92. ජයබාහු රජු ඇතුළු රාජ පරම්පරාව හා සෙංකඩගල වීර පරාක්‍රමබාහු රජු

star_outline
රාජ අනුප්‍රාප්තිය

1 ඒ රජුගේ ඇවෑමෙන් පසුව ඔහුගේ මුනුපුරු වූ ජයබා කුමරු රජ බවට පත් විය. 2 ඉන්පසුව එම ජයබා රජු මරා දමා බුවනෙකබාහු කුමරු රජ විය. රාජාභිෂේකය ලැබූ හෙතෙම වසර හතක් රාජ්‍යය කළේ ය. ඒ රජුගේ ඇවෑමෙන් පසුව, 3 පණ්ඩිත බැවින් ‘පණ්ඩිත’ යැයි ප්‍රසිද්ධියට පත් වූ පැරකුම්බා කුමරු ඒ යහපත් වූ පුරයෙහි රජ බවට පත් විය. 4 ඊට ඉක්බිති ව වීරපරාක්‍රමබාහු යැයි ප්‍රසිද්ධ වූ කුමරෙක් රජ විය.

ඒ රජුගේ ඇවෑමෙන් පසුව ගුණ නමැති ආභරණයෙන් 5 සැරසුණා වූ විජයබා කුමරු රජ විය. ඔහුගේ ඇවෑමෙන් භුවනෙකබාහු නම් රජෙක් විය. මේ රජ දරුවෝ තමන්ට ශ්‍රද්ධා ඇතුළු ගුණ ශක්තිය ඇති 6 පරිද්දෙන් ලෝක ශාසනයේ අභිවෘද්ධිය සිදු කොට, කම් වූ පරිද්දෙන් පරලොව ගියහ.

සෙංකඩගල වීර පරාක්‍රමබාහු රජු

ශ්‍රී සංඝබෝධි රජුගේ වංශයෙහි උපන්නා වූ වීර 7 පරාක්‍රම නම් වූ කුමාරයෙක්, සර්වඥයන් වහන්සේගේ පිරිනිවීමෙන් වසර දෙදහස් අසූ පහක් ගෙවී ගිය කල්හි, මහත් බල ඇත්තේ මහවැලි ගඟ නමැති 8 දිය අගලින් අලංකාර වූ සෙංකඩගල සිරිවඩන නම් පුරයෙහි රජ විය. එකල එහි වාසය කරන්නා වූ ඒ රජතෙම සතර සංග්‍රහ වස්තුවෙන් ජනතාව සතුටට පත් කොට ශ්‍රද්ධාවෙන් යුතුව පින්කම් කිරීමට ආරම්භ කළේ ය.

ආගමික සේවාවන් සහ ත්‍රිපිටක පූජාව

තමන්ගේ රාජ මාලිගාවට 9 ඉතා දුර නො වූ සිතට ප්‍රිය උපදවන භූමි භාගයක, මුනීන්ද්‍රයන් වහන්සේගේ පාත්‍රා ධාතුව වඩා හිඳුවා හෙතෙම චෛත්‍යයක් ද කරවීය. 10-11 ඊට සමීපයෙහි උළු සෙවිලි කළා වූ ද, හාත්පස අසූ හයක් වූ සංඝාවාසයන් ද කරවා, ඒ ඒ තැන්හි භික්ෂූන් වහන්සේලාට වාසය කිරීමට සැලැස්වීය. හෙතෙම උන්වහන්සේලාට උපස්ථාන කරමින් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය ඇසුවේ ය. 12 හෙතෙම උදාර වූ පූජාවන් පවත්වා පනස් පස් වතාවක් මුළු රාත්‍රිය පුරා දේශනා කරන්නා වූ ධර්මයන් ද ඇසුවේ ය.

13-14 තල් පත්‍රයන්හි පොත් ලියවා හැට දහසක් පමණ ධනය වියදම් කොට ත්‍රිපිටකය ද පූජා කළේ ය. 15 එක්සිය අසූවක් සර්වඥ ප්‍රතිමාවන් ද, ධාතූන් වහන්සේලා වැඩම කරවීම පිණිස කරඬු එකසිය විසිහතක් ද කරවා පින් රැස් කළේ ය.

මහියංගන සහ ශ්‍රී පාද වන්දනාව

16 හෙතෙම තමාගේ පුරයෙන් පිටත් ව තමාගේ පා ගමනින් ම එක් දවසින් 17 සත් ගව්වක් පමණ දුර ගෙවා ගොස්, නානාවිධ වූ සුවඳ මල්වලින් හා පහන් සුවඳ දුම් ආදියෙන් මහත් වූ පූජා පවත්වමින් මහියංගන නම් වූ චෛත්‍යය වන්දනා කළේ ය. 18 ඒ නරශ්‍රේෂ්ඨයා එක් දවසින් ම සමනල පර්වතයට ද ගොස්, වටිනාකමින් යුතු වූ 19 පහළොස් රියන් උස සහ පස් රියන් පළලැති ප්‍රදීපාගාරයෙහි තෙල් කළ සියයක් වගුරුවා පහන් දල්වා ශ්‍රී පාද ලාංඡනය පිදුවේ ය.

