පයක් හෝ කපින් අර්ධයක් හෝ සිටින්නේ ය’ යි වදාළ වචනය බොරු වන්නේ ය” යි කියා මේ උභතොකොටිකප්‍ර‍ශ්නය විචාළ කල ඒ කාරණා දෙක ම සැබෑ කොට සර්වඥ අභිප්‍රාය අඟවා වදාළ කල්හි රජ්ජුරුවෝ අතිප්‍ර‍සන්න ව “සාධු! සාධු!! ස්වාමීනි. නාගසෙනයන් වහන්ස, නුඹවහ්නසේ වදාළ මේ කාරණය ‘මමත් එසේ ම පිළිගත්තෙමි” යි කියා ස්තොත්‍ර‍ කළහ.

ත්‍රිමාසායුඃ පරිච්ඡෙද ප්‍ර‍ශ්නය නිමි.

පරමබෞද්ධාගමධාරී සත්පුරුෂජනයන් හා මිථ්‍යාදෘෂ්ටීන්ගේ මෙණ්ඩකයුද්ධයක් මෙන් බලවත් වූ වාදයෙන් යුක්ත බැවින් මෙණ්ඩකප්‍ර‍ශ්න නම් වූ ශ්‍රී සද්ධර්මදාසයෙහි ප්‍ර‍ථමවර්ගය නිමියේ ය.

  1. වදාරණලද්දේ ය