1 ඉක්බිතිව ඒ නර ශ්‍රේෂ්ඨයෝ තිදෙනා, කල් වූ පරිද්දෙන් ඒ ඒ තැන්හි සමඟිව සිටිමින් රාජ්‍ය සැපය විඳින්නාහු ද, පරංගීන් සමඟ යුද්ධ කරන්නාහු ද ඒ ඒ තැන්වල දී ජයග්‍රාහී වූහ. 2 කාලයකට පසුව නැවතත් ඒ රජ දරුවෝ තිදෙනා එකිනෙකාට විරුද්ධ වූහ. 3 ඔවුන් අතරින් මහත් කීර්තියක් ඇති රාජසිංහ රජතුමා, ඒ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා පලවා හැර ඒ රාජ්‍යයන් තමන් සතු කර ගත්තේය. 4 එකල්හි වැඩිමහල් රජතුමා (කුමාරසිංහ) වස දීමෙන් මරනු ලැබූ අතර, මාතලේ නුවර සිටි රජතුමා (විජයපාල) යානාවකට නැඟී ගියේ ය. 5 ඔහු රටේ සීමාව ඉක්මවා ගිය කල්හි, තමාට හමු වූ එක් පුරුෂයෙකු ද සමඟ මුහුදෙන් එතෙර වී ගියේය.
6 ඉක්බිතිව කිසිවෙකුට ඉක්මවිය නොහැකි වූ, සතුරන්ට ළංවිය නොහැකි වූ, අන් අයට පැරදිය නොහැකි වූ, සිංහයෙකුට සමාන වික්‍රම ඇති ඒ රාජසිංහ රජතුමා, පිය සතුව තිබුණා වූ රටම පළමුවෙන් තමා යටතට ගත්තේය. 7 ලෝක ශාසනයේ අභිවෘද්ධිය පිණිස සම්යක් දෘෂ්ඨික දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දෙකු මෙන් හෙතෙම යුද්ධයෙහි ධීර වූයේ ද වීර වික්‍රමාන්විත බල ඇත්තෙක් ද වූයේය. 8 වරක් කුමාර ක්‍රීඩාවෙන් කෙළෙමින් සිටින කල, අන්‍ය පුරුෂයෙකු වෙනත් අශ්වයෙකු පිට නැගී යද්දී රජතුමා ද අසෙකු පිට නැගී ගියේ ය. 9 මෙසේ අසුන් මෙහෙයවූ කල්හි, අශ්වයා වීථියේ දිව ගොස් එහි තිබූ මඩෙහි එරුණේය. 10 එවිට වික්‍රම සම්පන්න වූ ධීර ගුණ ඇති රජ තෙමේ, එකෙණෙහිම අහසට පැන, තමාට පසුව අසු පිට පැමිණි තැනැත්තා ඉවත් කොට, මහත් බල ඇතිව ඒ අසු පිට හිඳ ගියේය. 11 එසේම ‘රන්තැම් තොට’ යැයි කියන ලද භයානක වූ ගං තොටුපළේදී, මෙගොඩ ගලින් අහසට පැන ගඟින් එගොඩ ගලට පැමිණියේය.
12 මේ ආදී වූ නොයෙක් ක්‍රමයෙන් බල දක්වන ලද්දා වූ, 13 ලෝක ශාසනයේ අභිවෘද්ධිය කිරීමට කැමති මහත් අදහස් ඇත්තා වූ ඒ රජතුමා, නොයෙක් ආකාරයෙන් යුද්ධෝපකරණ ආදිය සාදවා ගත්තේ ය. 14 යුද්ධ කරනු පිණිස සැදුණා වූ සිංහල ජනයා රැස් කරගෙන, සංග්‍රාමය ආරම්භ කරනු පිණිස ඇතුන්, අසුන් සහ සේවක ආදීන් ද පිරිවරා ගත්තේ ය. 15 ශුභ වූ නැකත් මුහුර්තයකින් ඒ ‘ශ්‍රීවර්ධන පුරයෙන්’ (සෙංකඩගලින්) නික්ම, මහා යෝධයන් විසින් ද මහා හස්තීන් විසින් ද පිරිවරා ගන්නා ලද්දේ ය. 16 දුනු, කඩු, හෙල්ල ආදී වූ ආයුධ රාශිය ගත්තා වූ ද, බෙර සහ මිහිඟු බෙර ආදී වූ තූර්ය වාදනයන් පෙරටු කර ගත්තා වූ ද රජතුමා, දානාදී පුණ්‍ය කර්ම පිණිස බුද්ධ පුත්‍රයන් වහන්සේලා ද කැටුව ගියේ ය. 17 රජ තෙමේ ඒ ඒ තැනට ගොස් මේඝ ගර්ජනාවක් මෙන් භයංකාර වූ රණ බෙර ඝෝෂාවෙන් ගිගුම් දෙවා නිර්භයව යුද්ධය ආරම්භ කළේය.
