ගුණයෙන් මහත් වූ බුදුරජාණන් වහන්සේ ඇතුළු බුද්ධ ශ්‍රාවකයන්ගේ පරම්පරාව හෝ ඓශ්චර්යය ආදියෙන් මහත් වූ මහාසම්මත ආදී නරේන්ද්‍රයන්ගේ පරම්පරාව ‘මහාවංශ’ නම් වේ. මෙම ග්‍රන්ථය ද ඉහත කී උභය වංශයෙන් ම සංගෘහිත හෙයින් ‘අභේදෝපචාරයෙන්’ (බෙදීමකින් තොරව සැලකීමේ න්‍යායෙන්) මහාවංශය යැයි නම් වේ.
මෙම මහාවංශය, අනුරාධපුර මහා විහාරයට අනුබද්ධ දික්සඳ සෙනෙවියා පිරිවෙන්හි විසූ මාහිමි මහානාම මහා ස්ථවිරයන් වහන්සේ විසින් ආරම්භ කොට කරන ලද්දකි. ඒ මහානාම තෙරුන් වහන්සේ විසින් සිංහල අටුවා පොත්හි පැවති වංශ කතාව ගෙන එය ශුද්ධ මාගධී භාෂාවෙන් (පාලි භාෂාවෙන්) කරන ලද බව මහාවංශ ටීකාවෙහි සඳහන් කර ඇත. එහි අදහස මෙසේ දැක්වේ:
“මහාවිහාරවාසීනං වා මහන්තං පොරාණට්ඨකථං එත්‍ථහි සීහල භාසං හිත්වා මාගධික භාසාය පවක්ඛාමීති අධිප්පායො”
මහාවංශයේ දෙවන ගාථාවෙන් පෙනී යන්නේ, මෙම වංශ කතාව පුරාතනයන් විසින් කරන ලද්දේ ද, කිසි තැනෙක ඉතා විස්තර කරන ලද්දේ ද, කිසි තැනෙක ඉතා කෙටියෙන් කරන ලද්දේ ද වන අතර, එය නොයෙක් පුනරුක්ත (නැවත නැවත කීම) දෝෂයන්ගෙන් යුක්ත වන බවයි. මෙය ‘දීපවංශය’ සඳහා කියන ලද්දක් යැයි ද සැලකේ. එහි වනාහි මහාවංශයට ඇතුළත් වූ කිසියම් කතාවක් ඉතා විස්තර වශයෙන් ද, කිසියම් කතාවක් ඉතා සංක්‍ෂේපයෙන් (කෙටියෙන්) ද කියා ඇත. පෙර කියන ලද කතා නැවත නැවත කීමෙන් නොයෙක් පුනරුක්ත දෝෂයන්ගෙන් ද යුක්ත බව පෙනේ.
එහෙයින් ‘පුරාතනයන් විසින් කළ මහාවංශය’ යයි කියන ලද්දේ දීපවංශය සඳහා යැයි හැඟෙන නමුත්, ටීකාවෙහි පුරාතනයන් විසින් කියන ලද මහාවංශ කතා ආරම්භය ආදිය දැක්වීම පිණිස දීපවංශ පාඨ ද උදාහරණ කොට ගෙන ඇත. තවද,
“අයංහි ආචරියො එත්‍ථ පොරාණනං කතමම්හි සීහලට්ඨ කථා මහා වංසෙ අතිවිත්ථාර පුනරුත්තදොස භාවං පහාය තං සුඛග්ගහණ දීපයොජන සහිතං කත්වාව කථෙසි”
යනාදී වශයෙන් මෙය සිංහල අටුවා මහාවංශයෙන්ම ගෙන කළ බව සඳහන් කර තිබේ. මෙම මහාවංශයට ඇතුළත් බොහෝ කතා ‘සමන්තපාසාදිකා’ ආදී අටුවාවල ද දක්වා තිබේ.
කලින් කල නොයෙක් නොයෙක් ග්‍රන්ථවල ලියැවී පැවත ආ හෙයින්, එසේ ලියන ලද සිංහල පොතක තිබූ ප්‍රවෘත්තිය ප්‍රධාන කොට ගෙන මහානාම ස්ථවිරයන් වහන්සේ විසින් මහාවංශ ග්‍රන්ථය කළ බව දැන, ටීකාචාරීන් විසින් එසේ සඳහන් කරන ලදැයි සැලකිය යුතුය. ඉන්පසු පැවති සියල්ල අසා දැනගැනීමෙන් (ශ්‍රැතියෙන්) සහ ප්‍රත්‍යක්ෂ දැනීමෙන් අන්තර්ගත කරන ලදී.
මෙම ග්‍රන්ථය ‘මහාවංශය’ සහ ‘චූලවංශය’ කියා කොටස් දෙකක් වශයෙන් බොහෝ තැන්වල ව්‍යවහාර කෙරේ. ඒ මෙසේ ය: මහානාම ස්වාමීන් වහන්සේ විසින් ඒ කාලයෙහි රජ කළ මහසෙන් රජුගේ රාජ්‍ය ප්‍රවෘත්තිය දක්වා මෙය ලියා තබන ලදී. නමුත් එයින් මහාවංශ කතාව අවසන් නොවන හෙයින්, තිස් හයවන පරිච්ඡේදය ලියා, තිස් හත්වන පරිච්ඡේදය ආරම්භ කොට, එහි මහසෙන් රජුගේ පුවත් ලියා එය පරිච්ඡේදයක් වශයෙන් අවසන් නොකළ බව, එතැන පරිච්ඡේදය අවසාන කරන ගාථා ආදිය නැති හෙයින් හැඟේ. එසේ වුවත් එතැන “මහාවංසො නිට්ඨිතො” (මහාවංශය නිමියේය) යන්න පෙනේ. එය මේ තාක් ම එලෙස ලියාගෙන එන හෙයින් එතෙකින් මහාවංශය නිෂ්ඨිත (අවසන්) බවත්, එතැන් පටන් සියක් වැනි පරිච්ඡේදය දක්වා ලියන ලද පොත ‘චූලවංශය’ යැයි ඇතැම් කෙනෙක් විසින් සලකනු ලැබේ.
එසේම සමහර පොත්වල පළමු වෙනි පරිච්ඡේදය පටන් තිස් හත්වැන්නේ මහසෙන් රජුගේ පුවත් දක්වා ලියන ලද පොතෙහි කියා තිබෙන යමක් සාධක වශයෙන් ගෙනහැර දක්වන විට “තෙන වුත්තං - මහාවංසෙ” (එහෙයින් මහාවංශයෙහි කියන ලදී) කියා ද, තිස් හත්වෙනි පරිච්ඡේදයෙහි සිරිමෙවන් රජුගේ පුවත් පටන් ලියන ලද පොතෙහි යමක් ගෙනහැර දක්වන විට “තෙන වුත්තං චුලවංසෙ” (එහෙයින් චූලවංශයෙහි කියන ලදී) කියා ද සඳහන් කිරීම පෙනේ. මීට කරුණ “මහාවංසො නිට්ඨිතො” යි ලියන ලද්ද පමණ යැයි සිතමු.
පූජාවලිය අවසානයෙහි, “ලක්දිව රජ කළ ඔටුනු පළන් රජ දරුවන් සඳහන් කිරීමෙහි පළමුවන විජය රජ ය, උපතිස්ස ය” යනාදීන් දක්වා, “මහසෙන් රජ යයි මහාවංශයෙහි ඔටුනු පැළඳ රජ කළා වූ රජුන් තෙසැට දෙනෙකු හා චූලවංශයෙහි සිරිමෙවන් රජ ය” යනාදීන් දක්වා, “පරාක්‍රමබාහු යයි සුළු වස රජ කළ අනූ දෙනෙකු හා මෙසේ වූ රජ එක්සිය පණස් තෙදෙනෙක් සිරිලක රජ කළහ” යි කියන ලදී. මෙයින් ද “මහාවංසො නිට්ඨිතො” යන වාක්‍යය ලියන ලද ස්ථානයෙන් මෑත සඳහන් කළ සිරිමෙවන් නරනිඳු ආදී රජ දරුවෝ චූලවංශයෙහි රජහු යයි කියන ලද්දාහ.