හෙතෙම ස්වර්ග මාර්ගය ප්‍රාර්ථනා 20 කරමින්, දුෂ්කර වූ මාර්ගය පිරිසිදු කරවා, එහි යන එන්නවුන්ගේ පහසුව පිණිස ගල් පඩි සත්සිය අසූවක් ද කරවීය. මිහිපති තෙම මේ ආදි වූ 21 නොයෙක් පින්කම් නොයෙක් ආකාරයෙන් සිදු කළේ ය.

උපසම්පදා මංගල්‍යය

උපසම්පදා විනය කර්මය කරවීමට 22 සිතා, ගං ඉවුරේ බොහෝ ගෙවල් ද කරවා තුන් රටේ වාසය කරන භික්ෂූන් වහන්සේලා එහි වැඩමවා, පණ්ඩිත වූ ඒ රජතෙම ඒ භික්ෂූන් විෂයෙහි මහත් වූ පූජා පැවැත්වීය. 23 ධර්මකීර්ති මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ පන්තිස් නමක් වූ භික්ෂු සංඝයා පවරා, මහා උත්සව පවත්වමින් තුන්සිය පස් පණස් නමක් යහපත් කුල පුත්‍රයන් ද 24 තෝරා ගෙන උපසම්පදාව ද ලබා දුන්නේ ය.

පාරිශුද්ධ දානමය පුණ්‍යකර්මය

පෙර පාටලීපුත්‍ර නගරයෙහි විසුවා වූ 25 මහාසේන නම් නරපතියා, දහසක් භික්ෂු සංඝයාට දිනපතා දන් වළඳවා එයින් ද තෘප්තියට නො පැමිණියේ ය. උදාර වූ 26 අදහස් ඇති බැවින් හෙතෙම ‘මා විසින් ම වස්තු ශුද්ධිය කොට (තමාගේ ම ශ්‍රමයෙන් උපයා ගත් දෙයින්) දානය දෙන්නෙමි’ යි සිතා රාජ්‍ය සැප සම්පත් හැර දමා, උතුරු මදුරා පුරයට ගොස් කුලී වැඩ කොට ලබා ගත් ධාන්‍යයෙන් ශ්‍රද්ධාවෙන් දුන් දානය ගැන ද මේ රජතුමා අසා තිබුණේ ය.

එබැවින් ශ්‍රද්ධාවෙන් දානයෙහි ඇලුනා වූ 27 පණ්ඩිත වූ මේ රජතෙම, තමාගේ ම කාය බලයෙන් ‘දස හැල්’ (වී කුරුණි දහයක් වැපිරිය හැකි) කුඹුරක් අස්වද්දා, එයින් ලබා ගත් ධාන්‍යයෙන් ම මනා කොට දානයක් පැවැත්වීය.

අවවාද සහ සමාප්තිය

28 තෙරුවන් කෙරෙහි පැහැදුණා වූ හෙතෙම දෙදහස් එකසිය අසූ දෙකක් 29 සිවුරු පූජා කළේ ය. ඒ රජතෙම පන් ලක්ෂ දහසක් ධනය දන්දීම 30 කොට පින්කම් කරවීය. නරේශ්වර තෙම ඇතුන් සහ අශ්වයන් හැට දෙදෙනෙක් ද, 31 හාරසිය පණහක් ගවයන් හා මී ගවයන් ද පූජා කළේ ය. කුසල් කැමති වූ හෙතෙම මේ ආදි වූ නොයෙක් ක්‍රමයෙන් පින්කම් කොට ස්වර්ග මාර්ගය පිරිසිදු කර ගත්තේ ය.

මෙසේ අනුන්ගේ යහපතෙහි නිරන්තරයෙන් ඇලුනා වූ, ශ්‍රද්ධාව ඇත්තා වූ, 32 අතිශයින් පණ්ඩිත වූ නරේන්ද්‍ර තෙම, තමා ලැබූ ශරීර ආදියෙහි නිසරු බව දැනගෙන, නානාවිධ වූ සැප ලබා දෙන්නා වූ නොයෙක් පින් මනා කොට සිදු කළේ ය යි දැනගන්න. එබැවින් ඝෝර වූ සංසාර දුකෙහි මහත් වූ බිය ඇති ජනයෙනි, සංසාරය මෙනෙහි කොට ශරීර ආදියෙහි පවතින්නා වූ සියලු ලෝභය දුරු කරව්. අලස නො වී පින් රැස් කරව්.

මෙහි ප්‍රමාණය මෙතෙකින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස කළ මහාවංශයෙහි ජයබාහු ආදිය සතත රාජ දීපන නම් වූ අනූ දෙවන පරිච්ඡේදය නිමියේ ය.