සංස්කාරක සටහන

star_outline
මහා වංශයේ ඉතිහාසය සහ කාල වකවානු

සිංහලයන්ගේ ආදිතමයා යැයි බහුතරයක් දෙනා පිළිගන්නා වූ විජය රජුගෙන් ආරම්භ වන්නා වූ, මහා සම්මත රාජ වංශයේ කථා පුවත ‘සිංහල මහා වංශය’ නමින් හඳුන්වනු ලබයි.

‘මහාවංශය’ යන වචනයේ අර්ථය වනුයේ ‘උත්තම පරම්පරාව’ යන්නයි.

ක්‍රිස්තු පූර්ව 543 විජය රජුගේ පටන්, ක්‍රිස්තු පූර්ව 303 මහාසේන රජු දක්වා වූ වසර 240 ක කාල පරිච්ඡේදය, පරිච්ඡේද 37 කින් යුක්ත කොට සංගෘහිත වූ කොටස ‘මහා වංශය’ නමින් පිළිගැනෙයි.

ක්‍රිස්තු පූර්ව 304 කිත්සිරිමෙවන් රජුගෙන් ආරම්භ වී, ක්‍රිස්තු වර්ෂ 1153 පළමුවන පරාක්‍රමබාහු රජුගෙන් අවසන් කොට ඇති, වසර එක්දහස් හාරසිය පනස් හතක (1457) කාලයක් දක්වා වූ පරිච්ඡේද 42 කින් සංගෘහිත කොටස ‘චූළවංසය’ වශයෙන් පිළිගැනෙයි.

ක්‍රිස්තු වර්ෂ 1186 දෙවන විජයබාහු මහ රජුගේ පටන්, 1357 පස්වන පරාක්‍රමබාහු රජුගෙන් අවසන් කොට ඇති වසර 171 ක කාලය, පරිච්ඡේද 09 කින් සංගෘහිත කොටස මීළඟ කොටස වශයෙන් පිළිගැනෙයි.

ක්‍රිස්තු වර්ෂ 1357 තුන්වන වික්‍රමබාහු රජුගේ පටන්, 1798 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා ගැනෙන වසර 441 ක කාලය, පරිච්ඡේද 11 කින් සංගෘහිත කොටස ඊළඟ කොටස වශයෙන් පිළිගැනේ.

ක්‍රිස්තු වර්ෂ 1798 න් ආරම්භව 1935 න් අවසන් වන සේ සංගෘහිත කොටස ඊළඟ කොටසට ද, 1935 සිට 1979 දක්වා ආචාර්ය නන්දදේව විජේසේකර වියතුන්ගේ ප්‍රධාන කර්තෘත්වයෙන් ලියැවී ඇති කොටස නූතනම කොටස වශයෙන් ද පිළිගැනෙති.

මෙසේ මහා වංශ සහ චූළවංශ වශයෙන් දැක්වුන ද, සාමාන්‍ය ව්‍යවහාරයෙහි පවත්නේ මේ සියල්ල ‘මහා වංශය’ යන නමිනි.

මෙයට අමතරව ඩී. එච්. ඇස්. අභයමරත්න මහතා විසින් විජය රජුගේ පටන් එංගලන්තයේ පස්වන ජෝර්ජ් රාජ සමය දක්වා ලිඛිත මහා වංශයක් ද පළ වී ඇත.

සංස්කාරක සටහන සහ කෘතඥතාව

අපගේ මෙම සංස්කරණය, මෙම ග්‍රන්ථ සියල්ල පරිශීලනය කරමින් කරන ලද බවත්, ඒ ඒ ග්‍රන්ථ කර්තෘ වූ සියලු විද්වතුන් හමුවේ කෘතඥතා පූර්වකව සඳහන් කරනු කැමැත්තෙමි.

ආදිතම මහ රජු වූ විජය රජුගේ පටන් ක්‍රිස්තු වර්ෂ 1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ශ්‍රී ලංකාව නිදහස් වීම දක්වා වූ කාල පරිච්ඡේදය, එකම ග්‍රන්ථයක් වශයෙන් කියවීමට හුදී ජනයා තුළ ඇති අපේක්‍ෂාව මම සංස්කරණයෙන් යම්තමින් හෝ පිරිමැසෙන්නේ නම් එයින් අපි සතුටට පත්වෙමු.

අපගේ එක් පරමාර්ථයක් නම් එම පහසුව පාඨකයාට ලබා දීමයි.

අතිපූජ්‍ය සිප්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන්, බටුවන්තුඩාවේ පඩිමතුන්, යගිරල ශ්‍රී ප්‍රඥානන්ද, පහතරට නායක හාමුදුරුවන්, ආචාර්ය නන්දදේව විජයසේකර වියතාණන් ප්‍රධාන වියත්ගණයා සහ අභයසිංහ මහතා ද මෙහිදී අපගේ ගෞරවයටත් ප්‍රසාදයටත් පත්වන්නාහ.

මෙම සිංහල මහාවංසය සකස් කිරීමේදී විශාල මෙහෙවරක් කිරීමට සිදුවිය.

එහි දී අපට ඉත හිතින්ම සහාය වූ පාලිත ලියනගේ මහතා ද, විජිතනන්ද සරත්චන්ද්‍ර මහතා ද ඉතසිතින් සිහිපත් කරමි.

පරිගණක අක්ෂර යෙදූ තනුජ දයාල් පෙරේරා මහතා සහ රුවිනි පැස්කුවල්, ගීතා ස්වර්ණමාලී මෙනවියන්ට ද, පිටකවරය හරවත් මෙන්ම ඔපවත් කළ විජේබණ්ඩාර මහතාට ද, ඉතා ටික දවසක් තුළ දර්ශනීය ලෙස මුද්‍රණ කටයුතු කළ මුද්‍රණාලයේ අධිපති තුමන්ට හා සියලු සේවක මහත්ම මහත්මීන්ට ද අපගේ කෘතඥතාවයත්, පුන්‍යානුමෝදනයත් හිමි කරම්හ.

මෙයට ලෝ සසුන් වැඩකැමති,
කිරම විමලජෝති ස්ථවිර.