රජුන්ගේ වංශ වශයෙන් බෙදතොත්, පිය රජවරුන් මහාවංශයටත් පුත් රජවරුන් චූලවංශයටත් ඇතුළත් කොට බෙදීම සිදු කළ නොහැකි වේ. තවද සිංහල රාජාවලියෙහි “සුළුවංශ යන මවු පක්ෂයත් පිය පක්ෂයත් දෙකින් එකක් සූර්ය වංශයෙන් කලක තිබෙයි” කියා ද, “එකක් ශ්‍රී මහා බෝධිය ගෙන වසත්, එකක් දළදාව ගෙන වසත් කල බැගෑණිව (කලින් කලට) තිබීමෙන් පැවත එන නිසාත්, සංඝරත්නය ඍද්ධිමත් තෙරවරුන් නැති නිසාත්” යනාදියත් දක්වා මහාවංශ සහ සුළුවංශ (චූලවංශ) දෙක බෙදීමට මේවා හේතු යයි කියන ලදී.
සූර්ය වංශයෙන් මාතෘ පක්ෂ ආදී එක් පක්ෂයක් වීම සඳහා ඒ ඒ රජ දරුවන්ගේ මාතෘ පිතෘ ගෝත්‍රයන් පරීක්ෂා කර බැලූ කල ද එය එසේ ම සිද්ධ නොවේ. ශ්‍රී මහා බෝධිය ගෙන කතාවෙන් යුක්ත වංශය මහාවංශය කියාත්, දළදාව ගෙන වංශය චූලවංශය කියාත් වෙන් කිරීමට ද කරුණු නොපෙනේ. කුමක් හෙයින් ද යත්, දළදාව බුද්ධ ශාරීරික ධාතු චෛත්‍යයකි, ශ්‍රී මහා බෝධිය පාරිභෝගික චෛත්‍යයකි.
‘සංඝරත්නය ඍද්ධිමත් තෙරවරුන් නැති නිසා ය’ යන්නෙහි මහසෙන් රජුගේ කාලයෙන් පසු එසේ බව ප්‍රකාශ බැවින් එය සාධක වශයෙන් හැඟෙන නමුත්, වලගම්බා මහරජාණන්ගේ කාලයෙන් පසු මහසෙන් රජු දක්වා අතරත් එබඳු (ඍද්ධිමත් තෙරවරුන් නැති) කල් පෙනෙන හෙයින් එය සර්වප්‍රකාරයෙන් සිද්ධ නොවේ.
තවද ඇතැම් කෙනෙකුන් විසින් මහත් වූ තේජෝබල ආදියෙන් යුක්ත වූ මහා රජුන්ගේ ප්‍රවෘත්ති කතා යුක්ත කාණ්ඩය මහාවංශය කියා ද, තේජෝබල ආදියෙන් හීන වූ රජුන්ගේ ප්‍රවෘත්ති කතා යුක්ත කාණ්ඩය චූලවංශ යැයි කියා ද නම් වී යයි සලකන ලදී. ඒත් තත්ත්වය (සැබෑව) යයි නොසිතමු. කුමක් හෙයින් ද යත්, මහසෙන් රජුගෙන් පසු කාලයෙහිත් මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු ආදී රජවරු කිසිසේත් තේජෝබල ආදියෙන් විජය, පණ්ඩුවාසුදේව, පණ්ඩුකාභය ආදී රජුන්ට හීන යයි නොකිය හැක්කාහ. මහා පරාක්‍රමබාහු නරේන්ද්‍රයා ජම්බුද්වීපයෙහි රජුන් ද මැඩ පවත්වා අසදෘශ (සමාන කළ නොහැකි) ආකාරයෙන් ලෝක ශාසන අභිවෘද්ධිය සිදු කර ලංකා රාජ්‍යය කරවීය. එහෙයින් ඒ කරුණ ද මහාවංශ චූලවංශ වශයෙන් දෙකක් කොට බෙදීමෙහි සාධක නොවේ.
මෙබඳු නාම ව්‍යවහාරයක් පැවතීමට හේතුව නම්, මහානාම ස්ථවිරයන් වහන්සේ විසින් එකල සිටි රජුන් දක්වා කර අවසන් කරන ලද පොත අවසානයෙහි “මහාවංසො නිට්ඨිතො” යි තිබෙන එකම වාක්‍යය යැයි හැඟේ. ඒ මේ වාක්‍යය නිසා පැවති ව්‍යවහාරය කොපමණ බලවත්ව පැවතී ද යත් - අප විසින් මේ මහාවංශයේ ටීකා රහිත මහත් කාණ්ඩය ශුද්ධ කිරීමට ද, එයින් පිටපතක් කොට සිංහල පොතක් කිරීමට ද ආරම්භ කිරීමෙහි දී, අංක යෝජනා, සිංහල භාෂා රීති ආදිය දක්වා, මේ මේ ක්‍රමයෙන් පොත සම්පාදනය කිරීම ලක්දිව වැසියන්ට මහා අනගි ප්‍රයෝජනයක් වේ දැයි සභාගී (සමාන අදහස් ඇති) මිත්‍රාදීන්ගේ මත පරීක්ෂා කරන පිණිස මුද්‍රණය කරන ලද පත්‍ර සතරක් ඒ ඒ මිත්‍රවරයන් කරා යවන ලදී. ඒ ලැබූ මිත්‍ර දෙදෙනෙකු විසින් “මහාවංශ” යයි අප යෙදූ නාම යෝජනාව අපාර්ථික (වැරදි) කොට “අපට ලැබුණේ චූලවංශයෙහි කොටස්” යයි ලියා එවන ලදී.
මෙසේ මේ ව්‍යවහාරය සමහරුන් අතරේ බලවත් වී නමුත්, මහසෙන් රජුගේ කාලයෙන් පසු මහාවංශ කතාව ලියූ විචක්ෂණ ආචාර්යවරයෝ එබඳු ව්‍යවහාරයකින් මූඪත්වයකට හෝ භ්‍රමයකට (මුළාවකට) සම්ප්‍රාප්ත නොවූහ. ඒ කෙසේ ද යත්, “මහාවංසො නිට්ඨිතො” යි ලියා තිබුණ තැනින් පසුව ආරම්භ කොට තිබෙන්නේ “අසාධු සංගමෙනෙවං” යනාදී ගාථාවෙනි. එයින් ආරම්භ කොට තිස් හත්වෙනි පරිච්ඡේදය නිමවා අවසානයෙහි “ඉති සුජනප්පසාද සංවෙගත්ථාය කතෙ මහාවංසෙ සත්තරාජකො නාම සත්තතිංසතිමො පරිච්ඡේදො” කියා තිබේ. යම් හේතුවකින් මහාසෙන නරේන්ද්‍රයාගෙන් පසු කාලයෙහි වූ මහීපතීන්ගේ ප්‍රවෘත්ති කතා සහිත ශාසන ප්‍රවෘත්ති ආදිය සංග්‍රහ කරන කාණ්ඩය චූලවංශය යැයි ඒ ආචාර්යවරයන් විසින් සලකන ලද්දේ වී නම්, පරිච්ඡේදය අවසානයෙහි “ඉති සුජනප්පසාද සංවෙගත්ථාය කතෙ චූලවංසෙ” යි ලියනු යුතුවන්නේ යි. එසේ නොලියා මහාවංශ යන නාමය ම ලියා තිබෙන්නේ චූලවංශය යැයි සැලකීමට හේතු නැති බැවිනි.
ඉන් මතු සියක් වෙනි පරිච්ඡේදය දක්වා ද සියලු ම පරිච්ඡේද අවසානයන්හි ‘මහාවංශ’ යන නාමය ම ලියන ලදී. එහෙයින් ‘චූලවංශ’ යන නමැත්තා වූ පොතක් අප විසින් නොදක්නා ලදී. මේ මහාවංශයේ ආරම්භය පටන් තිස් හත්වන පරිච්ඡේදයෙහි මැද දක්වා මහානාම ස්ථවිරයන් වහන්සේ විසින් රචනා කරන ලදී. එපමණ දුරට කරන ලද ටීකාව ද ඒ ගාථා රචනාවෙහි ශුද්ධිය ද, සැබෑ ස්වභාවය (තද්භාවය) ද දැන ගැනීමට ප්‍රයෝජනව තිබේ.
