දීපවංශය ගැන...
ලක්දිව වංශ කතා ඉතිහාසයේ පැරණිම වංශ කතාව දීපවංශයයි. එය වංශ කතාවක් සැකසීමේ ප්‍රථම ප්රයත්නයද වේ. පෝරාණාචාර්ය්යවරුන් ඈත අතීතයේ සිටම අටුවා හා ඓතිහාසිකවෘත්තාන්ත කටපාඩමින් හා මනෝතලගත භාවයෙන් විකාශනය කරවූ බව ආදිතම වංශ කතාවන් ගෙන් හෙළිවේ. මෙම වංශ කතාවන්හි අන්තර්ගතයන් මනඃ කල්පිතයන් නොව සත්‍යයෙන් පිරුණු ඒවා බව උගතුන් විසින් පිළිගෙන තිබේ. දීපවංශය වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් පිළිගත හැක්කේ ඓතිහාසික සත්‍ය තාවයේ තොරතුරු වැදගත් බවින් හා ශාස්ත්‍රීය භාෂා මාධ්‍යයන්ගෙන් සකසා ඇතිහෙයිනි. එසේම දේශීය හා විදේශීය වාර්තාවන් සමගද එහි කරුණු ගැලපේ.
දීපවංශයේ කාලය හා කර්තෘ පිළිබඳ ගැනෙන තොරතුරු මතභේදයට තුඩුදී තිබේ. පුරාවිද්‍යා හා ඓතිහාසික ගවේශකයෝ මේ පිළිබඳව විවිධ අදහස් දක්වති. මේ පිළිබඳව අදහස් දක්වන ඕල්ඩන්බර්ග් මහතා මෙය ක්‍රි. ව. 4 වන සියවසටත් 5 වන සියවසටත් අතර මුල් අවුරුදු 33 තුළ සකසන්නට ඇතැයි අදහස් කරයි. නමුත් ඒ මහතා ව්‍යාකූලත්වයෙන් තොර විකල්පයක් එයට දක්වන බවක් නොපෙනේ. කෙසේ වෙතත් මහාචාර්ය්ය ගුණපාල මලලසේකරයෝ එම අදහස ඉවත දමති. ඔහු පෙන්වා දෙන්නේ 4 වන සියවස මුල නොලියූ බවයි. එසේ වුවත් බුද්ධදත්තාචාරීන් වහන්සේ මේ පිළිබඳව අවස්ථා කීපයක් උපයෝගී කර ගනිමින් අදහස් ගෙන හැර දක්වති. එහෙත් බුදුදත් හිමියන් දක්වන ඇතැම් කරුණු විද්‍යාමාන පෙළ පොත් අන්තර්ගතයන්ට වඩා වෙනස්වනු දක්නට ලැබේ. එම ප්රතිවිරෝධතාවයන් කාලනිර්ණ තුළනයේදී එතරම් ප්‍රභේදයකට ලක්නොවේ. සමහරවිට යම් විකල්පීය ලක්ෂණ ස්ථාපිතව ඇත්තේ මෙයට බොහෝ කලකට පෙර රචනාකර ඇති නිසා විය හැකිය. මේ හැරුණු විට ධාතුසේන රජතුමා එකල පැවති මිහිදු උත්සවයේ දී දීපවංශය කියවීමට නියෝග කළ බව මහාවංශයේ දක්නට ලැබේ. මෙයින් පැහැදිලි වන්නේ මෙය සාම්ප්‍රදායිකව මිහිඳු උත්සවයේදී භක්ති ගීතිකාවක ආකාරයෙන් ගායනා කරන්නට ඇති බවත් මෙම අර්ථවත් ජාතික ගී රාවය ජනී ප්‍රසාදනය සඳහා පැවති බවත්ය. මෙම ප්‍රසාදනී ගීතය වඩාත් අර්ථවත් වන්නට ඇත්තේ ධාතුසේන රජතුමා සතුරු ආක්රමණික යුගයක විසූ නිසා විය හැකිය. තවද මෙයින් තව දුරටත් පැහැදිලිවන්නේ වඩාත්සාහිත්යමය අගයකින් හා වර්ණිත සංකල්පයකින් සැදුම් ලත් මහා වංශය මේ වනවිට සැකසී නොතිබූ බවයි. මහානාම හිමියන් මහාවංශය ලිවීමට පොළඹවන ලද්දේ මෙම දීපවංශ පාඨයන් වූවාටද සැකයක් නැත. මෙම නිසා ධාතුසේන රජතුමා රාජ්‍ය නියෝගයක් වශයෙන් මෙහි ගාථා ගීතිකා වශයෙන් කියවීමට අණ කරන්නට ඇත.
දීපවංශයේ භාෂා මාධ්‍ය දෙස බැලීමේදී ඉතාම පැරණි භාෂා ලක්ෂණ මෙහි තිබෙන බව පෙන්වා දිය හැකිය. අශෝකයන් විසින් කරවන ලද ක්‍රි.පූ.3වන සියවසට අයත් සෙල්ලිපි පාඨවල එන භාෂා ලක්ෂණයන් මෙම අන්තර්ගතයේ දක්නට ලැබේ. සමහර විට මාතලේ අළුලෙන් විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන අවදියට ආසන්න අවදියක සිටම අට්ඨකතා අනුව යමින් කිසියම් මහාවිහාරීය යතිවරුන් පිරිසක් මෙය පරම්පරානුගතව ලේඛනගත කෙරෙමින් පැමිණෙන්නට ඇතැයි සිතීමට පුළුවන. විවිධ රචනා ලක්ෂණ මෙහි දක්නට ලැබෙන හෙයින් එය වඩාත් තහවුරුවේ. තවද අටුවාචාරීන් වහන්සේලා මතක සටහන්තුළ ත්‍රිපිටකය රැගෙන ඒමේදී ඒ ඒ ත්‍රිපිටක ග්රන්ථ අවසාන කොටසේ ඓතිහාසික ලේඛන සංග්රහයක සටහන්ද මනෝසංග්රහයෙහි පැවැත්වූහ. එම පාඨ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන අවදියේදී මෙම දීපවංශයට ගත් බවද පෙනීයයි. ඒ අනුව එය රචනාවන්නට ඇත්තේ හෙළ භාෂාවෙන් විය හැකිය. එම නිසා ඉපැරණි ඓතිහාසික තොරතුරු මෙහි සංග්රහවූවාට සැක නැත. මෙසේ පවත්වාගෙන පැමිණි හෙළදිව් වංශ කතාව යතිවරයන් වහන්සේ නමක් අවසන් කොටස රචනා කරන්නට ඇත. ඒ බව වඩාත් තහවුරු වන්නේ මෙහි භාෂා මාධ්යයතුළිනි.