18 ඒ නරේන්ද්‍ර තෙමේ උඩරට පළාතට පැමිණි සතුරන් හා සමඟ පළමුවෙන් මහා යුද්ධ කොට බොහෝ පාපීන් මරවා දැමුවේ ය. 19 කර්කශ වූ අධම සතුරන් ඒ ඒ තැනින් පලවා හැර, ඔවුන්ගේ කඳවුරු බිඳ ජය ගත්තේය. 20 ඔබ මොබ බලමින් ගිනි කඳු රැලි මෙන් පනිමින් ද, පර්වත දුර්ගයන්ගෙන් වැටෙමින් ද භයින් තැතිගෙන සතුරෝ දිව ගියහ. 21 සිංහයෙකු ඇත් රංචුවකට වැදුණු කලෙක මෙන්, නිර්භය වූ ඒ නරේන්ද්‍රයා යුද පිටිය මැදට වැදුණු කල්හි සතුරෝ වායු වේගයෙන් ගසාගෙන යන පුළුන් රොදක් සේ බැහැරට ගියහ. 22 ඒ ඒ තැන විසූ සතුරන් හා නොයෙක් අයුරින් යුද කොට, බොහෝ වූ පසමිතුරු ජනයන් මරා පලවා හැර, ඒ රට අත්පත් කරගෙන නිර්බිය කළේ ය. 23 ඔහු සතුරන් කොට කොට, බිඳ දමමින් තමාගේ මහත් බලය දැක්වූ අතර, භයින් තැති ගත් බොහෝ වෛරී ජනයෝ සැඟවී ගියහ. 24 ඒ මිසදිටු පාපී ජනයෝ (පරංගීන්) මුහුදු අසල ඒ ඒ තැන්වල පිහිටි ඒ ඒ කඳවුරුවල මඳ කලක් වෙසෙමින්, නැවත නැවතත් ඒ ඒ රටවල් පැහැර ගැනීමට පටන් ගත්හ.
25 ඉක්මවිය නොහැකි අණසක ඇති රාජසිංහ නරේන්ද්‍ර තෙමේ ඒ ප්‍රවෘත්තිය අසා, නැගෙනහිර දිග භාගයෙහි වූ ‘දිගා වැව’ (දීඝවාපිය) වෙත නැවත පැමිණියේය. 26 එහි පැමිණ සිටියා වූ, මනු නීතියෙහි විශාරද වූ 27 ඒ නරේන්ද්‍ර තෙමේ, ‘ඕලන්දයින්ගේ’ (ලන්දේසීන්ගේ) ප්‍රවෘත්තිය අසා “මේ යහපතැ”යි සිතා, ඔවුන්ගේ මනෝහර වූ දේශයට (හෝ නැව්වලට) ඇමැතියන් දෙදෙනෙකු යැවුවේ ය. 28 බොහෝ වූ ජනයා විසින් ගැවසෙන ලද්දා වූ දිගා වැව සමීපයට පැමිණියා වූ ද, 29 මුහුදු වෙරළට ඔවුන් පැමිණි කල්හි ද රජතුමා ඔවුන්ට සංග්‍රහ කළේ ය. 30 ස්වකීය ලංකාවේ බලය ද ඔවුන්ට දක්වන්නට සිතා “බලා සිටිව්” යයි මැනවින් අණ කොට, 31 ඒ නරේන්ද්‍ර තෙමේ සමීප ස්ථානයන්හි සිටි වෛරීන් හා නොයෙක් අයුරින් යුද කොට එතැන්හි සිටි සතුරන් විනාශ කළේ ය. 32 ඔවුන්ගේ කඳවුර අල්ලාගෙන ඕලන්ද රට වැසියන්ට ඒ ස්ථානය දීම ආදී වූ බොහෝ සංග්‍රහ කොට ඔවුන් යහපත් සේ සතුටු කළේය.