ඉන් මත්තෙහි තිස් හත්වෙනි පරිච්ඡේදය එක් ආචාර්යවරයෙකු විසින් කළ බව සිතිය හැකි වේ. තිස් අට සහ තිස් නවවන පරිච්ඡේද දෙකේ වාක්‍ය ගැලපීම් ආදිය ඒකාකාරයෙන් පෙනේ. ඉන් මෑත කුමාරධාතුසේන රජුගේ කතාව පරිච්ඡේදයක් කොට අන්‍ය ආචාර්යවරයෙකු විසින් කරන ලදින්, එයින් ගාථා දෙකක් තුනක් පමණ ඉතිරිව තිබිය දී පරිච්ඡේදය අභාවයට පත් වූ (අපවත් වූ) බව සිතිය යුතුයි. ඒ අපවත් වූ පමණ කුමාරධාතුසේන රජුගේ ප්‍රවෘත්ති විස්තරයි. ඉන් මෑත තිස් නවවැන්නේ චෝරනාග රජුගේ කථා ප්‍රවෘත්තිය පරිච්ඡේද අවසානය දක්වා ගාථා බන්ධනය කරන ලද ක්‍රමයෙන් එපමණක් අන්‍ය වූ එක් ආචාර්යවරයෙකු විසින් කළ බව සිතිය යුතුයි.
ඉන් මෑත හතළිස් දෙවන පරිච්ඡේදය අන්‍ය ආචාර්යවරයෙකු විසින් බඳින ලද්දේ යැයි සිතිය යුතු සේ අලංකාර සහිතව පෙනේ. ඊට අනතුරුව පරිච්ඡේද දෙකක් එක් වී යැයි සිතිය යුතු සේ හතළිස් තුන්වැන්න නැතිව හතළිස් හතරවැන්න පෙනේ. ඒ පරිච්ඡේද දෙක එක් වීමෙන් හතළිස් තුන්වැන්න ඌන වී (අඩුවී) යැයි සිතිය හැකිය. හතළිස් හතරවැන්න පටන් පණස්වෙනි පරිච්ඡේදය අවසන් කොට ඒකාකාර අලංකාර යුක්ත බව සිතිය යුතුව තිබේ. ඉන් මෑත හැට එක්වෙනි අදියර දක්වා මහා විජයබාහු මහරජාණන්ගේ ප්‍රවෘත්ති කතාව හා චතුරාජ චරියාව සහ කරන ලද ගාථා බන්ධනය වැඩියක් අලංකාරානුගතව තිබේ.
හතළිස් අටවැන්න ආදියෙහි කිසි තැනක [48 -10] “උපොසථං උපවසති සද්ධිං දීපජනෙහි සො” යනාදී ගාථාවල අනුෂ්ටුප් ඡන්දස ඉක්මවන ලෙස අකුරු නවයකින් යුත් (නවාක්‍ෂරෝපලක්‍ෂිත) පාද බන්ධනය ද පෙනේ. ඒ ගාථා වශයෙන් බඳින ලදැයි සිතමු.
මෙසේ යම්කිසි විශේෂ පෙනෙන ඒ යෝජනා වශයෙන් පණස්වෙනි පරිච්ඡේදය අවසානය දක්වාත්, ඉන් මෑත හැට එක්වෙනි පරිච්ඡේදය දක්වාත් ආචාර්ය දෙනමක් විසින් කරන ලද ගාථා බන්ධනය යැයි සිතිය යුතුයි. එහි මහා විජයබාහු මහරජාණන්ගේ ජීවිත කතාව අලංකාර සහිත මනෝඥ පරිද්දෙන් ද ඉතා පැහැදිලි වශයෙන් ද පෙනේ.
හැට දෙවෙනි අදියර පටන් විහාර කරවීම් නම් වූ හැත්තෑ අටවෙනි අදියර දක්වා පොත එකම ආචාර්ය පරම්පරාවක කීප නමක් කළ ලෙස ද, ඒ කාණ්ඩයට අයිති වූ මහා පරාක්‍රමබාහු නරේන්ද්‍රයන්ගේ චරිත කතාව එම මහරජාණන් රාජ්‍ය අනුශාසනා කරන කල්හි ම ගාථා බන්ධනයෙන් කළ බව ද සිතිය යුතුයි. පණ්ඩුරඨ විජය නම් වූ හැත්තෑ නවවන පරිච්ඡේදය අවසානයෙහි,
“ඉති ජයති විචිත්තා නන්ත වික්කන්ත නිසාරො
ධරණිපති කුලග්ගො සො පරක්කන්තිබාහු,
අනය නය විචිත්තො පෙත චිත්තප්පචාරො
වහති ධරණිමෙකො සො චිරං සාගරන්තං”
යනුවෙන් බඳින ලද මේ පද්‍යයෙහි ‘ජයති’, ‘වහති’ යන ක්‍රියා පද වර්තමාන කාලයෙන් යොදා තිබෙන හෙයින් එය සැක රහිතව හැඟේ. එහි සඳහන් වූ ද්‍රවිඩ යුද්ධ කතාව, ඒ ඒ තැන යුද්ධ කරන අමාත්‍යයන් විසින් වාර්තා වශයෙන් ලියා එවන ලද ලියුම් බලාගෙන ඒ ප්‍රවෘත්ති සංග්‍රහ කළ බව, ඒ ඒ යුද්ධ කළ ගම්වල ද නුවරවල ද නම් හා ද්‍රවිඩ යුද්ධ සේනාපති ආදීන්ගේ නම් ද සම්පූර්ණයෙන් කියා තිබෙන බැවින් හැඟේ. තවද ඒ කාණ්ඩය මහාවංශයේ අනික් සියලු ම කාණ්ඩවලට වඩා සංස්කෘත පද්‍ය බන්ධන රීතියට ඉතා ආසන්න ලෙස බන්ධනය කොට තිබේ.
පැරකුම්බා කුමරුවන්ගේ උත්පත්ති සංඛ්‍යාත ‘කුමාරෝදය වර්ණනාව’ ද, රඝුවංශයෙහි අල් කුමාරයාගේ උත්පත්තිය වර්ණනා කළ විධියෙන් කළ බව පෙනේ.
ඒ කාණ්ඩයට අන්තර්ගත වූ හැත්තෑ දෙවෙනි පරිච්ඡේදයෙහි 340 වෙනි ගාථාවේ “මං විය ත්වං අනසසිත්වා පරක්කම මහිභුනො” කියා ප්‍රථමා විභක්තියේ අර්ථයෙහි ද්විතීයා විභක්තිය යෙදීමෙන් අපූර්ව වූ විභක්ති භේදයක් පෙනේ. එබඳු වෙනත් විශේෂ කිසි තැනක දකිනු ලැබේ. නම් දැක්වීමේ දී කිසි තැනක අකුරු නවයේ ගාථා පාද ආදිය පෙනේ. ඊළඟට එන හැත්තෑ නවවන අදියරෙහි පූර්වෝක්ත විහාර කරවීම් ආදියෙන් යම් කිසිවක් නැවත සංග්‍රහ කරන ලද හෙයින් ඒ පරිච්ඡේදය අන් කෙනෙකු විසින් කළ බව සැලකිය යුතුයි.
එසේත් ඒ කළ පණ්ඩිතවරයා විසින් ඒ පරිච්ඡේදය අවසාන නොකොට තිබීමෙන් වෙන කෙනෙකු විසින් එය සමාප්ත කළ බව, ලියා තිබෙන ඉතා පරණ පොත්වල පරිච්ඡේද අවසානයෙහි ගාථා දෙකක් ඉතිරිව තිබිය දී කුණ්ඩල (සලකුණු) කීපයක් ගසා නවත්වා, නැවත “නමො තස්ස භගවතො” යනාදී පාඨය යොදා පොත ලියා තිබෙන බැවින් හැඟේ.
එතැන් පටන් අසූ හත්වෙනි පරිච්ඡේදය අවසන් කොට ඇති කාණ්ඩය ඒකාකාරව හැඟේ. ඒ කාණ්ඩය ඊට පූර්ව වූ අනන්තර කාණ්ඩය (කලින් තිබූ කොටස) පමණ මනෝහර නොවන නමුත්, කාව්‍ය ශාස්ත්‍ර ආදියෙහි දක්ෂයන් විසින් ම කළ බව සිතිය යුතුයි. එහි අසූ හත්වන පරිච්ඡේදය අවසානයෙහි වූ පද්‍යයේ අන්තිම පාදය මෙසේ යි: “භුවම්පි අභිනිය්‍යාතෙසි තස්සෙව රාති”. මෙහි යති භ්‍රංශයක් (කාව්‍ය දෝෂයක්) පෙනෙන පරිද්දෙන් යම් කිසි තැනක ඡන්දස් ලක්‍ෂණ ආදියේ වෙනස් බව ප්‍රකාශ යි. ඉන් මෑත අනූ දෙවන පරිච්ඡේදයේ මධ්‍යය දක්වා ඒකාකාර ක්‍රම යුක්තව පෙනේ. ඒ භාගය ඉතා මධුර වූ බන්ධනයෙන් මනෝහරව තිබේ.