දීපවංශය පිළිබඳ අදහස් දක්වන විල්හෙල්ම් ගෙගර් මහතා ලංකාවේ ජනශ්රැතියේ ආරම්භයේ පටන් ක්‍රි. ව. 4 වන සියවස දක්වා කාලය තෙක්ම ඓතිහාසික කරුණු අඩංගු ලියවිළි විශේෂයක් තිබෙන්නට ඇත. එම ලියවිළිවල අන්තර්ගත කරුණු ඇසුරින් මෙය ගොඩ නැගෙන්නට ඇත. යනුවෙන් ප්‍රකාශ කරයි. මේ අනුව පැහැදිලි වන්නේද හෙළභාෂාවෙන් රචිත හෙළදිව් පුවතක් පැවති බවයි. මුල්යුගයේ ත්‍රිපිටකය ග්රන්ථාරූඪවූයේ හෙළ බසින් නිසා මෙයද ඒ අනුවම සැකසුනාට සැකනැත. ආචාර්ය්ය ඔටෝප්රැන්ක් මහතා ද මේ පිළිබඳව ප්‍රතිවිරුද්ධ අදහසක් දක්වනු පෙනේ. ඔහු අදහස් කරන්නේ දීපවංශ කතාව බිහිවූයේ විවිධ ආගමික ග්රන්ථවලින් හා ජාතක කතාවලින් උපුටාගත් කරුණු ඇසුරින් මිස කලින් පැවති ඓතිහාසික සම්ප්රදායක අනුව නොවන බවයි. නමුත් හෙළ අටුවාචාරීන් වහන්සේලා කිසියම් ඓතිහාසික කරුණු රාශිගත කිරීමක් කලාහු වෙතැයි ත්‍රිපිටක ග්රන්ථයන්හි අවසන් කොටසෙහි රාජ්යානුග්රහ හා වෙනත් සාමාජික තොරතුරු සංග්‍රහයක් පවත්වාගෙන පැමිණීමෙන් පෙනී යයි. එසේම මෙම කරුණු සංග්‍රහ කරන ලද්දේ එවකට සමාජයේ ප්‍රබුද්ධයන් වශයෙන් සිටි බුද්ධ යතිවරයන් වහන්සේලා බව නම් සත්‍යකි. ඔවුහු බෞද්ධ දර්ශනය අනුව මැදහත් ප්‍රතිපත්තියක් ගෙනගියාහු වෙති. එහෙත් බ්‍රාහ්මණයන් මෙන් ඔවුහු එක් පක්ෂයක් ගෙන ක්‍රියා නොකළහ. ඉන්දීය ඉතිහාසය සැකසීමේදීද මෙම අන්තර්ගතයන් ප්‍රයෝජනවත් වූයේ එහෙයිනි. ඉතිහාසයේ මතධාරිත්වය වඩාත් අර්ථවත් වන හෙයින් බෞද්ධ පූජ්යවරුන් මෙය සංග්‍රහකළ පමණින් එය ආගමික මතයන්සේ සලකා බැහැරලීම ඓතිහාසික මූලාශ්රයන්ට කරන නිගරුවක් සේ සිතිය හැකිය. මධ්‍යස්ථ තුලන සම්ප්රදාය තුළ කරුණු වඩාත් නිවැරදි කරගත හැකිය. එනිසා ඔටෝප්රැන්ක් මහතාගේ අදහස් කොතරම් සාවද්‍යය හා නිරවද්‍යය භාවයෙන් යුතුදැයි විමසිය යුතුය.
දීපවංශය බිහිවීමට පෙර අවදියේ පැවති ඓතිහාසික සම්ප්රදාය ලක්ෂණයන් පරීක්ෂා කිරීමේදී සීමා කථා. චේතිය වංශට්ඨකතා: මහාචේතිය වංශට්ඨකතා: මහාබෝධිවංශට්ඨකතා ආදී අට්ඨකතාවන් ගැන මහාවංශ ටීකාවේ දැක්වේ. එසේ හෙයින් සටහන්වූ ඔටෝප්රැන්ක් මහතාගේ අදහස් තවදුරටත් ඛණ්ඩනය වනු පෙනේ. මෙම ඓතිහාසික වංශට්ඨකතාවන්ගෙන් ආභාෂය ලත් දීපවංශ කතුවරයා මෙම කෘතිය කරන්නට ඇතැයි සිතා ගත හැකි අතර එය ආරම්භ කිරීමෙන් පසු මහාවංශය මෙන් නොව සීමා සන්ත කාලයන්හිදී ඒ ඒ කතුවරුන් ඒ ඒ යුග කොටස් පූරණය කරන්නට ඇත.
දීපවංශයේ කතුවරයා පිළිබඳවද විවිධ මත ප්‍රකාශයන් ඇත. කෙසේ වෙතත් මෙම එකම ගවේශකයෙකුට හෝ මෙහි නිත්‍ය කතුවරයෙකු පිළිබඳව කරුණු දැනගැනීමට ලැබී නැත. මේ පිළිබඳව අදහස් දක්වන ගෛගර් පඬිතුමා පවසන්නේ විශේෂ කතුවරුන් නොමැති අවදියක මෙය සකසන ලද බවය. එසේම මෙය එකම කතුවරයෙකුගේ කෘතියක් නොවන බවත් බහු කර්තෘක කෘතියක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. එයට හේතුවශයෙන් භාෂා ශෛලියේ වෙනස්කම් දක්වන අතර පුනරුක්ත දෝෂ බහුලතාවය ඇත්තේ ඒ නිසාම බවත් පෙන්වා දෙයි. සමහරු දෙනෙකු බහු කර්තෘක කෘතියක් ලෙස දැක්වීම සඳහා මෙහි භාෂාවේ විවිධත්වය දක්වන අතර විවිධ අවස්ථා නිරූපනයන් ගෙන හැර දක්වයි.
