වේළුවනය පූජා කළ දා රෑ මැදුම් යම්හි තමන් ඉදිරියේ සිට මහ හඬින් හඩා වැලැපෙන ප්‍රේත සමූහයක් බිම්සර රජ්ජුරුවෝ දුටු හ. ඔහු පසු දා උදාසන ම ගොස් එ පවත් භාග්‍යවතුන් වහන්සේ ට සැළ කළහ.
ඔවුන් ඒ රජුන්ගේ බොහෝ පෙර අත්බැවෙක නෑ සමූහයක් බවත්, සංඝයාට වෙන් කළ දන් හොරා කෑ පවින් නිරයේ ඉපැද දුක් විඳ ඉන් සැව ප්‍රේතයෝනියේ ඉපැද තුන් බුද්ධාන්තරයක් කල් සා පවස් දෙකින් පෙළී ඒ තාක් ම දුක් විඳින බවත් පවසා “ඔවුනට පින් පෙත් දෙව”යි සාමි දරුවන් වහන්සේ වදාළ සේක.
බිම්සර රජ්ජුරුවෝ එ දුරුතු අවදියවක් දා ප්‍රේතයන් නමින් බුද්‍ධ ප්‍රමුඛ මහා සංඝයාට මහ දන් දුන්හ. ප්‍රේතයෝ දිව්‍ය භෝජන ලැබුවෝ ප්‍රීතිමත් ව එදා රෑ වස්ත්‍ර නැති ව රජ්ජුරුවනට පෙනී සිටියහ. රජ්ජුරුවෝ ඒ පවත් ද පසු දා, භාග්‍යවතුන් වහන්සේ ට දන්වා බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට වස්ත්‍ර ශයනාසන සහිත භික්ෂාව දී, ප්‍රේතයනට පින් දුන්හ. උහු ද එ අනුමෝදන් කොට ගත්තෝ සියලු දිව යස ඉසුරු ලදහ.
භෝජනාවසානයෙහි භාග්‍යවතුන් වහන්සේ රජහට අනුමෝදනා බණ වශයෙන් තිරෝකුඩ්ඩ සුත්ත127 දේශනාව වදාළ සේක.