මිනිසත් බව හෙවත් මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය ද දාන ශීලාදි පින්වලින් ම ලැබිය යුත්තකි. නිකම් ම ලැබෙන දෙයක් නො වේ. පින් කොට උපදවා ගත යුතු බව ලබා ගත යුතු බව මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකයේ සංඛත ස්වභාවයයි. ඒ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය මඳ පිනකිනුදු ලැබිය හැකි බැවින් ලබා ගැනීම පිළිබඳ සංස්කාර දුඃඛය, දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධ සම්බන්ධයෙන් වන සංස්කාර දුඃඛය පමණ බරපතල නො වේ. ලැබීම අමාරු මුත් ලැබීමෙන් පසු දිව්‍යබ්‍රහ්ම ස්කන්ධයන් විෂයෙහි කිය යුතු තරමට සංස්කාර දුඃඛයක් නැත. එහෙත් මනුෂ්‍යස්කන්ධ පඤ්චකය නිතර ම සංස්කරණය කළ යුතු නිතර ම අලුත් කළ යුතු දෙයක් බැවින් උපන් පසු ද ඒ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය පිළිබඳ සංස්කාර දුඃඛය මරණය දක්වා ඇත්තේය. එය බරපතල දුකෙකි.
මනුෂ්‍ය ශරීරය හෙවත් රූපස්කන්ධය වහ වහා ගෙවි ගෙවී යන දුබල දෙයකි. එය නිතර ම ආහාර පානාදිය කරණකොට අලුත්වැඩියා කළ යුතුය. ආහාරයෙන් එක් වරක් කරන සංස්කරණය දවසකුදු නො පවත්නේය. එබැවින් මනුෂ්‍යයා ශරීරය පවත්වා ගැනීමට දවසට කීපවිටක් ආහාර ගත යුතුය. ආහාරයෙන් කෙරෙන අනුග්‍රහය නො කෙරුණහොත් මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය බිදෙන්නේය. නැසෙන්නේය. ආහාර සෙවීම සම්බන්ධයෙන් මනුෂ්‍යයාට වන්නා වූ යම් කරදරයක් දුකක් වේ නම් එය සිදුවන්නේ ශරීරයේ නැවත නැවත අළුත් කළ යුතු බව වූ සංඛත ස්වභාවය නිසාය. ශරීර පෝෂණය සඳහා එක් බත් හුලක් ඇති කර ගැනීමට මනුෂ්‍යයා හට දහස් වරක් වෙහෙසෙන්නට සිදු වේ.
ලබන අවුරුද්දේ බත ඇති කර ගැනීමට මේ අවුරුද්දේ පටන් වෙහෙසිය යුතුය. ලබන අවුරුද්දේ බතට ගොවියා විසින් මේ අවුරුද්දේ දී ම බිත්තර වී සකස් කර ආරක්ෂා කර තැබිය යුතුය. වපුරන කාලය ළං වූ කල්හි සී සෑම් ආදියෙන් කුඹුරු සකස් කළ යුතුය. පෝර යෙදිය යුතුය. ඉක්බිති වී වැපිරිය යුතුය. විය පැළවූ තැන් පටන් මාස ගණනක් එය ආරක්ෂා කළ යුතුය. පැසුණු කල්හි කැපිය යුතුය. ඉක්බිති පෑගිය යුතුය. පාගා නැවත ශුද්ධ කළ යුතුය. ශුද්ධ කොට, ගෙවලට ගෙන ගොස් අටු කොටු ආදියෙහි ලා විය ආරක්ෂා කළ යුතුය. නැවත වී තම්බා වියළා කෙටිය යුතුය. පෙළිය යුතුය. සහල් වූ කල්හි සෝදා සැලියෙහි ලා දර සොයා ගිනි මොළවා පිසිය යුතුය. මෙසේ එක් එක් වැඩක් සඳහා සිය ගණන් වාර දහස් ගණන් වාර වෙහෙසිය යුතුය.
මෙතෙක් වෙහෙසී සැපයූ බත ඒ පමණකින් වැළඳිය හැකි ද නොවේ. එය වැළඳිය හැකි වීමට තවත් ව්‍යඤ්ජන පිළියෙල කළ යුතුය. ඒ සඳහා ද බොහෝ වෙහෙසිය යුතුය. තමා විසින් ම ආහාරපාන නො සපයන්නන් විසින් ආහාර පාන සඳහා මුදල් ලබා ගැනීමට නොයෙක් කර්මාන්ත කළ යුතුය.