දීපවංශය පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය්ය ගුණපාල මලලසේකර මහතා හ්යුනෙවිල් මහතාගේ අදහසක් ඉදිරිපත් කරමින් “දීපවංශය ථෙරවාදී භික්ෂුණීන්ගේ වංශ කතාවක් සේ පිළිගත යුතුය. භික්ෂුණීන් පිළිබඳව මහාවංශය කිසිත් ඉදිරිපත් නොකරද්දී දීපවංශය භික්ෂුණීන් පිළිබඳ බොහෝ කරුණු ඉදිරිපත් කර ඇත. එසේම ‘ගාමිණී’ රාජසමයෙහි ‘සුමණා’ නම් භික්ෂුණිය ප්‍රථම යෙන් භික්ෂුණීන්ට වංශකතා ඉගැන්වූ බව මම නිරනුමානයෙන්ම සලකමි” යනුවෙන් දක්වා ඇති අතර මෙසේද දක්වා ඇත. “මෙහිලා භික්ෂුණීන් තම පරම්පරා කතාද සංඝමිත්තා ස්ථවිරාවන් ඇතුළු පිරිස ගෙනෙන ලද සම්ප්‍රදායානුගත වංශ ප්රවෘත්තීන්ද එයට එක්කළාය. ඉන්දියාවෙන් පැමිණි ‘සිවලා’ මහාරුහා යන භික්ෂුණීහු මෙහිම සංස්කරණයකින් පසු දැනට අප සතුව ඇති දරදඬු පාලියෙන් සැකසූ ග්‍රන්ථය බවට පත්කළාහුය. පසුව සංඝමිත්තා භික්ෂුණියද සන්හා, සමුද්ධා යන භික්ෂුණීහුද එයට නොයෙක් කරුණු අන්තර්ගත කළහ.” නමුත් මෙම විස්තර මෙහි කර්තෘ පිළිබඳ ස්ථිර නිගමන තැනීමට තරම් වැදගත් නොවේ. නෙවිල් මහතාගේ අදහස මෙහිදී මලලසේකර මහතා ඉදිරිපත් කිරීමෙන් එය අනුමත කරනු පෙනීයයි. එසේ වුවත් දේශීය වංශ කතා, භික්ෂු, භික්ෂුණී මනෝභාවයන් හා ප්‍රතිපත්තිමය ක්‍රියා පද්ධතීන් සැලකිල්ලට නොගෙන මෙවැනි නිගමනයක් කිරීම අපහසුය. හුදු ලියකියවිලි මතුපිට දැක්වෙන ස්වරූපයෙන් පමණක් එවැනි තීරණ ගැනීම සුදුසුදැයි පරීක්ෂා කර බැලිය යුතුය. දීපවංශ කතුවරයාගේ ආමන්ත්රණ පද දෙස බැලීමේදී එය වඩාත් තහවුරු කර ගත හැකිය. මෙහි කතෘ සෙසු ජනයාට හා භික්ෂු භික්ෂුණීන්ට ආමන්ත්‍රණය කරන්නේ ‘සුනාතුමෙ’ ‘මට සවන්දෙව්’ යන අවධාරණ පාඨයෙනි. භික්ෂුණී ප්රාතිමෝක්ෂ සංකල්පයන් තුළ විනය නීතීන්ට එකඟව ක්‍රියා කරන භික්ෂුණියක් නූතන විනය කණ්ඨ කාන්තාවකගේ ආකාරයෙන් භික්ෂු විනයට ප්රතිපක්ෂව ක්‍රියා කරතීයි සිතිය නොහැකිය. මෙම භික්ෂුණීහු භික්ෂුණී විනය අකුරටම පිළිපැද්දාහුය. නෙවිල් මහතා අපරදිග කාන්තාකල්ප දෙස බලා මෙසේ ප්‍රකාශ කළා විය හැකිය. එහෙත් පෙරදිග භික්ෂුණී ආකල්ප දෙස බලනවිට ‘සුනාතුමෙ’ යන අවධාරණ පාඨය භික්ෂුණියකගේ මුවින් සිව් පිරිස වෙත යොමුවීම සිදු නොවනු ඇත. මෙවැනි නියෝග පාඨ ප්‍රකාශ වන්නේ නායකත්වයේ ප්‍රධාන පෙළේ සිටින භික්ෂුවකගෙන් පමණි. එම නිසා නිත්‍ය වශයෙන්ම මෙම කෘතිය භික්ෂුවකගේ බවට කිසිදු සැකයක් නැත. නෙවිල් මහතාගේ අදහස පරිදි උගත් භික්ෂුණීන් සමාජ පසුතලයේ භික්ෂුණී ක්ෂෙත්රයේ විවිධාකාරයෙන් ක්‍රියා කළබව පිළිගත යුත්තකි. එහෙත් භික්ෂු ප්රාතිමෝක්ෂය හා භික්ෂුණී ප්රාතිමෝක්ෂය මොහොතකට හෝ ඔවුන් අමතක නොකළ බව මෙනෙහි කරමින් කිසියම් නිගමනයකට බැසිය යුතුය. ඇරත් විනය නීතීන්ට මහත්සේ ගරුකළ බව පෙනීයන දීපවංශ කතු භික්ෂුණියක් නම් මෙවැනි අදහසක් ප්රකාශකරතීයි සිතීම කෙසේ හෝ පිළිගත නොහැකිය. මහාවංශ කතුවරයාද මෙවැනි ඉල්ලීමක් කර තිබේ.
සුනාතුමෙ භන්තේ. (ස්වාමිනී මට සවන්දෙන්න)
සුනන්තු භොනෙතා මමඑක වාක්යං (පින්වත්නි මගේ එක් වදනකට සවන්දෙව්)
මෙම පාඨයේත් දීපවංශ පාඨයේත් සමානකම පෙනීයනු ඇත. මහාවංශය මහානාම හිමියන් ලියූබව ග්රන්ථයේම සඳහන් වන නිසා කර්තෘ පිළිබඳ ගැටළුවක් නැත. එසේ නම් මෙවන් ප්‍රකාශයක් කරන්නේ භික්ෂුවක්ම බවට නම් කිසිදු සැකයක් ගොඩනොනැගේ. එසේ නම් දීපවංශය භික්ෂුවක් විසින් රචනාකරන ලද බව මේ අනුව පැහැදිළිව පෙනී යාමෙන් නෙවිල් මහතාගේ අදහස නැවතත් පරීක්ෂාවට ලක්කල යුතුය. එසේම මෙය භික්ෂුණියක් රචනා නොකරන ලද බවත් භික්ෂුවක් විසින්ම රචනා කරන ලද බවත් පෙනීයයි. භික්ෂුනීන්ගේ නම් වැඩි ප්‍රමාණයක් අන් කාලීන වංශකථා වලට වඩා මෙහි ඇතුලත්වීමෙන්ම එය භික්ෂුණියකගේ රචනයක් සේ සිතීම බොළඳ තර්කයක් නොවන්නේ ද? කාන්තාවක් කාන්තාවකගේ පක්ෂය ගැනීම සාමාන්‍ය කාන්තා ගුණයක් වුවද මෙම භික්ෂුණීන් සුවිශේෂ මිනිස් භාවාර්ථයන්ගෙන් හෙබි උපරි මනස්තලගත කාන්තාවන් බවද මෙහිදී අමතක නොකළ යුත්තකි.
