සෝවාන්වීමය, සකෘදාගාමී වීමය, අනාගාමී වීමය, රහත් වීමය, පසේ බුදු වීමය, ලොව්තුරා බුදු වීම යයි කියනු ලබනුයේ ඒ ඒ තරාතිරමින් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කිරීමයි. පළමුවරට චතුරාර්‍ය්‍ය සත්‍යය තත්ත්වාකාරයෙන් අවබෝධ කළ තැනැත්තේ එකෙණෙහි මලාමක වූ පෘථග්ජන භාවයෙන් නැගී, තථාගතයන් වහන්සේගේ ආර්‍ය්‍යශ්‍රාවක ගණයට ඇතුළත් පුද්ගලයෙක් වන්නේ ය. ඔහුට සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ.
සෝවාන් පුද්ගලයා තමන් ලැබූ සත්‍ය දර්ශනඥානයේ බලයෙන් මතු කිසි කලෙක අපායෙහි නූපදින්නේ ය. ඔහු මතු සසර ඉපදෙතත් සත්වරකට වඩා නූපදනේ ය. සත් ජාතියකින් මතු ලබන්නට තිබුණු ජාති ජරා මරණාදී දුඃඛයෙන් ඔහු මිදෙන්නේ ය. ඔහුට ඉතිරි වනුයේ ඒ ජාති සතේ දී ලබන්නට වන ජාති ජරා ව්‍යාධි මරණාදි දුක් ස්වල්පයක් පමණකි.
අනාගත කාලය ඉතා දීර්ඝ වූවකි. එය දින මාස වර්ෂ ගණනින් තබා කල්ප ගණනිකුදු ප්‍රමාණ නො කළ හැකි ය. එහි අවසාන කොණක් ඇත්තේ ම නැත. ඒ දීර්ඝ වූ කාලයෙහි නැවත නැවතත් උපදනා වූ මේ සත්ත්වයන්ගෙන් එක් එක් පුද්ගලයකු විසින් ඉපදිය යුතු වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත. අපායෙහි උපදින්නට සිදුවන වාරයන් ගේ ප්‍රමාණයක් ද නැත. එබැවින් එක් එක් පුද්ගලයකුට අනාගතයෙහි ලබන්නට වන දුඃඛස්කන්ධය ඉතා මහත් ය. සෝවාන් පුද්ගලයාට ඉතිරිව තිබෙන ජාති සතකට අයත් දුක් රැස නිවීගිය දුඃඛස්කන්ධය හා සසඳා බලතහොත් ඉතා සුළු දෙයකි.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ නියපිට ධූලි ස්වල්පයක් තබා භික්ෂූන්ට දක්වා “මහණෙනි! මාගේ මේ නියපිට තිබෙන ධූලි විල්න හා මහ පොළොවේ පස්වලින් කවරක් වැඩිදැයි” විචාළ සේක. භික්ෂූහු “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! නුඹ වහන්සේගේ නියපිට ධූලිය ඉතා අල්පය. මහ පොළොවේ පස ම ඉතා බොහෝ ය. නුඹ වහන්සේ ගේ නියපිට ඇති ධූලිය මහ පොළොවේ පසෙන් දහසින් පංගුවකුදු නො වන්නේ යයි සැලකළෝ ය. එකල්හි බුදුන් වහන්සේ වදාරන සේක් :-
“එවමෙව ඛො භික්ඛවෙ! අරියසාවකස්ස දිට්ඨි සම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතොවිනො එතදෙව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛිණං පරියාදින්නං අප්පමත්තකං අවසිට්ඨං නෙව සතිමං කලං උපෙති, න සහස්සිමං කලං උපෙති, නං සතසහස්සිමං කලං උපෙති, පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය යදීදං සත්තක්ඛත්තුපරමතා. ”
යනුවෙන් “මහණෙනි, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළා වූ සෝවාන් වූ ආර්‍ය්‍ය ශ්‍රාවකයා හට ක්ෂය වූ දුඃඛය ම ඉතා බොහෝ ය. ඉතිරි දුක සුළුය. එය ක්ෂය වූ දුඃඛයෙන් සියයෙන් පංගුවකුදු නො වන්නේය, දහසින් පංගුවකුදු නො වන්නේය, ලක්ෂයෙන් පංගුවකුදු නො වන්නේය” යි වදාළ සේක.