ආහාර පානයෙන් පමණක් ද මේ මිනිස් සිරුර පැවැත්විය හැකි නො වන්නේ ය. එය පැවැත්වීමට වස්ත්‍ර ද වුවමනාය. වාසය කිරීමට ගෙවල් ද වුවමනා ය. ගෙවල්වලට අනේක උපකරණ ද වුවමනා ය. මනුෂ්‍ය ශරීරය පවත්වා ගැනීමට ඒ සියල්ල සැපයීමට ද බොහෝ වෙහෙසිය යුතුය. මනුෂ්‍යයා හට මේ ස්කන්ධ පඤ්චකය පවත්නා තුරු ම එය නැවත නැවත අළුත්වැඩියා කර ගැනීමට ආහාරපාන වස්ත්‍ර වාසස්ථාන සැපයීම සඳහා වෙහෙසීමට සිදුවන්නේය. ඒ වෙහෙසීම් සියල්ල ම මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකයාගේ නැවත නැවත අලුත් කළ යුතු බව වූ සංඛත ස්වභාවය නිසා වන්නා වූ දුඃඛයෝ ය. මෙය මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය පිළිබඳ වූ සංඛත දුඃඛයයි.
දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයන්හි මෙන් නොව මනුෂ්‍ය ලෝකයෙහි සන්තාප දුඃඛය ද ඉතා මහත් ම ය. මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය පටන් ගැන්මේ පටන් අවසානය දක්වා ම සෑම අවස්ථාවකදී ම අනේක සහස්‍ර දුඃඛයන්ගෙන් තවනු ලැබේ. පටන් ගැන්මේදී මනුෂ්‍යයා හට ඉතා අවහිර වූ මව් කුස විසීම ද මහත් වූ දුකකි. මව් කුසින් බිහිවීම ද ඊටත් වඩා රෞද්‍ර දුකකි. බිහිවී දීර්ඝ කාලයක් ගත වන තුරු ම අනුන්ගේ උපකාරයෙන් ම ජීවත්විය යුතු වූ පරම දුර්වලයෙකුව සිටීම ද මහා දුකකි. මිනිස් ශරීරය කොතරම් ආරක්ෂා කළත් අනේකප්‍රකාර රෝග එහි හටගන්නේය. එද මහත් දුකකි. කොපමණ පවිත්‍ර කළත් එය නැවත අපවිත්‍ර වන්නේය. එද මහත් දුකකි. මිනිස් සිරුර ශීත සෘතු, ශීත ප්‍රදේශවලදී ශීතයෙන් පෙළනු ලැබීම ද දුකකි. උෂ්ණ සෘතු, උෂ්ණ ප්‍රදේශවලදී උෂ්ණයෙන් පෙළනු ලැබීම ද දුකකි. උකුණන් මකුණන් මැස්සන් මදුරුවන් කුහුඹුවන් දිමියන් කඩියන් සර්පයන් විසින් සපනු ලැබීම ද දුකකි. රජුන් විසින් සොරුන් විසින් සතුරන් විසින් වස්තු පැහැර ගනු ලැබීම ද දුකකි. අනුන්ගෙන් නින්දා ලබන්නට වීම ද දුකකි. ගැහුම් කන්නට ලැබීම ද දුකකි. සොරුන් හා සතුරන් හා සටන් කරන්නට වීම ද දුකකි. සතුරන්ට අසුවීම හා සතුරන් යටතට පත්වීම ද දුකකි.
අඹු දරුවන් පෝෂණය කිරීම පිළිබඳ දුක් ද අනන්තය. නෑයන් මිතුරන්ගේ වැඩ ගැන ඇති දුක් ද බොහෝ ය. ගම රට ජාතිය පිළිබඳ කළ යුතු වැඩ ගැන ඇති දුක් ද බොහෝ ය. රාජකාර්‍ය්‍යයන් ඉටුකිරීම පිළිබඳ දුක් ද බොහෝය. මනුෂ්‍යයා හට සමහර විටෙක අහසේ සිට බෝම්බ හෙලන්නා වූ ද, කාලතුවක්කු යන්ත්‍ර තුවක්කු ආදියෙන් දරුණු ලෙස පහර දෙන්නා වූ ද, මොහොතක් තුළ දහස් ගණන් ජනයා මැරී වැටෙන්නා වූ ද මහා සංග්‍රාම භූමීන්ට ද වැද සටන් කරන්නට ද සිදු වන්නේ ය. බෝම්බ හෙළමින් වෙඩි තබමින් දුටුවන් මරමින් ගෙවල් ගිනි තබමින් ගම් පාළු කරමින් සතුරු යුදසෙන් එන කල්හි ගේ දොර හැර දමා වස්තුව හැර දමා හිස් ලූලූ අත පලා යන්නට සිදුවීම ද මහත් දුකෙකි.