දීපවංශයේ බහු කර්තෘක භාවය පිළිබඳවද තවත් වියත්හු අදහස් දක්වති. එයට සාධක වශයෙන් ඔවුන් ඉදිරිපත් කරන්නේ එම වංශකතාව ආරම්භයේ දක්නට ලැබෙන සමාරම්භක පාඨයන්ය. එහි මෙසේ දැක්වේ.
‘මෙහි විස්තරකරනුලබන්නේ බොහෝ දෙනා විසින් අත්‍යලංකාරයෙන් වර්ණනා කරන ලද නොයෙක් නොයෙක් මල් අමුණා විසිතුරු කරන ලද මල්මාලාවකට සමානවූ පරම්පරාගත වංශකතාවයි’
මෙහිදී ‘බොහෝ දෙනා විසින් වර්ණනා කරනලද’ යන අදහස මතුදැක්වූ මතයට උපයෝගී කරගත් බව පෙනේ. මේ අනුව දීපවංශ කෘතිය ගොඩ නැගීමට පෙර සූත්‍ර; විනය; අභිධර්ම ග්‍රන්ථවල තිබූ ඓතිහාසික කරුණු මෙම ග්රන්ථයට අන්තර්ගතවූ බව සිතාගත හැකිය. එහෙත් ඒවා හෙළ අටුවාවල තිබුණ කරුණු බව පෙනේ. හෙළ අටුවා 5 වන සියවසේදී බුද්ධඝෝෂහිමියන් පාලියට නැගීමෙන් පසු විනාශකරන ලද බව පෙනීයයි. එම නිසා මෙම වංශකතාවල හා අටුවාවල තිබූ ඓතිහාසික ප්රවණතා ලක්ෂණ හඳුනා ගැනීමට නොහැකිව ඇතත් ඒ පිළිබඳව මෙනෙහි කිරීමේදී එම ඓතිහාසික කරුණු එක්කොට කිසියම් මහාවිහාරික භික්ෂුවක් විසින් මෙය ඒක රාශි කිරීමක් කරන ලදැයි සිතාගත හැකිය. ඒ අනුව බහු කර්තෘක වුවත් පාලි දීපවංශය එකම කතුවරයෙකු විසින් සංග්‍රහ කරන්ට ඇතැයි සිතිය හැකිය. තවද මුඛ පරම්පරාගත ග්රන්ථ කරණයේදී පවා මෙම ඓතිහාසික පදනමද වෙනම පැවැත්වූ බව ද සිතිය හැකිය. අළුවිහාරයේ ග්රන්ථාරූඪකිරීමෙන් පසුව ඇතිවූ හෙළබසින් රචිත දීපවංශයද විවිධ කතුවරුන් විසින් රචනා කෙරෙමින් පවත්වාගෙන පැමිණි බවක්ද දිස්වේ. එය සමාරම්භක ගාථාපාඨ අදහසේ එන “පරම්පරාගතවංශකතාවයි” යන පාඨයෙන්ද තහවුරුවේ. මෙම පරම්පරා ගත වංශ කතාව මහසෙන් යුගයේ විසූ කිසියම් යතිවරයාණ කෙනෙකු විසින් පාලි සංග්‍රහ ගත කෙරිනැයි සිතන්නේ නම් නිවැරදිවිය යුතුය.
දීපවංශය ලිවීමට කුමක් මූලාධාරවී ද යන්නට අදහස් දක්වන ඔටෝ ප්රෑන්ක් පඬිවරයා මෙය බාහිර කිසිවක් ආධාර කොටගෙනහෝ අන්‍ය මූලග්රන්ථයන්ගේ ආභාසයක් ඇතිව හෝ නොලියන ලද බව සඳහන් කරයි. ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන ඔහු ජාතක හා බුද්ධවංශාදී බෞද්ධ ග්‍රන්ථයන්ගේ ආභාසය මෙයට ලැබිනැයි යන මතය සම්පූර්ණයෙන් ඉවත් කල නොහැකි වුවද දීපවංශයේ ඇතුලත් කරුණු සහමුලින්ම හෝ ඒවායින් විශාල කොටසක් හෝ එම ග්රන්ථයන් ගෙන් උපුටා ගෙන ඇතැයි කීමට කිසිදු සාධකයක් නැති බවද සඳහන් කරයි. අටුවා අන්තර්ගතයන්ගේ ඓතිහාසික පදනම ග්රහනය කිරීමේදී ද මෙම අදහසෙහි යථාර්ථයක් දක්නට ලැබෙන බව පෙන්වා දිය හැකිය. එසේ වුවද ඕල්ඩන්බර්ග් හා ගෛගර් යන විද්වතුන්ගේ මත සංකලනයක්ද මෙහිදී ඉදිරිපත් කිරීම යෝග්‍යයයි. ඔවුහු මෙසේ දකිති.
“දීපවංශය හා මහාවංශය යන වංශකථාවලට මූලාශ්‍ර වශයෙන් ගැණුනු සිංහලයෙන්ද ලියවී පාලි ග්රන්ථයෙන්ද තැනින් තැන මිශ්‍රව පැවති මහාවංශට්ඨකතාවක් පැවති බව පිළිගනී. දීපවංශ; මහාවංශ; වංසත්ථප්පකාසිනී යන ග්රන්ථ පරීක්ෂා කිරීමේදී ද පැරණි ඓතිහාසික සම්ප්රදායක් පැවති බව පෙනියයි. එය මුලින් සඳහන් කරනලද පරිදි සීමා කතා; චේතියවංශට්ඨකතා; මහාචේතිය වංශට්ඨකතා; මහාබෝධිවංශට්ඨ කතා ගැන වංසත්ථප්පකාසිනියේ අන්තර්ගත වීමෙන්ද පැහැදිළිවේ. මේ අනුව දීපවංශය ඓතිහාසික සම්ප්‍රදායන් කීපයක කරුණු එක්තැන් කිරීමට ගත් උත්සාහයක් බවද සිතිය හැකිය.”
