ගෞරවාර්‍හ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසිනි.
ආගම් බොහෝ ය. දුකින් මිදෙනුවට මඟැ යි එකෙක පැවසුණු දෑ අනෙකක පැවසුණු දැයට වෙනසි. ඇත්ත දක්නා රිසියහු විසින් කළ යුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැන්ම ය.
රවි-ඉන්ද්‍ර-අග්නි යන තුන් දෙවියනට යාග හෝම කැරුම ඇවැසි ම දැය කොට වේදය කියයි. මීමංසා දර්ශනය එය ම තහවුරු කරනුවට කරුණු හැර පායි. අහුරමස්දා නම් මැවුම්කරු පිදුමත්, සුමනස්-සුවක්-සුකෘති යන තුන වැඩුමත් දුකින් මිදෙනුවට අවශ්‍යයෙන් ම කළ යුතු දෑ යැ යි ශරාථුස්ත්‍ර දර්ශනය කියයි.
පුරුෂ ප්‍රකෘති මහත් අහංකාර ශ්‍රෝත්‍රත්වක් චක්ෂුස් ජිහ්වා ඝ්‍රාණ වාක් හස්ත උපස්ථ පායු පාද මනස් ශබ්දතන්මාත්‍ර ස්පර්ශතන්මාත්‍ර රූපතන්මාත්‍ර රසතන්මාත්‍ර ගන්ධතන්මාත්‍ර ආකාශ වායු තේජස් අප් පෘථිවි යන පස් විසි පදාර්ථ ප්‍රත්‍යක්ෂ කැරුම මෝක්ෂලාභයට අවශ්‍ය දෑ යැයි සාංඛ්‍ය දර්ශනය පණවයි.
සාංඛ්‍ය දර්ශනයෙහි කී දෑ පස්විස්සට ඊශ්වර පදාර්ථයත් එක්කොට මේ පදාර්ථ සවිස්ස දැන්මෙන් මෝක්ෂය ලැබේ යැ යි පාතඤ්ජල දර්ශනය දක්වයි.
ආත්ම ශරීර ඉන්ද්‍රිය අර්ථ බුද්ධි මනස් ප්‍රවෘත්ති දෝෂ ප්‍රේත්‍යභාව ඵල දුඃඛ අපවර්ග යන පදාර්ථ දොළොස ප්‍රත්‍යක්ෂ අනුමාන උපමාන ශබ්ද යන ප්‍රමාණ සතරින් මැන දැන ගැන්ම ම මෝක්ෂ ලාභයට සෑහේ යැ යි න්‍යාය දර්ශනය කියයි.
ද්‍රව්‍ය ගුණ කර්ම සාමාන්‍ය විශේෂ සමවාය අභාව යන සත මෝක්ෂය පිණිස අවබෝධ කටයුතු දෑ යැ යි වෛශේෂික දර්ශනයෙහි දැක්වෙයි.
ජීව අජීව දෙක තත්ත්වාකාරයෙන් දැන ගැන්ම ම විමුක්තියට අවශ්‍ය දෑ යැ යි ජෛන දර්ශනය පවසයි.
එක ම සත්‍ය වූ සච්චිදානන්ද - රූප පරමාත්මය හෙවත් බ්‍රහ්මය ද, මායා - රූප වූ ලෝකය ද යන පදාර්ථ දෙක තතු සේ දැන් ම ම විමුක්තියට අවශ්‍ය යැයි වේදාන්ත දර්ශනය කියයි.
(දේවත්‍රිත්වාදියෙහි) විශ්වාසය ප්‍රාර්ථනාව පිළිපැදීම සක්‍රමේන්තුව යන සතර ක්‍රෛස්තව සමයෙහි මෝක්ෂ ලාභයට ඉවහල් ප්‍රධාන අවයව කොට දැක්වෙති.
‘පරලොවක් නැතැයි, කළ යුත්තේ මැරෙන තාක් හොඳට කා බී කම් සැප විඳුම යැ’යි උගන්වන චාර්වාක දර්ශනය පෘථිවි අප් තේජස් වායු යන පදාර්ථ සතරක් ම පණවයි.
අන් දර්ශන ද මෙහි දැක්වුණු දැයට හුරු වූ යම් යම් දෑ දත යුතු ම කොට, ඇවැසි ම කොට දක්වයි.