තිස් හත්වෙනි පරිච්ඡේදය පටන් මේ දක්වා, දඹදෙණි නුවර පරාක්‍රමබාහු මහරජාණන්ගේ කාලයෙහි ධම්මකීර්ති නම් එක ම ආචාර්ය කෙනෙකු විසින් කරන ලද්දේ ය යන ඇතැම් පණ්ඩිතයන්ගේ කීම ලෙස විශ්වාස කිරීමට පද්‍ය බන්ධන රීතිය සෙවූ කල නොහැකි වේ. ධම්මකීර්ති ආචාර්යවරයා විසින් ඒ කාලය අවසන් කොට පොත සකස් කළේ යැයි සිතිය හැකි වේ.
ඉන් මෑත සියක් වෙනි පරිච්ඡේදයේ කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ චරිත කතාවේ අදියරක් දැක්වූවා වූ කාණ්ඩය, එම මහරජාණන්ගේ කාලයෙහි සෙංකඩගල නුවර විසූ ස්ථවිර කෙනෙකු විසින් ඒ මහරජාණන්ගේ ආරාධනාව හේතු කොට ගෙන කළ බව එම කාණ්ඩයෙහි සඳහන්ව තිබේ. එයින් දඹදෙණි නුවර විසූ පරාක්‍රමබාහු මහරජාණන්ගේ චරිතයෙන් මෑත, නරේන්ද්‍රසිංහ මහරජාණන්ගේ කාලය දක්වා රාජ පරම්පරා කතාව සම්පූර්ණයෙන් ලියා නොලැබී, යම් යම් ලිපි ආදියෙන් දුක සේ සොයා ලියූ බව හැඟේ. ඉන් පූර්ව පරිච්ඡේද සියල්ල ම මහා කාව්‍ය සර්ග බන්ධනය පිණිස අලංකාර ශාස්ත්‍රයෙහි කියන පරිද්දෙන් මුල පටන් එකම අනුෂ්ටුප් ඡන්දසේ අෂ්ටාක්ෂර (අකුරු අටේ) පාද යුක්ත වෘත්තවලින් බන්ධනය කොට, පරිච්ඡේද අවසානයෙහි අන්‍ය වෘත්තයකින් පද්‍යයක් හෝ දෙකක් හෝ පමණ බන්ධනය කොට සර්ග (පරිච්ඡේද) සමාප්තිය දක්වා තිබේ.
මේ කාණ්ඩයෙහි එසේ නොව තැනින් තැන අන්‍ය වෘත්ත යෙදීමෙන් පරිච්ඡේදයක බොහෝ තැන භේද කොට තිබේ. ඡන්දස් ලක්ෂණ නොසලකා ම ගාථා බන්ධනය කළාක් මෙන් හැඟේ. ව්‍යාකරණ ලක්ෂණ ආදිය බොහෝ තැන විරුද්ධ වීමෙන් සහ පුනරුක්ත ආදියෙන් කියන ලද වාර්තාව නමුත් ඇති තතු (සැබෑ) පරිද්දෙන් හඳුනාගත නොහැකි සේ පෙනේ. ඒ ගාථා බන්ධනය කළ කාලය නම් ලංකාද්වීපයෙහි පැවති නානාවිධ ශාස්ත්‍ර හා ත්‍රිපිටකයේ අභිවෘද්ධිය සීතාවක රාජසිංහ රජුගේ කාලයෙහි පසුබෑමට ගියායින් පසු යහපත් වර්ධනයක් නැතිව තිබී, වර්ධනයට ආරම්භ කරන අවස්ථාවයි.
එහෙයින් ඒ රාජ චරිතය මෙපමණ දැනගන්නට පුළුවන් පමණින් ගාථා බන්ධනය කොට තැබූ බව ඉතා සමර්ථකමක් (දක්ෂකමක්) කොට සිතිය යුතු වනු පමණක් නොව, වර්තමාන කාලීන ජනයාට බලවත් ප්‍රයෝජනයකි. කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍ර චරිතයෙන් භාගයක් හා රාජාධිරාජසිංහ මහරජාණන්ගේ චරිතය ද, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ප්‍රවෘත්ති කතාව ද තවත් වෙන ස්ථවිර කෙනෙකු විසින් කරන ලදී. එය සියක් වෙනි පරිච්ඡේදයේ අන්තිම කොට්ඨාසය හා අවසාන පරිච්ඡේදයෙහි තිබෙන ගාථා විසිනවයක් පමණයි. ඒ කොටසත් ව්‍යාකරණ, ඡන්දස් ලක්ෂණ ආදියෙන් ඌනව (අඩුව) තිබේ. මෙතෙකින් ‘මහාවංශ’ නම් වූ ලංකා කථා මහා ප්‍රකරණය (ග්‍රන්ථය) නිමවන ලදී.
පරිච්ඡේදවල අඩුපාඩු සහ ඌනතාවයන් පිළිබඳ විස්තරය මෙසේය.
මෙහි තිස් නවවන (එකුන් සාළිස්වන) පරිච්ඡේදය අවසන් වූ තැනට හතළිස් එක්වන (එක්සාළිස්වන) පරිච්ඡේදය ගළපා ඇත. එමනිසා හතළිස්වෙනි පරිච්ඡේදය නැති වී ගිය බව හැඟේ. අප විසින් ලංකාවේ නානා ජනපදවලින් සොයා ගන්නා ලද පුස්කොළ පොත් එකොළසක් පමණ බලන ලද නමුත්, ඒ එකකවත් හතළිස්වන පරිච්ඡේදයක් දක්නට නැත.
තිස් නවවන පරිච්ඡේදයෙහි සීගිරි කසුප් (කාශ්‍යප) රජුගේද, මුගලන් රජුගේද චරිත සංග්‍රහ කර ඇත. හතළිස් එක්වන පරිච්ඡේදයේ කුමාරධාතුසේන, කීර්තිසේන, සීව ආදී රජවරුන් නවදෙනෙකුගේ චරිත සංග්‍රහ කර තිබේ. පූජාවලිය, රාජරත්නාකරය, සිංහල රාජාවලිය ආදියෙහිද ගිරි කසුබ් (සීගිරි කාශ්‍යප) රජුට අනතුරුව පිළිවෙළින් මුගලන්, කුමාරදාස, කීර්තිසේන ආදී වශයෙන් රාජ පරම්පරාව සංග්‍රහ කොට තිබේ. ඒ නිසා තිස් නවවන පරිච්ඡේදයේ අවසානයෙහි කියන ලද මුගලන් මහරජතුමාටද, හතළිස් එක්වන පරිච්ඡේදයේ ආරම්භයෙහි කියන ලද කුමාරධාතුසේන මහරජතුමාටද අතරතුර වෙන යම් රජ කෙනෙකු ලංකා රාජ්‍යය නොකළ බවත්, එබඳු රජ කෙනෙකුගේ රාජ චරිතයක් ලියා තිබුණ පරිච්ඡේදයක් අභාවයට නොගිය බවත් සැක රහිතව හැඟේ.
එසේනම් කවර කථාවක් අභාවයට ගියේද යත්? ලංකාද්වීපයෙහි රාජ්‍යය සමෘද්ධිමත් කිරීමෙන්ද, ශාසන ශෝධනය වශයෙන්ද, ශාස්ත්‍ර වර්ධනය වශයෙන්ද බොහෝ කටයුතු කළ නරේන්ද්‍රයන් අතුරෙන් එක් එක් රජ කෙනෙකුගේ චරිතය පරිච්ඡේද කිහිපයක් වශයෙන් සංග්‍රහ කරන ලදී. ‘කුමාරදාස’ යැයි ලෝක ප්‍රසිද්ධ වූ, මහාවංශයෙහි ‘කුමාරධාතුසේන’ නමින් හඳුන්වන ලද නරේන්ද්‍රයා, ‘ජානකීහරණ’ ආදී කාව්‍ය බන්ධනය කළා වූද, අටළොස් මහා විහාරයක් කරවූවා වූද, අටළොස් මහ වැවක් බැඳවූවා වූද, ධර්ම සංගායනාවක්ද කරවූ, විස්තර වශයෙන් දීර්ඝ කොට කිව යුතු චරිතයක් ඇති මහ රජ කෙනෙකි.
