ලෝකයේ වාසය කරන මනුෂ්‍ය තිරස්චීනාදි සත්ත්වයන් පිළිබඳව හා අන්‍ය ලෝක වස්තූන් පිළිබඳව ද, සාමාන්‍ය ජනයාට ඇත්තේ වැරදි දැනීමකි. ඔවුහු ද්‍රව්‍ය නොවූ ක්‍රියා රාශියක් ද්‍රව්‍යයන් ලෙස ද, කුඩා ද්‍රව්‍ය සමූහයන් මහත් වස්තූන් ලෙස ද, සත්ත්ව පුද්ගල භාවයක් නැති ධාතු සමූහයක් සත්ත්වයන් පුද්ගලයන් ලෙස ද, අනිත්‍ය දෙය නිත්‍ය දෙයක් සැටියට ද, අශුභ දෙය සුන්දර දෙයක් හැටියට ද, දුක ම සුවයක් හැටියට ද, දුක් ඉපදීමේ හේතුව ම සැප ලැබීමේ හේතුවක් හැටියට ද, සත්‍ය වූ සැපය හා එය ලැබීමේ ප්‍රතිපත්තිය මහත් නපුරක් හැටියට ද, වරදවා තේරුම් ගෙන සිටිති. තථාගතයන් වහන්සේ වනාහි ඒ සියල්ල තත්ත්වාකාරයෙන් දැන වදාළ සේක. ලෝක තත්ත්වය පිළිබඳ තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද ආකාරය ආර්‍ය්‍ය සත්‍යය නාමයෙන් හඳුන්වනු ලැබේ.
ලෝක තත්ත්වය පිළිබඳ වැරදි හැඟීම් ඇතිව එය ම පරම සත්‍යය හැටියට පිළිගෙන, එයට අනුව ම සිතන එයට අනුව ම සියලු ක්‍රියා කරන තැනැත්තා හට වැටහෙනුයේ තථාගතයන් වහන්සේගේ සත්‍යය වූ ආර්‍ය්‍ය සත්‍යය අසත්‍යයක් හැටියට ය. ඒ නිසා ම ඔවුනට මේ ධර්මය දැන ගැනීම ඉතා දුෂ්කර ය. බුද්ධ ධර්මයේ පරම සාරයත් චතුරාර්‍ය්‍ය සත්‍යය ම ය. එබැවින් නියම බෞද්ධයකු වන්නට නම් ආර්යසත්‍යයන් පිළිබඳ තරමක දැනුමක්වත් ඇති කර ගත යුතු ය. මෙකල වසන බෞද්ධ ගෘහස්තයන්ගෙන් තබා පැවිද්දන්ගෙන් ද වැඩි දෙනෙක් මේ ආර්‍ය්‍ය සත්‍යය පිළිබඳ ඡායා මාත්‍ර දැනුමක්වත් නැතතෝ ය. මේ චතුරාර්‍ය්‍ය සත්‍යය අනුන්ගේ උපකාරයෙන් තොර ව ස්වශක්තියෙන් ම කෙනකුට සොයා ගත හැකි තේරුම් ගත හැකි ධර්මයක් ද නො වේ. ඒ ධර්මය තරමකින් වත් බෞද්ධ ජනයාට දැන ගැනීමට නම් පහසුවෙන් තේරුම් ගත හැකි සැටියට ලියවුණු පොත් තිබිය යුතුය. මේ වනතුරුත් එබඳු පොත් සුලභ වී නැති බැවින් බෞද්ධ ජනතාවට ආර්‍ය්‍යසත්‍යයන් තරමකින් වත් දැන ගැනුමට උපකාර වීමේ අදහසින් අපගේ නැණ පමණින් මහත් පරිශ්‍රමයෙන් මේ පොත සම්පාදනය කරන ලදි.