අභිසමය සංයුත්තකයෙහි හා සච්චසංයුක්තකයෙහි ද සූත්‍ර බොහෝ ගණනක ම නොයෙක් උපමාවලින් මේ කාරණය වදාරා තිබේ. චතුරාර්‍ය්‍ය සත්‍යාවබෝධය මේ සා මහත් නිදහසක් ලබාදෙන දෙයක් වන බැවින් ඒ සත්‍යයන් තත්ත්වාකාරයෙන් අවබෝධ කරන්නා වූ ඥානය පමණ වටිනා දෙයක් මිනිස් ලොව තබා දෙව්ලොව බඹලොවවත් නැත යයි කිය යුතුය. එහෙයින් වදාළහ. :-
“පථව්‍යා එකරජ්ජෙන සග්ගස්ස ගමනෙන වා
සබ්බලොකාධිපච්චේන සොතාපත්ති ඵලං වරං”
‘සක්විති රජකමට ද වඩා, ස්වර්ගයට යාමට ද වඩා, සියලු ලොව අධිපති වීමට ද වඩා සෝවාන් ඵලය උතුම්ය’ යනු මෙහි තේරුමයි. සෝවාන් ඵලය යනු ආර්‍ය්‍යසත්‍යාවබෝධයෙන් ලැබෙන ඵලයයි.
චතුරාර්‍ය්‍යසත්‍යාවබෝධය කරන ඥානය යමකුට ලැබෙතහොත් එයට වඩා උතුම් ලාභයක් නැත. බුද්ධ කාලයෙහි හා ඒ සමීප කාලයෙහි විසූ බොහෝ මනුෂ්‍යයෝ චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කොට නිවන් දැක දුකින් මිදුණාහ. බොහෝ දෙන ඒ සඳහා මහා ධනස්කන්ධයන් හැර දමා, ප්‍රාණය සේ ප්‍රිය අඹුදරුවන් හැර දමා පැවිදි වූහ. මෙකල වසන ගිහි පැවිදි සැම දෙනා ම වාගේ මෝහයෙන් මුළාව තෘෂ්ණාවට වාල්ව එකිනෙකා පරයා පොහොසත් වීමට උත්සාහ කරනු මිස, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කිරීම ගැන සිතින්වත් නො සිතන්නාහුය. එබැවින් වර්තමාන ගෘහස්ත ප්‍රව්‍රජිතයෝ සර්වඥශාසනයෙන් ලබාගත යුතු නියම ප්‍රයෝජන නො ලබති. ගිහියන් කෙසේ වුවත් පැවිදි පක්ෂය මේ සඳහා විශේෂයෙන් ම උත්සාහවත් විය යුතුය. පැවිදිවීමේ පරමාර්ථය ද එය ම ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරන ලදි.:-
“යෙහි කෙවි භික්ඛවෙ! අතීතමඬානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිංසු. සබ්බෙ තෙ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය, යෙ හි පි කෙචි භික්ඛවෙ! අනාගතමඬානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිස්සන්ති, සබ්බේ තෙ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය, යෙ හි පි කෙචි භික්ඛවෙ! එතරහි කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජන්ති සබ්බේ තෙ චතුන්නං අරිය සච්චානං යථාභූතං අභිසමයාය.”