ඈත අතීතයේ සිට දේශීය ඓතිහාසික සම්ප්රදායක් පැවති බව මෙම විද්වතුන් පිළිගන්නා බව පෙනේ. මේ අනුව දීපවංශ කතුවරයා විවිධ තැන්වල තිබූ ඓතිහාසික සිද්ධීන් එක්රැස් කොට තිබූ බව වඩාත් යථාර්ථීය ලක්ෂණයන් ගෙන් සමන්විතව ඇත.
තවද දීපවංශය පිළිබඳ අදහස් දක්වන විමල් වරණලෝ මහතා ථෙර, ථෙරී, ගාථාවල ගීතිකා සමහරක් මෙම වංශකතා පබැඳුම්කරුට ධර්මග්රන්ථමය හැකියාවන් ලබා ගැනීමට මඟ පෙන්වීයයි සඳහන් කරයි. එසේම මෙය පෞරාණිකයන්ගේ මුඛපරම්පරාගත ධාරණ සම්ප්‍රදායන් මත සකස් විනැයි පෙන්වා දෙයි. තවදුරටත් කරුණු දක්වන ඒ මහතා ගාථාමය දීපවංශයේ ආකෘතිය පාලි ත්‍රිපිටකයේත් බුද්ධවංශයේත් ඉදිරිපත්වන බවත්, මෙම දෙකම අෂ්ට්රහ් වෘත්තයකින් හා සරළ භාෂා ශෛලියකින් පැබැඳී ඇති බවත්, කලාතුරකින් වෘත්තය වෙනස්වන ආකාරය දක්නට ලැබෙන බවත් මේ පිළිබඳ වෙනත් අදහසක් දක්වන ආචාර්ය සිරිමා වික්‍රමසිංහ මහත්මිය දීපවංශයේ වැදගත්කම රැඳී ඇත්තේ එහි ඇතුලත් කරුණුවල නොව වංශකතා කෘතීන් උපයෝගී කොටගත් මූලාශ්රයන්ගේ තත්ව පරික්ෂණ ස්වභාවික තොරතුරු මතයයි පැහැදිළි කරන්නීය. මෙයින් අදහස් කරන්නේ දීපවංශයට මූලාධාර වූ යම් කෘති සමූහයක් පැවති බවයි. මෙහි දක්නට ලැබෙන එකම අදහස නැවත ප්‍රකාශ කිරීම හෙවත් පුනරුක්ත බාහුල්‍යය ඇතිවීමට හේතුව මූලාශ්‍ර අදහස් පිරිසිදු නොකර ගැනීම යයි සමහර විද්වත්හු පවසති. එසේ වූයේ දීපවංශ කතුවරයාගේ නොසැලකිලිමත් භාවය නිසා දැයි පරික්ෂාකර බැලිය යුතුය. එසේ පරික්ෂාවට ලක්කිරීමේදී වඩාත් පාඨක අභිරුචිය දැනවීම සඳහා නැවත ඉදිරිපත් කරන බව පෙනීයයි. කතුවරයා එකම අදහස ඉදිරිපත් කරන බොහෝ අවස්ථාවන්හිදී.
මම නැවත එය අනුපිළිවෙලින් ඉදිරිපත් කරමි. යනු වෙන් ප්‍රකාශ කරයි.
බොහෝ විට එවැනි ප්රතිභාෂණයන් ඉදිරිපත් කරන්නේ දක්ෂ මනෝවිද්‍යාත්මක පදනම් ක්‍රියාවට නැඟූ ගුරුවරුන් විසිනි. ප්රතිභාෂණයෙන් බුද්ධිකෝෂය පුළුල් කිරීම කතුවරයාගේ මුඛ්‍ය අදහසවූ බව පෙනේ. මේ අනුව දීපවංශ කතුවරයා ලේඛකයෙකු පමණක් නොව දර්ශනය මනෝවිද්‍යාව හා සමාජවිද්‍යා පදනම් ඉගැන්වීම් ක්ෂෙත්රයේ පමණක් නොව ලේඛණ කලාව තුළදී ද උපයෝගී කරගත් කතුවරයෙකු ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍යය. ඒ අනුව මොහු දක්ෂ ගුරුවරයෙකු බවද පැහැදිළි වේ. එසේනම් මෙයට පසු වංශකතා කරණයට පිවිසි මහාවංශකරු එසේ නොකළේ ඇයි දැයි ප්‍රශ්නයක් පැනනගිනු ඇත. එහිදී පැහැදිළිවන එක් කරුණක් නම් මහවංශ කතුවරයා විසූ අවදිය දකුණු ඉන්දීය ආක්රමණයන්ට මුහුණ දුන් අවදියක් නිසා අධ්‍යාපනයේ යම්යම් ගුණාත්මක පසුතලයන් පිරිහී ගොස් තිබුණි. විද්‍යාත්මක පදනම මුසුකරගත් අධ්‍යාපනයක් නැවත ගොඩනැගීමට හැකිවූයේ ක්‍රි. ව. 463න් පසුවය. එනම් ධාතුසේන රජතුමා රාජ්‍ය බලය ගැනීමෙන් පසුවය. එසේ නම් දීපවංශය ලීවායයි සිතියහැකි මහසෙන් අවදියට ආසන්න අවදිය අධ්‍යාපන ක්ෂෙත්රයේ විවිධ වාදවිවාදයන්ට තුඩුදුන් අවදියක් නිසා මෙවැනි විද්‍යාත්මක ලක්ෂණ ඇතිවීම සුවිශේෂ කරුණකි. එසේ නම් මහාවංශයට වඩා නොදියුණු භාෂා මාධ්‍යයක් දීපවංශයේ ඇතිවූයේ කෙසේදැයි පරික්ෂා කළ හැකිය. එයට පිළිතුරක් සපයන්නේ නම් මෙකල හෙළභාෂා මාධ්‍යය දියුණු වී තිබුණත් මාගධී භාෂා නිපුණතාවය අඩුවී තිබෙන්නට ඇතැයි සිතා ගැනීම අපහසු නොවේ. මාගධී භාෂා කෞශල්‍යය වඩාත් ඔප්නැන්වී ගියේ ක්‍රි. ව. 5 සියවසින් පසුවය. එනම් බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට පැමිණීමෙන් පසුවය. කෙසේ වෙතත් දීපවංශකරු අපරික්ෂාවෙන් මෙම කෘතිය කළා යයි සිතිය නොහැකිය.
