මරණය වනාහි ක්ෂණික මරණය, සංවෘත මරණය යයි දෙ වැදෑරුම් වේ. ක්ෂණයක් පාසා සිදුවන නාම රූපයන්ගේ බිඳීම ක්ෂණික මරණය නමි. පරම්පරා වශයෙන් පැවත එන ස්කන්ධ සමූහයක හෙවත් සත්ත්වයකුගේ ජීවිතේන්ද්‍රියය සිඳී යාම සංවෘත මරණය නමි. ලෝකයේ “මිනිසා මළේය, ළමයා මළේය, ගොනා මළේය,” යනාදීන් කියනු ලබනුයේ ඒ සංවෘත මරණය යි. මේ මරණ දෙක ම දුක් ම වන නමුත් මේ ආර්‍ය්‍ය සත්‍ය කථාවෙහි අදහස් කරනුයේ සංවෘත මරණය යි.
එය ද ආයුක්ෂය මරණය, කර්මක්ෂය මරණය, උභයක්ෂය මරණය, උපච්ඡේදක මරණය යි සිව් වැදෑරුම් වේ. ඒ ඒ ජාතිවලට අයත් සත්ත්වයන් හට ජීවත් විය හැකි කාල ප්‍රමාණයක් ඇත්තේය. ඒ කාල ප්‍රමාණයට ආයුෂයයි කියනු ලැබේ. ඒ කාලය ගෙවෙත් ම ශරීරය දිරා යාමෙන් ඉන් ඔබ්බට ජීවත් විය නො හැකි ව සත්ත්වයෝ මිය යති. ඔවුන්ගේ ඒ මරණයට ආයුක්ෂය මරණය යයි කියනු ලැබේ. අතීත කර්මය ද සත්ත්වයාගේ ජීවත්වීමට එක හේතුවකි. බලවත් වූ කර්මයෙහි සත්ත්වයා බොහෝ කල්හි ජීවත් කරවන ශක්තියක් ඇත්තේ ය. දුර්වල කර්මයන් කෙරෙහි බොහෝ කල් ජීවත් කරවන ශක්තියක් නැත්තේ ය. එබැවින් දුර්වල කර්මවලින් උපන් සත්ත්වයෝ පහන් වැටිය නිරුපද්‍රිතව තිබියදී, වැසි සුළං ආදී බාහිර උපද්‍රවයකුදු නැතිව, තෙල් ඉවර වීම නිසා නිවී යන්නා වූ පහන් මෙන් ආයුෂය ඉදිරියට තිබියදීම කර්ම ශක්තිය ගෙවීමෙන් මිය යෙති. ඒ මරණය කර්මක්ෂය මරණය නමි. ඇතැමෙක් ආයුෂය හා කර්ම ශක්තිය එකවර ගෙවී යාමෙන් මිය යෙති. එය උභයක්ෂය මරණය නමි. ඇතැමෙක් ආයුෂය කර්මය යන දෙක ම තිබිය දී හදිසියෙන් පැමිණෙන්නා වූ රෝගාදි යම්කිසි හේතුවකින් මිය යෙති. එය උපච්ඡේදක මරණ නමි.
ජීවිතේන්ද්‍රියයාගේ සිඳීම් මාත්‍රය රිදුමක් නො වෙතත් මේ සතර ආකාරය අතුරෙන් කවර ආකාරයකින් වුව ද මැනේනා වූ සත්ත්වයා හට මරණය වනුයේ ඔහුගේ සිත කය දෙක ම මහත් රිදුම් රාශියක් ඇතිකොට අන්තිමේදී ය. එබැවින් මරණය මහත් වූ දුකෙකි. මරණය ළං වූ කල්හි මැරෙන සත්ත්වයාගේ ශරීරයෙහි වාතාදි දෝෂයන් නයින් සේ කිපී පොලු වලින් තලන්නාක් මෙන් ද, පිහිය වලින් පලන්නාක් මෙන් ද, හුල් වලින් අනින්නාක් මෙන් ද, ශරීරය ඒ මේ අත පෙරළ පෙරළා පොඩි කරන්නාක් මෙන් ද, ගින්නේ දවන්නාක් මෙන් ද, අත් පා ගලවන්නාක් මෙන් ද, ඇඟ මස් ගලවන්නාක් මෙන් ද, ශරීරය පෙළන්නට වන්නාහු ය. මරණය ළංවත් ම විශේෂයෙන් ම ඝන වූ සෙම නැගී අවුත් ළය තද කරන්නේ ය. ආශ්වාස ප්‍රශ්වාස මාර්ගය අවුරන්නේය. එයින් මැරෙන්නා වූ තැනැත්තා හට ආශ්වාස ප්‍රශ්වාස කිරීම ඉතා අමාරු වන්නේය. මේ තද වීම නිසා ඔහුට ඉතා මහන්සියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්නට සිදුවන්නේය. භයානක හඬක් නංවමින් ඉතා අමාරුවෙන් ඒ අවස්ථාවේ දී කරන ආශ්වාස ප්‍රශ්වාසයට පණ ඇදීමය යි කියති. සෙම නැගී අවුත් ආශ්වාස ප්‍රශ්වාස මාර්ගය ආවරණය කළ කල්හි සත්ත්වයාහට වන්නා වූ වේදනාව ඉතා මහත් වූවකි.