අන් හැම දර්ශනයක ම සර්වප්‍රකාරයෙන් කෙසේ වෙතත්, දත යුතු කිසිවෙක ඡායා මාත්‍රයක් ඒක දේශයකින් නො දැක්වෙන්නේ නො වේ. එකී දර්ශන පහළ කළ අන්‍ය ශාස්තෘවරයන් ගත් මගින් අනෙකක් ම තථාගත ශාන්තිනායක ශාක්‍ය මුනීන්ද්‍ර සර්වඥයන් වහන්සේ ගත් සේක. කිසි ම දෘෂ්ටි ගතිකයකු විසිනුදු ඉවතැ නො ලියැ හැකි සතර වැදෑරුම් පදනමෙක ස්වදේශනා ධර්මය පිහිටුවා ලූ සේක. ආගමක් අවශ්‍ය වනු යේ දුකක් ඇතැයි පිළිගන්නහුට ය. දුක කවර සැටියෙන් තේරුම් ගත්තත්, ‘මෙහි දුක් ඇතැ’ යි හේ පිළිගනී. එයින් මිදෙනු පිණිසම ය, ඔහුට ආගමක් අවශ්‍ය වනුයේ. මෙහි දුක් ඇත්නම් සැප ලබනුවට ඔහුට බාධක වනුයේ ඒ දුක් හරි හැටි නො දැන, ඒ සියලු දුක හෝ ඉන් කොටසක් හෝ සැපයැ යි වරදවා ගෙන, එහි ඇලීම යැයි ඔහු විසින් පිළිගත යුතු ය. දුකක් ඇති නම් එයට ඉඳුරා විරුද්ධ සැපක් ඇති බව හැම දෘෂ්ටි ගතිකයා ම පිළි ගනී. දුකට හේතුව තෘෂ්ණාව වන කැලැ‘එය දුරැලුවොත් දුක නො වේ. සැප ලැබේයැ’යි පිළිගැනේ. ඒ තෘෂ්ණාව නසන මඟ ම දුක් දුරැ ලන සැප ලබන මඟ වේ. මෙසේ “දුක, දුක් හෙය, සැප, සැපට මග” යන සතර ඇත්ත දුකින් මිදෙනු රිසි කා විසිනුත් තත් වූ පරිදි අවබෝධ කටයුතු බව මැදහත් වැ විමසන්නාහු විසින් පිළි ගත යුතු ය. මේ කරුණු සතර සිය දේශනාවෙහි පදනම් කැරැ වදාළ සර්වඥයන් වහන්සේ එයට ‘චතුස්සත්‍ය’ යන නම දුන් සේක. පන්සාළිස් වසක් ලෝකාර්ථ චර්‍ය්‍යවෙහි යෙදුණු ඔබ වහන්සේ ධර්ම දේශනා වශයෙන් වදාළ කිසි ම වචනයෙක් චතුස්සත්‍ය ප්‍රකාශයෙන් වෙන් නොවී ය. එබැවින් “සච්ච විනිම්මුත්තාහි භගවතො දෙශනා නත්ථි” යි නෙත්ති අටුවාවෙහි දැක්විණ.
මරණය හී පහරක් ලදුවකු “ඒ ඊය විද්දේ කවරෙක් ද? කෙබන්දෙක් ද? ඔහු නම් ගම් ඈ තතු ඔහු මා පියවරුන් තතු ඔවුන්ගේ මා-පිය ආදීන්ගේ තතු කවර කවර දැ යි අසන අසන ප්‍රශ්නයට උත්තර දිදී පමාවන, නො වියත් බොරු වෙදකු සේ, අන් තොටුවෝ දුකෙහි ඇලී සිටුනා මෝහාන්ධයනට ලොව අග මුල කියන්නට හෝ එහි අන්තානන්ත බව කියන්නට හෝ එබඳු ම අනවශ්‍ය අන් දැයක් වණන්නට හෝ තැතනූහ. යටැ කී ඊ පහර ලදුවහු ගේ මූඪ ප්‍රශ්නයට උත්තර නො දී, ඊය විදි තැනැත්තහු කවුරු වුවත්, ඊ-පහරින් වූ වණය සුව කැරැ ගන්නට මේ බෙහෙත් ගන්නැයි කියන නුවණැති වෙදහු සෙයින් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ ලෝකයේ අක්මුල් අනන්තවත් බව හෝ අනන්ත බව ආදිය ගැන අසන්නවුන් ගේ ඒ අනවශ්‍ය ප්‍රශ්න විසඳන්නට නො ගොස්, දත යුත්තේ ලොව අක්-මුල් ආදිය නොව “තමා නම් කිමෙක් ද? එය දුක් ද? සැප ද? දුක් නම් එයට හේතු කිම ද? දුකෙන් අන්‍ය සැපක් ඇත් ද? එයට මග කිමෙක් ද?” යන මේ කරුණු යැයි වදාරා ඒවා විස්තර කළ සේක.