දීපවංශය වීර කාව්‍යක් යයි සමහර විද්වතුන්ගේ අදහස වේ. නමුත් දීපවංශය සැකසී ඇති ස්වරූපය දෙස බලනවිට එය වීරකාව්‍යයක් යයි නිශ්චය කළ හැකිදැයි ප්රශ්නයකි. වීරකාව්යක් වීමට නම් උපාඛ්‍යාන කීපයක් එක්කොට ගොතනු ලැබූ උද්වේගකර අවස්ථා කීපයක් හෝ එළිදැක්වෙන ආකාරයෙන් නිරූපනය විය යුතුය. නැතහොත් ධර්මෝපදේශයක් ගෙනහැර පාන කතාවස්තුවක් තිබිය යුතුය. ඒ සියල්ලටම වඩා වීරයෙකු නිර්මාණය කළ යුතුය. මෙහි එවැනි ලක්ෂණ දක්නට නොලැබේ. එසේම උද්වේගකර අවස්ථාහෝ වීරත්වය ඔප්නැන්වෙන අවස්ථා දක්නට නොලැබේ. එහෙයින් මෙය වීර කාව්‍යක් සේ සැලකීම අපහසුය. මෙහි ගැබ්ව ඇති මූලික කරුණු අතින් බලනවිට සංස්කෘතික අංශයෙන් බුදුරජාණන් වහන්සේ හා මිහිඳු මහරහතන් වහන්සේද දේශපාලන හා සංස්කෘතික උභයාර්ථයෙන්ම දේවානම් පියතිස්ස රජු ඉදිරිපත් කළ හැකියි. එහෙත් එහි වීර කාව්‍යමය ගුණයක් තිබේදැයි ප්රශ්නයකි. අනෙක් පසින් මෙහි ඓතිහාසික හා කතාවස්තු නිමිත්ත දෙස බලනවිට කාව්‍යමය නිමිත්ත පෙරටුව සිටී. මේ අනුව බලනවිට උක්ත අදහස එළි දැක්විය නොහැක.
දීපවංශය පිළිබඳ වැඩිදුර ගවේෂණයක යෙදෙන විට මෙහි විෂය බද්ධය විශේෂත්වයක් දරයි. ලංකාවේ වංශකතා පිළිබඳව සුවිශේෂ ප්‍රකාෂයක් කරන ආචාර්ය්ය නෝමන් මහතා ලංකාවේ වංශකතාවන්හි අනුයුත්තික අන්තර්ගතයන් නිරවද්‍යතාවයෙන් පෙරමුණ ගෙන ඇති බවත් තර්කානුකූල හා යුක්ති ගරුක ලෙස කරුණු ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දෙයි. මහාචාර්ය්ය ගෛගර් මහතාද මෙම අදහස පිළිගනී, ආචාර්ය්ය මැක්ස් මුලර් පඬිවරයාද මහාවංශය පිළිබඳව දුන් අර්ථකථනයද මෙය හා පොදු අර්ථකථනයකි. ඔහු මහාවංශය පිළිබඳ කරුණු දක්වමින්
‘ලක්වැසි බෞද්ධයන් ඔවුන්ගේ ඓතිහාසික සටහන් බමුණන්ගෙන් හෝ ජෛනයන් ගෙන් ණයට ගෙන නැත’
යනුවෙන් පවසා ඇත. එහෙයින් මෙම වංශකථා ස්වාධීන සත්‍ය රාමු, මත ගොඩ නැගුණ ඒවා බව පිළිගෙන තිබීමෙන් ඊ එච් කාගේ අදහසටද ලන්වන බව පෙනේ. විල්හෙම් ගෛගර් මහතාද මෙම වංශ කතා දෙකම එකක් වශයෙන් ගෙන මෙසේ පවසයි.
‘මෙම වංශකතා දෙකම එකක් වශයෙන් ගෙන කල්පනා කරන විට වැදගත් උපකල්පනයට නැගෙන්නේ මෙම කතා අන්තර්ගතයන් පිළිබඳ කිසිදු සැකයක් නැත.’
යනුවෙනි. මෙම වංශකතා කතුවරුන් කරුණු ඉදිරිපත් කිරීමේදී අපක්ෂපාතීව හා උපේක්ෂා සහගතව බැඳීමකින් තොරව කරුණු ඉදිරිපත්කර ඇතිබවයි. මෙයින් දීපවංශකතුවරයා වඩාත් උපේක්ෂා සහගතව කරුණු ඉදිරිපත්කර ඇති බව දුටු ගැමුණු පණ්ඩුකාභය චරිතාපදානයන් ගෙනහැර දැක්වූ ආකාරයෙන් පැහැදිළිවේ. තවද ගෛගර් හාප්ලිට් යන දෙදෙනාම මහාවංශයද දීපවංශයේ සංස්කරණයක් ලෙසද දකිති. එය දීපවංශයේ සංස්කරණයක් බව මහාවංශ කතුවරයාගේ පළමු හැඳින්වීමේ පාඨයෙන්ම පෙනේ. ඔහු එහිදී පැරැන්නන් කියූ දෙය වඩාත් විස්තර සහිතව ජනප්‍රවාදද එකතු කරමින් පවසන බව කියයි. එවකට පැරැන්නන් කියූ වංශකතාව වශයෙන් පැවතියේ දීපවංශයයි. එසේනම් මහාවංශය දීපවංශයේ සංස්කරණයක් ලෙස පිළිගැනීම නිවැරදිය. එසේ වුවත් දීපවංශයේ සමහර අන්තර්ගතයන්ට මහාවංශකරු ජනප්‍රවාද එක්කිරීමට ගොස් විද්‍යාත්මක ඓතිහාසික පදනමට පහරවැදුණු බවක්ද පෙනීයයි. දීපවංශ කතුවරයා.