ඒ සඳහා රාජරත්නාකරයෙහිද, පැරකුම්බා සිරිතෙහිද කියන ලද ප්‍රශංසා වලින් ඒ බව හැඟෙන්නේ නමුත්, මහාවංශයෙහි හතළිස් එක්වන පරිච්ඡේදයෙහි මුල ගාථා තුනකින් පමණක් ඒ මහරජතුමාගේ චරිතය කියා ඇත. එහෙයින් ඒ මහරජතුමාගේ චරිතය ප්‍රකාශ කරන ලද පරිච්ඡේදයක් අභාවයට යාමෙන් හතළිස්වන පරිච්ඡේදයෙහි ඌනතාවය වී යැයි සිතිය යුතුය. එසේම හතළිස් එක්වන පරිච්ඡේදයෙහි කුමාරධාතුසේන නම් රජුගේ චරිතය සංක්ෂේප කොට කියන ලද්දක් සේ ඒ ගාථා තුනෙන් වැටහේ. එය පරිච්ඡේදයක් අඩු වූ පොත බලා ශුද්ධ කරන්නා වූ යම් කිසි පණ්ඩිත කෙනෙකු විසින් ගැලපෙන සේ යොදන ලද්දේ යැයි සිතිය යුතුයි.
හතළිස් එක්වන පරිච්ඡේදය ‘අට්ඨරාජක’ (රජවරු අටදෙනාගේ කතාව) නම් වූ නමුත්, එහි රජවරු නවදෙනෙකුගේ චරිතය පෙනෙන හෙයින්ද, කුමාරධාතුසේන රජුගේ චරිත විස්තරය නැති වී ගියේ යැයි හැඟේ. ඊළඟට එන හතළිස් තුන්වෙනි පරිච්ඡේදයක්ද දක්නට නැත. හතළිස් දෙවන පරිච්ඡේදයෙහි වනාහි අග්බෝ සහ සුළු අග්බෝ යන නරේන්ද්‍රයන් දෙදෙනාගේ චරිත දක්වන ලදී. ඊට අනතුරුව වූ සංඝතිස්ස රජුගේ චරිතය හතළිස් හතරවන පරිච්ඡේදය ආරම්භයෙහි කියන ලදී. එහිද පරිච්ඡේද දෙක අතර අන්‍ය වූ රාජ චරිතයක් නොපෙනේ.
හතළිස් දෙවන පරිච්ඡේදයෙහි කියන ලද සුළු අග්බෝ රජ තෙමේ මහා ශ්‍රද්ධාවෙන් හා ඥානයෙන් යුක්ත අයෙකි; එහෙයින් ඒ නරේන්ද්‍රයා විසින් කරන ලද පින්කම් සංග්‍රහ කොට බන්ධනය කරන ලද පරිච්ඡේදය හතළිස් තුන්වෙනි පරිච්ඡේදය ලෙස තිබී අභාවයට ගියේ යැයි සිතිය යුතුයි. එසේ වුවද ලංකා රාජ පරම්පරාව දක්වන වෙනත් පොත්වල පෙනෙන පරිද්දෙනුත්, මෙහි රාජ පරම්පරා කථාවේ ඌනතාවයක් නොවන හෙයින් මේ වංශ කථාවේ අසම්පූර්ණතාවයක් නොපෙනේ.
හතළිස් හත්වෙනි පරිච්ඡේදයද නැතිව, හතළිස් අටවන පරිච්ඡේදය පෙනී තිබේ. එසේ වී තිබෙන්නේ මානවම්ම රජුගේ චරිතයෙන් අවසාන වන හතළිස් හත්වන පරිච්ඡේදයේ අවසාන ගාථා කිහිපයක් කිසියම් ආකාරයකින් නැති වීමෙන්, හතළිස් අටවන පරිච්ඡේදයෙහි සංග්‍රහයට පැමිණි අග්‍රබෝධි රජුගේ චරිතය හා මිශ්‍ර වීමෙන් හතළිස් හත සහ හතළිස් අට යන පරිච්ඡේද දෙක එකට ලියවීමෙනි. ඒ දෙකෙන් හතළිස් හත්වන පරිච්ඡේදයේ අඩු වූ ගාථා කිහිපය නැති තැන යැයි හැඟෙන තැනින් පරිච්ඡේදය වෙන් කොට දක්වන ලදී. හතළිස් අටවැන්නෙහිද කසුප් රජුගේ චරිතයෙන් ස්වල්පයක් අඩු වූ බව පෙනේ. එයද අප විසින් දක්වා ඇත.
ඉන් මෑත හැත්තෑ එක්වෙනි පරිච්ඡේදය අඩුවී තිබේ. ඒ ගැන හැඟෙන්නේ නම් හැත්තෑ එක්වෙනි සහ හැත්තෑ දෙවෙනි පරිච්ඡේද දෙක එකතු වී හැත්තෑ එක්වෙනි පරිච්ඡේදයේ අවසාන ගාථා කිහිපයක් නැති වී ගිය බවයි. එහි පරාක්‍රමබාහු මහරජතුමාගේ ප්‍රථම අභිෂේකයේ අවසාන වර්ණනාවෙන් ස්වල්පයක් අඩු වූ බව පමණක් හැඟෙන නමුත්, ඒ රාජ චරිතයේ ඌනතාවයක් නොපෙනේ.
අනූවෙනි පරිච්ඡේදයෙහි බලවත් විශේෂයක් පෙනේ. එනම් එහි පනස් හයවෙනි (56) ගාථාව දක්වා කොයි පොත්වලත් සමාන භාවය පෙනෙන නමුත්, පනස් හත්වෙනි (57) ගාථාව පටන් හැට හතරවෙනි (64) ගාථාව දක්වා පොත් දෙකොටසක දෙයාකාරයකට තිබේ. එසේ වී තිබෙන්නේ පුරාණව තිබුණු ඒ ගාථා කිහිපය අභාවයට පත්ව තිබුණා වූ පොතක් බලාගෙන, ඉන් මත්තට මහාවංශ කථාව ලියන්නට ආරම්භ කළ ආචාර්යවරයෙකු විසින් ඒ අඩු වූ ටිකත් සිංහලෙන් ලියා තිබුණු යම් කිසි පොත්වල අනුසාරයෙන් පූර්ණ කිරීමට ගාථා බන්ධනය කළ නමුත්, ඒ ගාථා කිහිපය අඩු නැතිව තිබුණු පොතක් වෙන තැනක තිබී ලැබුණ හෙයින් ඒ පරම්පරා දෙකේම පොත් ලියවී ගිය නිසා යැයි සිතමු.
ඒ දෙයාකාරයෙන් ගාථා ශුද්ධියෙන් වඩා යහපත්, අර්ථවත් ගාථා ඇති ඉතා පුරාණ පොත්වලින් ලැබුණු ගාථා පිළිවෙළ අපේ පොතේ යොදා, අනික් පරම්පරාවේ තිබෙන ගාථා කිහිපය පාදක සටහන් (අධෝලිපි) වශයෙන් යොදන ලදී. පොත බලන්නන් විසින්ද එයින් නිවැරදි පරම්පරාව මෙයයි නිශ්චය කරනු ලැබේවා.
වන්නි භුවනෙකබාහු ආදී කොට, ජයවර්ධන කෝට්ටේයෙහි විසූ ශ්‍රී පරාක්‍රමබාහු මහරජතුමාගේ කාලය දක්වාත්, සෙංකඩගල නුවර විසූ ශ්‍රී කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාගේ කාලයෙහි ගාථා බන්ධනය කරන ලද රාජ චරිතයන්හි අසම්පූර්ණතාවය පෙනේ. එය සිංහල රාජාවලි පොත්වලද නිරවුල් සම්පූර්ණතාවයකින් නොපෙනේ. එසේ වුවත් ඒ පරිච්ඡේදයන් මෑත කාලයේ කරන ලද හෙයින් කිසි ඌනතාවයක් නැතිව තිබේ. සියක්වෙනි පරිච්ඡේදයෙන් මත්තෙහි ලියන ලද ගාථා ස්වල්පයේ පරිච්ඡේද අවසානයක් නොපෙනෙන නමුත්, එය එකසිය එක (101) කොට යෙදුවෙමු. නමුත් අවසානය නොපෙනෙන හෙයින් අපේ වාක්‍යයන්හි පරිච්ඡේදයක් වශයෙන් සඳහන් නොකළෙමු.
