සෑම කල්හි ම එකසේ පැවැත්මක් නැතිවැ ශීතෝෂ්ණාදිය හේතු කොට නැවත තිබූ ආකාරයෙන් අනෙක් ආකාරයකට හෝ අභාවයකට පැමිණෙන්නා වූ ඖදාරික වූ ධාතු සමූහයට රූපස්කන්ධය යි කියනු ලැබේ. රූප සමූහය යනු එහි තේරුමයි. රූපය ය, රූපස්කන්ධය ය යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත. රූපය හෙවත් රූපස්කන්ධය කුමක් ද යන බව දක්වනු පිණිස,
“කතමඤ්ච භික්ඛවෙ රූපං? චත්තාරෝ මහා භූතා චතුන්නඤ්ච මහා භූතානං උපාදාය රූපං, ඉදං වුච්චති භික්ඛවෙ රූපං” යනු වදාරන ලදි.
මහණෙනි! රූපය නම් කවරේද යත්? සතර මහා භූතයෝ ය, සතර මහා භූතයන් නිසා හට ගන්නා වූ රූපයෝය යන මේ සියල්ල රූප නම් වන්නේය” යනු එහි තේරුමයි.
පෘථිවි වෘක්ෂ පර්වත ගංගා සමුද්‍රාදි වශයෙන් මහත් මහත්ව පහළවන්නා වූ රූපයෝ මහාභූත නම් වෙති. ඒ මහාභූතයන් නිසා හටගන්නා වූ මහාභූතයන් හා බැඳී පවත්නා වූ තවත් රූප සූවිස්සෙකි. ඒවාට උපාදාය රූපයෝය යි කියනු ලැබේ. මහාභූත රූප සතරය, උපාදාය රූප සූවිස්සය යි රූප විසි අටෙකි. ඒ රූප විසිඅට රූපස්කන්ධය යි.