මොහු නමින් ජම්බුක ආජීවකයා ය. මොහු දැන තේරෙන වයසේ සිට ආහාර ලෙස අනුභව කරනුයේ අසූචි ය. වෙන කිසිවක් නොක යි. මේ නිසා දෙමව්පියෝ ආජීවකයන්ට භාර දුනි. එහිදී ආජීවකයෝ තල් ඇටයක් ගෙන මොහුගේ කෙස් එක එක උඟුලා දමා මොහු මහණ කළේ ය. මොහු දැන තේරෙන වියේ පටන් නිර්වස්ත්‍රව සිටිති. වස්ත්‍ර නො අඳිති, ඇඳක නො සැතපෙති, බිම ම නිදති. දිනක් සුගතයන් වහන්සේ මොහු සිටින තැනට වැඩ එහි එක් තැනක නවාතැන් ගෙන මොහු දමනය කළ සේක. එහිදී ඔහුට මෙසේ වීමට කළ පූර්ව කර්මය ද වදාළ සේක.
පෙර මොහු කාශ්‍යප බුදු සසුනේ පැවිදිව සිටිය දී දායකයන් කෙරෙහි බොහොම කුළුපගව විසී ය. ආගන්තුකව වැඩි රහත් නමකට දායකයන් පැහැදී දන් දී සිවුරකට සළුවක් ද පුදා පසුව කෙස් රැවුල් බෑමට කරණවෑමියෙක් හා නිදන්නට ඇඳක් ද ලබා දුනි. නේවාසික භික්ෂුව මෙයට හිත රිදවාගෙන ආගන්තුකව වැඩි රහත් හිමිට බැණ වැදුණේ ය. “ඇවැත්නි ආගන්තුකය, නුඹට සුදුසු කෙළෙඹියා ගේ බත නොව අසූචි කෑමටය, කරණවෑමියා ලවා කෙස් රැවුල් බෑවීම නොව තල් ඇටයක් ගෙන කෙස් රැවුල් ගලවා දැමීම ය, දායකයන් දුන් රෙදි ඇඳීමට වඩා නග්නව ඇවිඳීම වටින්නේ ය, ඇඳෙහි නිදීමට වඩා බිම හිඳීම කල යුතු වේ” යනාදී ලෙස ගර්හා කළේ ය. රහතන් වහන්සේ මොහු තමන් නිසා පව් කරගන්නා බැවින් නො කියා ම වැඩි සේක.
එදා මේ කරගත් අකුසලය නිසා මැරී අවීචි මහ නිරයෙහි ඉපිද, අප බුද්ධ ශාසන කාලය වනතුරු බුද්ධාන්තරයක් ම එහි මහත් දුක් වින්දේ ය. එයින් චුතව දැන් මේ මිනිස්ව ඉපිද පනස්පස් වසරක් අසූචි කා, ජීවත් වීමට සිදු වූවා යැ යි තථාගතයන් වහන්සේ වදාළ සේක. ඔහු පෙර ජීවිතයේ රහතන් වහන්සේට කළ ආක්‍රෝෂ හතරම මොහුට විපාක දෙන ලදි. පසුව මේ ජම්බුක ආජීවකයා බණ අසා සිව්පිළිසිඹියාලාභී මහ රහතන් වහන්සේ නමක් විය.
බලන්න පින්වතුනි, අවුරුදු 20000ක් පිරූ ශ්‍රමණ ධර්මයෙහි කුසලයටවත් ඔහු කළ අකුසලය යට කරගන්න බැරි විය. අපායේ ඉපිද දුක් විඳ, අසූචි කා නග්නව ජීවත් වන්නෙකු විය. පසුව අවුරුදු 20000ක් තුළ පැවිදිව පිරූ පාරමී මතුවී රහත් බව ද ලබා දුන්නා. මේ නිසා කර්ම බලය මනාව තේරුම්ගෙන කල්පනාකාරීව ජීවත්වීමට පෙළඹෙත්වා!
(ධම්මපද අට්ඨ කථා - 301 පිට)