ව්‍යාපාදය ඇතිවීමේ හේතු.

“අත්ථි භික්ඛවේ පටිඝ නිමිත්තං, තත්ථ අයෝනිසෝ මනසිකාරබහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා ව්‍යාපාදස්ස උප්පාදාය උප්පන්නස්ස වා ව්‍යාපාදස්ස භීය්‍යෝ භාවාය වේපුල්ලාය.”

“මහණෙනි, ප්‍ර‍තිඝ නිමිත්තක් ඇත. එය පිළිබඳව නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම් බහුල බව නූපන් ව්‍යාපාදයේ ඉපදීමටත් උපන් ව්‍යාපාදයේ වැඩීමට හා දියුණුවටත් හේතුවය” යනු ඉහත දැක්වූ පාඨයේ තේරුම ය.

එය ප්‍ර‍තිඝනිමිත්තය යි කියනුයේ ද්වේෂයට හා එයට අරමුණු වන කරුණුවලට හා පුද්ගලයන්ට ය. නුසුදුසු ලෙස වැරදි ලෙස මෙනෙහි කිරීම ගැන කලින් කියා ඇත. යම් කිසිවකු සම්බන්ධයෙන් පළමු ඇතිවන කෝපය නිසා පසුව නැවත නැවත දියුණුවෙමින් කෝපය ඇති වේ. එබැවින් පළමු ඇතිවන කෝපයත් කෝපයට හේතුවක් වේ. වරක් කෝපය ඇති වූ කල්හි එයින් විය හැකි අන්තරාය ගැන සලකා එය ප්‍ර‍හාණය කිරීමට උත්සාහ නො කොට එය පිළිගෙන තමා කෙරෙහි තබා ගතහොත් සමහර විට ඒ කෝපය වැඩේ. රවා බලන තරමට ඇති වූ කෝපය පරුෂවචන කියන තරමටත්, පරුෂ වචන කියන තරමේ කෝපය අතින් පයින් පහර දෙන තරමටත්, අතින් පයින් පහර දෙන කෝපය ගල්වලින් පොලුවලින් පහර දෙන තරමටත්, අන්තිමේදී ආයුධ අතට ගන්නා තරමටත් දියුණු වේ. වරද කරන පුද්ගලයන් ද පුද්ගලයන් වශයෙන් නො සලකා සංස්කාර ධර්ම සමූහයන් වශයෙන් සලකත හොත් අනිත්‍යාදි වශයෙන් සලකත හොත් පළමු කෝපය ද ඇති නො වේ. කෝපය ඇති වන්නේ පුද්ගලයන් වශයෙන් හා නිත්‍යාදි වශයෙන් සැලකීමෙනි. පුද්ගලයන් වශයෙන් නිත්‍යාදි වශයෙන් සැලකීම නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම ය.