ප්‍රවෘත්ති විශේෂ සැලකීමේදී, ද්වීපවංශයෙහි වනාහි බුදුන් පිරිනිවීමෙන් අවුරුදු සියයක් ගිය කල්හි කළ ද්විතීය ධම්ම සංගීතිය විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි කරන ලදැයි කියන ලද නමුත්, මෙහි එය වාලුකාරාමයෙහි යැයි කියන ලදී. මෙහි කීම අටුවාදිය හා සමාන වේ. “කප්පති සිඟිලොණ කප්පා” යනාදී වශයෙන් බුද්ධ දේශනාවට විරුද්ධව දස වස්තුව ඉපදවූ වජ්ජිපුත්තක භික්ෂූන් විසින් කරන ලද ‘මහා සංගීතියෙහි’ ප්‍රවෘත්තිය ද්වීපවංශයෙහි පමණක් සඳහන් වන අතර මහාවංශයෙහි විස්තර වශයෙන් නොපෙනේ. ඔවුන් විසින් අභිධර්මයද, පරිවාර පාඨයද, පද භාජනියද, තවත් ඇතැම් ජාතකාදියද හැර දමා ධර්ම සංගායනා කළ බව දැක්වීමෙහිලා ද්වීපවංශයෙහි මහාවංශයෙහි නොකියන ලද විස්තර රාශියක් කියන ලදී.
මෙහි පෙනෙන රාජ පරම්පරාවෙහි ගණතිස්ස නම් රජ කෙනෙක් සිංහල රාජාවලිය ආදියෙහි කියන ලදී. රාජාවලියෙහි ගණතිස්ස රජ තෙමේ පණ්ඩුකාභය රජුගේ පුත්‍රයා යැයිද, ඔහු පණ්ඩුකාභය රජුට ඉක්බිත්තෙන් හතළිස් අවුරුද්දක් රජ කළේ යැයිද කියන ලදී. අභය සහ පණ්ඩුකාභය යන නරේන්ද්‍රයන් දෙදෙනා අතර රජුන් රහිතව (රාජ ශූන්‍යව) තිබූ දාහතක් (17) අවුරුද්දට ඉක්බිත්තෙන් යැයි රාජරත්නාකරයෙහි කියන ලදී.
එතකුදු වුවත් දීපවංශයෙහිද මහාවංශයෙහිද අභය රජුට ඉක්බිත්තෙන් දාහත් අවුරුද්දක් ලංකාද්වීපය රාජ ශූන්‍යව තිබුණු කල පණ්ඩුකාභය කුමාරයා රජ වූ බවද, ඔහු ඇවෑමෙන් ඔහුගේ පුත් මුටසීව කුමාරයා රජ වූ බවද කියන ලද හෙයින්, ඒ අතර ගණතිස්ස නම් නරේන්ද්‍රයෙක් නොවූ බව ප්‍රකාශයි. එසේ වුවත් පණ්ඩුකාභය රජුගේ රාජ්‍ය කාලය හැත්තෑ අවුරුද්දක් යැයි කියන ලද හෙයින්, ඒ අතර තවත් රජ කෙනෙක් රජ කළ කාලයත් සමඟ එපමණ අවුරුදු ගණන් වී යැයි සිතිය යුතු සේද වැටහේ.
බුද්ධ වර්ෂ 656 ක් පමණ කාලයෙහි ලංකා රාජ්‍යය කළ ගජබාහු නරේන්ද්‍ර තෙමේ, තම පිය රජු කල සොළී රජු විසින් ලංකාවෙන් හැරගෙන ගිය සිරකරුවන් දොළොස් දහස පොලියත් සමඟ ගෙනෙන පිණිස නීල යෝධයා කැටුව යගදාවෙන් මුහුදු දිය දෙබෑ කොට, පිටිපතුල් නොතෙමා සොළී රට ගොස්, වැලි මැඩ දිය ගැනීම් ආදී වික්‍රම කොට සොළී රජු බිය ගන්වා, එහි ගෙන යන ලද සිංහලයන්ට පොලී පිණිස සොළීන්ගෙන් විසි හාර දහසක් සිරකරුවන් ගෙන ආවේ යැයි සිංහල රාජාවලියෙහි කියන ලදී. ඒ සඳහාම පැරකුම්බා සිරිතෙහි ‘උරතෙලේ ගෑ සඳුන් නොමකා මුහුද පීනා එතර ගියේය’ යැයි කියන ලදී. බුද්ධ වර්ෂ 1670 ක් පමණ කාලයෙහි රජ කළ දෙවෙනි ගජබා මහරජතුමා සඳහා පැරකුම්බා සිරිතේ එය කියන ලද සේත් සිතිය හැකි වේ. මහාවංශයෙහි ඒ රජ දෙදෙනාගේම චරිතයන්හි එබන්දක් සඳහන් නොවේ.
ධාර්මික ශ්‍රී සංඝබෝධි නරේන්ද්‍රෝත්තමයාගේ චරිතය මහාවංශයෙහි සංග්‍රහ කළ තැන, ඒ නරේන්ද්‍ර තෙමේ මගියාට හිස දෙනු කැමතිව හිඳගෙන මළේය; එකල මගියා හිස කපාගෙන ගියේ යැයි කියන ලද්දේ වී නමුත්, අත්තනගලු වංශයෙහි ඒ නරේන්ද්‍ර තෙම හිස ගලවා මගියා කැඳවා දුන්නේ යැයි කියන ලදී.
කුමාරධාතුසේන නමින්ද, කුමාරදාස නමින්ද ප්‍රකාශ වූ මහරජතුමා කල සංඝමිත්‍ර නිකායවාසී දුෂ්ට ශ්‍රමණයෙක් නිල් වතක් පොරවාගෙන රාත්‍රි භාගයෙහි වෛශ්‍යා නිවසකට ගොස් ආරාමයට එන කල්හි දුටුවන් විසින් විචාළ කල, ඒ වෛශ්‍යාවම වර්ණනා කිරීම් ආදියෙන් බුද්ධ ශාසනයට අපරාධ කළ බව ශාසනාවතාර ආදියෙහි කියා තිබෙන නමුත්, එය මහාවංශයෙහි සඳහන්ව නොපෙනේ. හෙද අප විසින් පරිච්ඡේද ඌනතාවය දැක්වූ තැන සංග්‍රහ කොට තිබී, ඒ සංග්‍රහ කළ පරිච්ඡේදය අභාවයට යාමෙන් වූ ඌනතාවයක් යැයි සිතිය යුතුයි. මේ ආදියෙන් වෙනත් පොත්වලින් දත හැකි වූ කිසියම් ලංකා රාජ්‍ය ශාසන ප්‍රවෘත්තීන්ගේ ඌනතාවයක් පෙනේ.
හයවෙනි භුවනෙකබාහු නරේන්ද්‍රයාගේ කාලයෙහි රාමඤ්ඤ ආදී රටවල බුද්ධ ශාසනය අශුද්ධව, සංඝයාගේ සංඝ කර්මාදියද අපිරිසිදුව තිබුණ හෙයින්, ධවල ගජපති රාමඤ්ඤ මහරජතුමා විසින් රාම දූත, චිත්‍ර දූත යන නමැති රාජ දූතයන් දෙදෙනෙකු සමඟ නැව් දෙකකින් ස්ථවිරයන් විසි නමක් හා සාමණේරවරයෝද භුවනෙකබාහු මහරජතුමා වෙත සුවර්ණ පත්‍ර රාජ සන්දේශ දී එවන ලද්දාහ.
එයින් චිත්‍ර දූතයා නැගී ආවා වූ නැව යොගාභිධාන නදී මුවදොරින් නික්ම මාසයක් ගෙවෙන්නට පළමු කොළඹ තොටට පත් විය. රාම දූතයා නැගී ආවා වූ නැවෙන් ආ ස්ථවිරාදීහු වැලිගම්පටුනට පත් වූහ. ඒ කාලයෙහි ගුරුවී නම් එක් සිංහල අමාත්‍යයෙක් භුවනෙකබාහු මහරජතුමාට විරුද්ධ කැරළිකරුවෙක්ව (දාමරිකයෙක්ව) වැලිගම විසූ සේය. ඔහු සමඟ යුද්ධ කරනු පිණිස මහරජතුමාගේ මල් කුමාර තෙම (සපුමල් කුමාරයා) යෝධාරූඪ වූ බොහෝ නැව් කැටිකොට ගෙන වැලිගම් තොටට පත් විය.