“මහණෙනි, පෙර යම් කුල පුත්‍ර කෙනෙක් මනා කොට ගිහි ගෙයින් නික්ම පැවිදි වූවාහු ද ඒ සියල්ලෝ ම සතරක් වූ ආර්‍ය්‍ය සත්‍යයන් තත් වූ පරිද්දෙන් අවබෝධ කරනු පිණිස පැවිදි වූහ. මහණෙනි, අනාගතයෙහි යම් කුල පුත්‍ර කෙනෙක් මනා කොට ගිහිගෙන් නික්ම පැවිදිවන්නාහු නම්, ඒ සියල්ලෝ ම සතරක් වූ ආර්ය සත්‍යයන් තත් වූ පරිදි අවබෝධ කරනු පිණිස ම පැවිදි වන්නාහ. මහණෙනි, මෙකල යම්කිසි කුලපුත්‍ර කෙනෙක් මනාකොට ගිහිගෙන් නික්ම පැවිදිවෙත් නම් ඒ සියල්ලෝම සතරක් වූ ආර්‍ය්‍ය සත්‍යයන් තත් වූ පරිදි අවබෝධ කරනු පිණිස පැවිදි වෙත්ය” යනු එහි අදහසයි.
මෙතෙක් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර නො ගත් තැනැත්තන් විසින් අන් හැම දෙයක් ම පසු කොට අන් හැම කටයුත්තකට ම වඩා ආදරයෙන් ඕනෑකමින් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට වීර්‍ය්‍ය කළ යුතු බව සියල්ල දත්තා වූ මහාකාරුණික වූ බුදුරජාණන් වහන්සේගේ අදහසය. එබැවින් උන්වහන්සේ එක් දිනක් භික්ෂූන් අමතා විචාරන සේක්: “මහණෙනි හැඳිවත හෝ හිස හෝ ගිනි ගත හොත් එකල්හි කුමක් කළ යුතු ද? කෙසේ පිළිපැදිය යුතු ද?” එකල්හි භික්ෂූහු “ස්වාමීන් වහන්ස, හැඳිවත හෝ හිස ගිනි ගත් කල්හි එය නිවා ගැනීම පිණිස ම ඉතා ඕනෑකමින් උත්සාහ කළ යුතුය” යි සැල කළෝය. එකල භාග්‍යවතුන් වහන්සේ :-
“ආදිත්තං භික්ඛවේ! චෙලං වා සීසං වා, අජ්ඣුපෙක්ඛිත්වා, අමනසිකරිත්වා අනභිසමෙතානං චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය, අධිමත්තො ඡන්දො ච, වායාමො ච, උස්සාහො ච, උස්සොළ්හී ච, අප්පටිවානී ච, සති ච, සම්පජඤ්ඤඤ්ච කරණීයං”
යනුවෙන් “මහණෙනි, ගිනි ගත්තා වූ හැඳිවත ගැන හෝ හිස ගැන හෝ උපේක්ෂකව කල්පනා නො කොට ඒ අවස්ථාවේදී ද අවබෝධ නො කළ සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ කිරීම පිණිස බලවත් වූ ඡන්දය ද, ව්‍යායාමය ද, උත්සාහය ද අධික උත්සාහය ද, සිහිය ද, නුවණ ද පැවැත්විය යුතුය” යි වදාළ සේක.
හැඳිවත හෝ හිස හෝ ගිනිගත් කල්හි ඒ ගැන නො සලකා සිටියත් එයින් වෙතොත් විය හැක්කා වූ විශාල ම නපුර නම් එක් වරක් මරණයට පැමිණීම පමණකි. එක්වරක් ඇවිළුණු ගින්නෙන් හත් අටවරක් දස දොළොස් වරක් මැරෙන්නේ නො වෙයි. චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ නො කළ හොත් සත්ත්වයාහට ජාතියෙන් ජාතිය ඉපිද නැවත නැවත සිදුවන්නා වූ මරණ මෙතෙකැ යි පමණ කළ නොහේ. එක් වරකදී වන මරණය වෙන්නට හැර ඒ අවස්ථාවේ දී උත්සාහ කොට චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගත හොත් මතුවන්නා වූ ප්‍රමාණයක් නැති මරණ නො පැමිණෙන්නේ ය. ඒවායින් නිදහස් වන්නේ ය. තථාගතයන් වහන්සේ විසින් හැඳිවත ගිනිගත් කල්හි වුව ද හිස ගිනි ගත් කල්හි වුව ද චතුස්සත්‍යාවබෝධය පිණිස ම උත්සාහ කළ යුතු බව වදාළේ එහෙයිනි.
එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක. “මහණෙනි, සියක් අවුරුද්දකට ආයු ඇත්තා වූ පුරුෂයකු හට කෙනෙක් අවුත් ‘එම්බා පුරුෂය, මෙහි එව. මා හා ආ කල්හි නුඹට දිනපතා උදයෙහි යහුල් සියයකින් අනින්නාහ. දවල් යහුල් සියයකින් අනින්නාහ. සවස යහුල් සියයකින් අනින්නාහ. මෙසේ දිනපතා යහුල් තුන් සියයකින් ඇනීම් කරන්නා වූ නුඹට සියවසක් ගත වූ කල්හි චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ වන්නේය’ යි කියා නම්, මහණෙනි, වැඩ කැමති පුරුෂයා විසින් එසේ ද චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරන්නට යෑම සුදුසුය. කුමක් හෙයින් ද? මහණෙනි, පටන් ගැනීමක් නැත්තා වූ මේ සංසාරයෙහි එක් එක් කෙනකු විසින් ලැබූ යහුල් පහර වල, කඩු පහර වල, පොරෝ පහර වල ප්‍රමාණයක් නැත. එහෙත් මම මෙසේ දුකින් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගන්නට නො කියමි. සුඛයෙන් සොම්නසින් ම චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරගන්නට කියමිය” යනුයි.
චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරනු පිණිස කරන්නා වූ ව්‍යායාමය: ශරීරය පෝෂණය කරනු පිණිස, අඹුදරුවන් පෝෂණය කරනු පිණිස, පස්කම් සුව විඳිනු පිණිස, පොහොසත් වනු පිණිස, ප්‍රසිද්ධ වනු පිණිස, ප්‍රශංසා ලබනු පිණිස කරන්නා වූ ව්‍යායාමයන්ට වඩා සියදහස් ගුණයෙන් සඵල වූ දෙයක් නො වේ නම්, වැඩක් නැතියන් විසින් ම කළයුතු දෙයක් හෝ නිෂ්ඵල දෙයක් හෝ නම්, සියල්ල දත්තා වූ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ විසින් සත්‍යාවබෝධය පිණිස වීර්‍ය්‍ය කළ යුතු බව, මෙපමණ බර කොට මෙපමණ උසස් කොට නො වදාරන්නාහ. එසේ වදාරන ලද්දේ එය ඒකාන්තයෙන් ම අන් හැම දෙයකට ම වඩා වැඩදායක දෙයක් හෙයිනි. එබැවින් ඒ බුදුන් වහන්සේ ගේ වදන් පිළිගන්නා වූ සියල්ලෝ ම හැකි පමණින්වත් සත්‍යාවබෝධය කරගනු පිණිස උත්සාහ කරත්වා! තවද එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ :-
“යෙ හි කෙචි භික්ඛවෙ! අනුකම්පෙය්‍යාථ. යෙච සොතබ්බං මඤ්ඤෙය්‍යුං, මිත්තා වා අමච්චා වා ඤාති වා සාලොහිතා වා, තෙ වො භික්ඛවෙ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා පතිට්ඨපෙතබ්බා”
යනුවෙන් මහණෙනි! තෙපි යමෙකුට අනුකම්පා කරන්නාහු ද යම්කිසි මිත්‍රයෝ හෝ අසල්වැසියෝ හෝ නෑයෝ හෝ සහලේනෑයෝ හෝ තොපගේ වචනය අසත් ද තෙපි ඔවුන් චතුරාර්‍ය්‍ය සත්‍යය තත් වූ පරිද්දෙන් අවබෝධ කර ගැන්මෙහි යොදවව්, පිහිටවව්” යි වදාළ සේක. බුදුරජාණන් වහන්සේ විසින් එසේ වදාළ බැවින් තමා චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට උත්සාහ කිරීමෙන් පමණක් නො නැවතී තමාගේ හිතවතුන් ද එහි යොදවත්වා. චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කිරීමෙහි ඇති වටිනාකම නොදැන පස්කම් සැප සෙවීමෙහි යෙදී සිටින පිරිස ම ලෝකයෙහි ඉතා බොහෝ ය. චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමෙහි ඇති ප්‍රයෝජනය ඔවුනට වටහා ඔවුන් එහි යෙදවීම ඔවුනට කළ යුතු වටිනාකම පමණ කළ නොහෙන උපකාරයකි.