මෙයින් හැගෙනුයේ කිමෙක් ද? අන් ආගම් සේ දුක් විඳින්නහුට වට පිට ඒ මේ අත අකුල් අස්සේ ඇද ගෙන නො ගොස්, එක එල්ලේ ම ඒ සඳහා අවබෝධ කටයුතු දෑ විදහා පැහැදිලි කොට දක්වන ධර්මය බුද්ධ දේශනාව ම බව ය.
බුදු දහමෙහි සිදුරු සොයන ඇතැම් අන් තොටුවෝ එය සර්වාශුභවාදයෙකැ යි (හැම දැයක ම නරක පැත්ත පමණක් දක්වන දහමෙකැයි) දොස් නගත්. ඔවුන් මෙසේ දොස් නගනුයේ දුඃඛ - සමුදය සත්‍ය දෙක ගැන වදාළ දෑ කම් සුවෙහි ගිලුණු ඔවුනට නො රුස්නා බැවිනි. කවර ලොවකට කවර තත්ත්වයකට ගියත් පංචකාම රසාස්වාදය ඔහු පතති. එහි නිසරු බව සිතන්නට ද බිය වෙති. එබැවින් බුද්ධ ධර්මයෙහි දැක්වෙන දුඃඛ සත්‍යය-සමුදය සත්‍යය විස්තර බොරු ගැලවුම් පතන ඔවුනට නො මිහිරි ය. අන් දෙකෙහි ද අගයක් අහංකාර මමීකාර මානයන් ගෙන් වෙන් වන්නට නො කැමති ඔවුනට කිසිසේත් නො වැටහේ.
ලොවැ ශුභ පැත්තක් ම දක්නා සර්ව සුභවාදියා (optimist) විසින් සිතා බැලිය යුතු කරුණක් එයි :-
කුහුඹු පණු පළඟ ආදීහු සුහුණු කටුසු ආදීනට ගොදුරු වෙති. සුහුණු ඈ හු සර්පාදීනට ගොදුරු වෙති. සර්පාදීහු හූරු ආදීනට ගොදුරු වෙති. හූරු ආදීහු මිනිසාට ගොදුරු වෙති. මිනිසා ද ව්‍යාඝ්‍රාදීනට ගොදුරු වේ. නැතහොත් අන් මිනිසකුගේ බලයට වහල් වේ. එක් මිනිස් ජාතියක් අන් ජාතියක ජනයා තළා පෙළා මරා තම වශයට ගනී. වරක වහල් වූ ජාතිය ද අවස්ථා ලත් කෙණෙිහ තමන් පෙලූවන් පෙළා තළා මරා ඔවුන් තම අත් අඩංගුවට ගනී. මේ අරගලය ලොව ඇති තාක් නො නවතී. මෙසේ වූ ලොවක ඒකාන්ත ශුභ පැත්තෙක් කොයින් ද? ආරෝග්‍යශාලාවෙක ශල්‍යකර්මාගාර, කාශවාට්ටු, සමාජ රෝගී වාට්ටු ආදිය ද, අනාථාගාර ද, සිර ගෙවල් ද, උම්මත්තකාගාර ද, යුද බිම් ද දෙස සිහි නුවණ යොමා බලන්නකුට ලොව ගිනි වළක් සේ නො හැගේ ද?
ඉපැත්ම පටන් මරණය තෙක් මිනිසා කරනුයේ තමා පසු කළ කරදර දෙස ආපසු බැලීමත්, ආයෙත් ඒ දුක් වඩ වඩා මහත් ව ඒ දෝ යි අනාගතය බැලීමත් බලමින් බිය නො වී එයට කළ යුතු දෑ කිරීමෙහි ව්‍යාවෘත වීමත් ය. මේ අතර කිසි මොහොතක සිහිනයක් බඳු වූ ක්ෂණික කාම සුඛ වේදනා මාත්‍රයක් ලැබ එය ම මහත් කොට තකා අන් සියලු දුක් නො මෙනෙහි කරතොත් එය නුවණින් නො ව නො නුවණින් කැරෙන්නකි. ගිනි වළෙක වැටුණු පිණි බිඳක් පමණටවත් එවැනි ක්ෂණික සුඛ වේදනා පුළුල් නුවණැතියා සරු කොට නො තකයි.
මෙසේ වූ ලෝකයෙහි අස්සක් මුල්ලක් නෑර හැම තන්හි ම පැවති දුකෙහි ඇති සැටිය පැවසුණු බුද්ධ ධර්මය වූ කලි නැති සැපයක් ඇතියක් කොට දක්වමින් ශෝකය නිවා ගන්නට මත්පැන් බී ගත්තකුගේ කීමක් වැනි, ලොව මුළා කොට සැප හීන දක්වන සර්වශුභවාද මායාවට වඩා සර්වප්‍රකාරයෙන් ශ්‍රේෂ්ඨය. අනුවණයාට සත්‍යය අමිහිරි වුව ද නුවණැතියාට එය මිහිරිය.