එසේ පලා යන්නට සිදු වූ අවස්ථාවලදී වාසයට ගෙයක් නැතිව සයනය කිරීමට පැදුරක් කොට්ටයක් පවා නැතිව, ආහාරයක් නැතිව කල් යවන්නට සිදුවීමත් නො ඉවසිය හැකි දුකකි. යම්කිසි වරදක් කෙළේ යයි කියා අල්වා තැළීම ද සිරකොට තබා බලහත්කාරයෙන් වැඩ කරවනු ලැබීම ද දුකෙකි. තමා වරදක් නො කොට අනුන් කළ වරදවලට අසු වී සිර ගෙවල්වල වැටීම හා මරණු ලැබීම නො ඉවසිය හැකි දුකෙකි. තමාගේ අඹුවන් දරුවන් සහෝදරයන් සහෝදරියන් නෑයන් මිතුරන් අල්වා ගෙන ගොස් ඔවුනට දඬුවම් කරනු බලා සිටීම ද නො ඉවසිය හැකි දුකෙකි. ණය වී මුදල් නැතිව සිටින විට ණය හිමියන් පැමිණ මුදල් ඉල්ලා කරදර කිරීම ද දුකෙකි. ණය ගෙවා ගත නුහුණු කල්හි ණය හිමියන් විසින් පන්නා දමා ගෙවල් දොරවල් අයිතිකර ගැනීම ද නො ඉවසිය හැකි දුකෙකි. අඹු දරුවන් සමඟ මගට බසින්නට වීම ද දුකෙකි.
හදිසියෙන් හට ගන්නා වූ මහ ගිනි වලට අසුවීම ද දුකෙකි. ගම් නියම් ගම් යටකර ගලා යන මහා ජලස්කන්ධයන්ට අසුවීම ද දුකෙකි. දුර්භික්ෂ කාල එළඹ නිරාහාරව සිටින්නට වීම ද දුකෙකි. යම්කිසි විපතක ලකුණු දුටු කල්හි හටගන්නා සිත් තැවීම ද දුකෙකි. තමහට වුවමනා දෑ ලබාගන්නට නො හැකිවීම ද දුකෙකි. නො දැනීම නිසා හෝ යම් යම් අඩු පාඩු පිරිමසා ගැනීමට හෝ පව් කරන්නට සිදුවීම ද දුකෙකි. ෂඩ්ද්වාරයෙන් වැද දැල්වෙන රාගාදි කෙලෙස් ගිනි වලින් දැවීම ද දුකෙකි. ප්‍රිය වස්තූන්ගෙන් ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වීම ද දුකෙකි. මේ කියන ලද්දා වූ දුක්වලින් ද මෙහි නො කියවුණු තවත් දුක්වලින් ද මනුෂ්‍යස්කන්ධ පඤ්චකය පවත්නා තෙක් ම දැවෙන්නේය. තැවෙන්නේය. මේ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය පිළිබඳ වූ සන්තාප ස්වභාවය යි.
දිව්‍ය බ්‍රහ්මයන්ගේ ස්කන්ධයන්ට මෙන් නොව මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකයට විපරිණාමය හෙවත් විනාශය ද වහා පැමිණෙන්නේ ය. මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය ඉතා දුබල දෙයකි. කෝප වූ කල්හි දිවි නසන්නා වූ සතුරෝ මනුෂ්‍යයාගේ ශරීරය තුළ ද බොහෝය. ඔවුහු අවට ද පිරී පවතිත්. ශරීරාභ්‍යන්තරයෙහි වූ වාතය කිපීමෙන් ද මනුෂ්‍ය ජීවිතය ඇසිල්ලක දී විනාශ වී යා හැකිය. පිත කිපීමෙන් ද විනාශ වී යා හැකිය. සෙම කිපීමෙන් ද විනාශ වී යා හැකිය. ශරීරයෙහි ඒ ඒ තැන්වල වෙසෙන පණුවන්ගේ කෝපයෙනුදු ජීවිතය විනාශ විය හැකිය. ශරීරයෙහි වූ පෘථිවි ධාතුව කිපීමෙන් ද ජීවිතය විනාශ විය හැකිය. ආපෝ ධාතුව කිපීමෙන් ද විනාශ විය හැකිය. තේජෝ ධාතුව කිපීමෙන් ද විනාශ විය හැකිය. වායෝ ධාතුව කිපීමෙන් ද විනාශ විය හැකිය. බත්පැන් නොලැබීමෙන් ද විනාශ විය හැකිය. ජීවිතයාගේ පැවැත්මට අතිශය උපකාරක දෙය වූ ආහාරය කරණකොට ගෙන ද විනාශ විය හැකිය. මේ වා පිත් සෙම් ආදිය මනුෂ්‍ය ශරීරාභ්‍යන්තරයෙහි ම පවත්නා වූ ජීවිත නාශක සතුරෝ ය.
