ආත්මාර්ථ සාධක වූ ද, පරාර්ථ සාධක වූ ද, උභයාර්ථ සාධක වූ ද, නිරවද්‍ය කායික ක්‍රියාවන්ට ලෝකයෙහි සම්‍යක් කර්මාන්තය යි කියනු ලැබේ. මේ මාර්ග සත්‍යයෙහි “සම්මා කම්මන්ත” යනුවෙන් දක්වන සම්‍යක් කර්මාන්තය වනාහි අනිකකි. එය :-
“තත්ථ කතමො සම්මා කම්මන්තො? පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, අයං වුච්චති සම්මා කම්මන්තො” ය-
විභංග පාළියෙහි වදාරා තිබේ. “එහි සම්මා කම්මන්තය නම් කවරේද? ප්‍රාණඝාතයෙන් වෙන්වීම ය, අදත්තාදානයෙන් වෙන් වීම ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වීම ය යන මෙය සම්මා කම්මන්ත නම් වේ” ය යනු එහි තේරුම යි.
ප්‍රාණඝාතාදි පාපයන්ගෙන් වළක්නා අදහසින් “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනාදීන් සිකපද සමාදන් වන්නා වූ ද, ප්‍රාණඝාතාදිය නො කිරීමට ඉටන්නා වූ ද, ප්‍රාණඝාතාදිය කිරීමට අවස්ථාව පැමිණි කල්හි ආදීනව සලකා ඒවා අත්හරින්නා වූ ද තැනැත්තන්ගේ සිත්හි එසේ කරන්නා වූ අවස්ථාවන්හි ප්‍රාණඝාතාදියෙන් වළකින්නා වූ ප්‍රාණඝාතාදිය දුරු කරන්නා වූ ප්‍රාණඝාතාදියට විරුද්ධ වූ එක්තරා ශක්ති විශේෂයක් හට ගන්නේ ය. මේ මාර්ග සත්‍යයෙහි සම්‍යක් කර්මාන්ත යයි කියනු ලබන්නේ ඒ ශක්ති විශේෂයට ය. එය දෙපනස් චෛතසිකයන් අතුරෙන් සම්මා කම්මන්ත නම් වූ චෛතසිකය යි.
එය ප්‍රාණඝාතාදි අකුශල කාය කර්ම තුනෙන් වළක්නා ආකාරයෙන් පවත්නා බැවින් බුදුරජාණන් වහන්සේ විසින් “පාණාතිපාතා වේරමණී” යනාදීන් ප්‍රාණඝාතාදියෙන් වැළකීම ය, අදත්තාදානයෙන් වැළකීම ය, පරදාරසේවනයෙන් වැළකීම ය යන මේ තුන සම්‍යක් කර්මාන්තය යි වදාරන ලදි. එය ප්‍රාණඝාතාදීන්ගේ ආදීනව සලකා ඒවායින් වැළකීමෙන් පුරුදු කළ යුතු ය. එසේ පුරුදු කළ තැනැත්තාට ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වන අවස්ථාවෙහි දී ලෝකෝත්තරත්වයට පැමිණ මාර්ගයාගේ අංගයක් ව පහළ වන්නේ ය. එයින් කායික දුශ්චරිත තුන සමුච්ඡේද ප්‍රහාණයෙන් ඒකක්ෂණයෙහි ම ප්‍රහාණය කරනු ලැබේ.