චතුරාර්‍ය්‍යසත්‍යය කියා දෙන්නා වූ අන්‍යයකුගේ උපකාරය නොමැතිව ස්වශක්තියෙන් ම එය දත හැකි වන්නේ කල්ප බොහෝ ගණනක් මුළුල්ලෙහි පුරන ලද පාරමිතා ඇති ලොව්තුරා බුදුවරුන්ට හා පසේ බුදුවරුන්ට පමණකි. උන්වහන්සේලා ගෙන් අන්‍ය වූ කවර පණ්ඩිතයකුට වුව ද මේ සත්‍ය සතර ස්වශක්තියෙන් සොයා ගත හැකි නොවේ. එබැවින් බුද්ධ ශූන්‍ය කාලවලදී මේ ධර්මය දැන ගන්නට ලැබෙනු තබා “චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මය” යන වචනය පවා අසන්නට නො ලැබේ. මේ ගැන අසන්නටත් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී ම ය. බුදු සසුන පවත්නා වූ මේ කාලය චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ගැන අසන්නට ලැබෙන දැන ගන්නට ලැබෙන කාලයකි. මෙබඳු උතුම් කාලයක මිනිසත් බවකුත් ලබාගෙන සිට මේ ධර්මය තරමකටවත්දැන ගන්නට උත්සාහ නො කොට, අගනා කාලය සැමකල්හි ම ලැබිය හැකි මිනිසුන් විසින් පමණක් නොව තිරිසනුන් විසින් පවා ලබන පස්කම් සුවය සඳහා ම ඉක්ම යන්නට හැරීම මහත් අලාභයකි. චතුරාර්ය සත්‍යය තත් වූ පරිද්දෙන් අවබෝධ වී මාර්ග ඵලයන්ට පැමිණීම කෙසේ වුවත් මෙබඳු දහම් පොත් පත් කියවීමෙන් ද චතුරාර්‍ය්‍ය සත්‍යය ගැන තරමක අවබෝධයක් ලැබිය හැකිය. එය මතු ප්‍රත්‍යක්ෂාවබෝධයක් ලබා සසර දුකින් මිදීමට හේතු වන්නේ ය. එබැවින් මෙය සාදරයෙන් කියවත්වා!
මේ කීම සැබෑය. මොහුගේ කීම සැබෑය යනාදීන් ලෝකයෙහි යම් කිසිවක් තත් වූ පරිද්දෙන් ප්‍රකාශ කරන්නා වූ වචන වලට වගන්තිවලට සත්‍යය යි කියනු ලැබේ. “චතුරාර්‍ය්‍ය සත්‍යය” යනුවෙන් යනුවෙන් අදහස් කරනුයේ එසේ යම් කිසිවක තත්ත්වාකාරය ප්‍රකාශ කරන්නා වූ වචන සතරක් හෝ වගන්ති සතරක් නොව පරමාර්ථ වශයෙන් ඇත්තා වූ ස්වභාවධර්ම සතර කොටසකි. චතුරාර්‍ය්‍ය සත්‍යයයි කියන ලද පරමාර්ථ ස්වභාව ධර්ම සතර කොටස අප කෙරෙහි නැති අපෙන් ඉතා ඈත ලෝකයක ඇති දෙයක් නොව අප කෙරෙහි ද ඇත්තා වූ ධර්ම කොටස් සතරකි. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “රොහිතස්ස” නම් දිව්‍ය පුත්‍රයා හට :-
“ඉමස්මිංයෙව ව්‍යාමමත්තෙ කලෙබරෙ සසඤ්ඤිම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤාපෙමි ලොකසමුදයඤ්ච, ලොකනිරොධඤ්ච, ලොකනිරොධගාමිනිඤ්ච පටිපදං”
යනුවෙන් “සංඥා සහිත වූ, හිත සහිත වූ, බඹයක් පමණ වූ මෙම ශරීරයෙහි ම ලෝකයත් ඇත. ලෝක සමුදායත් ඇත. ලෝක නිරෝධයත් ඇත. ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් ඇතය” යි වදාරන ලදි. මෙහි ලෝකසමුදයාදි නම් වලින් දක්වන ලදුයේ චතුරාර්‍ය්‍ය සත්‍යය ම ය.