33 එතැන් පටන් ලංකේශ්වර තෙමේ (සිංහල හා ඕලන්ද යන) සේනාවන් දෙක විසින් පෙරටු කරන ලද්දේ, හාත්පස ගොඩ සහ මුහුද යන දෙතැනම යුද කරන්නට පටන් ගත්තේ ය. 34 ඒ ඒ තැන පිහිටි ගල්වලින් සහ ඝන වූ ප්‍රාකාරවලින් අලංකෘත වූ 35 බලකොටු ද බිඳ දමා, පසමිතුරන් විනාශ කළේ ය. 36 මුළු ලක්දිව මහ බලයෙන් යුක්තව බොහෝ කලක් බලකොටු බැඳගෙන සිටියා වූ වෛරී ජනයන් කිසිවක් ඉතිරි නොවන පරිදි විනාශ කොට රට උපද්‍රව රහිත කළේය. 37 නැවතත් පසමිතුරන්ගේ බල වැළැක්වීම පිණිස ඕලන්ද දේශවාසී වූ ජනයන් ලංකා ආරක්ෂාව පිණිස මුහුදු අසල ස්ථානයන්හි යෙදවූයේ ය. 38 නරේශ්වර තෙමේ අවුරුදු පතා ඔවුන් විසින් නොයෙක් ආකාරයේ පඬුරු ද ගෙන්වා ගෙන එන ලෙස නියම කළේ ය. අසුරයන් සමඟ යුද කොට ජයගත් 39 සක් දෙවි රජු මෙන්, හෙතෙම ස්වකීය පිරිස ගෙන තමාගේ පුරයට ප්‍රවිෂ්ට වූයේය. 40 පණ්ඩිත වූ රාජසිංහ නරේන්ද්‍ර තෙමේ උපද්‍රව රහිතව වසන්නේ, ඒ ඒ තනතුරුවලට සුදුස්සන් කවුරුන්දැයි යහපත් සේ විමසා බලා සේනාපති බව ආදී තනතුරු ලබා දුන්නේය.
41 නරේශ්වර තෙමේ බුද්ධායතන වූ ද, දේවායතන වූ ද සියලු ගම් කෙත් ආදිය පෙර තිබූ පරිද්දෙන් හා නියමිත වූ විධි පරිද්දෙන් එසේම දානය කොට පිහිටුවූයේ ය. 42 ඉක්බිති ‘එතුර පුරයෙන්’ (මදුරාපුරයෙන්) රාජ කන්‍යාවන් ගෙන්වා මහත් වූ අන්තඃපුරයක් පවත්වා ගනිමින් 43 දෙපණස් අවුරුද්දක් (අවුරුදු 52ක්) රාජ්‍යය කළේය.
44 මෙසේ බල ඇත්තා වූ යම් රාජසිංහ නම් නරේශ්වරයෙක් තෙමේ සූර්ය වංශයෙහි උපන් මුනි රජුන් වහන්සේගේ ශාසනය හා ලෝකය ස්වකීය ඇස මෙන් ද, තමාගේ ආත්මය මෙන් ද මනා කොට ආරක්ෂා කළේ ද, ඒ නරෝත්තම තෙමේ මෘත්‍යු රාජයා (මරුවා) සමීපයට ගියේ ය. මෙසේ වෛරී බල විනාශ කිරීමට දක්ෂ වූ මහ බල ඇත්තා වූ පෘථිවීශ්වර රජ තෙමේ පවා බල ඇණි ආදියෙන් මරුවා දිනා ගත නොහැකි යයි සිතිය යුතුය. ඒ බව නුවණැති පණ්ඩිතයන් විසින් දැන, මරුවාගේ පැමිණීමට පළමු කොට මහත් වූ ආදරයෙන් නිතර දානාදී පුණ්‍ය කර්මයන් කළ යුතුම ය.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයේ ‘රාජසිංහ රාජ දීපනය’ නම් වූ අනූ හය වන අදියර නිමි.