ලෝකයෙහි මිනිසුන් විසින් කරන්නට තිබෙන වැඩ අතුරෙන් ලෝකෝත්තර මාර්ගය ස්වසන්තානයෙහි උපදවා ගැනුම ඉතා දුෂ්කර වැඩෙකි. මෙය ලෙහෙසි දෙයකැයි වරදවා ගෙන කටයුත්ත සැහැල්ලු කොට ගෙන මාර්ගභාවනාවෙහි යෙදෙන්නා හට කිසි කලෙක ලැබිය හැකි නො වේ. යම් කිසිවෙක් කොතෙක් උත්සාහ කළත් නියම ක්‍රමයට නො ගොස් වරදවා පිළිපැද්දහොත් ඔහුට ද කිසි කලෙක, මාර්ගයට ඵලයට පැමිණෙන්නට නො ලැබේ. එබැවින් පිළිපැදිය යුතු ක්‍රමය ද නො වරදවා දැනගෙන කළ යුතුය.
මේ මාර්ග භාවනාව කරන්නට යන තැනැත්තා විසින් පළමුකොට ම විදර්ශනා බිම සකස් කර ගත යුතුය. පඤ්චස්කන්ධය, ද්වාදශායතනය, අටළොස් ධාතුය, දෙවිසි ඉන්ද්‍රියයෝ ය, චතුරාර්‍ය්‍ය සත්‍යය, ප්‍රතීත්‍යසමුත්පාදය යන මේ ධර්මයෝ විදර්ශනාවට බිම වන්නා වූ ධර්මයෝ ය. ඒ ධර්මයන් ගැන මනා දැනුමක් ඇති කර ගැනීම බිම සකස් කර ගැනීම ය. ඉක්බිති විදර්ශනා භාවනාව කළ යුතු ආකාරය ද මැනවින් ඉගෙන සිල් පිරිසිදු කර ගෙන යථාවකාශ පරිද්දෙන් හෝ අන් සියල්ල ම හැර දමා විදර්ශනා කිරීමෙහි ම යෙදීම් වශයෙන් හෝ නාම රූප ධර්මයන් අනිත්‍යාදි වශයෙන් ක්‍රමානුකූලව විදර්ශනා කරන්නට පටන් ගත යුතුය.
එසේ විදර්ශනා කරන්නා වූ තැනැත්තා හට විදර්ශනා භාවනාවට අනුව සම්මා දිට්ඨිය ද වැඩෙන්නේ ය. සම්මා සංකප්පය ද වැඩෙන්නේ ය. සම්මා වාචාව ද වැඩෙන්නේ ය. සම්මා කම්මන්තය ද වැඩෙන්නේ ය. සම්මා ආජීවය ද වැඩෙන්නේ ය. සම්මා සතිය ද වැඩෙන්නේ ය. සම්මා සමාධිය ද වැඩෙන්නේ ය. මේ වැඩීමට භාවනාවෙහි යෙදීම හැර කරන්නට අන් දෙයක් නැත්තේය. ක්‍රමානුකූලව භාවනාවෙහි යෙදෙන්නාගේ විදර්ශනා ඥානය දියුණු තියුණු වත් ම ක්ලේශයෝ ද තුනී වන්නාහ. විදර්ශනා ඥානය මැනවින් දියුණු වී සංස්කාරයන් කෙරෙහි කලකිරී සිත සංස්කාරක්ෂය වූ නිවනට නැමී නිවනට බර වී පවත්නා අවස්ථාවකදී, මේ සම්මා දිට්ඨි ආදි අංග අට වැඩී බලවත් වී ලෝකෝත්තරත්වයට පැමිණ දෘෂ්ටි විචිකිත්සා සංඛ්‍යාත ක්ලේශද්වය මතු නූපදනා ආකාරයෙන් නසමින් අපාය දුඃඛය හා ජාති සතකින් මත්තට ලබන්නට වන සංසාර දුඃඛය නසමින් නිර්වාණය අරමුණු කරමින් පහළ වන්නේ ය.
ප්‍රථමයෙන් පහළ වන්නා වූ ඒ ලෝකෝත්තර මාර්ගයට සෝවාන් මාර්ගයයි කියනු ලැබේ. සෝවාන් මාර්ගයට පැමිණි පසු ඒ පුද්ගලයා ලාමක වූ පෘථග්ජන භූමියෙන් මිදී ආර්ය පුද්ගලයෙක් වන්නේ ය. ඔහු කිසි කලෙක නැවත පෘථග්ජන භාවයට නො පැමිණෙන්නේ ය. ඔහුට මතු ලබන්නට ඉතිරිව තිබෙන සංසාර දුඃඛය ඉතා ස්වල්පය. ඔහුට ඉතිරිව තිබෙන දුඃඛයාගේ ස්වල්පත්වය හා නිරුද්ධ වූ දුඃඛයාගේ විශාලත්වය සූත්‍ර ධර්මයන්හි නොයෙක් උපමාවලින් ප්‍රකාශ කර තිබේ. සෝවාන් මාර්ගයට පැමිණියා වූ තැනැත්තාහට ඉතිරිව තිබෙන කෙලෙස් හා දුක් නැසීමට ඔහු විසින් නැවතත් පෙර සේම විදර්ශනා භාවනාව ම කළ යුතුය. එසේ කරන කල්හි සම්‍යග් දෘෂ්ට්‍යාදි මාර්ගාංග තව තවත් වැඩීමට පැමිණ මතු ද තුන් වාරයක් ඉතිරි ක්ලේශයන් හා දුඃඛයන් නසමින් ඒ මාර්ගාංගයෝ ලෝකෝත්තරත්වයෙන් ඔහුගේ සන්තානයෙහි පහළ වන්නාහු ය.
දෙවන වාරයෙහි එසේ පහළවන්නා වූ මාර්ගයට සකෘදාගාමි මාර්ගය යි ද තෙවන වර පහළ වන්නා වූ මාර්ගයට අනාගාමි මාර්ගය යි ද, සිව්වන වර පහළ වන්නා වූ මාර්ගයට අර්හත් මාර්ගය යි ද කියනු ලැබේ. අර්හත් මාර්ගයට පැමිණීමෙන් පසු ඉතිරිවන්නා වූ කිසි ක්ලේශයක් නැත්තේ ය. ඉන් පසු ඔහුට ඇත්තේ අතීත හේතූන් ගෙන් හට ගත්තා වූ වර්තමාන ස්කන්ධ පඤ්චකය පමණකි. පරිනිර්වාණයෙන් පසු එයින් ද ඔහු මිදී අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට පැමිණෙන්නේ ය. මේ මාර්ගය හැර නිර්වාණයට පැමිණීමට අන් කිසි ධර්මයක් අන් කිසි මාර්ගයක් කොතැනකවත් නැත්තේය. ලෝකෝත්තර මාර්ගය උපනහොත් එයින් ඒ මෝක්ෂය ලබා නොදීමක් ද කිසි කලෙක නො වන්නේය. ඒකාන්තයෙන් ලබා දෙන්නේ ය. එබැවින් ඒ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය දුකින් මිදීමේ සත්‍ය වූ නොවරදින්නා වූ උපාය වන්නේ ය. එබැවින් එයට සත්‍යවේදී වූ තථාගතයන් වහන්සේ දුඃඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය යි වදාළ සේක.