සත්ත්වයකුහට නිකම්ම බ්‍රහ්මත්වයට පැමිණිය නො හේ. බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නට නම්, බ්‍රහ්ම ආත්ම භාවයක් හෙවත් බ්‍රහ්ම ස්කන්ධපඤ්චකයක් ලැබීමට නම් එයට නිසි පින් කළ යුතුය. නිකම් නොලැබිය හැකි බව, පිනින් ම ලැබිය යුතු බව බ්‍රහ්ම ස්කන්ධයන්ගේ සංඛත ස්වභාවයයි. සාමාන්‍ය මිනිසුන් කරන දාන ශීලාදි කාමාවචර කුශල බලයෙන් ද බ්‍රහ්ම ලෝකයට නො පැමිණිය හැකිය. බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැකි වනුයේ ධ්‍යානමය කුශලයෙනි. ඒ ධ්‍යාන කුශලය පහසුවෙන් උපදවා ගත හැකි කුශලයක් නොවේ. ධ්‍යානයක් ලැබිය හැකි වන්නේ, ගම් බිම් ගෙවල් දොරවල් අඹුදරුවන් නෑ මිතුරන් හැර දමා ජනයාගෙන් වෙන්ව අරණ්‍යාදි විවේක ස්ථානයකට එළඹ ලෙස බව දුරු කොට, නින්ද අඩුකොට, ආහාර පානාදිය දුරුකොට, ශීතලයෙන් උෂ්ණයෙන් මැස්සන් මදුරුවන්ගෙන් සාගින්නෙන් පිපාසයෙන් වන්නා වූ අමාරුකම් ගණන් නො ගෙන, ධ්‍යාන වැඩීම ම තමා අයත් ප්‍රධාන කටයුත්ත කරගෙන දීර්ඝ කාලයක් මුළුල්ලෙහි වීර්ය්‍ය කරන්නා වූ කෙනකුට පමණය. එසේ වීර්ය්‍ය කරන්නවුන් අතුරෙන් ද ඒ ධ්‍යානය ලැබෙන්නේ දහසකින් කෙනකුට පමණය. නවසිය අනූනව දෙනකුගේ උත්සාහය ව්‍යර්ථ වන්නේය.
ධ්‍යාන වඩන්නා වූ තැනැත්තකුට ධන ධාන්‍යාදි වස්තුව අතහැර දමන්නට වීමත් දුකෙකි. අඹු දරුවන් නෑයන් මිතුරන් අත්හැර දමන්නට වීමත් දුකෙකි. හුදකලා වාසයත් දුකෙකි. රිසි සේ ආහාර පාන නො ලැබීමත් දුකෙකි. ඒ අතර යම් යම් දේවල් නැති කමින් වන්නා වූ තවත් දුක් බොහෝය. නො නිදා භාවනාවෙහි යෙදීමත් දුකෙකි. ඉදින් බ්‍රහ්ම ස්කන්ධ පඤ්චකය ධ්‍යාන කුශල බලයෙන් නිපදවීමක් නැතිව, ඉබේ ම ලැබෙන දෙයක් උපදනා දෙයක් වේ නම් බ්‍රහ්මත්වය පතන්නා වූ තැනැත්තා හට ධ්‍යාන උපදවා ගැනීම සම්බන්ධයෙන් වන දුක් රාශිය විඳින්නට නො වන්නේය. ඒ පීඩා රාශිය නො ලැබෙන්නේය.
බ්‍රහ්මස්කන්ධ පඤ්චකය ධ්‍යාන කුශල බලයෙන් උපදවා ගත යුතු වූ සංඛත ධර්ම සමූහයක් නිසා ම බ්‍රහ්මව උපදින්නට බලාපොරොත්තු වන තැනැත්තාට ඒ දුක් රාශිය විඳින්නට වන්නේය. ඒ දුක් රාශිය බ්‍රහ්ම පඤ්චස්කන්ධ නිසා ම පැමිණෙන දෙයක් බැවින් එය බ්‍රහ්ම පඤ්චස්කන්ධය විසින් බ්‍රහ්ම පඤ්චස්කන්ධය පතන්නා වූ තැනැත්තාට කරන පීඩාවක් ම ය. යම් ධර්මයක් සත්ත්වයා හට මහත් වූ පීඩාවක් ගෙන දේ නම් පීඩා කරන්නා වූ පීඩා පමුණුවන්නා වූ ඒ ධර්මය යහපත් දෙයක් නොව දුඃඛයක් ම ය. එබැවින් ධ්‍යාන ඉපදවීම් වශයෙන් මහත් පීඩාවකට හේතු වන, මහත් වූ පීඩාවක් කරන්නා වූ ඒ බ්‍රහ්මපඤ්චස්කන්ධය දුඃඛයකි. මේ සංඛත ස්වභාවය නිසා බ්‍රහ්ම පඤ්චස්කන්ධය දුකක් වන ආකාරය යි.
