94. පළමුවන විමලධර්මසූරිය රජු සහ ශාසන පුනර්ජීවනය

star_outline
විමලධර්මසූරිය රජුගේ නැගී සිටීම

ඒ රජුගේ කාලයෙහි ගඟසිරි නම් පුරයෙහි සූර්ය වංශයෙහි ම උපන් එක් කුමාරයෙක් කොළොම්තොටට පැමිණියේ ය. 1-2 හෙතෙම එහි සිටීමට අවස්ථාවක් නොලැබ ගෝව රටට ගියේ ය. එහි බොහෝ කාලයක් සිටි, නුවණැති ඒ කුමාරයා, ගජබාහු නම් වූ ප්‍රසිද්ධ මහ බලැති ප්‍රධානියෙකු මරා ජය ගත්තේ ය. 3 ඒ හේතුවෙන් නොයෙක් ආකාරයේ සම්මාන ලබා නැවත ලක්දිවට බැස, සුදුසු කල් දැන උඩරට පලාත් පහේ වැසියන් සම්බන්ධ වූ සේනාව ලබා ගත්තේ ය. 4 මෙසේ මහත් බල ඇත්තේ, පීතෘඝාතක රාජසිංහ රජුගේ ඇවෑමෙන් බලයට පත් විය. 5

රාජ්‍යත්වයට පත්වීම සහ නගරය ආරක්ෂා කිරීම

බුදුන් පිරිනිවි දෙදහස් එකසිය පන්තිස් වන වර්ෂය පැමිණි කල්හි, යට කියන ලද ශ්‍රී වර්ධන පුරයෙහි ශ්‍රද්ධාවෙන් යුක්ත වූ, පින් ඇති, මහා බලැති, විමලධර්මසූරිය යයි ප්‍රසිද්ධ වූ මහත් කීර්ති ඇති නරේන්ද්‍රයෙක් පහළ විය. 6-8 ඒ මහත් මුළු නගරය සිසාරා ඒ ඒ තැන්හි අටළොස් කොටුවක් (කොටු දහඅටක්) තනා, උස් කොට කරන ලද ඝන වූ ප්‍රාකාරයෙන් යුක්ත කරවා, ප්‍රතිවිරුද්ධ සතුරන් වැළැක්වීම පිණිස ආරක්ෂක ජනයන් යොදවා සියලු ලංකා රාජ්‍යය උවදුරු රහිත කළේ ය. 9 එබඳු වූ රාජ කන්‍යාවක් ද අග මෙහෙසුන් කොට ගෙන රාජාභිෂේකය ලැබුවා වූ ද, මහා යසස් ඇත්තා වූ ද හෙතෙම පින් කැමති වූයේ, ශ්‍රද්ධාවෙන් ලෝක ශාසන සංග්‍රහය කිරීමට ආරම්භ කළේ ය. 10

දළදා වහන්සේ වැඩම කරවීම

නරශ්‍රේෂ්ඨ වූ රජතුමා, “සර්වඥ දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ කොතැන ද?” යි විචාරා, “දෙල්ගමුවෙහෙර” යයි අසා අතිශයින් පැහැදුණු සිත් ඇත්තේ විය. 11 සපගමු (සබරගමු) රට දෙල්ගමුවෙහි වැඩ සිටියා වූ දන්ත ධාතූන් වහන්සේ ගෞරවයෙන් තමන්ගේ යහපත් වූ පුරවරයට වැඩමවා ගත්තේ ය. 12 ඒ පණ්ඩිත වූ රජ තෙම දවසක් දවසක් පාසා වඳින්නට ද වත් පිළිවෙත් කරන්නට ද රජ මැදුර සමීපයෙහි වූ යහපත් උතුම් භූමි භාගයක සිත්කළු වූ දෙමහල් දා ගෙයක් කරවා, එහි දළදාව තබා නිරන්තර ආදර ඇත්තේ පුද පූජා කළේ ය. 13-14

උපසම්පදාව නැවත පිහිටුවීම

මුළු ලක්දිව උපසම්පන්න භික්ෂූන් නැති බැවින් ඇමතියන් ද රක්ඛංග නම් වූ දේශයට යවා නන්දිචක්ක ආදී භික්ෂූන් වහන්සේලා පවරා ලක්දිවට ගෙන්වා ගත්තේ ය. උන්වහන්සේලාට උතුම් වූ ශ්‍රී වර්ධන පුරවරයෙහි වාසය කරවා ඉක්බිති ඒ රජතුමා ආදරයෙන් උපස්ථාන කළේ ය. 15-16 අනතුරුව මහවැලි ගඟේ ගැටඹ නම් තොටෙහි, උදකුක්ඛේප සීමාවෙහි (දියෙහි පිහිටි සීමාවෙහි) මනරම් වූ මණ්ඩපයක් කරවා, සර්වඥයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු දෙදහස් එකසිය සතළිස් වන වර්ෂයෙහි භික්ෂූන් වහන්සේලා එහි වැඩමවීය. 17-19 ඒ මහා භික්ෂූ සංඝයා ලවා බොහෝ වූ කුලපුත්‍රයන් උපසම්පන්න කරවා සර්වඥ ශාසනය ආරක්ෂා කළේ ය. 20

රජුගේ අභාවය සහ සමාලෝචනය

බොහෝ කුලපුත්‍රයනුත් ශාසනයෙහි පැවිදි කරවා, බොහෝ වූ සිව්පසයෙන් ද උපස්ථාන කරමින් කුසල් කැමති වූ රජතුමා, මේ ආදී වූ නොයෙක් ක්‍රමයෙන් මහත් වූ පින් කොට ස්වර්ග මාර්ගය පිරිසිදු කර ගත්තේ ය. 21-22 පණ්ඩිත වූ හෙතෙම ඒ කාලයෙහි බුද්ධ ශාසනයෙහි පැවිදිව සිටි, එම රජුගේ ම මලණුවන් වූ කුමාරයා ගෙන්වා, ඔහු සිවුරු හරවා රාජ්‍ය භාරයෙහි නියෝග කොට කර්මානුරූපව පරලොව ගියේ ය. 23

මෙසේ ඥාන බලයෙන් යුක්ත වූ මහීපාල තෙමේ බොහෝ පින් කොට ඇති, නිර්මල වූ බුද්ධ ශාසනය බබළවමින් ආඥා බලය දැක්වූයේ ය. ශ්‍රද්ධාව ධන කොට ඇති චතුර වූ එබඳු පුද්ගලයා ද මරුවාට වසඟ විය. එබැවින් අනිත්‍ය භාවාදී වූ සියලු ආදීනවය දැන ජනයෝ අප්‍රමාදයෙහි ඇලුනෝ වෙත්වා. 24

මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාද සංවේගය පිණිස කළ මහවංශයේ විමලධර්ම රාජ දීපන නම් වූ අනූ හතර වෙනි පරිච්ඡේදය නිමි.