පසුදා දන් පිළියෙල කොට කාලය දන්වා එවූයෙන් සහ භික්ෂු සංඝයා සහිත බුදුරජාණන් වහන්සේ තල් වනයෙන් පිටත් වූ සේක. භාග්‍යවතුන් වහන්සේ දැකීමේ රිසියෙන් අලුයම වේලේ සිට රැස්වන ජනයාගෙන් රජගහ පුරය ඇලලී ගියෙන් තල්වනයේ සිට තුන් ගව්වක් පමණ දුර රජගහ පුර මාවත අතුරු සිදුරු නැතිවිය. මේ වේලායෙහි එක් පුදුම එළවන සුලු රූපාලංකාරයෙන් යුත් තරුණයෙක්124 බුදුගුණ ගී125 කිය කියා භාග්‍යවතුන් වහන්සේට පෙරටුව මඟ අවසර ඇතිකරමින් ගියේ ය. “තමා කාගේ කවුරුදැ” යි විචාරන ජනයාට “මම ධීර වූ, හැම තන්හි දාන්ත, ශුද්ධ, අප්‍රතිපුද්ගල, අරහත් සුගතයන් වහන්සේ ගේ අතවැස්සෙකිමි” යි හෙතෙම කියයි.
(මේ රාජගෘහ නගර ප්‍රවේශයේදී ද භාග්‍යවතුන් වහන්සේ දැක බොහෝ ජනයෝ පැහැදී ගියහ. චිත්‍රා සිටු දූ, බිම්සර රජු පුරෝහිතයාගේ දූ සෝමා, කෙළෙඹි දූ ශුක්ලා, ශුභා බ්‍රාහ්මණ කන්‍යා ආදී බොහෝ ස්ත්‍රීහු ද භාග්‍යවතුන් වහන්සේ ගේ දර්ශන මාත්‍රයෙන් පැහැද උපාසිකා වූහු. (පසු කාලයේ දී පැවිදි වූහ.)
බුදුරජාණන්වහන්සේ මහා සේනාව මැදින් යථොක්ත තරුණයා විසින් අවකාශ ඇති කොටදුන් මාර්ගයෙන් මාළිගාවට වැඩ එහි පණවන ලද ආසනයන්හි භික්ෂු සංඝයා සහිත ව හුන් සේක. රජ තෙමේ ප්‍රණීත ආහාර පානයෙන් සංග්‍රහ කෙළේ ය. දන් වළඳා අවසන් වූ පසු රජ පැත්තෙක හිඳ,
“ස්වාමීනී, බුදුන් දහම් සංඝයා ගෙන් තොර ව, ඉඳීම මට කළ නො හැකි යි. එ බැවින් වේලායෙහිත් අවේලායෙහිත් එන්නෙමි. තල් වනය නම් රජ ගෙයින් ඉතා ඈත් ය. අපේ වේළුවන නම් උයන මෙයින් වැඩි ඈත් නො වේ. වඩා ම කිට්ටුත් නො වේ, යෑම ඊම ද පහසු ය, අධික ජනගහනයෙන් ඇති විය හැකි පීඩාත් කිසිත් නැත. විවේක පහසු ඇත්තේය, රුක් සෙවණිනුත් ජලාශයවලිනුත් යුක්ත ය, ගල්තලායෙනුත් සිත් කළු ය, රම්‍ය භූමිභාග ඇත්තේ ය, ගුරුළු පියාපත් වැනි සෙවණ ඇති ගෙවලින්, සඳලු සහිත ගෙවලින්, ප්‍රසාද මණ්ඩප ආදියෙන් ප්‍රතිමණ්ඩිත ය, ඒ උයන භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක් වා”යි කීයේ ය.
මෙසේ කියා රන් කෙංඩියෙන් බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී හස්තයෙහි දිය වත් කොට ආරාමය පරිත්‍යාග කෙළේ ය. බුදුරජාණන් වහන්සේ විහාර දීමේ අනුසස් වදාරා භික්ෂු සංඝයා සහිත ව වේළුවනයට වැඩි සේක. ඉන් පසු මේ කාරණය මුල් කොට ගෙන “මහණෙනි, ආරාම පිළිගැනීමට අවසර දෙමැ”126 යි වදාළ සේක.