“තත්ථ කතමො සම්මා ආජීවො? ඉධ අරිය සාවකො මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවෙන ජීවිකං කප්පෙති, අයං වුච්චති සම්මා ආජීවො.”
“මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්‍යගාජීවය නම් කවරේද යත්? මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවක තෙමේ මිථ්‍යා ආජීවය අත්හැර සම්‍යගාජීවයෙන් ජීවත් වේ ද, මෙය සම්‍යගාජීවය යි කියනු ලැබේ” ය යනු එහි තේරුමයි.
ප්‍රාණඝාතාදි කාය වාක් දුශ්චරිතයෝ වනාහි ඇතමකු විසින් විනෝදය පිණිස කරනු ලැබෙත්. ඇතමකු විසින් ක්‍රෝධ ඊර්‍ෂ්‍යාදිය නිසා කරනු ලැබෙත්. ඇතමකු විසින් දිවි පැවැත්ම සඳහා කරනු ලැබෙත්. මෙසේ නොයෙක් හේතූන් නිසා කරන්නා වූ දුශ්චරිතයන් අතුරෙන් දිවි පවත්වා ගැනීම වූ හේතුවෙන් අන්‍ය හේතූන් නිසා කරන්නා වූ ප්‍රාණඝාතාදි කාය දුශ්චරිතයන්ගෙන් වෙන් වන්නා වූ ස්වභාවය, ඒ දුශ්චරිතයන් අත්හරින්නා වූ ස්වභාවය, යට කී සම්‍යක් කර්මාන්ත නම් වූ මාර්ගාංගය යි. දිවි පවත්වා ගැනීම වූ හේතුවෙන් අන්‍ය හේතූන් උදෙසා කරන්නා වූ මෘෂාවාදාදි වාග් දුශ්චරිතයන්ගෙන් වෙන් වන්නා වූ ස්වභාවය, ඒවා අත්හරින්නා වූ ස්වභාවය යට දැක් වූ සම්‍යක් වචනය නම් වූ මාර්ගාංගයයි. දිවි පැවැත්මට ආධාර කර ගනු පිණිස කරන්නා වූ කාය වාග් දුශ්චරිතයන්ගෙන් වෙන් වන්නා වූ ස්වභාවය ඒවා අත් හරින්නා වූ ස්වභාවය සම්‍යගාජීවය නම් වූ මාර්ගාංගයයි.
නිවන් පසක් කරනු පිණිස පූර්වභාගයෙහි ම ආජීව පාරිශුද්ධිය ද වුවමනා ය. ආජීව පාරිශුද්ධිය ඇති කරගනු සඳහා ගිහියන් විසින් දිවි පැවැත්ම සඳහා කරන ප්‍රාණඝාතාදි කාය වාග් දුශ්චරිතයන් හා ගිහියන් විසින් නො කළ යුතු ය යි දක්වා තිබෙන ආයුධ වෙළඳාමය, වහල් වෙළඳාමය, මස් වෙළඳාමය, මත්පැන් වෙළඳාමය, විෂ වෙළඳාමය යන අධාර්මික වෙළඳාම් පසින් ද වැළකී ගොවිකම් වෙළඳාම් ආදි ධාර්මික දෙයකින් දිවි පැවැත්ම කළ යුතුය. ගොවිකම් වෙළඳාම් ආදියෙන් ජීවත්වන කල්හි ගෘහස්ථ ජීවිතය ධාර්මික වුව ද ප්‍රව්‍රජිත ජීවිතය ධාර්මික නො වේ. එබැවින් ආජීව පාරිශුද්ධිය පිණිස පැවිද්දන් ගොවිකම් වෙළඳාම් ආදිය ද හැර විනයෙහි නියමිත පරිදි ජීවත් විය යුතු ය. මාර්ගයට පැමිණීමට ප්‍රථමයෙන් ආජීව පාරිශුද්ධිය සඳහා ප්‍රාණඝාතාදි ආජීවය කරන්නා වූ කරුණු දුරු කරන්නා වූ තැනැත්තන්ට ඒ ඒ අවස්ථාවල දී මේ සම්‍යගාජීවය ලෞකික වශයෙන් ඇති වේ. ආජීව පාරිශුද්ධියෙහි පිහිටා විදර්ශනා වඩන්නා වූ යෝගාවචරයා හට මාර්ග චිත්තය උපදනා කල්හි මෙය ලෝකෝත්තර මාර්ගයා ගේ අංගයක් වන්නේ ය.