මනුෂ්‍යයා අවට සිටින්නා වූ අවිඤ්ඤාණක වූ ද, සවිඤ්ඤාණක වූ ද සතුරන්ගේ ප්‍රමාණයක් ද නැත්තේය. දිය ගිනි සුළන් ගල් මුල් හුල් කටු විෂ ආදිය මනුෂ්‍යයා අවට පවත්නා වූ අවිඤ්ඤාණක සතුරෝ ය. සමහර විටෙක උතුම් පිහිටක් කොට සලකාගෙන සිටින ගෙය පවා මිනිසා නසන සතුරෙකි. දිය ගොඩ දෙක්හි හැසිරෙන යම් පමණ කිඹුල්, මෝරු, සර්ප, සිංහ, ව්‍යාඝ්‍ර, අලි, වලස් ආදි නපුරු සත්ත්වයෝ වෙත් ද ඔවුහු සියල්ලෝ ම මනුෂ්‍යයන්ගේ සතුරෝ ය. යක්ෂ ප්‍රේතාදි අදෘශ්‍යමාන සතුරෝ ද බොහෝ ය. මනුෂ්‍යයා ම ද මනුෂ්‍යයා හට පරම සතුරෙකි. එක් එක් මනුෂ්‍යයකු හට මනුෂ්‍යයන්ගෙන් ඉතා ටික දෙනකු හැර අන් හැම දෙන ම සතුරෝ ය. ඔවුන් විසින් කිසි විනාශයක් නො කරන්නේ මිත්‍රත්වයක් නිසා නොව සතුරුකම් කිරීමට අනවකාශ නිසා ය. නෑයන් මිතුරන් හැටියට සලකාගෙන සිටින ටික දෙනා ද සමහර විටෙක සතුරු ද වෙති. එබැවින් ලෝකයෙහි දරුවන් විසින් මව්පියන් නැසීම ද, මව්පියන් විසින් දරුවන් නැසීම ද, සහෝදර සහෝදරියන් විසින් සහෝදර සහෝදරියන් නැසීම ද, අඹුවන් විසින් සැමියන් නැසීම ද, සැමියන් විසින් අඹුවන් නැසීම ද නොයෙක් විට සිදු කෙරේ.
මෙසේ ඇතුළත පිටත දෙක්හි ම බොහෝ සතුරන් ඇති මිනිස් ජීවිතය තණ අග පිනි බිඳක් වැනිය. දිය බුබුලක් වැනිය. එය විනාශ නො විය හැකි දිනයක් පැයක් මොහොතක් නැත. විනාශය නොවිය හැකි යයි කිය හැකි අවස්ථාවක් ද නැත. මෙලොව එළිය නො දැක ම මව්කුස තුළදී ම ද මනුෂ්‍යයා මිය යන්නේ ය. මව් කුසයෙන් බිහිවීමේ දී ද මිය යන්නේ ය. බිහි වී දින ගණනකින් ද මිය යන්නේ ය. මාස ගණනකින් ද මිය යන්නේ ය. ළමා කාලයේ දී ද මිය යන්නේය. තරුණ කලදී ද මිය යන්නේය. මේ කාලයේ දී අන්තරායක් නැත යයි සැනසී සිටීමට කාලයක් මනුෂ්‍යයා හට නැත්තේය. එය මහත් දුකෙකි.
අඹු දරු ආදි තමන්ගේ ප්‍රියයන්ගේ විනාශයෙන් ශෝක කරන්නට කදුළු වගුරවන්නට සිදුවන අවස්ථා ද මනුෂ්‍යයා හට බොහෝ ය. ප්‍රියයන් අතුරෙන් යම් කිසිවකුට මරණය වේය යි සැක කිරීමට කරුණක් පැමිණි කල්හි ද මහත් වූ චිත්ත දුඃඛයක් වන්නේය. තමාගේ ජීවිතයට හානියක් වේය යි සිතිය හැකි කරුණක් පැමිණි කල්හි වන්නා වූ භයත් සෝකයත් මහත් වූ දුකෙකි. ඒකාන්තයෙන් ම ජීවිතය නැසෙන බව දැනගත හොත් ඒ අවස්ථාවෙහි හට ගන්නා වූ භය හා ශෝකය මුළු ශරීරය ම දා යන තරම් ය. ශරීරයෙහි හට ගන්නා වූ මාරාන්තික වේදනාව ද මහා දුකෙකි.