‘සීහබාහු නරින්දොසො
සීහ මාදින්නවා ඉති
සීහලොතෙන සම්බන්ධො
ආහු සබ්බෙපි සීහලා’
‘සිංහබාහු නරේන්ද්‍රයා
සිංහයෙක් බඳු ශක්තිමත් අයෙකි.
ඔහුගෙන් පැවතෙන්නන්ට
සිංහලයෝ යැයි කියති’
යනුවෙන් පෙන්වයි. නමුත් මහාවංශ කතුවරයා වනයේ විසූ තිරිසන්ගත සිංහයෙකු හා සුප්පාදේවිය සම්බන්ධ කිරීමෙන් යථාර්ථය විකෘති කරන ලදී. විද්‍යාත්මක සම්බන්ධතාවය හා සසඳා බලන විට තිරිසන් සතෙකු හා මනුෂ්‍ය ස්ත්‍රියක් සංවාසයේ යෙදීමෙන් ගැබ් ගැනීමක් සිදු නොවන බව පිළිගෙන තිබේ. එසේ නම් දීපවංශ කතුවරයා තත්වාකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් ජාතික අනන්‍යතාවය හා ඓතිහාසික නිරවද්‍යතාවය රැකගත් බව පෙන්වා දියහැකිය. මේ අනුව විෂය අන්තර්ගතය අතින් දීපවංශය සුවිශේෂ ඓතිහාසික පදනමක් උසුලන බව පෙනේ. මේ හැරුණු විට දීපවංශයේ අන්තර්ගතයන් පිළිබඳව විමසුවහොත් ඓතිහාසික හා විවිධ බෞද්ධ තොරතුරු එළි දැක්වේ. ඒ අනුව දීපවංශ කතුවරයාද මහායාන වාදී උපකල්පනයන්ට අල්ප වශයෙන් නැඹුරුවූ බවක් පෙනීයන්නේ බුදුරජාණන් වහන්සේට හා උන්වහන්සේගේ සර්වඥධාතුන්ට අතිමානුෂිකත්වයක් දීමට යාමෙනි. බුදුරජාණන් වහන්සේගේ මුල් සූත්‍ර හා පරිනිබ්බාන සූත්‍රය දෙස බැලීමේදී ථෙරවාදී බෞද්ධයථාර්තය ඉක්මවා ගිය ආකාරයක් දක්නට ලැබේ. එසේ වුවත් මේ පිළිබඳව අදහස් දක්වන විමල් චරණලෝ මහතා පෙන්වා දෙන්නේ බුද්ධාගම ඇදහිමක් බවටපත් වෙනත් රටවලද මේ හා සමානට ආශ්චර්ය්යාත්භූත සිද්ධීන් ඇතත් ලංකා වංශකතාකරුවන් ඔවුන් පරයා, සිටින බවයි. එසේ නම් ලංකා වංශකතාකරුවන් පත්ව ඇත්තේ නොවැලැක්විය හැකි සුළු කම්පනයකට පමණි. එසේ වුවත් ඉංදියාව හා ටිබෙට් බෞද්ධ කතා දෙස බලන විට ලංකාවේ ථෙරවාදී භික්ෂූන් වහන්සේලා විශාල නිරවද්යතාවයක සිටින බව වසුමිත්‍රගේ ‘නිකායාව ලම්බන’ යෙන් හා ටිබෙට් තෙරනමකගේ ‘ශාසනවංශක’ නම් කෘතියෙන් පෙනීයයි. එහි රහත් තෙරනමක් පිළිබඳව මෙවැනි අදහස් දක්නට ලැබේ.
- රහත් නමක් විසින් නොදැන පවත්කළහැකිය.
- රහත්නමක් තමාරහත් වූ බව නොදැන සිටිය හැකිය.
- රහත් නමකට ධර්මය සම්බන්ධයෙන් සැක ඇතිවිය හැකිය.
- රහතුන් වහන්සේ නමකට ගුරුවරයාගේ උපකාරයෙන් තොරව රහත් බව ලැබිය නොහැකිය.
- රහත් නමක් භාවනාවේ යෙදීසිටින අතර ‘අහෝ දුකකි’ යන වචන ප්‍රකාශ කිරීමෙන් තමා කැමති දෙය ලැබිය හැකිය.
ආදී බෞද්ධ යථාර්තය විකෘති කරන අදහස් දක්නට ලැබේ. මෙවැනි විකෘතිතාවයන් ලංකාවේ වංශකතා තුළ දක්නට නොලැබීම විශේෂතාවයකි. ථෙරවාදී සංකල්පීය ලක්ෂණ රකිමින් බෞද්ධ දර්ශනය රැකගැනීමට දරණ ලද ප්රයත්නයකි.
මෙහි භාෂාමය සුවිශේෂතාවය තුළ ශාස්ත්‍රීය භාෂා සංකල්පයක් දක්නට ලැබේ. වර්ණිත භාවයෙන් තොර මෙම භාෂා ස්වරූපය නිසා සාහිත්‍ය ක්ෂේත්රයෙන් මිදී ඓතිහාසික ක්ෂේත්රය ආරක්ෂාවී ඇති බව පෙන්වා දියහැකිය. අනික් පසින් මෙහි දක්නට ලැබෙන වාර්තාකරණී ස්වරූපය ද ශාස්ත්‍රීයත්වය ආරක්ෂා කර තිබේ. එමනිසාද ඓතිහාසික පක්ෂයට වැඩි රැකවරණයක් ලැබී ඇත. ඒ නිසා ඊ. එච්. කාගේ පොදුකරණයට මෙය බොහෝ සෙයින් ලන්ව ඇතැයි සිතීමට අසිරු නොවේ. එසේම මෙහිදී අටුවාවල ස්වරූපය දැනගත හැකිවීමද තවත් විශේෂතාවයකි. මේ අනුව බලන විට ඓතිහාසික මධ්‍යස්ථ භාවය මෙහි විශේෂයෙන් කැපී පෙනේ.
