සිතට දැනෙන්නා වූ සිතින් දත හැක්කා වූ සියල්ලට අරමුණු යයි කියනු ලැබේ. අරමුණු අතුරෙන් ශෝභන ස්ත්‍රී පුරුෂ රූප, ඇඳුම් පැළඳුම්, ගෙවල්, ඇඳ පුටු මේස, භාජන-ශබ්ද-රසවත් ආහාර පාන, සුවඳ ද්‍රව්‍ය යනාදීන්හි අරමුණු කරන්නා වූ සිත පිනවන ස්වභාවයක් ඇත්තේ ය. මළකුණු, මලමුත්‍ර, ලේ සැරව, කෙළ සොටු ආදි වස්තූන්හි අරමුණු කරන සිත, රිදවන ස්වභාවයක් ඇත්තේ ය. වෘක්ෂ, පර්වතාදි ඇතැම් වස්තූන්හි, අරමුණු කරන සිත මධ්‍යම ස්වභාවයෙන් පවත්වන ස්වභාවයක් ඇත්තේය. අරමුණුවල ඇත්තා වූ, ඒ සිත පිනවන්නා වූ ද, මැදහත්ව පවත්නා වූ ද, ස්වභාවයන්ට ආරම්මණ රසය යි කියනු ලැබේ. යම් කිසිවක් අරමුණු කොට, සිතක් උපන් කල්හි ඒ ඒ අරමුණට අයත් වූ යහපත් වූ හෝ අයහපත් වූ හෝ මධ්‍යම වූ හෝ රසය ගන්නා වූ ස්වභාවයක් ද, සෑම සිතක් සමග ම උපදනේ ය. එයට වේදනාවය යි කියනු ලැබේ.
එය එක් චෛතසික ධර්මයකි. එයට ආරම්මණයා ගේ ඉෂ්ටාකාරය - ඉෂ්ට රසය ගන්නා කල්හි සුඛ වේදනාව යයි ද, අනිෂ්ටාකාරය ගන්නා කල්හි දුඃඛ වේදනාව යයි ද, මධ්‍යස්ථාකාරය ගන්නා කල්හි උපේක්ෂා වේදනාව ය යි ද කියනු ලැබේ. නොයෙක් අයුරින් ඇති වන්නා වූ වේදනා සමූහයට වේදනා ස්කන්ධ යයි කියනු ලැබේ. ගිනිපෙට්ටියෙහි ගිනිකූරු ඇතිල්ලීමෙන් ගිනි හටගන්නාක් මෙන්, වේදනාවෝ චක්ෂුරාදී ද්වාරයන්හි රූපාදි ආරම්මණ ගැටීමෙන් හටගනිති. එබැවින් ද්වාරයන්ගේ වශයෙන් වේදනාස්කන්ධය දක්වනු පිණිස -
“කතමා ච භික්ඛවෙ! වෙදනා? ඡයිමේ භික්ඛවෙ වෙදනා කායා, චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොත සම්ඵස්සජා වෙදනා, ඝාණසම්ඵස්සජා වෙදනා, ජිව්හා සම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනො සම්ඵස්සජා වෙදනා, අයං වුච්චති භික්ඛවෙ වෙදනා”
යනු වදාරන ලදි. “මහණෙනි! වේදනා තොමෝ කවරීද? චක්ඛුසම්ඵස්සජ වේදනාවය, සෝත සම්ඵස්සජ වේදනාවය, ඝාණ සම්ඵස්සජ වේදනාවය, ජිව්හා සම්ඵස්සජ වේදනාවය, කායසම්ඵස්සජ වේදනාවය, මනෝසම්ඵස්සජ වේදනාවය යන මේ සය වේදනාවයයි කියනු ලැබේ.” යනු එහි තේරුම යි.
චක්ඛුසම්ඵස්සජ වේදනාදි වශයෙන් වේදනා සයක් වන බව මෙයින් ප්‍රකාශිත ය. චක්ඛුසම්ඵස්සජ වේදනාවය යනු ඇසට රූපයක් හමු වූ කල්හි රූපය ඇසෙහි ගැටීමෙන් හටගන්නා වූ වේදනාවය, හෙවත් ඇසෙහි ගැටුණු රූපය දැන ගන්නා වූ සිත හා උපන් ආරම්මණ රසය විඳින්නා වූ ධර්මයයි. සෝතසම්ඵස්සජ වේදනාදිය ද මේ නයින් දතයුතු.
සාමාන්‍ය පුද්ගලයන් විසින් සැපය යි ද දුකය යි ද සලකනු ලබන්නේ මේ වේදනාව ම ය. ඔවුන් සැපයයි සලකන දේවල් අතර මේ සුඛවේදනාවට වඩා උතුම් දෙයක් නැත්තේය. එබැවින් අන් හැමට ම වඩා සත්ත්වයා සුඛවේදනාවට ඇලුම් කරන්නේය. සුඛ වේදනාව සත්ව සන්තානයෙහි ඉබේට ම උපදින දෙයක් නො වන බැවින්, සුඛවේදනාවේ උත්පත්තියට හේතුවන ආහාර පාන, ඇඳුම් පැළඳුම්, යාන වාහන, ගෙවල් මිල මුදල් ආදියට ද, සත්ත්වයා දෙවැනි කොට ඇලුම් කරයි. ඉදින් සුඛවේදනාව ඉබේ ම උපදින්නී නම් ඒ කිසිවකට සත්ත්වයා ඇලුම් නො කරන්නේ ය. ඒ කිසිවක් ලබන්නට ද උත්සාහ නො කරන්නේ ය.
සත්ත්වයන් විසින් සොයන සෑම දෙයක් ම සොයන්නේ මේ සුඛ වේදනාව පිණිස ම ය. දුඃඛ වේදනාවට පමණ සත්ත්වයා බියවන අන් කිසිවක් ද නැත්තේ ය. සත්ත්වයා සතුරන්ට බිය වන්නේත්, රෝගයන්ට බිය වන්නේත්, දඬුමුගුරුවලට සිර ගෙයට අපායට බිය වන්නේත්, දුඃඛ වේදනාවට බිය නිසා ම ය. එබැවින් වේදනාව සාමාන්‍යයෙන් එකක් වුව ද, ඉතා මහත් කොට ගන්නා දෙයක් බැවින් තථාගතයන් වහන්සේ විසින් ස්කන්ධ වශයෙන් ධර්මයන් බෙදීමේ දී වේදනාව එක් ස්කන්ධයක් කොට වදාරන ලද්දේ ය.