අනේපිඬු මහ සිටාණන් මරණ මඤ්චකයෙහි සැතපෙන අවස්ථාවෙහි එතුමන් දක්නට ආනන්ද ස්ථවිරයන් වහන්සේ හා ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද වැඩි සේක. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සිටාණන් ගෙන් සුවදුක් විචාළහ. එකල්හි සිටාණෝ “ස්වාමීනි ශාරිපුත්‍රයන් වහන්ස, බලවත් පුරුෂයකු විසින් මිටියකින් ගසන්නාක් මෙන් මාගේ හිස වාතයෙන් පෙළන්නේය. බලවත් පුරුෂයකු විසින් වරපටකින් තද කොට වෙළන්නාක් මෙන් මාගේ හිස වාතයෙන් තද වන්නේය. දක්ෂ වූ ගව ඝාතකයන් විසින් ගෙරි මස් කපන තියුණු සැතකින් කපන්නාක් මෙන් මාගේ කුසය රිදෙන්නේය. බලවත් පුරුෂයන් දෙදෙනකු විසින් දුර්වල පුරුෂයකු දෑතින් අල්වා ගෙන ගිනි අඟුරු වළෙක ලා පෙරළා තවන්නාක් මෙන් දැවෙන්නේය” යි කීහ. අනේ පිඬු මහ සිටාණන් වැනි පින්වතුන් හට මරණ දුක්ඛය මෙපමණ මහත්ව යන කල්හි සෙස්සන්ට මරණාසන්නයේ දී මහත් වූ දුකක් වීම ගැන කියනුම කිම?
අපමණ ශාරීරික වේදනාවලින් පෙළෙන්නා වූ සත්ත්වයා හට මේ අවස්ථාවෙහි දී මරණය ගැන මහත් වූ භයක් ද හට ගන්නේය. ඒ භය තරම් විශාල වූ අන් භයක් නැත්තේය. අති රෞද්‍ර වූ ඒ මරණය ගිනි කඳක් හෘදයට වැද යන කලෙක මෙන් සත්ත්වයාගේ සිත දවන්නේය. ශාරීරික දුඃඛ වේදනාවලින් අතිශයින් තැවෙමින් දෙවියන් සිහිවී සිටින සත්ත්වයා පව් කළ කෙනෙක් වී නම්, මේ අවස්ථාවෙහි ඔහුට තවත් මහත් වූ බියක් එළඹෙන්නේ ය. මේ අවස්ථාවෙහි දී ඔහුට කර්මය විසින් ම නරකය දක්වනු ලබන්නේය. ඔහුට මහා ගිනි ජාලාවක් තමන් වැළඳ ගැනීමට තමා දෙසට බුර බුරා නැග එන්නාක් මෙන් පෙනෙන්නේය. රෞද්‍ර වූ යම රකුසන් තමා ඇදගෙන යන්නට එන්නාක් මෙන් පෙනෙන්නේය. මේවා දක්නා කල්හි භයින් තැති ගන්නා වූ ඒ සත්ත්වයා හට මල මුත්‍ර පවා පහ වන්නේය.
සුගති දුර්ගති දෙක්හි ම උපදින සත්ත්වයන්ට මේ අවස්ථාවෙහි දී ඇතිවන තවත් මහත් දුකක් නම් ප්‍රිය වස්තූන්ගෙන් හා ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වීමෙන් වන ශෝකයයි. මැරෙන්නා වූ සත්ත්වයා හට මරණයෙන් තමා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ආදරයෙන් ආරක්ෂා කරගෙන සිටියා වූ මිල මුදල් ගෙවල් දොරවල් ආදියෙන් වෙන් වන්නට, ප්‍රිය වූ අඹුදරුවන් ගෙන් නෑයන්ගෙන් මිතුරන්ගෙන් වෙන් වන්නට සිදුවේ. මෙය ද ඔහුට ඉවසිය නො හෙන දුකකි. තමාගේ අඹු දරු ආදීන්ගෙන් එක් කෙනකු නැති වූ විට ද, දවස් ගණනක් හඬන්නා වූ මාස ගණනක් අවුරුදු ගණනක් ශෝක කරන්නා වූ පුද්ගලයකුට සියල්ලෙන් ම වෙන් වීම කෙසේ නම් ඉවසිය හැකි වන්නේද? නො වන්නේ ම ය. මේ වෙන් වීම ගැන මරණාසන්න සත්ත්වයාට වන චිත්තසන්තාපය ළය තුළට මහ ගිනි කඳක් වැද දවන කලක් වුවහොත් එබඳු කලෙක වන දුක හා සමාන වන්නේ ය. මෙසේ සිත කය දෙකට ම මහත් වූ දුක් රාශියක් ගෙන දෙන බැවින් ජීවිතේන්ද්‍රියය සිඳීම වූ මරණය සත්ත්වයා හට අන් සියල්ලට ම මහත් වූ දුක වන්නේ ය. එබැවින් සත්ත්වයෝ අන් හැම දෙයට ම වඩා මරණයට බිය වන්නාහු ය. මරණයෙන් ගැලවීම සඳහා අන් සියල්ල ම පරිත්‍යාග කරන්නාහු ය.