මනුෂ්‍යස්කන්ධ පඤ්චකයාගේ මේ විපරිණාමය නිසා මනුෂ්‍යව සිටි සත්ත්වයා හට විටෙක උකුණකු මකුණකු පණුවකු ඌරකු බල්ලකු වන්නට ද සිදු වන්නේ ය. ගොනකු අසකු ඇතකු වී අනුන්ට වැඩ කරන්නට ද සිදු වන්නේ ය. වාසයට ගෙයක් නැති, හඳනට වතක් නැති, සාගින්නට බත් නැති, පිපාසයට පැනක් නැති, සෙම් සොටු අවුලා කන, අසුචි අවුලා කන, කසල ගොඩවල වැසී තිබෙන බත් හුලු අහුලා කන, ප්‍රේත බවට පැමිණෙන්නට ද සිදු වන්නේ ය. පරම රමණීය මන්දිරයන්හි සුවපහස් ඇති ඇඳ පුටුවල විසූ මිනිසාට සංජීවාදි නරකයෙහි ඉපිද ගිනියම් වූ යපොළොවෙහි ගිනි දලු මැද හඬ හඬා සිටින්නට ද සිදු වන්නේ ය.
විපරිණාමය සමහර විටෙක ස්කන්ධ පඤ්චකයට ම එකවර පැමිණේ. සමහර විටෙක ස්කන්ධයන්ගේ කිසියම් කොටසකට පැමිණේ. ස්කන්ධ කොටසකට විපරිණාමය පැමිණීමෙන් කලින් ඇස් ඇතිව සිටියෝ පසුව අන්ධ වෙති. කලින් නො බිහිරිව සිටියෝ පසුව බිහිරි වෙති. කලින් නො ගොළුව සිටියෝ පසුව ගොළු වෙති. කලින් නො කොරව සිටියෝ පසුව කොර වෙති. කලින් නො කුදුව සිටියෝ පසුව කුදු වෙති. අංගප්‍රත්‍යංග ඇතිව සිට පසුව කන් නැත්තෝ ද නාස් නැත්තෝ ද දත් නැත්තෝ ද හිසකේ නැත්තෝ ද ඇඟිලි නැත්තෝ ද අත් නැත්තෝ ද පා නැත්තෝ ද වෙති. කලින් සුරූපව සිටියෝ ද පසුව විරූප වෙති. නුවණැතිව සිටියෝ මෝඩයෝ වෙති. සිහි ඇතිව සිටියෝ උමතු වෙති. කලින් සිල්වත්ව සිටියෝ පසුව වැද්දෝ ද වෙති, කෙවුලෝ ද වෙති, සොරු ද වෙති, පාරදාරික සල්ලාලයෝ ද වෙති, බොරු කාරයෝ ද බේබද්දෝ ද කේලාම් කාරයෝ ද පරුෂ වචන කියන්නෝ ද වෙති. මිතුරෝ සතුරෝ වෙති. සම්‍යක් දෘෂ්ටිකයෝ මිසදිටු වෙති.
මනුෂ්‍ය ස්කන්ධ විෂයෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඇලුම් කරන මනුෂ්‍යයන් ඇයත් වූ ධන ධාන්‍යාදි වස්තු විෂයෙහි ද විපරිණාම ස්වභාවය ඇත්තේය. මනුෂ්‍යයා සම්බන්ධ වූ ඒ බාහිර වස්තූන්ගේ විපරිණාමයෙන් ද මනුෂ්‍යයාගේ තත්ත්වය බොහෝ වෙනසට පැමිණේ. වස්තු විනාශයෙන් කලින් රජකම් කළවුන්ට සිඟා කෑමට ද සමහර විට සිදු වන්නේය. මේ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය පිළිබඳ වූ විපරිණාම දුඃඛයෙන් බිඳක් දැක්වීමය. මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය මෙසේ සංඛත, සන්තාප, විපරිණාම යන ත්‍රිවිධ ස්වභාවයෙන් සත්ත්වයා පෙළන බැවින් සිව්සස් දත්තා වූ තථාගතයන් වහන්සේ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය සත්‍ය වශයෙන් ම දුකක් බව හෙවත් දුඃඛ සත්‍යය බව වදාළ සේක.