ධ්‍යාන ඉපදවීමෙහි යෙදවීම් වශයෙන් සංස්කාර දුඃඛයෙන් සත්ත්වයා අනේකාකාරයෙන් ආදියෙහි පෙළා පසුව පහළ වූ බ්‍රහ්ම පඤ්චස්කන්ධයෙහි ස්කන්ධ පඤ්චකය මමය කියා ගැනීම් වශයෙන් පවත්නා වූ සත්කායදෘෂ්ටි ගින්නය, මගේ යයි ගැනීම් වශයෙන් පවත්නා වූ තෘෂ්ණා ගින්නය, බ්‍රහ්ම සම්පත්තියෙන් මත් වීම වූ මද ගින්නය, කුශල පක්ෂය අමතක වීම වූ ප්‍රමාද ගින්නය යනාදි කෙලෙස් ගිනි ජාලා ඇවිලෙන්නට වන්නේය. වරක් ඇවිළගත්තා වූ කෙලෙස් ගින්නක් ඒ සත්ත්වයාගේ සන්තානය ජාති බොහෝ ගණනක් යන තුරුත් දවන්නේය. කෙලෙස් ගින්න මී විෂ වැනි සෙමින් සන්තානය පෙළන දෙයකි. මී විෂ ශරීරගත වූ දා පටන් ම ඒ ශරීරය පෙළන නමුත්, ආදියෙහි ඒ බව නො දැනෙන්නේය. දැනෙන්නට වන්නේ කල්ගත වී අතිශයින් ශරීරය පෙළන්නට වන් විටය. එමෙන් ම ක්ලේශයන් විසින් කරන දැවීම ද පටන් ගැන්මෙහි නො දැනෙන්නේය. තෘෂ්ණා මානාදි කෙලෙස් සත්ත්වයාට පටන් ගැනීමේ දී සොඳ දේ සැටියට ම වැටහෙන්නේය. ඒවායේ රෞද්‍රවීමක් දැවීමක් ඇති බව සත්ත්වයාට වැටහෙනුයේ කෙලෙස් බලයෙන් නරකයට ගෙන ගොස් එහිදී දවන විටය. බ්‍රහ්ම සන්තානයෙන් පැන නගින්නා වූ තෘෂ්ණා මානාදි ක්ලේශාග්නීහු ඒ සත්ත්වයා අපායට ගෙන ගොස් දීර්ඝ කාලයක් දවන්නට තවන්නට සමර්ථයහ. දවන්නා වූ ක්ලේශාග්නීන්ගෙන් යුක්ත බව බ්‍රහ්මස්කන්ධ පඤ්චකයාගේ සන්තාප ස්වභාවය යි. සන්තාප ස්වභාවයෙන් යුක්ත බැවින් එය දුඃඛයකි.
බ්‍රහ්මාණුභාවය කොපමණ මහත් වුව ද, බ්‍රහ්ම සම්පත්තිය කොපමණ මහත් වුව ද, බ්‍රහ්ම ස්කන්ධ පඤ්චකය මහානුභාව සම්පන්න රූපාවචර ධ්‍යාන කුශල බලයෙන් උපන් දෙයක් වුව ද, එහි ද, බිඳී අභාවයට අවසානයට පැමිණීමක් ඇත්තේය. එය විපරිණාම ස්වභාවය යි. ඒ විපරිණාමය නිසා බ්‍රහ්මත්වයට පැමිණ සිටියහුට නැවත පහළ කාම ලෝකයට වැටෙන්නට සිදු වේ. සමහර විට කාම ලෝකයේ දී තව තවත් පහළට වැටෙන්නට සිදුවීමෙන් අවීචි මහා නරකයට පවා පැමිණිය හැකිය. ප්‍රේත ද විය හැකිය. ඌරකු, බල්ලකු, බළලකු, කපුටකු, මැස්සකු, මදුරුවකු, උකුණකු, මකුණකු බවට ද පැමිණිය හැකිය. බ්‍රහ්මත්වයේ සිටි තැනැත්තා හට එසේ ම සිටින්නට ඉඩ නොදී පහතට හෙලීම වනාහි බ්‍රහ්ම ස්කන්ධයන්ගේ විපරිණාම ස්වභාවය විසින් කරන පීඩනයකි. මෙ පමණ මහත් පීඩනයක් කරන විපරිණාම ස්වභාවය ඒ බ්‍රහ්ම ස්කන්ධයෙහි ඇති කල්හි කෙසේ නම් එය දුඃඛයක් මිස යහපත් දෙයක් වේද? නො වේ ම ය. මේ විපරිණාම ස්වභාවයාගේ වශයෙන් බ්‍රහ්ම ස්කන්ධයන්ගේ දුඃඛත්වය දැක්වීම ය. මෙසේ බ්‍රහ්ම ස්කන්ධයෝ පීඩන ස්වභාවය, සංඛත ස්වභාවය, සන්තාප ස්වභාවය, විපරිණාම ස්වභාවය යන දුඃඛ ස්වභාව අතරින් ම යුක්ත වන බැවින් දුඃඛ සත්‍යයට අයත් වන්නාහුය.