එකල ගුරුවී නම් දාමරිකයා ඒ කුමාරයා හා යුද්ධ කරනු නොහැකිව බියෙන් වනයට පලා ගියේය. ඔහුගේ පක්ෂයෙහි ජනයන් විසින් වැලිගම හා ජයවර්ධනපුරය අතර මාර්ගික ජනයාට අන්තරාය කරන හෙයින්, ඒ රාජ කුමාරයා රාමඤ්ඤ රටින් වැඩිය සංඝයාට හා රාජ දූතාදීන්ට අවසර නොදී ටික කලක් එහිම නැවැත්වීය. ඉන්පසු අවසර ඇතිව ජයවර්ධනපුරයට ඒ ස්ථවිරයෝ පැමිණියහ. ඊට පූර්ව භාගයෙහි කොළොම්තොටට පැමිණ, ජයවර්ධනපුරයට පැමිණි ස්ථවිරාදීන් හා එකතු වී, භුවනෙකබාහු මහරජතුමා විසින් කරන ලද සත්කාර ලබාගෙන, ලංකාද්වීපවාසී සංඝයාගෙන් ලබා ගන්නට අභිමත වූ උපසම්පදා කර්මය කල්‍යාණි නදියෙහි (කැලණි ගඟේ) සැදූ උදකුක්ඛේප සීමාවෙහිදී සමෘද්ධ කොටගෙන, රාමඤ්ඤ රට ගොස් සිතගජති මහරජතුමාගේ සත්කාරයෙන් ඒ රටේ උපසම්පදාදී කර්ම කොට බුද්ධ ශාසනය වර්ධනය කළෝය යන මේ ප්‍රවෘත්තිය කල්‍යාණි ප්‍රකරණයෙහි විස්තර වශයෙන් ආ නමුත්, ඒ ගැන කිසිවක් මහාවංශයෙහි ප්‍රකාශ නොවේ.
ඒ භුවනෙකබාහු මහරජතුමාගේ චරිත කථාවෙහි ඒ මහරජතුමාගේ කාලයෙහි එබඳු දාමරිකයෙකුගෙන් වියවුලක් පැවති බව හෝ මහාවංශයෙහි නොපෙනේ. එසේ වූයේ නම් ඒ කාණ්ඩය ගාථා බන්ධනය කරන කාලයේ ඒ ප්‍රවෘත්ති ලියන ලද ලිපි නොලැබුණ බැවින් යැයි හඟිමු. මෙසේ මහාවංශයෙහි නොපෙනේ.
මෙසේ මහාවංශයෙහි පෙනෙන රාජ චරිතාදියට වෙනස් වූ යම් යම් ප්‍රවෘත්ති වෙනත් පොත්වල පෙනෙතුදු, එහි නොකියන ලද ප්‍රවෘත්ති යම් යම් පොත්වලින් දකින්ට ලැබෙතුදු, ලංකාවේ මහාවංශයේ ඇති තත්ත්වූ පරිද්දෙන් (නියම ආකාරයෙන්) සංග්‍රහ කරන ලද රාජ චරිතාදිය ඇති වංශ කථා පොතක් වෙන රටක නැති සේ බොහෝ පණ්ඩිතයන් විසින් සලකන ලදී. කස්මීර රාජතරගිණී ආදිය මෙපමණ ශුද්ධ ලෙස සහතික නොකරන ලද බවද ප්‍රකාශයි. දඹදිව ප්‍රවෘත්ති දැනගැනීම පිණිසද මේ පොත මහෝපකාරී වේ.
මේ කාලයෙහි ලංකාවෙහි රාජ නීති පවත්වන්නා වූ අධිකරණ නායකාදීන් විසින්ද පුරාණ ලංකා චාරිත්‍ර දැනගන්නා පිණිස මහාවංශයෙහි සංගෘහිත ප්‍රවෘත්ති අවබෝධ කටයුතුයි. ලංකාවේ ආගම ප්‍රවෘත්ති, රාජ චරිත ආදිය අවබෝධ කරනු කැමැත්තන් විසින් සර්වප්‍රකාරයෙන් මේ ග්‍රන්ථය අවබෝධ කටයුතුයි.
ඒ බව සැලකූ ජෝර්ජ් ටර්නර් නම් ඉංග්‍රීසි මහතා විසින් මෙය ඉංග්‍රීසි භාෂාවට නගනු පිණිස මහාවංශය හා එහි ටීකාවද සපයාගෙන, සෙංකඩගල නුවර පුෂ්පාරාම හයගිරි යන උභය විහාරවාසී වූ සමර්ථ ස්ථවිරයන්ගේ උපකාර ලබාගෙන ටීකාව ඇති තාක් දුර, එනම් තිස් හත්වෙනි පරිච්ඡේදය දක්වා ඉංග්‍රීසියට නගා, ටීකා රහිත පරිච්ඡේදයන්ද ඉංග්‍රීසියට නගන අදහසින් තව පරිච්ඡේද දෙකක් ශුද්ධ කරන්නට උත්සාහ කොට, සම්පූර්ණයෙන් ශුද්ධ කරනු නොහැකිව අශුද්ධ ස්ථාන, අශුද්ධතාවය හා ඌනතාවය හැඟෙන සේ සලකුණු යොදා, සංක්ෂේපයෙන් ඒ පරිච්ඡේද දෙකෙහි අදහසද ඉංග්‍රීසියට නගා මුද්‍රාංකණය කරවන ලදී.
එයින් දඹදිව සහ ලංකාද්වීපයේ ඉතා වැදගත් ආගම ප්‍රවෘත්ති සහ රාජ චරිත යුරෝපීය පණ්ඩිතයන්ටත් දැනගන්නට ලැබුණ හෙයින්, අපරභාගයෙහි (පසු කාලීන) ප්‍රවෘත්ති දැනගන්නටත් ඒ පණ්ඩිතයන්ගේ මහත් අභිලාසයක් තිබෙන හෙයින්ද, ලංකාවාසී ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි නියුක්තයන්ගේත් එබඳු අභිලාසයක් තිබෙන හෙයින්, මෙම පොත සිංහලට නඟා ගැනීමෙහි අභිලාසය ඇත්තා වූ ඇතැම් සුධීන් විසින් එසේ කරන්නට උත්සාහ කළ නමුත්, ටීකාවක් නැතිව බොහෝ කල් අතින් අතට ලිවීමෙන් හා අන්තරායෙන් ඌනතාදිය වීමෙන් ආකුල වූ (අවුල් වූ) පොත ශුද්ධ කර ගැනීම ඉතා අපහසු බැවින් එය ප්‍රමාදයට පත්ව තිබුණ කල්හි, වර්ෂ 1871 දී දොන් අන්ද්‍රිස් ද සිල්වා බටුවන්තුඩාවේ පණ්ඩිතතුමා විසින් ඒ පොතේ තත්ත්වාවබෝධයට යෝග්‍ය වන සේ ශුද්ධ කොට දේවනාගර අක්ෂරයෙන් මුද්‍රාංකණය කරවා දෙන පිණිස සර් විලියම් හෙන්රි රොබින්සන් ලංකේෂ්වර වූ (ආණ්ඩුකාර) උතුමාණන්ගෙන් ඊට උපකාර ඉල්ලා සිටින ලදී.
ඒ ඉල්ලීම සැලකිය යුතු බව ඒ උතුමාණන් විසින් සඳහන් කර තිබෙන කල්හි, වර්ෂ 1874 දී එවකට ආණ්ඩුකාර ධූරය දැරූ සර් විලියම් හෙන්රි ග්‍රෙගරි ලංකේෂ්වරයාණන් විසින් මේ කටයුත්තේ ප්‍රයෝජනවත් බව සලකා එංගලන්තයෙහි පාලි සංස්කෘතාදිය පුහුණු කළ පණ්ඩිතවරයන්ගේ මත පරීක්ෂා කොට, ඒ මතානුකූලව මේ කටයුත්ත කරවනු කැමති වූයේ, මෙහි සඳහන් කළ පණ්ඩිතයාණන් කැඳවා මෙසේ කීය. ”මේ පොත වැරදි වලින් පිරී ඇති බැවින් නිවැරදි අර්ථය අවබෝධ කර ගත නොහැකි බව එහි ස්වභාවය දන්නා උගතුන්ගෙන් මට දැනගන්නට ලැබී තිබේ. එහෙයින් ප්‍රථමයෙන් මෙරට අයට ප්‍රයෝජනයට පවත්වන්නටත්, නැවත ඉංග්‍රීසියට නංවා යුරෝපීය ජනයාටත් ප්‍රයෝජන වන සේ පවත්වන්නටත් අභිප්‍රාය කරන ලදී.”