අප සමීපයෙහි ම ඇතිමුත් ඒ චතුරාර්‍ය්‍ය සත්‍යය සොයා ගැනීම අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. ඒ බව තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට උපමාවකින් මෙසේ වදාළ සේක. එක් දවසක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවරට පිඬු සිඟා වඩිනුවෝ, දුනු සිල්පය උගන්නා වූ ලිච්ඡවී කුමාරවරුන් විසින් දුර සිට එකකුදු නො වැරදී යතුරු සිදුරකින් නික්මී යන සේ හී විදිනු දැක විහාරයට පැමිණි කල්හි ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළහ.
එකල්හි බුදුරජාණන් වහන්සේ “ආනන්දය, දුර සිට යතුරු සිදුරකට ඇතුල්වන සේ හී විද යැවීමය, අස් ලොමක් සතට පළා, ඉන් පලුවක් බඹ පන්තිසකින් ඔබ තබා එහි කොණට වැදෙන සේ සතට පලාගත් අස් ලොම් පලුවකින් ම විදීමය යන දෙකින් කවරක් වඩා දුෂ්කර වේදැ යි විචාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි! සතට පලාගත් අස්ලොම් පලුවෙන් අස්ලොම් පලුවට විදීම ම දුෂ්කර වන්නේය” යි සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය, යමෙක් දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ප්‍රතිවේධ කෙරේ නම් එය දුර තිබෙන අස්ලොම් පලුවේ කොණට අස්ලොම් පලුවකින් ම නො වරදවා විදීමට ද වඩා දුෂ්කර දෙයකැ යි වදාළ සේක. මේ උපමාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙහි ඇති දුෂ්කරත්වය දත යුතු.
චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය නමැති පරමාර්ථ ස්වභාව ධරම සතර කොටස පරහට අවබෝධ කරවනු පිණිස බුද්ධාදීන් විසින් ප්‍රකාශ කරන්නා වූ වචනවලට චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාවයයි කියනු ලැබේ. ‘ධර්මය’ යන වචනය නොයෙක් අර්ථ දෙන වචනයකි. සමහර තැනකදී දේශනාවට ද ධර්මය යයි කියනු ලැබේ. එබැවින් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයත් චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාවත් එකක් කොට සිතා ගැනීමෙන් කාරණය අවුල් විය හැකිය. එසේ නොවන්නට චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අනිකක් බවත්, දේශනාව අනිකක් බවත් පළමු කොට ම සිත් හි තබා ගත යුතු. චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය සර්වාකාරයෙන් ම සම්පූර්ණ කොට දේශනා කරතහොත්, එය අප්‍රමාණ වචනවලින් හා ධර්ම විභාග වලින් ද යුක්ත වූ ඉතා දීර්ඝ දේශනාවක් වන්නේය. ඒ බව බුදුරජාණන් වහන්සේ:
“දුක්ඛං අරියසච්චන්ති භික්ඛවෙ! මයා පඤ්ඤත්තං තත්ථ අපරිමාණා වණ්ණා, අපරිමාණා ව්‍යඤ්ජනා, අපරිමාණා සංකාසනා” යනාදිය වදාළ සේක.