දීපවංශයේ දක්නට ලැබෙන තවත් වැදගත් කමක් නම් ලංකාවේ භික්ෂුණීන් පිළිබඳව ඓතිහාසික විමර්ශනයක් එයින් කිරීමට හැකිවීමයි. එය ශාසනික ප්රවනතාවය සඳහා මෙන්ම ඓතිහාසික ප්රවනතාවය විමසීම සඳහාද ඉතා වැදගත්වේ. දීපවංශයේ 18 වන පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම පාහේ වැය කොට ඇත්තේ භික්ෂුණීන්ගේ ඉතිහාසය ගෙනහැර දැක්වීමටය. ඒ හැරුණු විට වෙනත් පරිච්ඡේද වලද භික්ෂුණීන් පිළිබඳ තොරතුරු ඇතුලත්කොට ඇති අතර සංඝමිත්තා මෙහෙණින් වහන්සේ හා ඇගේ පසු කාලීන ශිෂ්‍ය පරම්පරාවන් පිළිබඳවද එම ස්ථවිරාවන්ගේ සුවිශේෂ කාර්ය්ය සාධනයන් පිළිබඳවද දක්වා තිබේ. මෙයින් ශාසනික ඓතිහාසිකත්වය මෙන්ම බෞද්ධ දර්ශනයේ යථාර්ථ සාධනයන් පිළිබඳව සොයා ගැනීමට හැකිවී තිබේ. මේ අනුව බලනවිට දීපවංශයේ ශාසනික හා ඓතිහාසික ප්රවනතාවයන් උගතුන්ගේ ඉමහත් ප්‍රසාදයට හේතු වී තිබේ.
මෙම පොත ලිවීමට අදහස්කළේ පුරාවිද්‍යාව හා ඉතිහාසය හදාරණ බොහෝ දෙනාගේ යහපත උදෙසාය. එසේම විශේෂ වේදී හා සාමාන්‍යවේදී ඉතිහාසය හදාරණ බොහෝ දෙනාට මූලාශ්‍රයක් වශයෙන් මෙයින් ඇතිවන ප්‍රයෝජනය ඉමහත් ය. උසස් පෙළ ඉතිහාසය හදාරණ ශිෂ්‍යන් මූලාශ්‍ර පරිශීලනය කෙරෙනුයේ ඉතා අල්පවය. එයට හේතුව ඔවුන් පාලි භාෂාව නොදැනීම නිසා මූලාශ්රයන් පිළිබඳව පරිශීලනය නොකර වැරදි තීරණවලට එළඹීමයි. මැදහත්ව සිතීමේ මූලික පදනම ඇතිවන්නේ නිවැරදි පරිශීලනය කිරීම මතය. එය සපුරා ගැනීමට මෙයින් ලැබෙන පිටුවහල ඉමහත්ය. ඓතිහාසික නිගමනයක වටිනාකම වැදගත්කම රැඳී පවතින්නේ එහි ඇති මධ්‍යස්ථ භාවය මත බව ඊ එච් කාර් පවසයි. එය සිදුකල හැක්කේ මූලාශ්‍ර නිවැරදිව පරිශීලනය කිරීමෙනි.
මෙම ග්‍රන්ථය සැකසීමට තරම් මා පාලි දැනුමින් පෝෂණය කරන ලද්දේ දෙල්ගොඩ කල්‍යාණි ප්‍රදීප විද්‍යායතන පිරුවන් කෘත්‍යාධිකාරී හා තත් පිරුවන් විහාරස්ථාධිවාසී සීනාධි සිව්කෝරළේ උපප්‍රධාන සංඝනායක පණ්ඩිත දරාණාගම සුගතපාලාභිධාන නායක ස්ථවිර පාදයන් වහන්සේට ගෞරවාභිවන්දනය හිමිවේ. මෙහිදී අවශ්‍ය පොත්පත් සපයා දීමෙන් උපකාර කළ වයඹ පළාත් පිරුවන් පරීක්ෂක විදුමිණ විද්‍යායතන පිරුවන් අධිවාසී ශාස්ත්‍රවේදී පණ්ඩිත ඩිප්ලෝමා ශාස්ත්‍රපති මාරතුගොඩ ධම්මානන්ද ස්ථවිරපාදයන් වහන්සේ සිහිපත් කරමි. මෙම කාර්යයේදී ශෝධුපත් පරීක්ෂා කිරීමෙන් උපකාර කළ උස්සාපිටිය සුධර්මාලංකාර විද්‍යායතන පිරුවන් කෘත්‍යාධිකාරී හා තත් පිරුවන් අධිවාසී ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති හඟුරන්කෙත ආනන්ද ස්ථවිරයන් වහන්සේට ද ගෞරව ප්‍රණාමය හිමිවේ.
මෙම ග්රන්ථයට පෙර වදනක් සපයා දුන් අප ඇදුරු සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය ඒ. වී. සුරවීර වියතාණන්ට මම මාගේ ගෞරවය පුදකරමි. එසේම තත් නි. අමාත්‍ය පෞද්ගලික ලේකම් ශාස්ත්‍රපති බොබී ජී. බොතේජු මහතාට ද මාගේ ස්තුතිය පිරිනැමේ. මෙහි පිටකවරය මූර්ති ශිල්පී මාරතුගොඩ එම්. ජී. පියතිස්සයන්ගේ ය. ඔහු විදුමිණ විද්‍යායතනයෙහි දීප්තිමත් ශිෂ්‍යයෙකි. ඔහුගේ තෙළිතුඩ ප්රතිරාවය දසත පැතිරේවා. තවද මෙම කටයුත්තේ දී ආචාර්ය කොටගම සරණතිස්ස හිමියන්ද මහනුවර සත්යෝදය අධ්‍යක්ෂක මණ්ඩලයේ ශාස්ත්‍රවේදී ලලිත් අබේසිංහ මහතාද සහයෝගය දැක්වූහ. එසේම සෑම අවස්ථාවකදීම මට සහාය දුන් මා සහායිකා චන්ද්‍රා කුමාරි හාමි දැක්වූ සහාය අපමණය.
නව ලේඛක පරපුරේ දිරිමතාණන් වූ එස්. ගොඩගේ මහත්මා මෙම ග්‍රන්ථය ප්‍රකාශ කිරීමෙහි ලා මහත් සුහදතාවයෙන් පිළිගන්නා ලදී. එතුමාට හා එතුමාගේ කාර්ය මණ්ඩලයට මගේ ගෞරව පූර්වක ස්තුතිය මෙයින් පිරිනැමේ.
චන්ද්‍රදාස කහඳවආරච්චි
සුධර්මාලංකාර පිරුවන් විද්‍යායතනය
උස්සාපිටිය.