″මෙසේ ව්‍යාකූල වූ පොතක් ශුද්ධ කිරීමෙහි එකම පණ්ඩිත කෙනෙකුගේ මතයෙන් සම්පාදනය කිරීමට වඩා දෙදෙනෙකුගේ මත සංසන්දනයෙන් කිරීම යෝග්‍යය. ඒ ගැන ඔබ හැර මා විසින් සලකන ලද පණ්ඩිතවරයා සුමංගල නායක උන්නාන්සේය. උන්නාන්සේත් සමඟ පොත බෙදාගෙන ශුද්ධ කොට සිංහලටත් පොතක් ලියා දෙන්නට හැකිදැ”යි විචාළ විට ”යෙහෙකැ”යි උත්තර දුන් හෙයින්, මෙහි සඳහන් කළ හික්කඩුවේ සුමංගලාභිධාන නායක ස්ථවිරයන් වහන්සේ කැඳවා, බටුවන්තුඩාවේ පණ්ඩිතයාණන් සමඟ මහාවංශය ශුද්ධ කොට සිංහලට පොතක් ලියා දීම කරනු හැකි දැයි විචාළේය.
එවිට උන්වහන්සේ, ”මා විසින් නිරන්තරයෙන් කරනු ලබන කටයුත්තක්ව තිබෙන්නේ අභිනව භික්ෂූන් ආදීන්ට ඉගැන්වීමය. මේ කාලයෙහි එම කටයුත්ත බහුල වශයෙන් කෙරෙන හෙයින් මට තිබෙන අවකාශ කාලය ඉතා ස්වල්පය. එසේ වී නමුත් භවත් ලංකේෂ්වරයාණන්ගෙන් (ආණ්ඩුකාරතුමාගෙන්) පණිවුඩ වන මෙය ලෝක ශාසන දෙකටම ප්‍රයෝජනවත් කටයුත්තක් හෙයින් අවකාශ ඇති පමණින් කරනු කැමැතිය”යි උත්තර දුන්හ.
එහෙයින් නැවත දෙදෙනාම කැඳවා, ”මේ පොතේ තිස් හත්වෙනි පරිච්ඡේදය දක්වා ටීකාව සහිත වූ කාණ්ඩය ජෝර්ජ් ටර්නර් නම් මහතා විසින් ඉංග්‍රීසියට නගා තිබෙන හෙයින් දත යුතු දේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පණ්ඩිතයන්ට දැනගන්නට ලැබී තිබේ. එතැන් පටන් ටීකාවක් නැතිව තිබෙන අන්තිම දක්වා වූ කාණ්ඩය ඉක්මනින් දැනගනු කැමති නිසා ප්‍රථම කොට එය ශුද්ධ කොට සිංහලට නැඟිය යුතුය. පූර්ව භාගය නැවත කළ හැකිය”යි නියම කොට, ඒ ගැන ආණ්ඩුව විසින් දැරිය යුතු වියදම් මේ බටුවන්තුඩාවේ පණ්ඩිත මහත්මයා සමඟ ගනුදෙනු වශයෙන් කර ගනිමු යැයි තීරණය විය.
″මේ පණ්ඩිත දෙපල විසින්ම පොත කැමති පරිද්දෙකින් බෙදාගෙන ශුද්ධ කොට, එක් කෙනෙක් ශුද්ධ කළ කාණ්ඩයද, සිංහලට නැගූ කාණ්ඩයද අනික් පණ්ඩිතවරයාටත් පෙන්වා නැවත මත සංසන්දනය කොට අවසන් කිරීමෙන් පොත කළ මැනවැ”යි වර්ෂ 1874 මැයි මස 21 වෙනි දින නියෝග කරන ලදී.
ඒ නියෝගය පිළිගත් අප විසින් පොතේ ශුද්ධිය සොයන පිණිස නානා ප්‍රදේශවල මහාවංශය පිටපත් කර තිබෙන පොත් බලනු පිණිස සත්කෝරලයේ රිදී විහාරය, සෙංකඩගල නුවර, ගිරිවායේ මුල්ගිරිය, මාතර, ගාල්ල, බෙන්තොට, පානදුරය, සල්පිටි කෝරලය යනාදී ස්ථානවලින් සොයා ගත හැකි තරම් පරණ පොත් එකොළසක් සපයා ගතිමු. එයින් හයක් බොහෝ සෙයින් එකාකාරව පෙනුණ නිසා පහක් හැර දමා, පොත් හයක් නොහැර, අනික් පහෙනුත් අභිමතයක් විටින් විට ගනිමින් සංසන්දනය කර බලන්නට ගතිමු.
ඒ පොත් අතුරෙන් රිදී විහාරයෙන් ගෙන්වා ගන්නා ලද පොත වර්ෂ සියයකට වැඩි කල් ගිය පොතකැයි සිතිය යුතු සේ පරණව තිබේ. අම්පිටියේ විහාරයෙන් ගෙන්වන ලද පොතද, කොලොන්නාවේ විහාරයේ තිබී ලබාගත් පොතද අවුරුදු සියයකට ආසන්න ලෙස පරණයි. ඒ පරණ පොත්වල ලියවී තිබෙන්නේ අනූවෙනි පරිච්ඡේදයෙහි 103 වෙනි ගාථාව දක්වායි. අන්තිම කාණ්ඩය කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාගේ කාලයෙහි කරන ලද්දකි. මේ සියල්ලෙන් බලාත් ඌන පූරණය කරනු නොහැකි තැන් අන්‍ය ග්‍රන්ථවල පෙනෙන කාරණා අනුසාරයෙන් යුක්ති යුක්තාදිය සලකා පූර්ණය කෙළෙමු. නොයෙක් පිටපත්වල පෙනෙන නානා පාඨයන් අතුරෙන් අතිශයින් සුදුසු සේ වැටහෙන පාඨ යෙදුවෙමු.
මේ පොත අනුපදික වශයෙන් (වචනයක් පාසා) සන්න කිරීමෙන් ලංකා කථාව ඉගෙන ගන්නන්ට ප්‍රයෝජන නොවන හෙයින්, භාවය අවබෝධ කරවන සිංහල ව්‍යාඛ්‍යානයක් කිරීම යහපත් යැයි ලංකේෂ්වරාදී උත්තමයන්ගේ මතානුකූලව එසේ කෙළෙමු. පොතේ පාඨ සෝධනය කොට යන්ත්‍රාලයේ අන්තිම ළඟට අංකනය කළායින් පසු, මේ මේ අශුද්ධවද ඌනතාවයෙන් යුක්තවද තිබෙන ගාථා යම් කෙනෙකු විසින් පිළිගත යුතු සේ ශුද්ධ කොට, නම සඳහන් කොට එව්වොත්, ඒ පිළිගත යුතු නම් ස්තුති කොට අපේ ශුද්ධියට වඩා හොඳ යැයි නම සංඥාපනයෙහි (පෙරවදනෙහි) සඳහන් කරන බව කියා කාණ්ඩ දෙකක් ‘ලක්රිවි කිරණ’ පුවත්පතේ ප්‍රසිද්ධ කරවූයෙමු. නමුත් ඉන් එක ගාථාවක්වත් කිසි කෙනෙකු විසින් ශුද්ධ කොට දැක්වීමක් නොකරන ලදී.
අපේ සිංහල කිරීමෙහි බොහෝ තැන ව්‍යඤ්ජනාර්ථයම නොදක්වා ආදි, මධ්‍ය, අවසාන වශයෙන් පෙනෙන භාවය (අදහස) ප්‍රධාන කොට අර්ථ දැක්වූ බවද, ගාථා බන්ධනයෙහි පහසුව පිණිස යොදන ලද යම් යම් වචන නැති කලද සිංහල අර්ථය මනාව ගැලපෙන තන්හි, එසේ පෙනෙන ‘තත්’ ශබ්දාදිය හා පාද පූරණාදිය පිණිස යොදන ලද නිපාතයන්ද යම් කිසි තැන නොගන්නා ලදී; එය පණ්ඩිතයන් විසින් සැලකිය යුතුයි.
පරිච්ඡේද හා ගාථා සංඛ්‍යාව පෙන්වන ඉලක්කම් සිංහල සන්නයෙහිද යොදන ලද හෙයින්, එයින් ගාථාවන්හි අර්ථ අවබෝධය පහසු වේ. ප්‍රමාදාදියෙන් වූ ඌනත්වාදියක් දකින පණ්ඩිතයෝ ඉවසමින් නැවත පූරණයෙහි අනුකූල වෙත්වා.
“දොෂා කෘතෞ සුමතයො මම කො’පිචෙත් ස
යුෂමාභිරත්‍ර කෘපය විනිවාරණීයඃ
ආතෘඃ ඛගඃ සමවලොක්‍ය සවර්ගබාධාං
නිඃශකතිකා අපි කුවනති යතඃ සමනතාත්.”
මෙම ශ්ලෝකය වාසවදත්තා ව්‍යාඛ්‍යාවෙන් ගන්නා ලදී.
අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් වහන්සේ සහ බටුවන්තුඩාවේ පඬිතුමන්.