අටුවා පොත් අතුරෙන් ද, චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ දීර්ඝ විස්තරයක් දක්වා ඇත්තේ ‘සම්මෝහවිනෝදනී’ නම් වූ විභංගප්‍රකරණාර්ථ කථාවේ හා ‘විසුද්ධි මාර්ගයේ’ ය. පාළි භාෂාව නොදත් සාමාන්‍ය ජනයාට ඒවායින් ප්‍රයෝජනයක් නො ලැබිය හැකි ය. පාළි භාෂාව දත් පමණින් ද ඒවා කියවා චතුරාර්‍ය්‍ය සත්‍යය තේරුම් ගැනීම පහසු වැඩක් නොවේ. ඒ ඒ පොත්වල චතුරාර්‍ය්‍ය සත්‍යය විස්තර කර තිබෙන්නේ ධම්මංසගනී ප්‍රකරණයෙහි එන පරමාර්ථ ධර්ම විභාගයන් මැනවින් උගත් අයට දැන ගැනීමට සුදුසු සැටියට ය. පූර්වභාගයෙහි ඇති කර ගන්නා ලද පරමාර්ථ ධර්ම පිළිබඳ දැනුමක් නැතිව පාළි භාෂාව දත් පමණින් ම ඒවායේ යථාර්ථය දත හැකිවේය’ යන අදහසින් ඒ පොත් කියවන්නවුන්ට ඇති වනුයේ නො දැන ම ‘දැන ගතිමි’ යන රැවටීමක් පමණකි. ඒ රැවටීම නම්, කොහෙත් ම නො දැන සිටීමටත් වඩා නපුරකි. පාළි භාෂාව පමණක් උගෙන දහම් පොත් කියවා එසේ රැවටී සිටින අය මෙකල බොහෝ ය.
අප අදහස වූයේ පාළි භාෂාව හා පරමාර්ථ ධර්ම විභාගයන් ද කලින් දැන නො සිටින අයටත් මේ ධර්මය පිළිබඳ තරමකටවත් ශුද්ධ දැනුමක් ඇතිකර ගත හැකි වන සැටියට පොතක් සම්පාදනය කිරීමය. එබැවින් අප විසින් සම්මෝහවිනෝදනී ආදියෙහි චතුරාර්‍ය්‍ය සත්‍ය වර්ණනා කර තිබෙන මඟ නො ගෙන මේ පොත ලිවීමට අන් මඟක් ගන්නා ලදි. කෙසේ ලියූ කල්හි කියවන්නාට පහසුවෙන්, කාරණය අවබෝධ වේ දැයි කරුණක් පාසා ම කල්පනා කොට ඒ ඒ අවස්ථාවෙහි අපට කල්පනා වූ පරිද්දෙන් කරුණු පහදමින් මේ පොත සම්පාදනය කෙළෙමු.
නවකථා පොතක් කියවන්නකුට වෙහෙසක් නැති ව අර්ථයත් කථා රසයත් ලැබෙන සේ ලෙහෙසියෙන් අර්ථය හා ධර්ම රසය ලැබෙන හැටියට ගැඹුරු ධර්මයන් පිළිබඳ පොත් සම්පාදනය නො කළ හැකිය. එබැවින් කථිකයන්ගේ හෝ ලේඛකයන්ගේ හෝ සමත්කමේ අනුහසින් ම ගැඹුරු ධර්මයන් ලෙහෙසියෙන් තේරුම් ගන්නට බලාපොරොත්තු නො වී, ධර්මය අවබෝධ කර ගැනීමට පොත් කියවන්නා විසින් ද උත්සාහ කළ යුතුය. චතුරාර්‍ය්‍ය සත්‍යය දනු කැමතියන් විසින් මෙම පොත නවකථා පොතක් මෙන් වරක් දෙවරක් කියවා හැර නො දමා වාර බොහෝ ගණනක් නැවත නැවතත් කියවිය යුතුය. පොතේ කියවෙන කරුණු සිත්හි තබාගෙන ඒවා ගැන නැවත නැවතත් කල්පනා කළ යුතුය. එසේ කළ හොත් සියල්ල දත් කවරකුට වුව ද මේ පොතේ උපකාරයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ මනා දැනුමක් ඇති කර ගත හැකිවනු ඇත. මෙම පොත ආදරයෙන් කියවා තථාගතයන් වහන්සේගේ සත්‍ය වූ චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය උගෙන නියම බෞද්ධයන් වී සසර දුකින් මිදී නිවන් සුවය ලැබීමට සියල්ලෝ ම උත්සාහ කරත්වා.
මීට - ශාසනස්තිථිකාමී,
රේරුකානේ චන්දවිමල ස්ථවිර
ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට
2490 (1947) පෙබරවාරි 6 වැනි ගුරු දින දී ය.