මෙ සේ කලැ ලොව දුකැ යි දක්වන බුද්ධ ධර්මය සර්වාශුභවාදයෙක් ද? නැත. එය දුක් පැත්ත පමණක් නො වේ. සැප පැත්ත දක්වයි. දුකෙහි දුක් බව ද එයට හේතුව වද පෙන්වා එයින් නො නැවතී, දුකෙහි ඉන්නවුන්ට ඉන් ගොඩ නැගෙනවුනට එල්බී ගත යුතු එක ම ප්‍රතිෂ්ඨාව නො පෙරැලෙන ඒකාන්ත සැපය මෙ යැයි දක්වයි. එයට මඟ ද දක්වයි. මෙසේ අශුභ පැත්ත අශුභ වශයෙනුත් ශුභ පැත්ත ශුභ වශයෙනුත් දක්වන බුද්ධ ධර්මය සර්වාශුභ වාදයෙක් (Pessimism) ද නො වේ. සර්වශුභ වාදයෙක් (Optimism) ද නො වේ. එය සත්‍ය ප්‍රකාශය යි. යථාභූත වාදය යි. ඇති සැටි විදහා පෑම යි. කිසිම අන්තයකට නොවැටුනු මධ්‍යම මාර්ගය දක්වන එක ම ධර්මය යි. මෙසේ වූ සර්වඥ දේශනාව කිසිවකු විසින් නො පිළිබැහියැ හැකි සත්‍ය භාවය ඇති දුඃඛාදි සතර සත්‍යයන් පදනම් කොට ඇති බැවින් ම ග්‍රහයන් මැද හිරු සෙයින් අන් හැම දර්ශනයක් අභිබවා බබළයි.
බුද්ධ දේශනාවෙහි දැක්වෙන දුඃඛසත්‍ය විස්තරයට හසු නොවන කිසි ම දුඃඛ විභාගයෙක් අන් කිසි ම දර්ශනයෙක ශාස්ත්‍රයෙක නැත. එයට හසු නො වූ කිසි ම තෘෂ්ණා විස්තරයෙක්, කිසි ම සැප විස්තරයෙක්, කිසි ම ප්‍රතිපත්ති විස්තරයෙක් මොන ම අන්‍ය ධර්ම ශාස්ත්‍රයෙක නැත. එසේ ම එහි තරම් කේවල පරිපූර්ණ කොට ඒ සත්‍ය සතර විස්තර කළ අන් කිසි ද දහමෙක් ලොවැ නැත. දුකින් මිදෙනු පිණිස දත යුතු සියල්ල එහි ඇත්තේ ය. සියලු සතුන් ගේ පියවර මැමත් (mammoth) නම් ඇතාගේ පිය සටහනෙහි අඩංගු වනු විනා, එහි ඇතුළට ම හසුවනු විනා, එය ඉක්ම එයට පිටින් නො යන්නා සේ ඇති තාක් සියලු සත්‍යයෝ මේ බුද්ධ දේශිත සත්‍ය දේශනාවෙහි ඇතුළත් වෙති.
චතුස්සත්‍ය දේශනාව කොහෙත් ම තේරුම් නො ගත්තේ බුද්ධ ධර්මය කො හෙත් ම නො දන්නෙකි. එ බැවින් බුද්ධාගමය දනු කැමතියන් විසින් චතුස්සත්‍යය දේශනාව විස්තරයෙන් උගත යුතු. ඒ ඉගැනම මතු සත්‍ය ප්‍රතිවේධයට ප්‍රත්‍යය වෙයි.
චතුස්සත්‍යය සම්බන්ධයෙන් කුඩා පොත් පත් කිහිපයක් ඇතත් මෙතරම් ලිහිල් ලෙසත් විස්තරවත් එය දැක්වුණු මෙතරම් මහත් ග්‍රන්ථයක් මේ තාක් හෙළ බසින් පළවී නැත. නූගත්නට පමණක් නොව උගත්නට ද හස්ත සාර වස්තුවක් වූ මේ චතුරාර්‍ය්‍ය සත්‍ය විභාගය එයට ම සුදුසු සමතා අතින්, ලක්දිව අද්විතීය ධර්මධරයකු අතින්, ලියැවීම ධර්මඥානය පතන හෙළයන්ගේ භාග්‍යයෙකි. ග්‍රන්ථ කර්තෘ වූ ආභිධම්මික රේරුකානේ චන්දවිමල තෙරපාණන් වහන්සේ සෑම දෙනාගේ නොවක් පැසසුමට බඳුන්හ.
බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර
1947 පෙබරවාරි මස 10 වන දින, පිරිවෙන, බලංගොඩ.